කොළඹින් උදෑසන ගමන් ඇරඹූ අප දඹුල්ල හබරණ හිඟුරක්ගොඩ පසු කොට පොළොන්නරුවට පැමිණෙන විට උදෑසන 10 පසු වී තිබුණි. පොළොන්නරුවේ ගල් විහාරය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කිරීම ආපසු එන දිනයට යොදා ගනිමින් අපි ඉක්මනින් සුංගාවිල පසු කොට ඉදිරියට ඇදුනේ අද දින අපගේ ගමනාන්තය වෙනත් ඉසව්වක් වූ නිසාවෙනි. සුංගාවිලෙන් එහාට ඇති සෝමාවතිය රක්ෂිතය නිදැල්ලේ හැසිරෙන වන සතුන්ගේ පරාදීසයකි. විශේෂයෙන් මේ මහ වනය පුරා අණසක පතුරා සිටින දැවැන්තයන් නම් වන හස්තීන් වෙති. වාහනය මඳක් නවතා ඈතින් පෙනෙන වන ගොමු අතරේ උන් නිදැල්ලේ හැසිරෙන අපූරුව අපි බලා සිටියෙමු.

අඩිපාරක්වත් සොයාගැනීමට අපහසු වනගැබ තුළ ඉදිරියට ඇවිද යාම ඉතා අපහසු ය. දිවා කල මුළුල්ලේ මහ වනයේ අතුපතුර පීරමින් ගමන් කළ පිරිස දැන් හොඳට ම විඩාවට පත් වී ඇත. අලි කොටි වග වලසුන්ගේ කෙළි බිමක් වන් මේ මහ වනය තුළ සැතැපුම් ගණනක් පා ගමනින් ම පැමිණි බැවින් ඇඳිරි වැටීමට පෙර ආපසු යාම ද කළ නො හැකි දෙයකි. දිවා කාලයේ පවා මඟ සොයා ගැනීමට අසීරු මේ වන රජ දහන තුළ දැන් රජයන්නේ ඝන අඳුරයි…. ඈතින් ඇසෙන කුඤ්චනාද හා නෙක වන සතුන්ගේ ගෙරවුම් හඬ පිරිසගේ ලොමුඩැහැ ගැන්වීමට සමත් වී ඇතත් ස්වාමීන් වහන්සේ අඳුර මැදින් ගමන් කරන්නේ සියුම්ව ඇසෙන වෙනත් හඬකට කන් යොමාගෙන ය. ඈතින් ඇසෙන්නේ හේවිසි නාදයක් බව යාන්තමට හඳුනාගත් පිරිසගේ නෙත් කෙවෙනි තුළ බලාපොරොත්තුවේ එළි දැල් වී තිබේ. හේවිසි නාදය ළං ළං වෙත් ම අඳුරු වන පෙත මැදින් සෞම්‍ය ආලෝකයක් මතු වී පෙනේ. ස්වාමීන් වහන්සේ වහ වහා එ් දෙසට වඩින්නේ පිරිසට ද ඉක්මනින් පා ඔසවන්නට දිරිය දෙමිනි.

අරුමයකි. ඝන අඳුර බිඳගෙන වන ගැබ මැදට සරා සඳක් පෑයුවා වැනි ය… වන මැද ඇති කඳුගැටයකින් අහසට විහිදෙන්නේ ෂඞ් වර්ණ රශ්මි දහරාවෝ ය. හේවිසි නාද සමඟින් පසතුරු නද ඇසෙන්නේ එ් කඳුගැටය මැදිනි…. පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගිය පිරිස එ් කඳුගැටය ළඟ දණ බිම ඔබා වැඳ වැටෙද්දී ස්වාමීන් වහන්සේ සතුටු කඳුළු වැගිරෙන දෙනෙතින් යුතුව සෙත් පිරිත් සජ්ඣායනය කරති.

එ් 1947 වසරයි. සෝම නුවර මහ වනය මැද බුදුරැස් විහිදෙන මේ කඳුගැටය ගැන ලැබුණ ආරංචිය ඔස්සේ මහ වනය පීරාගෙන බුදුරදුන්ගේ දකුණු දළදා වහන්සේ වොරැුඳුන සෝමාවතිය මහ සෑය එදා එසේ සොයාගෙන වැඩියේ පූජ්‍ය සිරිමල්වත්තේ පියරතන හිමියන් ප‍්‍රමුඛ පිරිසකි.

