විල්ලූවලින් ගහන වූ ප‍්‍රදේශය ‘විල්පත්තුව’ විනි යැයි ජන සම්මතයේ ප‍්‍රවාදයක් ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම වනෝද්‍යානය වන විල්පත්තුවේ දැනුදු කරදිය හා මිරිදිය විල්ලූ හතළිහක් තිබීම මේ ජන සම්මතය තහවුරු කරවයි. විල්පත්තුව ගැන 2007 වර්ෂයේ කථා බහක් ඇති වූයේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් හමුදා නායකයන් ඇතුළු පිරිසක් ඝාතනය වූ නිසා ය. එ් ජන සංහාරය වූ විල්පත්තුවේ දැන් සිදු වනවා යැයි කියන වන සංහාරය නිසා යළිත් වරක් විල්පත්තුව ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබේ.

වන සංහාරයේ අලූත් ම ගොදුර බවට විල්පත්තුව පත් වුව ද වන සංහාරය අප රටට අලූත් දෙයක් නො වේ. 1880 වර්ෂයේ දී 84%ක් වූ ශ්‍රී ලංකාවේ වන ගහනය 1992 වර්ෂයේ දැක්වුණේ 24%ක් ලෙසිනි. එනම් වසර 150කට නොවැඩි කාලයක් තුළ සමස්ත වනාන්තර ප‍්‍රමාණයෙන් 2/3කට වඩා අපට අහිමි වී ඇත. එ් සියල්ල මානව ක‍්‍රියාකාරකම්වල ආදීනවයන් ය. වනාන්තරත්, එහි ගැවසෙන ක්ෂුද්‍ර ජීවියාගේ පටන් අලි ඇතුන් දක්වා වූ සත්ව ජීවිතත් සුරක්ෂිත කිරීම මානව වර්ගයාගේ යුතුකමකි. ගස් කොළන් අතරේ ගලා යන ස්වභාවික පැවැත්මට තර්ජනය කෙරුවෝ මිනිසුන් මිස සතුන් නො වේ.

මානව චර්යා රටාවන් විසින් අනතුරේ හෙළන ලද්දේ වනාන්තර හා සතා සිවුපාවුන් පමණක් නො වේ; මානව වර්ගයා තමා විසින් ම එකී අනතුරේ වැටී තිබේ. ජීවිතය පවත්වා ගැනීම පිණිස ගනු ලබන ආහාර පානයන්හි අද ඇත්තේ වස විෂ ය. ඉහළට ඇද ගනු ලබන හුස්ම පොද තුළ විෂ මුසු ය. මිහිමව ද දිය පොද ද නළ රැුලි ද විෂ කළෝ මිනිසුන් ම ය. එනිසා අද වන විට වනාන්තර, සතා සිවුපාවුන් හා මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම මානව සමාජයේ පරම යුතුකම වගට පත්ව අවසන් ය.
එසේ තිබිය දී කුමන පාලන තන්ත‍්‍රයක් යටතේ වුවත් වනය වැනසීමට කිසිවෙකුට අයිතියක් නැත. වනය යනු එක් ජන කොටසකගේ භූමියක් නොව සමස්ත සත්ව ප‍්‍රජාවගේ ම අයිතියකි. ‘අයිතිය’, උපරිමය භුක්තිය නොව අදටත් හෙටටත් එය සුරැුකීම යි. පරිසරයෙන් ගන්නා දෙය ඊට සිය ගුණයකින් හොඳ තත්ත්වයෙන් ම නැවත බාර දිය යුතු ය. එ් අයුරින් ගත කරන ජීවන චර්යාවන්ට සොබාදහම විරුද්ධ වන්නේ නැත. අපිදු විරුද්ධ නො වෙමු.

නමුත් අද සිදුවන්නේ අනෙකකි.

ලබා ගන්නවා පමණකි. නැවත දෙන්නේ නැත. එනිසා ඉතිරි වන්නේ කාන්තාරයකි. කාන්තාරය උරුමය කර ගත් ඇතැම් ජන කොටස්වලට මෙය නො තේරෙනවා විය හැකි ය. නමුත් සමස්ත සත්ව වර්ගයා වෙනුවෙන් ම අප පරිසරය රැක ගත යුතු ය.

මේ එළඹ තිබෙන්නේ එක ගසකුදු නො නසා ගස්වැල් සිය දහස් ගණනින් රෝපණය කොට උස් මහත් කළ යුතු තීරණාත්මක කාල පරාසයකි. සියවස් එක හමාරකට පෙර නිල්ල පිරී ගත් වන හිසින් වැසී ගිය බිමක් කාන්තාරයක් බවට පත් කරන්නට අප වගකිවයුත්තෝ විය යුතු ද? කිසිසේත් ම නැත. ”එපා…!” කියා පමණක් බලා නො සිට ක‍්‍රියාවෙන් ද යුහුසුළු ව අප ශ්‍රී ලංකාව කාන්තාරකරණයෙන් මුදා ගැනීමේ සද්කාර්යයේ පුරෝගාමීන් විය යුතු වන්නේ එනිසා ය.

මේ කථාවේ කහ එළිය අද දැල්වී ඇති බව ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඔබ ද තේරුම් ගෙන ඇත. එහි රතු එළිය දැල්වුණු විට ඉතිරි වන්නේ නිරුදක කතරක් පමණි. අප මෙසේ කොළ එළියක් සොයන්නේ කතර වෙනුවට ක්ෂේමභූමියක් තනන්නට ය.

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

– මහාමේඝ –