ඓතිහාසික මුහුදු මහා විහාරය සහ මඟුල් මහා විහාරය වැඳපුදා ගත් අපි නැගෙනහිර පුද බිම් අතර තවත් සන්ධිස්ථානයක් පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේ අදිටනින් ආයෙමත් ගමන් ආරම්භ කළෙමු. එය දොළොස් දහසක් මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් වූ වන සෙනසුනකි.

මොනරාගල සිට සියඹළාණ්ඩුව, හුලංනුගේ පසුකර ලාහුගල ජාතික වනෝද්‍යානය මැදින් වැටී ඇති මාර්ගයේ මොනරාගල සිට කිලෝ මීටර් 36ක් පමණ මග ගෙවූ පසු හමුවන්නේ පොතුවිල් නගරය යි. අපගේ ගමනාන්තයට පෙර හමුවන අවසාන ජනාකීර්ණ නගරය වන පොතුවිල් නගරයෙන් අපි ස්වාමීන් වහන්සේලාට පූජා කිරීම සඳහා අවශ්‍ය වන පිරිකර ද්‍රව්‍ය මිල දී ගතිමු. මුළුමනින් ම මුස්ලිම් ජාතික ව්‍යාපාරික මහතුන්ගේ කේන්ද්‍රස්ථානයක් වන පොතුවිල් නගරයේ සිංහල අකුරක්වත් සඳහන් වෙළඳ පුවරුවක් පවා සොයා ගැනීම අපහසු ය. පොතුවිල් නගරයේ සිට කිලෝ මීටර් 17ක් පමණ වෙරළ තීරය ඔස්සේ දකුණු දෙසට ගමන් කළ පසු හමුවන්නේ පානම නගරය යි. මේ ගමන අතර මග දී ඔබට ඈතට විහිදෙන තැනිතලා බිම්, වන විල්ලූ, කලපු පද්ධති තුළින් මවා පාන ලද අපූර්ව සෞන්දර්යාත්මක රූ සටහන් පෙළක අසිරිය නෙත් පුරා විඳගැනීමට ද හැකි වනවාට සැක නැත.

පානම මහා විද්‍යාලය අසලින් යාල අභය භූමියට ඇතුල් වන ගුරු පාරට පිවිසිය හැකි ය. දැන් ඉතින් ගමන හෙමින් ය. අප පිළිගැනීමට මෙන් දැවැන්ත ඇත් රජෙක් තේජාන්විතව අප දෙස බලා සිටියි. අපට බිය වීමට කරුණක් නැත. ඌ සිටින්නේ යාල නැගෙනහිර මායිමේ නාම පුවරුවේ වන බැවිනි. එහෙත් මේ ජායාරූපයට හසු වූ ඇත් රජුන් තම පිරිවර සමග මේ වනගොමුවේ කොතැනක හෝ මේ මොහොතේ ද සැරිසරමින් සිටිනු ඇත. මෙතැන් සිට කිලෝ මීටර් 15ක් පමණ යන තුරු කිසිදු මිනිස් වාසයක් හමු නො වේ. එ් වන සතුන්ගේ රජ දහන යි.

වේලාව මධ්‍යහ්නයට ආසන්න වෙමින් ඇත. ඈතින් දිස් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයකි. සිතට දැනෙන තැති ගැනීම අඩුකර ගැනීම සඳහා මේ නිලධාරීන් සමග කථාබහ කර යෑම හොඳ ය. මම වාහනයෙන් බැස වන වන සංරක්ෂණ කාර්යාලයට පියමැන්නෙමි..

‘‘මහත්තයෝ… මෙතන ඉඳලා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට කොච්චර දුර ද?…”

‘‘ම්… කිලෝ මීටර් දහයක් විතර යනකොට දකුණට ගුරු පාරක් හමු වෙයි… එ්කෙන් යන්න.. කෙළින් ම ගියොත් වැටෙන්නෙ කුමණ අභය භූමියට….” ඔහු පිළිවදන් දුනි.

