සම්බුදු සසුන වනාහී අසිරිමත් පුණ්‍ය තීර්ථයක් ම ය. එහි පිවිසෙන්නෝ නිවෙති; සැනසෙති. එ් නිවී සැනසීම පිණිස අන්‍යයන්ට ද මඟ කියති. මේ සසුන් බර දරා සිටින්නෝ නම් එ් උතුම් කල්‍යාණ මිත‍්‍රයෝ ම ය…!

අනන්ත තරුනෙත් ලද කල්‍යාණ මිත‍්‍ර ඇසුරට ම පත් වූ බිනර නවමල් මෙතෙක් අපට කියූ පුවත එ් උත්තම කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේලා කෙලෙස් බර පසෙක තබන්නට යුද බිමට වන් හස්තිරාජයන්ව පුරුදු පුහුණු වන අපූරුව හෙළිදරව් කරන ලදී. එ් යුද සෙබළුන් මේ අසිරිමත් යුද්ධය වෙත යොමු කළෝ කවුරුන් ද? එ් ගුරුවරයාණෝ කවුරුන් ද? කසාවතේ දහතුන්වන දිගහැරුම, යුද බිමේ ජය ලබන සෙබළුන් බැතිබරව සිහිපත් කරන – වන්දනා මාන කරන එ් උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ගැන අපට කියයි…
**********************************************************
හිස් පාත‍්‍රය ද අතැති ව පෙළ ගැසී දාන ශාලාව වෙත වඩිනා මහ ස`ගරුවන දෙස කොපමණ බලා සිටියත් මදි ය. කසාවන් චීවරය ඇඟලා ගත්, අඳුරු පැහැති පාත‍්‍රය දරාගත්, හිස මුඩු කර ගත් මේ උතුම් මිනිස් රූපය සසරේ කලාතුරකින් දැකගත හැකි දර්ශනයකි. එය සිත් සේ දැක ගැනීමටත්, උන් වහන්සේලාගේ ඇසුර ලැබීමටත් මා ලද වාසනාවේ හේතු ධර්මය කුමන පිනක් දැයි සිතා ගත නො හැකි ය. දෙනෙත් පුරා දිස් වූ භික්ෂු පෙළහර තුළ තවමත් කෙලෙස් සහිත අය බොහෝ සිටින්නට ඉඩ ඇතත්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගළපා ගැනීමට වෙහෙස මහන්සි වන පිරිසක් ද එ් අතර සිටින බව මම හොඳාකාරව ම දනිමි. එවන් පිරිසක් අතරේ අද හෝ හෙට මග ඵල ලාභියෙකු ද වැඩම නො කරාවි යැයි කිසිවෙකුට පැවසිය නො හැකි ය. ඊට හේතුව, උන් වහන්සේලා පුරුදු කරන ධර්මය වනාහී සන්දිට්ඨික වූත්, අකාලික වූත්, ස්වාක්ඛාත වූත් ධර්මයක් නිසා ය.

‘‘භාග්‍යවතුන් වහන්සේ නො සිටින්නට, මේ දර්ශනයට මේ වටිනාකම නෑ බිනර…!” මා අසල සිටි ප‍්‍රිය මිත‍්‍ර අනන්ත තරුනෙත් සිය ගණනකට ආසන්න සඟ පිරිස දෙස බලාගෙන ම එසේ පැවසුවේ ය.

‘‘එ්ක ඇත්ත අනන්ත…” මම පිළිවදන් දුනිමි.

‘‘භාග්‍යවතුන් වහන්සේ නැත්නම්, හිස් පාත‍්‍රයක් රැුගෙන උදේ පාන්දරින් ම ඇවිදන් යන භික්ෂුව සමාජය අබියස හිඟන්නෙක් පමණයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, භික්ෂුව ගැනත්, දානය ගැනත්, දානානිසංස ගැනත් දේශනා කරල ධම්මානුධම්මපටිපදාවේ හැසිරෙන භික්ෂුවකට ආහාර වේල සපයා ගැනීම පහසු දෙයක් බවට පත් කළා..”

‘‘එ් කියන්නේ, අද පවා සඟ පිරිසට සිව්පසය ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නිසා…! සාදු සාදු අනන්ත අපේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව කොයිතරම් ද කියන්නේ උන් වහන්සේ තුන් කාලයට ම ගැළපෙන විදියට මේ ධර්මය දේශනා කරලනේ…” මහත් වූ ප‍්‍රීතියකින් මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළෙමි. උන් වහන්සේ ව අද ජීවමානව දැකගත නො හැකි වුව ද මා නෙත ඇදී ගියේ තුරු හිස්වලට ඉහළින් පෙනෙන ධාතු මන්දිරයේ කොත් වහන්සේ දෙසට යි. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටියා සේ අසපු භූමියේ ද බුදු හිමි වැඩ සිටින්නාක් වැනි සජීව හැඟීමකින් සිතත්, ගතත් වෙළී ගියේ ය.

‘‘බිනර අපි යමු ගිලන්පස ශාලාවට. ගිලන්පස ටිකක් වළඳන්නත් එක්ක…” පින්වත් ස්වාමීන් වහන්සේලා දාන ශාලාවට වැඩම කොට අවසන් වූ පසු මාගේ උරයෙන් අල්ලා පැවසූ අනන්ත ගිලන්පස ශාලාව දෙසට පිය මැන්නේ ය.

ගිලන්පස ශාලාව, සංඝාවාසය, අමුත්තන් හමුවන්නා වූ ආලින්දය, භික්ෂු කාර්යාලය සහ වැසිකිළි කිහිපයකින් යුතු එම ගොඩනැගිල්ල තුළට නො පිවිසි අයෙක් නම්, එ්කාන්තයෙන් මෙහි පැමිණ නැතැයි කිව හැකි ය. එ් තරම්, කාර්යයන් රැුසක් සිදු වන්නා වූ එම ශාලාව විටෙක සිව්දිශාවෙන් පැමිණෙන අමුත්තන්ගේ ගිමන් නිවන සිසිල් සෙවණකි. තවත් විටෙක, ජීවිතයේ දැවෙන ප‍්‍රශ්නයක් සදහට ම විසඳාලන දම්සභා මණ්ඩපයකි. තවත් විටක කුටි සෙනසුන් තුළ වාසය කරන භික්ෂූන්ගේ පවස නිවාලන දන්සැලකි. තවත් විටෙක සමස්ත අසපු ක‍්‍රියාකාරීත්වය ම පාලනය කරන පාලන මධ්‍යස්ථානයකි. එවන් වූ කටයුතු රාශියක් සිදු වන ආවාස ගොඩනැඟිල්ල හරහා අනන්ත සමගින් මම ගිලන්පස ශාලාව දෙසට ඇවිද ගියෙමි.

පිණ්ඩපාතය ගොස් දානය වැළඳීමට සූදානම් වන ස්වාමීන් වහන්සේලා කිහිපනමක් ද ගිලන් වූ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් ද තවමත් ආවාසය තුළ ය. තවත් එකනමක්, දෙනමක් පිණ්ඩපාතයේ යෑමට සිව්රු පොරවමින් සිටියි. එ් අතර එක් ස්වාමීන් වහන්සේනමක්, භික්ෂු කාර්යාලයේ දීර්ඝ දුරකථන සංවාදයක යෙදී සිටින බවක් පෙනෙන්නට තිබිණ. එහි යම් කලබලකාරී බවක් පෙනුනත් මම එය ගණනකට නො ගෙන ගිලන්පස ශාලාව වෙත පිය මැන්නෙමි.

නිවසේ දී කිසි දිනක, උදේ පාන්දරින් ම කොළ කැඳක් බීමට රුචියක් නො දැක්වූ මම, අද කැමැත්තෙන් ම කැඳ කෝප්පයක් පුරවා ගත්තෙමි. අනන්ත ද සමගින් පසෙක වූ ලී බංකුවක් මත තැන්පත් වූ මම උගුරෙන් උගුර කැඳ පානය වැළඳීම ඇරඹුවෙමි.

ගත වූයේ සුළු මොහොතකි. අප සිටි තැනට මඳක් ඔබ්බෙන් වූ ආසනයක් වෙත, පින්වත් ස්වාමීන් වහන්සේලාට ධර්ම විනය උගන්වන වෘද්ධ ස්වාමීන් වහන්සේනමක් වැඩම කළහ. උන් වහන්සේ හීල දානය නො වළඳන බවක් පෙනෙන්නට තිබුණු අතර, ආසනයේ වැඩ සිටිමින් සන්සුන් ව අප දෙස බලා සිටියහ. අනන්ත ද මා ද කැඳ කෝප්පය ද සමගින් අසුනෙන් නැ`ගී සිටීමට උත්සාහ දැරූ නමුත්, උන් වහන්සේ තම සුරත ඔසවා අප හට ඉඳගෙන කැඳ වැළඳීමට යැයි සංඥා කළෙන් නැවතත් අපි හිඳගතිමු. එ් අතරේ ගිලන්පස ශාලාව තුළට ඇතුල්වූයේ දුරකථනය අසල සිටි තරුණ ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේගේ අතේ දුරකථන අංක ලියූ පොතකි. හදිසි කරුණකට යමක් සොයාගත නො හැකි වූ අයෙකුගේ මෙන් කලබලකාරී බවක් උන් වහන්සේගේ දෙනෙත්වල පෙනෙන්නට තිබුණි.

‘‘ආයුෂ්මතුන්… මෙහෙ එන්න…!” එ් වෘද්ධ ස්වාමීන් වහන්සේ ය.

‘‘ස්වාමීන් වහන්ස…” දුරකථනය අසල සිටි ස්වාමීන් වහන්සේ ඉතා යටහත් ව උන් වහන්සේ අසලට ගොස් වන්දනා කළේ ය.

‘‘කාට ද මේ තරම් කලබලෙන් කතා කළේ. මම ධාතු මන්දිරයට යනකොටත් ආයුෂ්මතුන් ටැලිපෝන් එක ළඟ…”

‘‘වාහනයක් හෙව්වා ස්වාමීන් වහන්ස…”

‘‘වාහනයක්…!”

‘‘එහෙමයි. අද දවල් දානය වෙද්දි පොළොන්නරුවට දොළොස්නමක් වඩිනවා. ඊයේ ඉඳන් වාහනයක් හෙව්වා. හරි හමන් වාහනයක් ලැබුණෙ නෑ ස්වාමීන් වහන්ස. පොළොන්නරුවෙ පිරිස, මුදලූත් වෙන් කරල තියෙනවා. අපිට හොඳ වාහනයක වඩින්න කිව්වා…”

‘‘හ්ම්….” හිස සැලූ උන් වහන්සේ, තරුණ භික්ෂූන් වහන්සේ දෙස දයානුකම්පී ව නෙත් යොමා නැවතත් හඬ අවදි කළහ.

‘‘එ් කියන්නේ, ඊයේ ඉඳන් මේ වෙනකම් කිසි ම වාහනයක් හොයාගන්න බැරි වුණා…!”

‘‘අනේ නෑ ස්වාමීන් වහන්ස. වාහන නම් තියෙනවා… එ්ත් හරි හමන් වාහනයක් නෑ…”

‘‘ඈ ආයුෂ්මතුන්. මම නම් අහල නෑ හරි හමන් කියල වාහන ජාතියක් ගැන. මොකක් ද ආයුෂ්මතුන් හොයපු වාහනේ…”

‘‘සමාවෙන්න ස්වාමීන් වහන්ස. ගමනත් දුරයි නේ. අනික පොළොන්නරුව පැත්තෙ ටිකක් දූවිලි. ඉතින් හරියට එ්.සී. වැඩකරන වාහනයක් වෙන්න එපැයි. මිනිස්සු සල්ලිත් දෙන නිසා, මම එ්.සී. වාහනයක් බැලූවේ. එහෙම එකක් හොයාගන්න නෑ ස්වාමීන් වහන්ස. යන්තම් එ්.සී. තියෙන වාහනයක් රණතුංග මාමා හොයල දුන්නා. එ්ත් එ්කේ යන්න පුළුවන් හයනමකට විතරයි. වාහන නම් තියෙනවා… එ්ත් එ්.සී. නෑ ස්වාමීන් වහන්ස…” තරුණ ස්වාමීන් වහන්සේගේ ප‍්‍රකාශයෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ මුහුණ සිනහවකින් සැරසී ගියේ ය.

‘‘එ්.සී. නැති වාහන කීයක් විතර තිබුණ ද ආයුෂ්මතුන්..?”

‘‘හත අටක් ම තිබුණ ස්වාමීන් වහන්ස. එ්ත් ටිකක් පරණ වාහන….”

‘‘ආයුෂ්මතුන්… මට කොළ කෑල්ලක් දෙන්න…” බොහෝ සතුටට පත් වූ තරුණ ස්වාමීන් වහන්සේ විසින් කාර්යාලයෙන් හාෆ් ෂීට් කොළයක් සහ පෑනක් ගෙනැවිත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූයේ ය. වැඩිහිටි ස්වාමීන් වහන්සේ දන්නා වාහනයක් පිළිබඳ තොරතුරක් තමාට පැවසීමට යතියි අපේක්ෂාවෙන් උන් වහන්සේ යළි බිමින් හිඳගත්හ. අපේක්ෂිත වේලාවටත් වඩා වැඩි වේලාවක් කොළයේ යමක් සටහන් කළ වෘද්ධ ස්වාමීන් වහන්සේ, එය තරුණ ස්වාමීන් වහන්සේගේ අතට දුන්හ.

‘‘හොඳයි. දැන් ආයුෂ්මතුන් මේක කියවලා… මේ ප‍්‍රකාශය තියෙන සූත‍්‍ර දේශනාවේ නම කියන්න. මම ආයුෂ්මතුන්ට ඕන දේ හොයල දෙන්න භාර ගන්නවා. මට ඇහෙන්න කියවන්න දැන්…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘එ්වං මේ සුතං, එ්කං සමයං ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච මහා මොග්ගල්ලානෝ දක්ඛිණාගිරිස්මිං චාරිකං චරන්ති වායුසමීකරණේහි යානේහි මහතා භික්ඛු සංඝේන සද්ධිං…” තරුණ ස්වාමීන් වහන්සේ විසින් එය කියවා වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ මුහුණ දෙස බැලී ය.

‘‘ඇයි ආයුෂ්මතුන්…?”

‘‘නෑ… ස්වාමීන් වහන්ස… මේ…” උන් වහන්සේ ගොත ගසමින් යමක් පැවසීමට සූදානම් විය.

‘‘තේරුම මොකක්ද ඔය පාඨයේ…?”

‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ද වායු සමීකරණය කරන ලද යානාවන්වලින් මහත් වූ භික්ෂු පිරිසක් සමගින් දක්ඛිණාගිරි ප‍්‍රදේශයේ චාරිකාවේ යෙදී සිටියෝ ය…”

‘‘ඉතින් ආයුෂ්මතුන්… කොයි සූත‍්‍රයේ ද මෙහෙම තියෙන්නේ…?”

‘‘මෙහෙම එකක් නෑ ස්වාමීන් වහන්ස… තියෙන්න විදියකුත් නෑ…”

‘‘ආයුෂ්මතුන් මේ අහන්න…! එ්.සී. වාහනයක ගියාට කිසි ම වරදක් නෑ. විනයට පටහැනිත් නෑ. සමාධිය පිරිහෙන්නෙත් නෑ. එ් වුණත් කැප දේ පවා පරිහරණය කරන ආකාරය ගැන භික්ෂුව දැනගෙන ඉන්න ඕන නේ ද?”

‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘ආයුෂ්මතුන් බලන්න. දානය වැළඳීම තහනම් දෙයක් නෙවෙයි. මධ්‍යාහ්නයට පෙර දානය වැළඳීම බුදුරජාණන් වහන්සේ ප‍්‍රතික්ෂේප කරල නෑ. නමුත් දානය වැළඳීම තුළ අල්පේච්ඡු සහ සන්තුට්ඨි ආදි ගුණයන් රැුක ගැනීම පිණිස තමයි ‘ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව’ දේශනා කරල තියෙන්නේ. ඉතින් එ් වගේ තමයි. එයාර් කන්ඩිෂන් කරපු වාහනයක් භික්ෂුවකට අකැප නෑ. වරදක් නෑ ගමනකට භාවිත කළාට. නමුත්, අපි එහි සීමාව දැනගෙන ඉන්න ඕන…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘ආයුෂ්මතුන්ට තිබුණා වාහන දෙකක් තුනක් බැලූව ම එ්.සී. කරපු වාහන හොයාගන්න අමාරුයි නම්, තුන්වෙනි වාහනේ සාමාන්‍ය වාහනයක් තෝරගන්න. ඊට පස්සෙ අපහසුව විඳ දරාගැනීම පිණිස භික්ෂු පිරිසට අල්පේච්ඡුතාවය ගැනත්, සන්තුට්ඨිතාවය ගැනත් ධර්ම කරුණු සිහිපත් කරල දෙන්න පුළුවන්. එ්.සී. වාහනයට ලැබුණු මුදලින් ඉතිරි වෙන මුදල් ටිකෙන් මග තොටේදි මුණගැහෙන දුප්පත් දරුවෙකුට, දුප්පත් අම්මෙකුට පුංචි තෑග්ගක් හරි, කෑම වේලක් හරි අරන් දෙන්න තිබුණා…”

‘‘අනේ එහෙමයි. ස්වාමීන් වහන්සේ කියනකම් මට මේ දේ වැටහුණේ නෑ…”

‘‘ආයුෂ්මතුන් මේ කාරණාව මතක තියාගන්න. ආයුෂ්මතුනුත්, අපිත් අද යම් සුවපහසුවක් විඳිනව නම්, අපි සුවසේ ප‍්‍රත්‍ය පහසුකම් ලබන දිනයක් අපිට ලැබෙන්නේ අපේ ගුරුදේවයන් වහන්සේ මාස ගාණක් ගිනි අවුවේ පිච්චෙමින් පයින් වැඩම කරලා, ලංකාවෙත් ඉන්දියාවෙත් දණිස් වේළෙනකම් ඇවිදගෙන ගිහිල්ලා ලබා ගත් අත්දැකීම්වලින් මේ පුණ්‍යභූමිය බිහි කළ නිසයි. අපිට ලැබෙන සිසිලසක් තුළ උන් වහන්සේගේ සිරුරෙන් ඇද වැටුණු ඩා බිඳු දහස් ගාණක් තියෙන්න පුළුවන් ආයුෂ්මතුන්. අද උන් වහන්සේ නිහඬ ව එ් සියල්ල සඟ පිරිසට ලබා දී උපේක්ෂාවෙන් යුතු ව කල් ගෙවනවා. ආයුෂ්මතුන්ලාගේ, අපේ තරුණ කාලේ වගේ උන් වහන්සේගේ තරුණ කාලේ මේ තරම් ප‍්‍රත්‍ය පහසුකම් තිබුණෙ නෑ. ඉතින් අපේ ගුරු දේවයන් වහන්සේ ගැන හිතුවත් ඇති, ආයුෂ්මතුන්ට සන්තුට්ඨිතාවය ඇති කරගෙන ලද වාහනයෙන් සතුටු වෙන්න…!
නේ ද ආයුෂ්මතුන්?”

‘‘සාදු සාදු ස්වාමීන් වහන්ස. මගේ ජීවිතේට ම මේ පාඩම අමතක වෙන්නෙ නෑ. මම ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා…. අවසරයි….!” දොහාත් මුදුන් දී ගාථාව සජ්ඣායනා කරමින් තරුණ ස්වාමීන් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. මේ සියල්ල නිසොල්මනේ බලා සිටි මාගේ අතේ වූ කැඳ කෝප්පය මිදී ගොස් ය. මා කරකවා අතහැරියාක් මෙන් මුළු මහත් සියලඟ ම සලිත වී ගියේ ය.

මේ සිදුවීම සියැසින් දැකගත යුතු ව තිබුණේ, දිසානායක නැන්දා ය. ඇය තමන්ගේ දානයට වාහනයක් නොමැති ව සෑම තැනක ම ඇවිද ගොස් විමලරත්න මාමාගේ වාහනය ලැබෙන බව දැනගත් විට සතුටු වූ සැටිත්, එය පැදවීමට මා ඉදිරිපත් වූ විට සැනසුම් සුසුම් හෙළුෑ සැටිත් මට මැවි මැවී පෙනේ. විමලරත්න මාමාගේ වාහනය එ්තරම් සුවපහසු නො වූවත්, දිසානායක නැන්දාට අවශ්‍ය වූයේ කෙසේ හෝ දානයට අවශ්‍ය කලමනාදිය වෙලාවටත් කලින් අසපු භූමියට රැගෙනවිත් පමා නො වී දානය සකසා පූජා කිරීම පමණි. ඔවුන්ගේ ශරීර ප‍්‍රවාහනය කිරීම ගැන අංශුමාත‍්‍ර සැලැස්මක් ඇයට නො තිබිණ.

සැබැවින් ම, මේ ආකාරයෙන් මනා කොට හික්මීමකට ලක්කරන, නවක හිමිවරුන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දී නිසි මඟට ගන්නා සංඝ පීතෘන් වහන්සේලාගේ සෙවණේ හැදී වැඩෙන සඟ පිරිසකට උපස්ථාන කරන්නට ලැබීම දිසානායක නැන්දා වැනි සැදැහැතියන් ලද වාසනාවකි. එවන් වූ පිරිසකට එක් වීමට හැකියාව ලත් අනන්ත ද ලැබුවේ එවන් ම වූ වාසනාවකි. අනන්ත නම් වූ මා ප‍්‍රිය මිතුරා ඇසුරු කරමින් මිහිපිට දෙව්ලොවක් වැනි බුදු සසුනේ පහස ලබන්නට අවස්ථාව ලැබීම මාගේ ද වාසනාවකි.
”බිනරගේ ඇඟ මෙතන තිබුණට, මට නම් හිතෙන්නේ අතන ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන ඉන්නවා වගේ…?”

මා අසලින් ම කැඳ වළඳමින් සිටි අනන්ත සිනහමුසු මුහුණෙන් පැවසී ය. එය සැබෑවකි. මා සිටියේ එ් අසල ය. සෑම විට ම භික්ෂුන් වහන්සේලාගේ වදන් අතර මම සැරිසරමි. එය මා හට මහත් වූ අස්වැසිල්ලකි. උන් වහන්සේලාගේ වදන් අතරේ දසකථාව රැුව් පිළිරැුව් දෙන තාක් කල් එය මා හට මහත් වූ ශාන්තියකි. සැනසීමකි.

‘‘බිනර. අඥාන ගිහියෝ ඉතා ම ඉක්මනින් ස්වාමීන් වහන්සේලා ගැන අපහදිනවා. පුංචි වරදක් දැක්කත්. නමුත් එ් වගේ පුංචි වැරදි රාශියක් සකසා ගෙන ඉතා ම සුන්දර පැවිද්දෙක් බවට පත් වෙන්න පුළුවන් නිවැරදි ගුරු ඇසුරක් ලැබෙනව නම්. ශාසනයට තරුණයෙක් එන්නේ වැරදි සියල්ල සකසගෙන කියලයි ගිහි අය බොහොමයක් දෙනා හිතන්නේ. නමුත් සිදුවන්නේ වෙනත් දෙයක්. ශාසනයට ඇවිල්ල තමයි තරුණ පිරිස වැරදි සකසගන්නේ. ඉතින් පමා වී හෝ පීදෙන අස්වැන්න දෙස ඉවසීමෙන් බලා සිටින්නට සිදු වෙනවා…”

අනන්ත නිවැරදි ය. සම්පුර්ණයෙන් ම නිවැරදි ය. මේ සිදුවීම අවසන් වත් ම මා හට සිහිපත් වූයේ මීට සුළු මොහොතකට පෙර අප දෙදෙනා කතාබස් කරමින් සිටි ස්වාමීන් වහන්සේ ය. අසපු භූමියේ ඈත කෙළවරේ කුටියක භාවනානුයෝගීව වැඩ සිටි, අද හිමිදිරියේ මා හට සුළු මොහොතක් නමුත් දහම් පිළිසඳරේ යෙදීමට හැකි වූ උන් වහන්සේ ද මෙසේ ම කාලයක් නවක භික්ෂුවක් වශයෙන් පුහුණු වන්නට ඇත. වෘද්ධ භික්ෂූන්ගේ සෙවණේ පුහුණු වී ගුණධර්ම වගා කරගෙන අද හුදෙකලා දිවියක් ගත කරන උන් වහන්සේ තවමත් තමන් වහන්සේ පුහුණුව ලද ගුරු භූමියට ගරු සත්කාර කරයි. උන් වහන්සේ ළඟින් මා රඳවා ගැනීමට හැකියාව තිබුණත් එසේ නො කළ උන් වහන්සේ මා ගුරු භූමිය වෙතට යොමු කළේ, මේ අයුරින් ම හික්මී නිවැරදි ලෙස සැකසිය යුතු ව තිබෙන නිසා බව දැන් මා හට සක්සුදක් සේ පැහැදිලි ය.

උන් වහන්සේ විසින් මා වෙත ලබා දුන් පාර්සලය දෙස මොහොතක් නෙත් යොමු කරමින් නැවත වරක් එ් සංවාදය සිහිපත් කළෙමි. සැබැවින් ම කතිකාවත අවසන් වී තිබුණත් මා හට එය මදි ය. නමුත් උන් වහන්සේ මොහොතක් රඳවාගෙන තවත් වදනක් දෙකක් කතා කිරීමටත්, යම් ආයාචනයක් කිරීමටත් මා හට අවශ්‍ය විය. හීල දානයට වේලාව පැමිණි බැවින් උන් වහන්සේ නැඟී සිටියේ එ් අතරේ ය. දැන් මා සිත පැයකට පමණ පෙර වූ සිදුවීමක් පුනරාවර්ජනය කරයි. මා නැවත සිටින්නේ ‘තුඹස කැඞීම’ නම් වූ සටහන් පොත ලියූ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ය.

පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ හිඳි අසුනෙන් නැගී සිටියහ.

‘‘එහෙනම්, හීල දානයට දැන් වෙලාව හරි….”

‘‘සමාවෙන්න පින්වත් ස්වාමීන් වහන්ස, විනාඩියක් අවසර දෙන්න මට. තව එක දෙයක්. මට ලොකු දෙයක අවශ්‍යතාවයක් තියෙනවා. එ් සඳහා ස්වාමීන් වහන්සේගේ අවසරය ඕන…”

ඉතා ඉක්මනින් මා පැවසුවේ උන් වහන්සේ එතැනින් ඉවත් ව යාමට පෙර මා වෙත අවධානය යොමු කරවා ගත යුතු ව තිබූ බැවිනි.

‘‘හොඳයි. මොනව ද ඔබට අවශ්‍ය…?” ඉතා සන්සුන් ස්වරයෙන් යුතු ව විමසූ උන් වහන්සේ මාගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා සිටියේ ය.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස. මම අනන්තත් එක්ක ස්වාමීන් වහන්සේ වැඩ සිටි කුටිය පවිත‍්‍ර කළා ආගන්තුක ස්වාමීන් වහන්සේනමක් වෙනුවෙන්. එදා මට කියවන්න ලැබුණා ‘තුඹස කැඞීම’ නම් වූ සටහන් පොත. ඇත්තට ම එ් පොතේ පිටුවක් දෙකක් තමයි කියවගන්න ලැබුණේ. මට විශාල කුසලච්ඡුන්දයක් ඇති වුණා ස්වාමීන් වහන්ස එ් සටහන් කියෙව්වට පස්සේ. මම පාද නමස්කාර කොට ඉල්ලා සිටිනවා එ් පොත මට කියවන්න අවසර දෙන්න කියලා. මම නිවසට රැගෙන ගිහින් එය කියවා නැවත ස්වාමීන් වහන්සේ ඉන්න තැනකට ඇවිල්ලා භාර දෙන්නම්…” පින්වත් ස්වාමීන් වහන්සේ ඊට විරුද්ධ නො වේවායි සිතින් පතමින්, යදිමින් සහ අධිෂ්ඨාන කරමින් එසේ ඉල්ලා සිටියෙමි. ස්වාමීන් වහන්සේ සුළු මොහොතක් නිසොල්මන් ව කල්පනාවේ නිමග්න විය. ඉන්පසු මා දෙස බලා හඬ අවදි කළේ ය.

‘‘බිනර…! එ්ක පුද්ගලික සටහන් පොතක්නේ. මම එය ලිව්වේ මට ම වීර්යය උපදව ගන්නයි. සමහර දාට මට වීර්යය අඩුවෙනවා. එදා ට මම කරන්නේ මම හොඳින් වීර්යය ගත් දිනවල සටහන් කියවන එකයි. එවිට මට නැවත වීර්යය උපදිනවා. මම එ් පොත කුටියේ තබා ගියේ වස් තුන් මාසයෙන් පසු නැවත පැමිණීමේ අපේක්ෂාවෙන්. නමුත් වස් තුන් මාසයේ මට ලැබුණු අසපුව බොහොම හොඳ තැනක් නිසා ඊයේ රාත‍්‍රියේ මම වැඩම කරල ගුරු දේවයන් වහන්සේගෙන් අවසරය ගත්තා තවත් මාසයක් දෙකක් එහි ම ගත කරන්න. ඉතින්, මා සිටි කුටියේ තිබුණු මට ප‍්‍රයෝජනවත්, මම භාවිත කරපු පොත් පත් ටිකත් මම ගත්තා. බිනර කියන පොතත් මේ වෙනකොට මගේ මල්ලේ තියෙනවා…”
”සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. එසේ නම් ටික දිනකට එය මට ලබා දෙන සේක්වා..”

‘‘බිනර මම ගිය පාරේ යන්න කැමති නම්, මම ලියපු පොතක් අනුගමනය කරන්න කැමති වෙන්න එපා. මමත් අනුගමනය කළ, මටත් පිහිට වූ දෙයක් පසුපස යන්න. මගේ සටහන් පොත කියවලා වීරිය වැඩෙන්න පුළුවන්. නමුත් එය පරිපූර්ණ නිවන් මාර්ගය නෙවෙයි. පරිපූර්ණ නිවන් මාර්ගය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ, මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් සංගායනා කළ උතුම් වූ ශ‍්‍රී මුඛ බුද්ධ දේශනාවේ යි. එ් නිසා බිනර බුද්ධ දේශනා ටික කියවන්න. නො තේරෙන දෙයක් තියනව නම්, අපේ ගුරුදේවයන් වහන්සේගෙන් හෝ සංඝයා වහන්සේලාගෙන් හෝ අසා දැනගන්න. මා පසුපසින් නො පැමිණ නිවැරදි බුද්ධ දේශනාවෙන් සිතියම පැහැදිලි කරගෙන ගමන ආරම්භ කරනවා නම්, එ් ගමන් මඟ යාමට බුද්ධ දේශනාව පැහැදිලි කර ගැනීම පිණිස අවශ්‍ය තැනකදි මමත් උපකාර කරන්නම්.

එ් නිසා බිනර හඹා යා යුත්තේ, බුද්ධ රත්නයත්, ධම්ම රත්නයත්, සංඝ රත්නයත් පමණයි. එක පුද්ගලයෙක් වන මා නො වෙයි. එක පුද්ගලයෙක් හඹා යන්නේ නම්, එ් බුදුරජාණන් වහන්සේ පමණයි. එක පුද්ගලයෙකුගේ අත්දැකීමක් හඹා යන්නේ නම් එ් නවලෝකෝත්තර ශ‍්‍රී සද්ධර්මය පමණයි. එ් ශ‍්‍රී සද්ධර්මයෙන් ප‍්‍රතිඵල ලැබූවෝ හඹා යන්නේ නම්, එ් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය පමණයි. මම හිතන්නේ බිනරට වැටහුණා මා කී දේ…?”

‘‘සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ මට පැන් පොකුණ පෙන්වුවා. ස්වාමීන් වහන්සේ ළඟ තිබූ පැන් දෝත පමණක් පෙන්වා මාව ළඟින් රඳවා ගන්නේ නැතිව මා හට ගුරු භූමිය පෙන්වුවා. පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නම් සත්පුරුෂයෙක් ම යි…” මම දොහොත් මුදුන් දී නැවතත් උන් වහන්සේට වැඳ වැටුණෙමි.

‘‘සුවපත් වේවා…! බිනර තේරුම් ගත්ත නිසා මම බිනරට දෙයක් දෙන්නම්…” කී උන් වහන්සේ මඳක් පසෙකින් වූ රෙදි මල්ලක් විවෘත කොට එහි තිබූ සටහන් පොතක් දෙකක් පෙරළා එක් පොතක පිටු කිහිපයක් පෙරළුවේ ය. ඉන් පිටු කිහිපයක් අතර නැවතුණු උන් වහන්සේ, එයින් පිටු දහයක් පහළවක් පමණ ඉරා ගලවා ගත්තේ ය. එ් පිටු ටික අසල තිබූ බ‍්‍රවුන්පේපර් බෑගයකට දැමූ උන් වහන්සේ පාර්සලයක් සේ නවා එය මගේ අතින් තැබුවේ ය.

‘බිනරට උපකාරී වෙන දහම් පඬුරක් මෙතන තියනවා. මේ ටික මගේ ගුරු දේවයන් වහන්සේ කලකට පෙර දී මට ලබා දුන් දහම් ඔසුවක් කියල හිතාගන්නකෝ. බිනර මේ සටහන් ටික ගෙදර ගිහින් විවේකීව කියවන්න. මා නැවත මුණ ගැසේවායි පතන්න එපා. මොහොතක් මොහොතක් පාසා ම කුසල් සිත ම මුණගැසේවා කියා පතන්න. තේරුණා ද?”

‘අනේ පින්වත් ස්වාමීන් වහන්ස. මට මේ කොළ ටික නිධානයක් වගේ. ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්. ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් මේ උතුම් ධර්මය අවබෝධ වේවා කියල මම පතනවා ස්වාමිනී…” කඳුළු පිරි දෙනෙතින් යුතු ව මම ලද ත්‍යාගය, එසේත් නැතිනම් දහම් පඬුර දෝතින් ම අල්ලා නළලේ තබා සිපගත්තෙමි. එ් තුළ වූයේ කුමක් වුවත් එය මා හට ශාන්තියක් උදාකර දෙන බව මම හොඳාකාරව ම දනිමි.

තවත් සුළු මොහොතකින් පාත‍්‍රය ද අතැති ව උන් වහන්සේ දාන ශාලාවට වඩිනා සඟ පිරිසේ පෝලිමට එක් වීමට පිටත් ව ගියේ ය. උන් වහන්සේ පසුපසින් අපිදු පියමැන්නෙමු.

‘‘බිනර… පින්වත් ස්වාමීන් වහන්සේලා දානයට වඩින ආකාරය හරි ම සුන්දරයි. එන්න අපි යමු කාර්යාලය අසල තියෙන අඹ ගහ යටට. එතැන ඉඳන් අපිට සියලූ ස්වාමීන් වහන්සේලා වඩින ආකාරය දැකබලා ගන්න පුළුවන්…” අනන්ත ගෙන ආවේ කදිම යෝජනාවකි. ඊට සතුටු සිතින් කැමැත්ත පළ කළ මම ඔහු අනුව යමින් අඹ ගස සෙවණේ සිට ගත්තෙමි.

සුළු මොහොතකින්, ආවාස ගෙයින් පිටතට වැඩම කළේ ගුරුදේවයන් වහන්සේ ය. උන් වහන්සේ පිටුපසින් අනෙකුත් ස්වාමීන් වහන්සේලා වැඩිහිටි පිළිවෙළින් වැඩම කරන්නට විය. සියලූ ම ස්වාමීන් වහන්සේලාගේ දකුණු අතේ වූයේ භික්ෂා පාත‍්‍රය යි. බිමට යොමු කර ගත් දෙනෙතින් යුතු උන් වහන්සේලා ලෙනදොරින් බැහැරට වැඩි සිංහ පෝතකයන් සේ දාන ශාලාව වෙත වැඩම කරන්නට විය. සිය ගණනක් වූ සඟ පිරිස සන්සුන් ඉරියව්වෙන් වැඩම කරනා දසුන දැක ගැනීමට මා හට උපතින් ලද නෙත් දෙකත් මදි යැයි හැඟිණ. අහෝ, අනන්තගේ දෙනෙතත් මා හට තිබුණා නම් කොයිතරම් දෙයක් දැයි මොහොතකට සිතුණි. සැබැවින් ම උන් වහන්සේලා දෙස කොපමණ බලා සිටියත් ‘තවත් මදි’ යයි හැෙඟන්නේ කුමක් නිසා දැයි මා හට අදටත් නො වැටහේ…! එ් ම’සිත තුළ වූ අප‍්‍රමාණ සංඝ ගෞරවය නිසා යැයි මම විශ්වාස කරමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68