එදා එසේ නිශ්චිත වශයෙන් ම මේ සෝමාවතී දාගැබෙහි නටබුන් යැයි සොයා ගැනීමත් සමග ම උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් වහ වහා සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණි. මහ සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමවා කොත් පලන්දන දිනය උදාවිය. පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ කොත් පැලඳවීම සිදු වූවා පමණි. සියලූ දෙනාගේ සිත් සතන් බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් පුරවාලමින් මහ සෑයෙන් බුදුරැස් විහිදෙන්නට විය. මෙම අසිරිමත් පෙළහර අඩ හෝරාවකට අධික කාලයක් පැවතුණ බවට එදා පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැතියන් අදටත් සතුටු කඳුළු වගුරුවමින් සාක්ෂි දරති.

1983න් පසු රටට උදාවූයේ අභාග්‍ය සම්පන්න යුගයකි. ත‍්‍රස්තවාදී කලබල ආරම්භ වීමත් සමග සෝමාවතිය පුද බිම අලි ඇතුන්ගේ රාජධානිය තුළ යළි හුදෙකලා විය. සෝමාවතිය මහ සෑය වෙනුවෙන් ම තම දිවිය කැප කළ පූජ්‍ය සිරිමල්වත්තේ සිරි පියරතන නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව එහි භාරකාරත්වයට පත් වූයේ පහමුණේ ශ‍්‍රී ගුණානන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේ ද අපමණ සැදැහැ සිතකින් යුතුව සියලූ අසීරුතා විඳ දරා ගනිමින් මහ සෑය රැක ගන්නට ගත් මෙහෙය අනුපමේය ය.

උන්වහන්සේ අපවත් වීමෙන් අනතුරුව උන් වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේට පැවරුණ වගකීම ද භාරදූර එකකි. එ් සම්බුදුරජුන්ගේ දකුණු දළදා වහන්සේ වොරැුඳුන බුදුරැුස් විහිදෙන සෝමාවතිය මහ සෑ රජාණන් වහන්සේගේ වත්මන් සියලූ සංවර්ධන කාර්යයන්ට නායකත්වය ලබා දීමයි…. ත‍්‍රස්ත ග‍්‍රහණයට නතුව තිබූ යුගයේ සිට මේ දක්වා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව උන්වහන්සේ කළ කැප කිරීම අද මෙහි එන ඕනෑම කෙනෙකුට නෙත් පුරා දැක ගත හැකි ය. සෝමාවතිය පින් බිමට පැමිණි අප එ් බුදුරැස් විහිදෙන සෑ රජාණන් වහන්සේ සිත්සේ වැඳ පුදාගතිමු.
රන් දලූ උපද්දවා රන් මල් පුබුදුවා බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දැක්වූ අසිරිමත් සුදු බෝ රජාණන් වහන්සේ ද වන්දනා කළෙමු. අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය හා වැඩ බැලූ අංශාධිපති ඓතිහාසික සෝමාවතී රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නා හිමියන්ගේ දෙපා නමැද අවසර ගත් අපි උන්වහන්සේගේ හඬට සවන් යොමු කළෙමු.

‘‘ලංකාව එක්සේසත් කළ ගැමුණු මහ රජාණන්ගේ පියාණන් වන කාවන්තිස්ස රජතුමාගේ නැගණිය තමයි සෝමා දේවිය. ඇය කැලණියේ සිව රජුගේ බෑණනුවන් වුණු ගිරි අබා කුමරු සමඟ විවාහ වෙලා මහවැලි නදිය අසබඩ මේ සශ‍්‍රීක පෙදෙසේ නුවරක් ගොඩ නැගුවා. එය නම් කළේ දේවියගේ නම වන සෝම නුවර නමින්.

සෝමාවතී දේවිය කියන්නේ තුනුරුවන් කෙරෙහි අපමණ ශ‍්‍රද්ධාවක් තිබුණ උපාසිකාවක්….

මේ යුවළ රහතන් වහන්සේලා හැටනමක් වඩම්මවාගෙන දන් පැන් පූජා කරලා මහ සෑයක් හදන්න අවසර පැතුවා.