‘‘මේ… ම්… පාරෙ වන සත්තු හෙම නැතිව ඇති නේ ද මේ වෙලාවට….?” මම පළමුව ඇසිය යුතු පැනය අවසානයට ඇසීමි..

‘‘මේක වන සත්තුන්ගෙ අඩවිය නොවැ මහත්තයො… උන්ට ඔය වෙලාවල් කලාවල් කියල එකක් තියෙනවයැ… පරිස්සමින් යන්ට.. අතරමග බහින්ට එහෙම එපා…. ”

ඔහු දුන්නේ මා අපේක්ෂා කළ පිළිතුරට හාත්පසින් වෙනස් එකකි.. අපි ආයෙමත් ගමන් ආරම්භ කළෙමු. වන සතුන් බහුල මේ පටු මාවත වංගුවලින් මෙන්ම වළවල්වලින් ද හැඩ වැඩ වී ඇත.

එ් හින්දා ගමන හෙමින් ය. වාහනය තුළ සිටි අයගේ පෙර තිබූ ඝෝෂාව දැන් නැත. සැමගේ ම විමසිලිමත් දෑස වන වදුලූ තුළට යොමු වී ඇත.

විනාඩි විස්සක පමණ ගමනකින් පසු සැළවඑළිය වෙල් යාය වෙත සේන්දුවන්නට අපට හැකි විය. වෙල් යාය බොහෝ කලකට පෙර අත්හැර දමන ලද අක්කර සිය ගණනක එකකි. වෙල් යාය පුරා විසිරී සිටින මොනරුන් නිදහසේ ඇවිද යන්නේ වියළි තණබිමට නව ජීවයක් කවමිනි. අතරින් පතර හමුවන කොළ හැළී ගිය ගස් මත වසා සිටින දැවැන්ත පක්ෂීන් රාජාලීන් ය. උන්ගේ පෙනුම තේජාන්විත ය. ඔවුන් විමසිලිමත් දෑසින් බලා සිටින්නේ ඔවුන්ගේ අඩවියේ දුහුවිලි අවුස්සමින් යන මේ ආගන්තුක පිරිස දෙස ය. ක්ෂිතිජය තෙක් දිස්වන වෙල් යායේ වම් පසින් ඇති වැව් තලය අසිරිමත් සිතුවමක් බඳු ය. සිය ගණනක් කුළු හරකුන් දිවා කාලයේ විඩාව නිවා ගන්නට වැව් දියේ ගිලී නිසොල්මනේ සිටිති.

එළිමහන් භූමි භාගය නිම වී නැවතත් වඩාත් පටු සහ අඳුරු වන ගොමුව මැදින් වැටී ඇති පාරට රථය ඇතුළු වී ඇත. නැවතත් සිත විපිළිසර වී ඇත්තේ මේ වනයේ සිටින වග වලසුන් ගැන මා හොඳින් කියවා ඇති බැවිනි.

පැයක පමණ ගමනකින් අනතුරුව තුරු වියන යට සැදුණ තරමක එළිමහන් බිමකට අප පැමිණ ඇත. කුඩුම්බිගල වන සෙනසුනට පැමිණෙන අයෙකුට වාහනයකින් පැමිණිය හැකි උපරිම දුර මෙපමණකි. ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලාට පිටතින් පැමිණ දානය සකස් කරන්නන්ට නැවතිය හැකි ශාලාවක් මෙහි තනවා තිබේ.

