සත් බඹයක් මගෙ වරලස
මොනර පිලසෙ වර්ණ වෙන්ඩ
සත් ගව්වක් මගෙ කට හඬ
කිඳුරු නාදෙ මෙන් ඇසෙන්ඩ
බිහි වුණා ම මගේ රුවින්
තුන් ලොවට ම එළිය වෙන්ඩ
රන් පන්හිඳ ගෙන සුරතින්
බුදු ගුණ රන්පොත ලියන්ඩ
‘පුරාණ හිමගත වර්ණනාව’ නමැති ඉපැරණි ධර්ම කාව්‍යය රචනා කළ ගැමි කවියා, ගෙත්තම්පානේ සිට ශ‍්‍රීපාද පද්මය පිහිටි සමනොළ කඳු මුදුන දක්වා ඇති මාර්ගය සහ අනන්ත බුදු ගුණ මහත් සැදැහැ බැති පෙමින් යුතු ව වර්ණනා කොට අවසානයේ තම අරමුණ ඉදිරිපත් කළේ ඉහත කවියේ සඳහන් පරිද්දෙනි. කවියා එහි ලියා දැක්වූවා සේ ම ‘පුරාණ හිමගත වර්ණනාව‘ ලියා ඇත්තේ පුස්කොළ පත්තිරුවල ය.
මෙම පුරාණ පුස්කොළ පොත සොයාගෙන ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ඇන්. පී. අන්ද්‍රයස් අප්පුහාමි මහතා විසින් බව එහි පැරණි මුද්‍රණයේ දැක්වේ. පුරාණ පුස්කොළ පොතේ තිබූ අන්දමට මෙම කාව්‍යය පිටපත් කළ බව සඳහන් කරන ප‍්‍රකාශකයා එහි ලිපි දොස් ඇති බව ද ප‍්‍රකාශ කරයි.
මෙයට අවුරුදු හාරසියයකටත් ඉහත කාලයක ‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්‍යය රචනා කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. සමකාලීන හා පසුකාලීන අවධීන්හි රචනා කළ බව සිතිය හැකි පුරාණ තුන්සරණය, සමන්ත කූට වර්ණනා, සමනල වන්දනා කාව්‍යය, කැලණි හෑල්ල ආදි වන්දනා කවි පොත්වල එන භාෂා රීතීන්ට වඩා පැරණි බවක් හා නො දියුණු බවක් මෙම කාව්‍යයයෙහි පෙනේ:
ධර්ම රාජ ගල් පොත්තට වැඩලා
ධර්ම අලංක‍්‍රීතිය පෙන්නාලා
කර්ම කළෝවත් එතැනට වැඳලා
පෙර්ම පෑපු ගල් පඩි කප්පාලා
කන්‍යා ලිය කී ලකුණුත් දුටියා
දන්නා ලෙස ගොස් සමනළ දුටියා
මෙබඳු අවියත් යෙදුම් කාව්‍යයයේ තැනින් තැන දැකිය හැකි වෙයි. ‘ලිපි දොස්’ යනුවෙන් ප‍්‍රකාශක අන්ද්‍රයස් අප්පුහාමි සඳහන් කළේ එම යෙදුම් පිළිබඳ ව විය හැකි ය. පුස්කොළ පතේ ලියා තිබීම ද එහි පැරණි බවට දෙස් දෙන්නකි. නුවර යුගයට පෙර මෙම කාව්‍යය රචනා කරන්ට ඇතැයි නිගමනය කළ හැකි අනික් වැදගත් සාධකය වනුයේ එහි අවසානයේ ඇති පුණ්‍යානුමෝදනා සහිත ප‍්‍රාර්ථනය යි. පසු කාලීන ග‍්‍රන්ථවල මෙන් මෙතේ බුදුන් දැක නිවන් දැකීම ගැන එහි සඳහන් නො වේ. කාව්‍යය අවසාන වන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කොට පහත දැක්වෙන ප‍්‍රාර්ථනය කිරීමෙනි:
සාදු සාදු මගෙ දෙමව්පියන්ට යි
සාදු සාදු මගෙ ගුරුවරයන්ට යි
සාදු සාදු මගෙ දූ දරුවන්ට යි
සාදු සාදු මම නිවන් දකින්ට යි
‘පුරාණ හිමගත වර්ණනාව’ යන නාමයෙන් ම හැඟීයන්නේ එම කාව්‍යය ලියැවුණු වකවානුව වන විට ද ශ‍්‍රී පාද වන්දනාව සඳහා යාමට ඇති මාර්ගය ඝන වනගත පරිසරයක් මැදින් වැටී තිබුණු බව ය.
