ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවෙනි,

මේ ධර්මය අපි ඉගෙන ගත යුතු කෝණයක් තියෙනවා. එ් තමයි බුදුරජාණන් වහන්සේගේ කෝණය. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ බලපු විදිහට අපි ඉගෙන ගන්නයි. එ් විදිහට කල්පනා කරලා ඔන්න ධර්මය කෙරෙහි හිතේ පැහැදීමක් ඇති වෙනවා ‘හරි ලස්සනයි නෙ මේ ධර්මය. හරි පැහැදිලියි නෙ මේ ධර්මය’ කියලා. එතකොට එයාට සැකය නෙවෙයි ඉස්සරහට එන්නෙ. ප‍්‍රසාදය. එ් ප‍්‍රසාදය තමයි තමන්ගේ පිපාසය නිවන දේ.

කෙනෙක් කොච්චර ධර්මය ඉගෙන ගත්තත් හරියට එ් කරුණු ටික ගොනු කරගෙන නො තිබුණොත් එ් කෙනාට සැකය නැති වෙන්නෙ නෑ. දිව්‍යලෝකෙ ගැන කථා කරමු අපි.

ඔන්න දිව්‍යලෝකෙ යන්න  ඕන කියල කියනවා. එතකොට කෙනෙක් කියනවා ‘‘බෑ… බෑ… දිව්‍ය ලෝකවල නම් යන්න බෑමයි.” අහනවා ‘‘ඇයි දිව්‍ය ලෝකවල යන්න බැරි?” මොකක්ද කියන්නෙ එතකොට? ‘‘හරීයට එහේ සැප වැඩියි. කාමය වැඩියි. මුළා වේවි.” කියලා කියනවා. දෙවිවරුත් නො දැක, දිව්‍යලෝකත් නො දැක, එ්කට මුළා වේවියි කියලා භයට පත්වෙලා නම් ඉන්නේ එහෙනම් ප‍්‍රශ්නය කොතන ද තියෙන්නේ? තමන් තුළ නේ ද? එ්කට කියන්නේ නුවණ නෑ කියන එකයි.

නුවණක්කාරයා හිතන්නෙ එහෙම නෙමෙයි. ‘මට්ටකුණ්ඩලීත් දිව්‍යලෝකෙනෙ භාග්‍යවතුන් වහන්සේ පිටත් කළේ. අර රොඞී කුලයේ අම්මත් දිව්‍යලෝකෙනෙ ගියේ. මාර්ග ඵලලාභී ශ‍්‍රාවකයොත් දිව්‍යලෝකෙනෙ ගියේ. එහෙනම් මේ කියන දෙව්ලොව නිකම් අර රාතී‍්‍ර සංදර්ශන ශාලා වගේ තැන් නෙමෙයි. එ්ක වෙන්න බැරි එකක්’ කියලා. එතකොට මොකක්ද එහෙනම් ශ‍්‍රද්ධාව ඇතිකර ගන්නත්  ඕන කරන්නේ? යම් කිසි නුවණක්.

ඔන්න යම්කිසි ආරක්ෂක දූපතක් තියෙනවා. කෙනෙක් මේ දූපතට යන්න කියලා හිතාගෙන නැවකට ගොඩ වෙනවා. බලනකොට මේ හිල් වෙච්ච නැවක්. මේ නැවේ තියෙන සිදුරුවලින් හිමින් හිමින් ඇතුළට වතුර ගලනවා. හැබැයි මේ නැවේ ම තියෙනවා පොඩි පොඩි බෝට්ටු හදිසියක දී ගන්න. දැන් මේ නැව හිමින් යනවා. දූපත පේනෙ නෑ. දැන් එයා කියනවා. ‘‘නෑ… මං දූපතට මිසක් වෙන කොහේවත් යන්නෙ නෑ.” නමුත් මේ නැව ගිලෙනවා. නැව ගිලෙද්දි එ්ක ම කියව කියව දූපතට යයි ද? නෑ.

එයා මොකද කරන්නෙ  ඕනි? පොඩි බෝට්ටුවකට හරි ගොඩ වෙන්න  ඕනි. එතකොට මුහුදෙ ගිලෙන්නෙ නෑ. එ් බෝට්ටුවෙ ඉඳලා හිමින් හිමින් ආයෙමත් එයාට අර දූපතට යන්න පුළුවන්. එ් වගේ තමයි දෙවිවරු අතරට යනවා කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ තමයි දෙව්ලොව ගැන ප‍්‍රශංසා කරලා තියෙන්නේ. දෙව්ලොව යනවා කියන්නේ ප‍්‍රමාදයට කාරණාවක් නෙමෙයි. කෙනෙක් ඇවිල්ලා කියනවා ‘‘දෙව්ලොව නම් යන්න එපා. පින් කරන්න එපා. කුසල් නම් වඩන්න එපා. භවය දික්වෙනවා. එ් නිසා වහ වහා සෝවාන් වෙන්න.” පුළුවන් ද එහෙම කරන්න? බෑනේ.

ඇයි හේතුව? තමන්ගේ ජීවිතයේ ස්වභාවිකව වැඩුනු ප‍්‍රඥවක් නැත්නම් ප‍්‍රඥව ණයට ගන්න ද? පොලියට ගන්න ද? බෑ. මනුෂ්‍යයා තුළ තියෙන මේ ස්වභාවය පෙන්වා දීම තමයි මනුෂ්‍යයා කෙරෙහි තියෙන සැබෑම හිතෛෂීකම.

එනිසා ඔබත් මේ කාරණා හොඳින් ඉගෙන ගෙන නුවණින් විමසීමට උත්සාහ කරන්න. මනා කොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නුවණින් විමසීමටත්, දුර්ලභ වූ සුගති රැුකවරණය සලසා ගැනීමටත් ඔබට මේ දහම් කාරණා උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –