‘උපාසකයා’ යනු මානව සංහතියේ සුවිශේෂී වූ උත්තම ආමන්ත්‍රණයකි. යම් මනුෂ්‍යයෙකුට තෙරුවන් සරණ ගිය සැබෑ ම උපාසකයෙකු බවට පත්වීමට වරම් ලදහොත් එය මනා ලැබීමකි. මන්ද යත්, තෙරුවන් සරණගිය සැදැහැති උපාසකත්වය වනාහි දේවත්වය පවා ඉක්මවා යන්නකි. දිනක් දෙදෙව් ලොවට අධිපති වූ සක්දෙව් රජ මිනිස් ලොව දෙසට හැරී වන්දනා කළේ ය. එහි එක් වන්දනාවක් පිළිවෙත් සරු මහ සඟ රුවන උදෙසා ය. අනෙක් වන්දනාව වූ කලී තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් වෙනුවෙනි.
‘‘මාතලී, තිසරණයෙහි පිහිටා උපාසක බවට පත්වුණ ගිහිගෙහි වසන, සිල්වත්, පින්දහම් කරන, ධාර්මික ව අඹුදරුවන් පෝෂණය කරන ගිහි ශ්‍රාවකයන් ඉන්නවා. මාගේ මේ වන්දනාව අන්න ඒ උදවිය වෙනුවෙනුයි.”
එසේ නම් සැබෑ ම උපාසකයා දෙවියන්ගෙන් පවා වැඳුම් ලබන්නෙකි. ගෞතම බුදු සසුනේ ඒ උපාසක උපාසිකා පරපුර, අනාගාමී වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පටන් සද්ධානුසාරී බවට පත් වූ සුවහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සුසංයෝගයකි. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම තමන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වූයේ අනාගාමී තත්වයට ජීවිතය දියුණුකර ගැනීමයි. ඒ නිසා ම උන්වහන්සේ විසින් ගිහි උපාසක පින්වතුන්ගේ පරමාදර්ශයට තැබුවේ චිත්ත ගෘහපතිතුමා හා හත්ථාලවක උග්ග නම් වූ අනාගාමී උපාසකයන් ව ය. වේළුකන්ටකී නන්ද මාතාව හා ඛුජ්ජුත්තරා නම් වූ අනාගාමී උපාසිකාවෝ බුදු සසුනේ උපාසිකා පරපුරේ පරමාදර්ශය වූහ.
බුදු සසුනක අසිරිය විඳගත් එකල ගිහි උපාසක පින්වතුන් අපරිමිත ගුණ වගාවකින් පිරිපුන් වූහ. ඒ වාසනාවන්ත පිරිස ලක්ෂ ගණනින් කෝටි ගණනින් දැක්වීම උගහට ය. සැවැත් නුවර වූ කෝටි හතක ජනකායෙන් කෝටි පහක් ම සෝතාපන්න උපාසකයෝ වූ වග අප දන්නා කරුණකි. අතීත ලක්දිව තත්වය ද එසේ ම ය. ඔවුහු මෙලොව ජීවිතය ජයගත්හ. ඒ පින්වන්ත උපාසක උපාසිකාවන්ගෙන් දිව්‍ය ලෝක පිරී ඉතිරී යන්නට විය. බුදු සසුනක අසිරිය නිසා ම අදට ද ඔවුහු අප්‍රමාණ සැප විඳිති.
ඔවුහු මිනිස් ලොව වාසය කරමින් සාමාන්‍ය මානුෂීය ගුණධර්ම ඉක්මවා යමින් දිව්‍යත්වය, බ්රහ්මත්වය ජීවිත තුළ උපදවා ගත්හ. එසේ නම් ‘උපාසකයා’ යනු එවැනි සාඩම්බර බෞද්ධ ශිෂ්ටාචාරයකින් උරුම වූ උත්තම ආමන්ත්‍රණයකි.