මෙතැන් සිට ස්වාමීන් වහන්සේලා වෙසෙන මධ්‍ය මණ්ඩලය දක්වා කිලෝ මීටර් 2කට ආසන්න ගමනක් පා ගමනින් යා යුතු වේ. වේලාව මධ්‍යහ්නයට ආසන්න වුවත් වනපෙත අඳුරු ය. තොරතෝන්චියක් නැතිව කෑ ගසන රැුහැයියන්ගේ හඬ පරදමින් වනය තුළින් ඇසෙන විවිධ හඬවල් වන සතුන්ගේ බව දනිතත් එ් කුමන සතෙකුගේ දැයි සිතා ගත නො හැකි ය. මහ වන මැද හුදෙකලාව මේ මගේ යන්නේ කෙසේ ද….? අපගේ වාසනාවට මධ්‍ය මණ්ඩලය දිසාවට ගමන් කරන කැපකරු මහතෙකු අපට හමු විය. ඔහු අප සමග ස්වාමීන් වහන්සේලා වෙසෙන ඉසව්වට යාමට එකඟ විය. සිතේ විපිළිසර බව තුරන් කර ගැනීමට මම ඔහු ඇමතීමි.
”මහත්තයා… මේ පාරෙ යද්දි සත්තු එහෙම මුණගැහිලා තියෙනව ද?”

‘‘අපොයි ඕනෑ තරම්..”

ඔහුගෙන් ලැබුණේ මා අපේක්ෂා කළ පිළිතුර නො වේ…

‘‘එ් පොඩි සත්තු වෙන්න ඇති නේ ද?”

‘‘මහත්තයට කියන්ට මට මේ පාරෙදි මුණගැහිලා නැති සතෙක් නෑ….”

‘‘ආන්න අර ගස් දෙබල පේනව නේ ද? ඔතන සමහර දාට ඉන්නව ලේනම කොටි..”

‘‘මොකා ද ලේනම කොටිය කියන්නේ…?”

‘‘ලේනම කොටි කියන්නේ මහත්තයෝ ඉස්සර මේ පළාතෙ තිබුණා ලේනම කියල වැදි ගමක්…. ඔය වැදි ගමේ වැද්දෙක් අහම්බෙන් මේ කොටියෙකුට ගොදුරු වුණා. අන්තිමේ මිනිස් මසට රස වැටිල ගම ම කාල ඉවර කළේ ලේනම කොටි තමයි…. උන් සාමාන්‍ය කොටියට වඩා හරි විශාලයි. වයිරනුත් අමුතුයි. ගස් දෙබලක ඉඳල කුරුමානම් අල්ලලා පනින පිම්ම වරදින්නෙ එහෙමත් කලාතුරකින්…”

මේ වෙලාවේ මා ඇසුවේ වැරදි ප‍්‍රශ්නයකැයි මට සිතුණි…

‘‘මහත්තයට පේනව ද අන්න අර ගල් තලාව…. ඔන්න ඔතන තමයි වලස්සු සෙල්ලම් කරන්නෙ පැටව් එක්ක. හොඳට හඳ එළිය තියෙන දාක ?ට ආවොත් හොඳින් ම බලා ගන්න පුළුවන්..”

කෙමෙන් මාර්ගය බෑවුම් සහිත වෙයි. ගල් තලාව මත්තෙන් පියවර තබමින් ඉහළට නගින්නට සිදු වෙයි. ඉදිරියෙන් තාප්පයක් බැන්දාක් මෙන් දෙපසින් ම විසල් ගල් පර්වත දෙකකි. මංපෙත වැටී ඇත්තේ පර්වත දෙක මැදිනි..

‘‘මහත්තය විශ්වාස කරන්ට ඇතා යන්නෙ මේ පර්වත දෙක මැදින්….”

ඔහුගේ කතාව බොරු විය නො හැක. පැය කීපයකට පෙර දැමූ අලි වසුරු මග දෙපස තිබේ. හදවතේ ගැස්ම වැඩි වී ඇත්තේ කන්ද නගින නිසා යැයි මම සිතා ගත්තෙමි.

බිය දුරු කළ රහතුන්ට සොඳුරු නිවහනක් වූ මේ වන අසපුව තුළ හුදෙකලාව රැයක් පහන් කරන්නට අපගේ සිත් තව කොපමණ නම් ශක්තිමත් කර ගත යුතු ද?

‘‘ඕන්න මහත්තයො ඔය ලෙන තමයි මහා සුදර්ශන ලෙන කියන්නේ…. ඉස්සර වලස්සු ලැගපු තැනක්….”

අපගේ මගපෙන්වන්නා ගිරි ගුහාවක් අසලට අප කැඳවාගෙන එමින් පැවසී ය.. ගුහාව ඉදිරිපිට සුදු වැලි පිරුණ මිදුලකි. ගුහාව තුළ කීප දෙනෙකුට පහසුවෙන් සිටීමට තරම් ඉඩකඩ ඇත. අපි එ් තුළට ගොස් මඳ වේලාවක් ගිමන් නිවාගතිමු.

කොළ අතු පෑගෙන හඬක් ඇසී එ් දෙස කන් යොමු කළෙමි. සතෙකු නො පෙනෙතත් මිනිස් පියවර ශබ්දයක් මෙන් දිගින් දිගට ම කොළ අතු පෑගෙන හඬ ඇසේ. ක‍්‍රමයෙන් ළං ළං ව ඇසෙන ශබ්දය කෙරෙහි වඩාත් අවධානය යොමු කළෙමි. මොහොතකින් දැවැන්ත වලසෙක් මිදුලට විත් ඔබ මොබ ඉව අල්ලමින් ඇවිදින්නට විය. මෙබඳු විශාල වලසුන් මේ වනයේ වෙසෙතියි මින් පෙර නො සිතුවෙමි. බිය මුසු හැඟීමෙන් බලා සිටියෙමි. විවෘත ලෙන තුළට මේකා ආවොත් මොනවා කරන්නදැයි සිතුවෙමි. වලසා ගැන අසා තිබෙන හැටියට දැන් ජීවිතය අවදානම් ය. එහෙත් මේකා කිසිදු අමුත්තක් නැතිව මිදුලේ ඇවිදින අයුරු මම පුදුමයෙන් මෙන් බලා සිටියෙමි.

හුන් තැනින් නැගිට විවෘත ලෙන තුළ එහා මෙහා ගියෙමි. බුදු ගුණ පාඨය ද සජ්ඣායනා කළෙමි. එවිට වලසා හීලෑ බල්ලෙකු මෙන් පස්ස පැත්ත බිම තබා මා දෙස බලා සිටින්නට විය. කන් දෙක එ් මේ අත හරවමින් ඉතා ඕනෑකමින් එ් හඬට සවන් දෙන්නට වීම මා තවත් මවිත කරවන්නක් විය. විනාඩි කීපයක් මෙසේ රැුඳී සිටි වලසා කැලය දෙසට යන්නට ගියේ ය. සුළු මොහොතින් වලහා ගිය පැත්තෙන් බියකරු හඬක් නැගුණි. සතුන් දෙදෙනෙකුගේ පොර බැදීමක් බව පැහැදිලි වූයෙන් එ් දෙසට ගියෙමි. ජීවිතයේ මින් පෙර කිසි දා නො දුටු වලස් පොරයක් දක්නට ලැබුණි.

මෙය මා ලැබූ අත්දැකීමක් නො වේ. වසර විසි පහකට අධික කාලයක් කුඩුම්බිගල වන අරණේ මහණ දම් පිරූ අති පූජනීය තාඹුගල ආනන්දසිරි ස්ථවිරයන් වහන්සේ මේ සුදර්ශන ලෙන අසල දී ම ලැබූ අත්දැකීමකි.
උන්වහන්සේ විසින් රචිත විසිපස් වසරක වන දිවි තොරතුරු ග‍්‍රන්ථය මා හට කියවන්නට ලැබුණේ මා උසස් පෙළ හදාරන සමයේ දී ය. එදා මනසේ මැවුන කුඩුම්බිගල වන සෙනසුන දෑසින් දැක බලා ගැනීමට උපන් ආශාව වසර විස්සක් පමණ පමා වී හෝ ඉටුවීම සතුටට කරුණකි.

සුදර්ශන ලෙන පසු කොට ටික දුරක් පැමිණීමෙන් මධ්‍ය මණ්ඩලය වෙත ළඟා වීමට අපට හැකි වී ය.

දිවා දානයෙන් අනතුරුව කෙටි වේලාවක් විවේක සුවයෙන් වැඩ සිටින කුඩුම්බිගල වන සෙනසුනේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන අති පූජ්‍ය පැල්වත්තේ බුද්ධවංස හිමියන්ගේ පා කමල් වන්දනා කොට මඳ වේලාවක් පිළිසඳර කතා බහක යෙදුණ අපි මෙම වන අරණේ ඓතිහාසික පසුබිම ගැන කරුණු විමසීමු.

‘‘ස්වාමීන් වහන්ස මේ වන සෙනසුනේ ආරම්භය පිළිබඳ ව තියෙන තොරතුරු මොනවා ද?”

‘‘මහත්තයෝ මේක කාවන්තිස්ස රජ සමයෙ ඉඳලා පැවත එන ඉපැරණි පින් බිමක්. මේ අවට තියෙන ගල් ලෙන් ගණනාවක තියෙන සෙල් ලිපිවලිනුත් එ් බව සනාථ වෙනවා.. ලෙන් 105ක් විතර දැනට මුණ ගැහිලා තියෙනවා. විශේෂත්වය තමයි කටාරම් කැපීමක් නො කරන ලද කිසි ම ලෙනක් එ් අතර නො තිබීම.”

‘‘එ් කියන්නේ ස්වාමීන් වහන්ස එ් හැම ලෙනක ම ස්වාමීන් වහන්සේලා වාසය කළ බව පැහැදිලි වෙනවා..”

‘‘අන්න හරි ඔය ලෙන් බොහොමයක බ‍්‍රාහ්මීය අක්ෂරවලින් මෙහෙම කොටලා තියෙනවා. ‘අගත අනගත චතුදිශ ශගශ දිනෙ’. එ් කියන්නෙ ‘අතීත අනාගත සිව් දිගින් වඩින මහා සංඝයාට පූජා කරන ලදී’ කියන එකයි. මුලින් පූජා කළ කෙනාගෙ නම තියෙනවා මේ වගේ. ‘අමත තිශහ ලෙණෙ ශගශ’. එ් කියන්නෙ ‘අමාත්‍ය තිස්සගේ ලෙන සංඝයාට පූජා කරන ලදී.’ යන්නයි. කාවන්තිස්ස රජතුමාට හිටියනෙ තිස්ස කියල අමාත්‍යවරයෙක්, පසුව ගැමුණු රජතුමාටත් සේවය කරපු. සමහර විට එතුමා විසින් මෙය කරවා සංඝයාට පූජා කළා වෙන්න පුළුවන්….”

ස්වාමීන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමත් සමග සිත නිරායාසයෙන් අතීතයට දිව යයි. දහස් ගණන් මහ රහතුන් වැඩ සිටි එ් යුගයේ මේ වනපෙත කෙතරම් මනරම්ව තිබෙන්නට ඇද්ද… අපත් එ් කාලයේ එ් දන් දුන් පිරිස අතර සිටින්නට ඇතැයි සිත කියයි.

‘‘ස්වාමීන් වහන්ස මේ බිමේ තියෙන වෙනත් නටබුන් මානවා ද?”

‘‘මේ බිමේ බොහෝ තැන්වල සඳකඩ පහණ්, මුරගල්, කොරවක් ගල්, පදලස් ගල්, මලසුන් ගල්, ගල් මත කරවන ලද පියගැටපෙළවල්, නටබුන් වුණ ස්තූප කොටස් ආදි බොහෝ පුරා වස්තු දක්නට ලැබෙනවා.”

‘‘ස්වාමීන් වහන්ස, සීත පොකුණ කියන්නේ…?”

‘‘මේ බිමේ ස්ථාන කීපයක ම ස්වභාවික දිය උල්පත් පිහිටලා තියෙන්නේ හරි ම අපූරු විදියට. දැන් ඔය විශ‍්‍රාම ශාලාව අද්දර තියෙන දිය ඇල්ල අවුරුද්දෙ මාස නවයක් විතර හිඳෙන්නෙ නැහැ. විශ‍්‍රාම ශාලාවට දකුණු පසින් තියෙන මංකඩ දිගේ ගියා ම මුණගැහෙන බුද්ධ රූප පබ්බතය පාමුල තියෙන පැන් පොකුණත් පිරෙන්නෙ ගල් අතරින් බිඳින් බිඳ උනන උල්පත් වතුරින්. මේ මගේ යන සැදැහැවතුන්ට වාගෙ ම කළු වලස් රෑනටත් පවස නිවා ගන්න එක සේ උදව් වෙනවා.

සීත පොකුණ පිහිටලා තියෙන්නේ ගල් ලෙනක් ඇතුළේ.. මේ පොකුණේ ගල් අතරින් බිඳින් බිඳ උනන ජලය හරි ම පිරිසිදුයි. එ් වාගෙ ම ප‍්‍රණීතයි. මේ වියළි කලාපයේ මෙතරම් සීතල මිහිරි පැන් පොදක් ලැබීම පවා පුදුම සහගතයි.”

එය මේ බිමේ වැඩ සිටි රහතන් වහන්සේලාගේ ආනුභාවය නො වෙති යැයි කාට නම් කිව හැකි ද?

‘‘ස්වාමීන් වහන්ස මා අසා තියෙනවා වසර හැට හැත්තෑවකට කලින් මේ ප‍්‍රදේශය මුළුමනින් ම වනයෙන් වැසී තිබුණ බව.”

‘‘ඔව්. රහතන් වහන්සේලාගේ යුගය අවසන් වී ගියායින් පස්සෙ ආයෙමත් මේ බිම වනයෙන් වැසී යන්නට ඇති. 1942 දි විතර අපූරු උපාසක මහත්තයෙක් මේ මහ වනය පීරාගෙන ඇවිත් තියෙනව. එ් තමයි මෛත‍්‍රී උපාසක මහත්තය. උපතින් අන්‍යාගමිකයෙකු වූ මෙතුමා බුදු දහම වැළඳගෙන මේ මහ වනයට තනියම ඇවිත් සුදර්ශන ලෙන සුද්ද පවිත‍්‍ර කරගෙන බණ භාවනාවෙන් කාලය ගත කරලා තියෙනවා. පස්සේ එ් මහත්තයගෙ ආරාධනයෙන් තමයි කුඩුම්බිගල වත්මන් නවෝදයේ පෙර ගමන්කරුවාණන් වහන්සේ වුණ තාඹුගල ආනන්දසිරි ස්ථවිරයන් වහන්සේ වැඩමවාගෙන තියෙන්නේ.

උන්වහන්සේ මේ වන අරණේ ලද අසිරිමත් අත්දැකීම් දැනගන්න නම් විසිපස් වසරක වන දිවි තොරතුරු පොත කියවන්න ම වෙනවා.”

ස්වාමීන් වහන්සේලා මිනිස් වාසයෙන් මෙතරම් ඈත්ව දිවි ගෙවන්නේ උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුවට වැඩි කාලයක් යොදා ගැනීමේ අපේක්ෂාවෙනි.. එහෙයින් මා මීට වඩා අති පූජ්‍ය පැල්වත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේගේ කාලය ලබා ගත නො යුතු යයි හැඟුණි. උන්වහන්සේගේ පා කමල් වන්දනා කළ මම සමුගතිමි.

උන්වහන්සේ වැඩහුන් ප‍්‍රධාන ශාලාවේ පසෙක වැඩහුන් තවත් ස්වාමීන් වහන්සේනමක් සමග හෝරා කීපයක් ධර්ම සාකච්ඡුාවක් පැවත්වීමට ද අපට වාසනාව උදා වී ය. එ් සියලූ ම කරුණු මෙහි සටහන් කළ නො හැකි වන්නේ ලිපිය ඉතා දීර්ඝ එකක් වන බැවිනි.

