පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපි එක එක්කෙනා එක එක විදිහට ඉපදිලා ඉන්නවානේ… සමහරු ලස්සනයි. සමහරු කැතයි. සමහරු ඉපදිච්ච ගමන් ම ලෙඩෙක්. සමහරු විරූපියි. සමහරු දුප්පත්. සමහරු පෝසත්. සමහරුන්ට හොඳට බුද්ධිය තියෙනවා. සමහරුන්ට එහෙම නෑ. එ් එ් ලැබුණු දේවල්වලට අනුව එයාගේ ජීවිතය එයා අරගෙන යන්නේ නැද්ද? අරගෙන යනවා. එතකොට මේ ජීවිතය එයා අරගෙන යනකොට එයා අරගෙන යන්නේ දුකක්.
ඉපදුණාට පස්සේ රෝග පීඩා නිසා කායික මානසික දුක් වේදනා විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. ඊළඟට වයසට යාම නිසා එයාට කායික මානසික වේදනා විඳින්න වෙනවා. ඊළඟට අප්‍රිය දේවල් එක්ක එයාට එකතු වෙන්න වීම නිසා එයාට කායික මානසික දුක් වේදනා විඳින්න වෙනවා. ප්‍රිය දේවල්වලින් වෙන් වෙන්න වීම නිසා එයාට කායික දුක්, මානසික දුක් විඳින්න වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඉපදුණා කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස ලැබීම කියලා. එතකොට මේ ටික ලැබුණේ කොහොමද කියන එක අපි දන්නෙ නෑ. නමුත් අපි දන්නවා අපට ඇසක් තියෙන බව, කනක් තියෙන බව, නාසයක්, දිවක්, ශරීරයක් තියෙන බව. මනසක් තියෙන බවත් දන්නවා. නමුත් මේක ලැබුණේ කොහොමද කියන්න දන්නෙ නෑ.
මේ නො දන්නාකම නිසා අපි මේක හඳුනාගන්නේ කොහොමද? ඇස, කන, නාසය, දිව, කය, මනස අපි හඳුනාගන්නේ අනුන්ගේ දෙයක් හැටියට ද? තමන්ගේ දෙයක් හැටියට ද? තමන්ගේ දෙයක් හැටියටයි. එතකොට අපිට තියෙනවා ‘මම’ කියලා හඳුනාගත්තු ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා හයක්. එතකොට අනුන්ගේ කියලා හඳුනාගත්තු ආයතන හයකුත් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
අපි ඇහෙන් රූප බලන කොට ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වෙලා. කනෙන් ශබ්ද අහන කොට කනයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතු වෙලා. නාසයෙන් ආඝ්‍රාණය කරන කොට නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතු වෙලා. දිවෙන් රස විඳින කොට දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතු වෙලා. කයෙන් පහස ලබන කොට කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වෙලා. මනසින් සිතන කොට මනසයි, අරමුණයි, විඤ්ඤාණයයි එකතු වෙලා. මේ තුළ තමයි අපි ඉන්නේ.
එතකොට අපි මේක තමයි ‘මම’ කියලා දකින්නේ. ඊට පස්සේ අපි කැමති වෙනවා මේ තුළ අපේ ම කියලා ලෝකයක් ගොඩනගාගන්න. එතකොට ආයෙ වැඩෙන්න පටන් ගන්නවා කෙළවරක් නැති සසරට උරුමකම් කියපු සියලූ දේවල්. එ් තමයි ආශාව, තරහ, ඊර්ෂ්‍යාව, මාන්නය, වෛරය, ක්‍රෝධය. මේවා ඔක්කොම බාහිර දේවල්.
බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට පෙන්වලා දුන්නා. ‘‘(පභස්සරමිදං භික්ඛවේ චිත්තං) පින්වත් මහණෙනි, මේ සිත බබළනවා. (තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨා) මේ ආගන්තුක දේවල්වලින් තමයි කිලුටු වෙලා තියෙන්නේ” සක්කාය දිට්ඨිය මනසේ පිහිටපු එකක් නොවෙයි, ආගන්තුක එකක්. විචිකිච්ඡාව, සැකය, භය, රාගය, ද්වේෂය කියන්නේ ආගන්තුක දේවල්.
එ්වා ආගන්තුක නො වෙයි නම්, අපිට කවදාවත් ම එ්කෙන් නිදහස් වෙන්න බැහැ. අපට කවදාවත් මේ මානසික වියවුලෙන් ගැලවෙන්න බැහැ. කවදාවත් මේ අර්බුදවලින් එතෙර වෙන්න බැහැ. එ් නිසා අපට ඇතිවෙනවා නම් මතවාද, ආරවුල්, අර්බුද, භය, ශෝකය, කනගාටුව, තැතිගැනීම, ඊර්ෂ්‍යාව, මාන්නය, තරහ, වෛරය මේ ඔක්කොම අපේ ජීවිතය තුළ අපි කල්පනා කළ පිළිවෙළේ, අරමුණු ගත්තු පිළිවෙළේ වැරැද්දක් නිසා ඇතිවෙච්ච දේවල්. එහෙනම් මේ ඔක්කොගෙන්ම අපට නිදහස් වෙන්න පුළුවන්.
මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!
හැම දෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!
Recent Comments