ශ‍්‍රී පාදය වන්දනා කිරීම පිණිස සමන්ත කූටයට නැඟීම, හිමේ කරුණා කිරීමක් හැටියට පැරණියන් සැලකුවේ ගෞරව සම්ප‍්‍රයුක්ත බිය මුසු හැඟීමක් ද ඇති ව ය.
පද්‍යය එකසිය විසිහයකින් සමන්විත ‘පුරාණ හිමගත වර්ණනාව’ කාව්‍යය ආරම්භ වන්නේ සෙසු කාව්‍යයන් මෙන් ම ත‍්‍රිවිධ රත්නය වැඳ සෑම දෙවියන්ට ම පින්පෙත් පැමිණ වීමෙනි.
සවන දහම් සඟ රත්නය වැඳලා
සුමන සුරිඳු සහ සැම දෙවි යැදලා
සුගුණ දෙමව්පිය ගුරුවර වැඳලා
බැතින කියමි හිමගත මහ ලකලා
හිමගත වරුණේ මේ ඇරඹුම අන් කාව්‍යයන්ට වෙනස් වන්නේ පැරණි බෞද්ධ ජන ජීවිතයේ මුහුණුවර එහි සනිටුහන් වී ඇති බැවිනි. කවියා දෝත් මුදුන් දී වඳින්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයට හා දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් පමණි. සමන්ත කූටයට අධිපති සුමන සමන් දෙවියන්ට හා අනෙකුත් සියලූ දෙවියන්ට ඔහු නො වඳියි. වර්තමානයේ සියලූ නාගරික බෞද්ධයෝ දෙවියන්ට පමණක් නො ව සියලූ දුසිරිතෙහි ගැලූණ පාලකයන්ට හා ජන ප‍්‍රධානීන් වෙසින් පෙනී සිටින අධමයන්ට ද අත් මුදුන් දී වඳිති. පැරණි ගැමියන් තෙරුවන, මාපිය, ගුරුවරු හැර අන් කිසිවෙකුට, කිසි දිනෙක, අත් මුදුන් දී වැන්දේ නැත. ඔවුන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ අත් දෙකේ ඇඟිලි හකුළුවා ළමැදට තබා ගනිමිනි. එම සිංහල බෞද්ධ උරුමය අපට යළි යළිත් සිහිපත් කර වන්නකි, පුරාණ හිමගත වරුණේ ආරම්භක වැනුම.
මුල් කවියට අනතුරු ව එන කවි හතෙන් කරන වැනුම, තිසරණය කෙරෙහි කවියා තුළ පවත්නා අප‍්‍රමාණ ශ‍්‍රද්ධාව පළ කරන්නකි. තෙරුවන් සරණ යාමෙන් අත් පත් වන ආධ්‍යාත්මික ශක්තිය මුළු සිත, ගත වෙලා ගන්නා ආකාරය එය කියවන සැදැහැවතුන්ට දැනේ.
