පින්වත් දුවේ, පුතේ,

අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙරුම් දම් පුරනා බෝධිසත්ව කාලයේ දී එක භවයක වානර රාජයෙක් වී විශාල වඳුරු පිරිසකට නායකයා වෙලා ඉපදුණා. මේ වානර රජු හරිම නුවණක්කාරයි. ඉතින් මේ නායකයා තමන්ගේ පිරිස ආරක්ෂා කර ගන්න ඕන නිසා මෙන්න මේ විදියට අවවාද කළා.

1. ඔබ පුරුදු නැති කිසිම මලක්, කොළයක්, කන්න එපා.
2. පුරුදු නැති තැනකින් වතුර බොන්න එපා.
3. මගෙන් අහන්නෙ නැතිව පුරුදු නැති කිසිම තැනකට යන්න එපා

එක දවසක් මේ වානර පිරිස වනාන්තරයක ඇවිදින කොට බොහොම වතුර පිපාසය ඇතිවුණා. වටපිට බලන කොට එ් ළඟ ම තිබුණ වතුර පිරුණ විලක් දැක්කා. එ් ළඟට ගියා. පැන් පිපාසය නිසා විල ළඟ නතර වෙලා බලන කොට මීට කලින් මේ විල දැකල නැති බව වැටහුණා. ඉතින් නායකතුමාගෙන් අවසර ගන්නෙ නැතිව වතුර බොන්න සුදුසු නැහැ කියල මතක් වුණා. නායකතුමා එන තුරු ටික වෙලාවක් එතැනට වෙලා බලාගෙන හිටියා. බලන්න දුවේ පුතේ, ඔයගොල්ලො වඳුරො දැකල තියෙනව නේ ද? වඳුරො කියන්නෙ සාමාන්‍යයෙන් හිතුවක්කාර වැඩ කරන සතුන්. එ් වගේ ම හරිම ඉක්මන්කාරයි. මොකක් හරි දැක්ක හැටියේ ම එ් වෙතට පනින ගතිය එ් සතුන්ට ආවේණික පුරුද්දක්. එ් වුණත් මේ වඳුරු රංචුව නම් තමන්ගෙ නායකයාගේ අණට කීකරු, කියන දේ පිළිපදින පිරිසක්.

ඉතින් ටික වේලාවකින් වඳුරු නායකයා ආවා. ඇවිත් විල හොඳට පරීක්‍ෂා කරලා බැලූවා. විලට බැස්ස බවට පා සලකුණු තිබෙනවා. එ්ත් ගොඩට ආපු සලකුණු පේන්න නෑ. මේ ගැන කල්පනා කරපු ඥනවන්ත වානර රජු තේරුම් ගත්තා, මේ විලට බැස්ස අය කිසිම කෙනෙක් ආපසු ගොඩට පැමිණිලා නැති බව. ‘මේ විල නම් බොහොම අවදානම් තැනක් වගේ…’ ඔහු හිතුවා. ඔහොම ඉන්න කොට එකපාරටම විල දෙබෑකරගෙන දිය රකුසෙක් මතු වුණා. ‘‘ඇයි බලාගෙන ඉන්නෙ? මේ විලට බැහැල වතුර ටිකක් බොන්නෙ නැති ද? මේ විලට බැහැල වතුර බොන්න.” රකුසා ආරාධනා කළා. නායක වඳුරා දැනගත්තා පොකුණට බැස්සොත් සියලූ දෙනාම අනතුරේ කියලා. ඉතින් බුද්ධිමත් වානර රාජයා තමාත්, පිරිසත් කරදරයක නො වැටී විලෙන් වතුර බොන්නෙ කොහොමද කියලා කල්පනා කළා. ඔහුට උපායක් සිහියට ආවා. ඉතින් නායකතුමා මොකක්ද දන්නව ද කළේ? මේ පොකුණ අසල විශාල බට පඳුරක් තිබුණා. ඔහු එ්කෙන් බට ගස් කඩාගත්තා. සාමාන්‍යයෙන් බට ගස්වල පුරුක් තියෙනවනෙ. ඔහු එ්වා සුද්ද කරගෙන සිදුරු සාදා ගත්තා. දැන් මේ බට අර පුතාලා බීම බොනකොට පාවිච්චි කරන බට වගේ. මේ බට ටික පොකුණට දමල වතුර බොන්න හැකි විදියට සකස් කරගෙන වතුර බිව්වා. නායක වඳුරා අනුගමනය කරපු පිරිසත් බට ගස් සකස් කරගෙන වතුරට දමල හොඳට වතුර පිපාසය සන්සිඳවා ගත්තා.

ඉතින් දුවේ පුතේ, මේ ජාතක කථාව දේශනා කරන්න හේතුව වුණේ අපගේ භාග්‍යවතුන් වහන්සේ නලපාන කියන ගමට වැඩම කළ වෙලාවෙ එ් ගමේ නලපාන පොකුණ ළඟ තිබුණ බට පඳුරුවල පුරුක් නැති බව දැකපු ස්වාමීන් වහන්සේලා එ් ගැන කථාබස් කිරීම යි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගැන දැනගෙන අතීතේ සිදුවුණ එ් සිදුවීම නිසා අදත් එ් විල අසල බටගස්වල ඉබේ ම සිදුරු සැදී තිබෙනවා කියල දේශනා කොට වදාළා.

පුදුමයි නේ ද? මේ කථාවෙන් පින්වත් දුවල පුතාලට හොඳ ආදර්ශ ගන්න පුළුවන්. කරන කියන කටයුතු නිතර ම ඉවසීමෙන් පරීක්ෂා කරලා හොඳට සොයල බලල කරන්න ඕන. නුපුරුදු තැන්, වගේ ම දේවල්, පාවිච්චි කරන කොට නුවණින් යුතුව ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. බලන්න, අද සමාජයේ බොහෝ දරුවන් හිතුමතේ කටයුතු කොට ගංගා ඇළ ෙදාළවලට බිලි වෙනවා. නමුත් මේ කථාවේ වඳුරු නායකයා එනතුරු ඉවසීමෙන් සිටි වඳුරු රැුළ සිදුවන්නට ගිය විශාල විපතකින් බේරුණා. ඔබත් මව්පිය ගුරු වැඩිහිටි අයගේ අවවාදවලට කීකරු වෙන්න ඕන.

එ් වගේ ම දරුවනේ අපේ සිත් නැමැති විලේත් දිය රකුසෙක් ඉන්නවා. කවුද දන්නව ද? එ් තමයි අපගේ සිත කිලූටු කරන තරහව, ඊර්ෂ්‍යාව, මානය, උඩඟුකම වගේ කෙලෙස්. ඉතින් රකුසාගෙනුත් බේරිලා, දිය කලත්තන්නේ නැතිව වඳුරො ටික දිය බිව්වා වගේ, සිත් ඇතුළේ ඉන්න රකුසා අවුස්සගන්නෙ නැතිව, ඉවසීමෙන් නුවණින් කටයුතු කළොත් ඔබටත් බෝසත් දරුවෙක් වන්නට හැකිවෙනවා නොඅනුමානයි.

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

මානෙල් නැන්දා