එහෙත් උන්වහන්සේ සමග කළ ධර්ම සාකච්ඡවෙන් අනතුරුව මහ වනය ගැනත්, වන සතුන් ගැනත් මා සිත තුළ තිබූ බියමුසු හැඟීම නම් මුළුමනින් ම පහව ගිය බව සඳහන් කළ යුතු ම ය.

”මහත්තයෝ මම ගිහි කාලේ ලෝකෙ රටවල් ගණනාවක සංචාරය කරල තියෙනව, ව්‍යාපාර කරල තියෙනව, හැම රසයක් ම විඳල තියෙනව, එ්ත් කොහේවත් හොයා ගන්න බැරි රසයක් මේ වන අරණෙ තියෙනව. භාග්‍යවතුන් වහනසේගෙ දහම හොඳින් හදාරල එ්ක ප‍්‍රගුණ කරන්න මේ වන අරණෙ හුදෙකලා වන භික්ෂුවකට එ් රසය වන විමුක්ති රසයෙ සුවඳ විඳින්න පුළුවන් වෙනව. එ් උදෙසා තමයි එ් ළාමක සැප සම්පත් සියල්ල ම අත හැරල දාල මේ වන අරණට ආවේ..

භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදව ගන්න.. එ් ශ‍්‍රී සද්ධර්මය ගැන සිත පහදව ගන්න… ආර්ය මහා සංඝරත්නය ගැන සිත පහදව ගන්න.. ඔබේ හිතේ මේ තෙරුවන ගැන ඇතිකර ගත් පැහැදීම දෙවියන් මරුන් බඹුන් සිටින මේ ලොවේ කිසිවෙකුට වෙනස් කළ නො හැකි එකක් නම්.. සීලයත් පිරිසිදු නම්, ඔබ බියවෙන්න එපා… ඔබේ මරණය ළාමක එකක් වෙන්නෙ නෑ…”

උන්වහන්සේගේ වදන් දැනුදු දෙසවනෙහි රැව් පිළිරැව් දෙන්නා සේ ය.

අපි උන්වහන්සේගේ දෙපා නැමද ඉතා සැහැල්ලූ සිතින් ආපසු පියමැන්නෙමු. අතීතයේ මහ රහතුන් වැඩ සිටි මේ පින් බිම තව කලක් වන වදුලින් වැසී පැවතුණි. මෛත‍්‍රී උපාසක මහතාගේ ආගමනයෙන් පසුව යළි මහ සඟරුවන වෙසෙන පින් බිමක් බවට පත් වූ කුඩුම්බිගල අනාගතයේ දී ආයෙමත් වන ගැබෙහි සැඟවී යෑමට ද ඉඩ ඇත.

අනියත දහම මෙසේ සිදුවෙද්දී මේ ගිරි ලෙන් වන අසපු තුළ වේවා, ග‍්‍රාමවාසී සෙනසුනක වේවා බුදුරජුන්ගේ අවවාදයට සිත කීකරු කර ගත් උතුමන් වෙනස් වන ලෝ දහම අතහැර විල අතැර යන හංසයන් සේ විමුක්ති රසය සාක්ෂාත් කරනු ඇත.

බටහිර දිග බෑවුමෙහි තවත් ගල් ලෙනක් හමු විය. එය ද කුටියක් සේ සකස් කර ඇත. සෙල්ලිපි හෝ කිසිදු සටහනක් නොමැති එ් ලෙන තුළ දී මෛත‍්‍රී උපාසක මහතා අනියත දහම පිළිබඳ තවත් අපූරු පණිවිඩයක් නිහඬව ම මා වෙත තිළිණ කළේ ය. එහි යන කෙනෙකුට හමු වන්නේ මෛත‍්‍රී උපාසක මහතාගේ ඇට සැකිල්ල යි.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