බුද්ධං සරණේ සිරසට සීමා
ධම්මං සරණේ ළමැදට සීමා
සංඝං සරණේ දෙවුරට සීමා
මේ තුන් සරණේ සැමට ම සීමා
සිරස, ළමැද, දෙඋර වූ කලි මිනිස් සිරුර තුළ තෙරුවන නවාතැන ගෙන වැඩ සිටින ලැගුම් කුටි වැන්න. ත‍්‍රිවිධ රත්නය ජීවිතයට සම්බන්ධ කරගන්නා කවියා ඊට නිසි ගෞරවය පුද දුන් අයුරු මෙම ආරම්භක පද්‍යයන්ගෙන් මොනවාට අනාවරණය වෙයි. ශාසනය භාර වූ විෂ්ණු දෙවියන්ට, සමනොළ ගිර භාර සමන් දෙවියන්ට හා දෙවොල් දෙවියන්ට පින් දී හිමේ වඳින්නට යාමට අවසර ගන්නේ ඉන් අනතුරු ව ය.
සමනොළ කඳු මුඳුනේ සිරිපා සලකුණ පිහිටුවීමේ අසිරිමත් කථා පුවත කවි දහ හතකින් වර්ණනා කරන කවියා ගෙත්තම්පානේ සිට කඳු මුඳුනට නඟින තෙක් හමුවන ප‍්‍රධාන ස්ථාන ගැන වෙන වෙන ම විස්තර කරයි. ගෙත්තම්පාන, ධර්මරාජගල, තෙලහින්න, සීත ගඟුල, හැරමිටිපාන, මල්කඳුර හා මහගිරිදඹය එ් තැන් ය. බුදුරජාණන් වහන්සේ අනුක‍්‍රමයෙන් කඳු මඟ පසු කරමින් සමනොළ ගිරි සිරසට වැඩම කළ ආකාරය එම වැනුම කියවන කෙනෙකු සිත තුළ ඇදී යයි. සම්බුදු සසුන තිරසර ලෙස ශ‍්‍රී ලංකාද්වීපයේ පිහිටු වීමට එරෙහි ව වසවර්තී මාරයා බුදුරජාණන් වහන්සේ අබියසට පැමිණි බියකරු විලාසය කවියා දක්වන්නේ අවස්ථාවෝචිත හැඟුම් දනවන වදන් උපයෝගී කරගනිමිනි:
අහස මේඝ වැසි වතුර ගලා ගෙන
බීත කරන ගල් පහුරක් පැද ගෙන
වාත සුළඟ සෙල් කඳු ගුගුරා ගෙන
වසවතු ආවයි මේඝ මවා ගෙන
සිරිපා සටහන තැබූ පර්වත සිරස වසවර්ති මාරයා අනික් පිට පෙරළුෑ කල්හි බුදුරජාණන් වහන්සේ පෙරළුෑ ගල මතුයෙහි නැවත සිරි පතුල පිහිට වූ බව ජනප‍්‍රවාදයේ ස`දහන් ය. එ පුවත හිමගත වර්ණනාව ලියූ කවියා දැක්වූයේ මෙපරිද්දෙනි:
වසවතු ඇවිත් මේඝ මවාපී
එ බුදු පතුල ගල පිට පෙරළාපී
ගුවනේ වැඩ සිට සක්මන් පෑවේ
පෙරළුෑ ගල පිට පතුල එබූවේ
නිශ්ශංකමල්ල රජු දවස සමනොළ කන්දේ ශී‍්‍ර පාද ලාංඡුනය පිහිටි උතුම් ගල් සිරස සොයාගත් ආකාරය ගැන කියැවෙන ජනප‍්‍රවාදයක් වෙයි. එ් අනුව රජුන්ගේ උයනේ මල් සොරාගෙන යන සොරුන්, උයන්පල්ලා විසින් අල්ලාගනු ලැබූ පුවතත් සිරිපා පුදට මල්නෙළා ගෙන යන්නේ අන් කවුරුවත් නො ව සුර ළඳන් බව අනාවරණය වූ අයුරුත් ඉන් කියැවේ. කෙසේ වුව ද රාජකීය අනුග‍්‍රහය ඇති ව මංපෙත් හෙළි පෙහෙළි කොට අවශ්‍ය පහසුකම් සලසා දී ශී‍්‍ර පාද වන්දනාවේ යාම වැඩි වශයෙන් ඇරඹුණේ පොළොන්නරු කාලයෙන් පසු ව බව පෙනී යයි. එපුවත විස්තර කරන ජනකවියා සුර ළ`දුන් කී මඟ දිගේ ගිය මල්වතු වැද්දා (උයන්පල්ලා) සමනළ විස්තරය ලොවට හෙළි කළේ මෙපරිද්දෙනි:
ආපසු එන්ඩත් මඟ දැන වැඳපි
සීත එහිමයේ මං පසු කරපී
බීත අඳුරු හැර ඔහු එළි බැසපී
සමනළ විස්තර ලෝ පවසාපී
අනතුරු ව කවියාගේ වැනුමට හසුවන්නේ සිරිපා පතුලේ පිළිබිඹු වන විශිෂ්ට අංග ලක්ෂණයන් ය. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුලෙහි මඟුල් ලකුණු දෙසිය සොළොසක් පිහිටා ඇති බව බෞද්ධ ග‍්‍රන්ථයන්හි මෙන් ම ජන සාහිත්‍යයයේ ද සඳහන් වෙයි. පහත දැක්වෙන අනගි කවියෙන් ද එ් බව පැවසෙයි:
සිරි පිරි බඹ අඹර මත සිරසෙහි නිරැඳි
සිරි පිරි දෙසිය සොළොසක් ලකුණෙන් වොරැඳි
සිරි ගන තිලෝ උතුමන් හැමට පෙම් බැඳි
සිරි පා තඹර නමදිමු අත් මුදුන් දිදී
මෙම මඟුල් ලකුණු දෙසිය දොළොස කවරේ දැයි දන්නෝ විරලය හ. ‘පුරාණ හිමගත වරුණ’ කවියා එ් එක් එක් අංග ලක්ෂණ පද්‍ය විසි දෙකකින් විස්තර කොට දක්වා ඇත. මේ එහි ආරම්භක පද්‍ය යි:
ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ
සිරි වස දෙක පිහිටපු සිරි පතුලේ
නදවට දෙක පිහිටපු සිරි පතුලේ
අපි යමු වඳිනට එ් සිරි පතුලේ
බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුලේ පිහිටි දෙසීය සොළොස් ම`ගුල් ලකුණු විස්තරය කවියා අවසාන කරන්නේ පහත දැක්වෙන අයුරිනි:
චක‍්‍රවාට දෙක පිහිටපු පතුලේ
ජීවන් ජීව දෙක පිහිටපු පතුලේ
ෂඞ් විධ ලෝ දෙක පිහිටපු පතුලේ
ෂෝඩෂ ලෝ දෙක පිහිටපු පතුලේ
අපි යමු වඳිනට එ් සිරි පතුලේ
බුදු ගුණ වැනූ සෙසු ජන කවියන්ගේ වැනුම්වලට වඩා මේ වැනුමේ එන කවිවල දැකිය හැකි විශේෂයක් නම් සංස්කෘත මිශ‍්‍ර සිංහලය බෙහෙවින් භාවිත කොට තිබීම යි. මේ හැම කවියක් ම අවසන් වන්නේ ‘අපි යමු වඳින්නට එ් සිරි පතුලේ’ යනුවෙනි.
ඉන්පසු විස්තර වන්නේ සමූහ වශයෙන් සැදී සැදැහැති ජනතාව සිරිපා වන්දනාවේ යෙදෙන ආකාරය යි. සිරිපා පද්මය පිළිබඳ තොරතුරු ඇසූ ජනතාව ඉමහත් ශ‍්‍රද්ධාවෙන් යුතු ව වන්දනා ගමනට පේවී ගමන් ඇරඹූ සැටිත් ලෞකික හා ලොව්තුරා සැපත අත්පත් කර ගැනීමට ඔවුන් තුළ වූ අභිලාෂයත් එම කවිවලින් අනාවරණය කරයි.
ඇසූ ඇසූ අය පින් ගෙන බලවත්තු
ගෙන් ගෙන කියවා තෙල් සි`ද ගත්තු
යන්නට සමනළ මං බැස ගත්තු
ගොසින් මුනිඳු සිරිපා වැඳගත්තු
සිරිපා වන්දනාවේ යාමට සූදානම් වන ගම්වාසී බැතිමතුන් එ් බව මුළු ගමට ම සන්නිවේදන කොට මාසයක් පමණක් කාලයක් පුරා එ් වෙනුවෙන් සූදානම් වූ අයුරු අත්දැකීමෙන් අප පසක් කොට ඇත. පොල් වේලා සිඳවා ගත් නැවුම් තෙල් ගමේ හැම නිවෙසකින් ම පාහේ ලැබුණි. ‘ගෙන් ගෙට කියවා තෙල් සිඳ ගත්තු’ යන පද්‍ය පාදය අපට සිහිපත් කරන්නේ ගැමි බෞද්ධ ජනකායගේ එ් අතීත සම්ප‍්‍රදාය යි.
එක ම අරමුණක් පෙරදැරි කොටගෙන විවිධ ප‍්‍රදේශවලින් පැමිණ සමනොළ කන්ද නඟින බැතිමත් ජනකායගේ සාමූහිකත්වය මානව බන්ධූත්වය වඩන්නකි. හැම නඩයක ම ජනයාගේ මුවින් පිට වන්නේ සාධු නාදය හා මුසු වූ වන්දනා කවි ය. වෙහෙස මහන්සි වී ක`දු තරණය කරන සැදැහැවතුන් තුළ ධෛර්යය වැඞීමට මෙම කවි උපකාරී වෙයි.
නඬේ මෙ යන දෙන අහපල්ලා
නඬේ ටිකින් ටික පසු නො බසිල්ලා
තරහ තිබුණ මුත් දුරු කර ගල්ලා
ගුරුන් කියන ඔවදන් අහපල්ලා
වන්දනා නඩයක ප‍්‍රධානතම උපදේශකයා වන්නේ ‘නඩේ ගුරා’ යනුවෙන් හ`දුන්වනු ලබන තැන්පත් වැඩිහිටියා ය. ඔහු කිහිප වරක් සිරිපා කරුණාකර අත්දැකීම් ලැබුවෙකි. ‘පුරාණ හිමගත වරුණේ’ එන ඉහත ස`දහන් පද්‍යයෙන් ප‍්‍රකාශ වන්නේ නඩේ ගුරුන්නාන්සේ විසින් තම කණ්ඩායම හසුරුවන ලබන ආකාරය යි.
සමනළ කන්දේ දුෂ්කර ම ගිරි දුර්ගය වන්නේ මහගිරිදඹය නමින් හඳුන්වන ලබන තද බෑවුම් සහිත ස්ථානය යි. සෘජු ව ඇති නැග්ම සහ තද සුළඟ එම ස්ථානය තරණයට තිබෙන මහත් ම බාධාවයි. වන්දනා නඩයේ දිරිය වැඞීම හා සමන් සුරිඳුන්ගේ පිහිට පැතීම මෙහි දී නඬේගුරුන් ඇතුළු වැඩිහිටියන් විසින් සිදු කරනු ලබයි. පහත දැක්වෙන නිදසුන් පද්‍ය එම අවස්ථාව සජීවි රූපයකට නැගීමක් වැන්න:
එතැනින් මහගිරිදඹය නඟින්නේ
දම්වැල් අල්ලා ඉහළ නඟින්නේ
හුලන් කපොල්ලෙන් ගැලවී යන්නේ
සමන් දෙවිඳු හැමට පිහිටන්නේ
වට පිට නො බලා පාර බලන්නේ
අඩියෙන් අඩියට සාදු කියන්නේ
ගෙත්තම්පාන සිට මහගිරිදඹය දක්වා ඇති සියලූ ස්ථාන පසුකොට ගොස් අවසානයේ දී ශී‍්‍ර පාද පද්මය වෙත ළඟාවීම මාර යුද්දෙන් ජය ගැනීම වැනි යැයි කවියා පවස්නේ ජනතාව මුවෙන් නැෙඟන ජයග‍්‍රාහී රාවයක් පරිද්දෙනි. බුදුරජාණන් වහන්සේ ද සමනළ ක`දු මුදුනට වැඩම කළේ වසවත් මරුන් පරාජය කරමිනි. දහම් දිවයිනක් බිහිවීම වූ කලි එහි වැසි ජනකාය මාර පාර්ශවයෙන් ගැලවීමකි. මේ සත්‍යය පසක් කරගත් ජන කවියා තිරසර ලෙස තෙරුවන ලක්දිව පිහිටා ඇති බව මෙනෙහි කරමින් සිරිපා වන්දනා කරන ලෙස සියල්ලන්ට ම ඇරයුම් කරන්නේ වෙන ම විරිතකින් බැඳි පද්‍ය විසි දෙකකිනි.