මහ රහතන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදයෙන් උන්වහන්සේලා පරපුරෙන් රැුකගෙන පැමිණි දකුණු දළදා වහන්සේ නිදන් කරලා තැනුව මේ මහ සෑයට සෝමාවතිය යන නම ලැබුණෙ එයට මුල් වුණේ මේ සෝමා දේවිය නිසයි.

අතීතයේ සෙල්ලිපිවල මෙය ‘මණිඅගිය’ ලෙසත් හඳුන්වලා තියෙනවා. එ් කියන්නේ අනඟි මැණික කියන අදහසයි. එ් යුගයේ මේ මුළු පුද බිම ම සංඝාවාස, පොහොය ගෙවල්, සක්මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු ආදි සියලූ විහාරාංගයන්ගෙන් පරිපූර්ණව නිර්මාණය කරලා තියෙනවා.”

‘‘ස්වාමීන් වහන්ස, මේ මහ සෑයේ අසිරිමත් සිදුවීම් නම් අනන්තවත් සිදු වෙන බව අප අසා දැක තියෙනවා.”

‘‘ත‍්‍රස්තවාදී සමයෙදි කීප වතාවක් ම මේ සෑයට හානි කරන්න උත්සාහ කළත් කිසි ම කෙනෙකුට එ්කට ඉඩ ලැබුණෙ නැහැ. එයත් අසිරිමත් සිදුවීමක් කියලයි මම සලකන්නෙ. මොකද එ් යුගයේ මේ අවට මිනිස් වාසයක් තිබුණෙ නැහැ. මහ වනය මැද තියෙන මේ සෑය එ් යුගයෙදි අලි ඇතුන් පවා රැකගෙන තියෙනවා.

මේ සෑයෙන් බුදු රැුස් විහිදුන වාර අනන්තයි, අපමණයි… සමහර දාට රාත‍්‍රියට ගර්භය තුළින් හරි අපූරුවට පංචතූර්ය නාදය ඇහෙනවා…

2009 අවුරුද්දෙ අපි හතර වෙනි වතාවටත් දළදා පෙරහැර පවත්වන්න කතිකා කර ගත්තෙ අලි ඇතුන් රහිතව ම යි… එ්කට හේතුව තමයි මේ මහ වනයේ අලි ඇතුන් සිය ගණනක් ඉන්නවා.. ඉතින් හීලෑ අලින්ගේ ඉව දැනිලා එ් අයත් ඇවිත් මොනව හරි කලබැගෑනියක් වෙයි ද කියලයි අපි එහෙම තීරණය කළේ.

පහුවෙනිදා උදේ කිරි ආහාර පූජාව පවත්වන වෙලාවේ සෑ රජාණන් වහන්සේ තුළින් ආයෙමත් බෙර හඬ ඇසෙන්නට පටන් ගත්තා.

මෙන්න බලනකොට සෑය මැදින් අලි ඇතුන් සහිත පෙරහැරක් එනවා…. මේක ඡුායාවක් වගේ පෙනුණ දෙයක් වුණාට ඡුායාරූපවලට පවා හසු වුණා….

රාත‍්‍රී 7.45ට විතර ගිලන් පස පූජාව තියන වෙලාවේ තවත් අපූරු සිදුවීමක් වුණා. එදා පූජාවට සහභාගි වූ පිරිස අතර හිටිය මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් යමක් ඇෙඟ් හැපීමෙන් බියට පත් වුණා. ”තාත්තේ මගේ ඇෙඟ් රත්තරන් මාල වළලූ දැමූ ලස්සන ඇඳුමක් ඇන්දවූ සුදු ඇත් පැටියෙක් හැප්පුනා.” දරුවා එහෙමයි කිව්වේ. දරුවගේ තාත්තාට කිසිවක් නො පෙනුණත් අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායාරූපයක් ගත්තා. පුදුමය කියන්නේ එ් සුදු ඇත්පැටියා අපූරුවට ඡායාරූපයට හසු වී තිබුණා.