නමුත් අද තත්වය බෙහෙවින් වෙනස් ය. එළඹ ඇති මේ අධර්මවාදී යුගයේ දිව්‍යත්වය තබා සාමාන්‍ය මානුෂීය ගුණධර්ම පවා මිනිසුන් තුළින් අතුරුදහන් ව ගොස් ය. නමුදු අද වුව ද ලෝකයේ සෙසු ජාතීන් හා සසඳන කළ ඒ උතුම් ශ්‍රාවක පරපුරෙන් පැවත එන අප තුළ ශේෂ වූ බොහෝ ගුණදහම් ඇත. ලෝකයත් සමඟ සසඳා බැලීමේ දී තත්වය එසේ වුව ද, අතීතයේ වාසය කළ ප්‍රඥාවන්ත මිනිසුන්ගේ යුගය හා සසඳන විට සිදුවී ඇති පරිහානිය අතිමහත් ය. ඒ පරිහානිය කෙතරම් ද යත්, දෙවියන්ගේ පවා පැසසුම් ලත්, දෙලොව වැඩ පිණිස පිළිපන්නා වූ, මානව ඉතිහාසයේ වාසය කළා වූ වාසනාවන්ත ම ගිහි ශ්‍රාවකයින්ගේ උත්තම ආමන්ත්‍රණය වන ‘උපාසකයා’ යන්න පවා අද සමාජයට නුහුරු ය. යමෙකුට උපාසක වාදයෙන් ඇමතීම ලැජ්ජාවට පත්වීමට කරුණක් ලෙසින් සැලකීමට තරම් සමාජය පිරිහී ගොසිනි. සැබැවි….. අප බෙහෙවින් ලැජ්ජාවට නම් පත්විය යුතු ය. ඒ උපාසකයෙකු බවට පත්වීමට නො ව, ඒ උතුම් උපාසකත්වයේ ශ්‍රේෂ්ඨ අභිමානය පවා අහිමිකරගත් අපගේ කුරුවල් මොළගෙඩි පිළිබඳ ව ය.
ඉඳහිට දකින්නට ලැබෙන අවමංගල්‍ය දැන්වීම්වල නම් උපාසක – උපාසිකාවෝ හමුවෙති. එමෙන් ම බොහෝ වයසට පත්වූවන්ගේ සමිති සමාගම්වල ද උපාසක නම භාවිතයට ගැනේ. අද ලෝකය සැබෑ ම උපාසකත්වය කුමක් ද යන වගවත් හඳුනාගෙන නො මැති සැටියකි.
සැබැවින් ම උපාසකයෙක් බවට පත්වන්නේ කෙසේ ද? බුද්ධ දේශනාවට අනුව යමෙකු තිසරණයෙහි පිහිටීමෙන් ම උපාසකයෙක් බවට පත්වේ. නමුත් ඒ තිසරණයෙහි පිහිටීම යනු සුළුපටු දෙයක් නො වෙයි. හුදෙක් වචනයට පමණක් සීමා වූවක් ද නො වෙයි. එය වනාහි, අති දීර්ඝ වූ සසර ගමනකට තිත තැබීමේ මහා ජීවිත පරිවර්තනයකි. තෙරුවන් සරණ ගිය සැබෑ උපාසකයා සීලවන්තයෙකි. තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස පිළිපන් අයෙකි. එවැනි උපාසක පරිසරයක් ඇති සමාජයක් තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත. ස්ත්‍රී දූෂණ අපචාර නැත. එය වූ කලි ආදරය කරුණාව පෙරටු කරගත් සුන්දර ගුණවගාවන්ගෙන් සුසැදි මානව හිතවාදී සමාජ ක්රමයකි.
දිනෙන් දින අපට අහිමි ව යන්නේ ඒ යහපත් සමාජය නො වේ ද? අපට වැරදුණේ කොතැන ද? අප පිරිහුණේ කුමකින් ද? මුළු සමාජ රටාව වෙනස් කිරීම කෙසේ වෙතත් අපට තනි තනි ව හෝ නැවතත් ඒ ගුණධර්ම ඇතිකර ගත නො හැක්කේ ද?