බුද්ධ රත්නය දෑග සව්වන්
අනඳ මහ තෙරිඳුන් බලේ
ධම්ම රත්නය මුනි`දු වදහළ
සතුන් ගොඩලන මොක්පලේ
සංඝ රත්නය උපාසකවරු
දන් දි දී ලොව වැඩ කළේ
මෙතුන් රත්නය තබා සිරසේ
වඳින් සිරිපා සමනළේ
මෙම වැනුමේ හැම පද්‍යයක් ම අවසන් කරන්නේ ‘වඳින් සිරිපා සමනළේ’ යනුවෙනි. කවියාගේ සිත තුළ ජනිත ශ‍්‍රද්ධා මහිමය අපූර්ව උපමා, රූපක රැුගත් යෙදුම් වහරන්නට ඔහුට අනුබල දී ඇති බවට මේ වැනුම දෙස් දෙයි. ‘රුවන් කෙන්දක ඇමුණුවා සේ, අහස් ගර්ජන ලෙසට පූජා, ළහිරු මඬලක් ලෙසින් ගිරිහිස දරා, ගලූත් ක`දු හෙල් බෙර ඇසක් සේ, දෙරණ කරවා සමතලේ’ වැනි යෙදුම් ඊට නිදසුන් ය.
සිරිපා වන්දනා කිරීමේ පින් මහිමයෙන් යහපත් කුලයක ඉපිද දුකක් කරදරයක් රෝග පීඩාවක් නො මැති ව වාසය කොට නිවන් දකින්නට වාසනාව උදා වේවා! යි කවියා ප‍්‍රාර්ථනා කරමින් මේ ලිපිය ආරම්භයේ දී දැක්වූ අදිටන ඉදිරිපත් කරයි.
‘රන් පන්හි`ද ගෙන සුරතින් බුදු ගුණ රන් පොත ලියන්ඩ’
ශී‍්‍ර පාද වන්දනා කිරීම අරභයා ජන කාව්‍යාවලීන් රාශියක් පසු කාලයේ දී ලියැවුණේ පුරාණ හිමගත වර්ණනා කාව්‍යය බිහි විමෙන් අනතුරු ව ය. එ් අතර ‘හිමගත වර්ණනාව හෙවත් සිරිපා වැඳීම, සමන්ත කූට වරුණ, පුරාණ සමනළ වන්දනා කාව්‍යය’ ආදි කාව්‍ය සංග‍්‍රහ ගැන ශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි. අඟුල් පැදගෙන ගොස් ශ‍්‍රී පාදස්ථානයේ වැඳ පුදාගත් පිරිස් ද අතීතයේ වූහ. ඔවුන් විසින් ගායනා කරන ලද එක් ජන කවියකින් මේ නිබන්ධය අවසන් කළ යුතු යැයි හඟිමි.
මං පැද අඟුල බැස යමි ගෙත්තම් පාන
පින් මඳ අයට සීමා පවුරකි එතැන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරි පතුල තැබුවා සමනොළ මුදුන
නමෝ බුද්ධාය!
මහාමේඝ 2012 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති
Recent Comments