මෙවැනි සිදුවීම්වලින් ඉඟි කළේ දළදා වහන්සේ වඩමවන්න ඕනෙ හස්තියෙකු පිට ම යි කියන එක බව අපි තේරුම් ගත්ත. ඉතින් අපි දළදා මාලිගාවේ කරඬුව වැඩමවන ඉන්දිරාජා හස්තිරාජයා ම ගෙන්වලා දළදා පෙරහැර පැවැත්තුවා.. ඔන්න එදා ? 10ට විතර එක් දළයක් තියෙන ඇත් පැටියෙක් වනයෙන් මතුවෙලා සෑය ළඟට ආවා. මං ඉදිරියට යනකොට හොඳ පුරුදු හීලෑ ඇතෙක් වගේ මගේ ළඟට ඇවිත් හොඬවැල උස්සලා මගේ අතින් ම පලතුරුත් රස බලල පැය ගණනක් ඉඳලයි ආපහු ගියේ.

අදත් එ් ඇත් පැටියා සෑය ළඟට ඇවිල්ලා හොඬවැල උස්සලා වන්දනා කරලා යනවා…

2010 අගෝස්තු මාසෙ 22 වෙනිද උදේ හතට විතර තවත් අසිරිමත් සිදුවීමක් වුණා. එදා ෂඞ්වර්ණ රශ්මි දහරා තුළින් දළදා වහන්සේ සහිත කරඬුව සෑයෙ ගර්භය මත දිස්වුණා.”

ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද සමුගත් අපි අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මගපෙන්වීම මත මහමෙව්නාව භාවනා අසපුව වෙතින් මේ පින් බිම වෙත පිදුන, අසිරිමත් බෝ රජාණන් ඉදිරිපිට වැඩ හිඳින ශෛලමය සමාධි පිළිම වහන්සේ වෙත ගොස් දෙනෙත් පියාගෙන බුදු ගුණ සිහි කළෙමු. ‘‘සාධු කියා බුදු රුවන වඳින්ටයි….. නේක දහම් ගුණ මට සිහි වෙන්ටයි…..”

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අසිරිමත් සෝමාවතිය වන්දනා කවි දෙසවන් තුළ නින්නාද දෙන්නට විය.

එදා බුදු රැුස් විහිදෙන සෝමාවතිය වන්දනාව නම් වූ යුගයේ අසිරිමත් පින්කම වෙනුවෙන් මේ වන රජ දහනට රැස් වූ ලක්ෂ නවයකට අධික ජනතාවට කුරා කුහුඹුවෙකුගෙන් හෝ අනතුරක් සිදු නො වුයේ ද මේ සෑ රජුන්ගේ ආනුභාවයෙන් ම යැයි මට සිතේ.

සෝමාවතිය මහ සෑ රදුන් හා සබැඳුන අසිරිමත් සිදුවීම් නම් මෙපමණකැයි කියන්නට නො හැකි ය… පුරා රාත‍්‍රී දෙකක් මා මේ පින් බිම තුළ එළිමහනට වී රැය පහන් කර ඇත. එ් කෙටි කාලය තුළ මා අත් විඳි අසිරිමත් දේ පවා ලියා ඉවර කළ හැකි වේ යැයි මම නො සිතමි.

භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬලෙහි රැඳුන එක් දළදා වහන්සේනමක් වැඩ හිඳින බිමක සිදු වන පෙළහර මෙබඳු නම් උන්වහන්සේගේ සිරි මුව මඬලින් වදහළ එ් උතුම් දහමෙහි හැසිරෙන්නවුන් හට එ් පිය උරුමයෙහි පෙළහර කෙසේ නම් උරුම නො වන්න ද?

මනුලොව උපත ලද අය අතුරින් යළි සුගතියක උපත ලබන්නේ නිය සිළට ගත් පස් බිඳක් වන් පිරිසක් නම්…. එ් පිරිසට අයත් කෙනෙක් වීම මහා පෙළහරකි. සතර අපායෙහි වැටෙන ගමනින් නිදහස් වීම මුළු ලොව අග රජ වනවාටත් වැඩි උතුම් දෙයක් නම්…. අරි අටැඟි මඟට පිවිසීම ද මහා පෙළහරකි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් ගණනක් ගත වී ඇති අදත් වන මැද සිට බුදුරැස් විහිදුවමින් සෝමාවතිය මහ සෑ රජුන් ඔබට දෙන පණිවුඩය කුමක් ද? එ් පෙළහරට උරුම පිරිසට එකතු වීමට ඔබට තවමත් හැකියාව ඇති බවයි…

අප‍්‍රමාදය නම් දොරටුවෙන් ඇතුළු වී එ් පිය උරුමය දෙසට පිය නැගීමට ඔබ සැමට වාසනාව උදා වේවා!!!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