අපගේ ශාස්තෘන් වහන්සේ වනාහි, සියල්ල දක්නා සියල්ල දන්නා සේක. අද අපට වැරදුණු තැන, අප පිරිහීගිය තැන උන්වහන්සේ එදා දුටු සේක. මහා කරුණාවෙන් ඒ අනතුර පෙන්වා දුන් සේක. නමුත් බුද්ධ වචනය සැඟවී ගිය පසුගිය සියවස් ගණනාවක කාලය තුළ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ අනතුරට අප අද පත්ව ඇත.
බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සිව්වනක් පිරිසේ කල්ක්‍රියාව මත පවතින බවයි. සිව්වනක් පිරිස ධර්මයෙන් බැහැරවෙත් ද එය ශාසන පරිහානියයි.
දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරද්දී ගිහි උපාසකයන්ගේ පිරිහීමට හේතුවන කාරණාවන් පෙන්වා දෙමින් කදිම උපදේශනයක් සිදු කළ සේක. ඒ ‘උපාසකපරිහානි සූත්‍රයයි.’ ඒ බුදු වදන් කෙතරම් අකාලික දැයි පසක් වන්නේ, අද සමාජය දෙස බලන විට ය. අපට වැරදුණ තැන එයයි. අප නිවැරදි කරගත යුතු තැන ද එය ම යි.
‘‘පින්වත් මහණෙනි, උපාසකයා පරිහානියට පත්වීමට හේතුවන කාරණා හතකි. ඒ කවර සතක් ද යත්,”
x සඟුන්ගේ දර්ශනය අකමැති වෙයි.
x සද්ධර්ම ශ්‍රවණය පමා කරයි.
x අධි සීලයෙහි නො හික්මෙයි.
x ස්ථවිර, මධ්‍යම, නවක යන භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වෙයි.
x දොස් දක්නා සිතකින්, සිදුරු සොයන අදහසින් දහම් අසයි.
x බුදු සසුනෙන් බැහැර ව පූජාවන්ට සුදුසු වූ උතුමන් සොයයි.”
අද මේ සියලූ පරිහානි අංග අඩු නො මැති ව සිදුව ඇත. ඒ අනතුර පෙන්වා දී තිබෙද්දීත් අප අනතුරේ වැටී ඇත. කාමය රජයන විසිතුරු ලෝකයේ ජීවත්වන බොහෝ දෙනා සංඝයාගේ ඇසුර ප්‍රිය නො කරති. බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තරීය ධර්මයක් වශයෙන්, මංගල කාරණාවක් වශයෙන් පෙන්වා දුන් සංඝරත්නයේ දර්ශනය අසුභ කරුණක් බවට හරවා ගැනීමට තරම්ම පිරිහීම බලවත් වී ඇත. එමෙන් ම දෙලොව සුවපත් කරන අමා දම් රස වෑහෙන ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයට අද ජීවත්වන අයට වෙලාවක් නැත. එය නිතර ම පසුවට කල් දමන්නකි. හොඳට ම අබලන් වී ජරාජීරණත්වයට පත් පිරිස පමණක් ශ්‍රවණය කරන්නා වූ දෙයක් ලෙසට ධර්මය අවතක්සේරුවට පත්කර ඇත. තවද අධි සීලයෙහි තබා සාමාන්‍ය මිනිස් ගුණදහමක් වත් උපදවා ගැනීමේ අවශ්‍යතාවයක් බොහෝ දෙනාට ඇති බවක් පෙනෙන්නට නැත. ඉඳහිට හෝ බුදු බණක් ශ්‍රවණය කළත් එය ද සිදුරු සොයන අදහසිනි. ස්වාක්ඛාත දහමක ඔවුහු සිදුරු සොයති. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි වූ පැහැදීම පලා ගොසින් ය. දහම කෙරේ වූ විශ්වාසය පලූදු කරගත් බොහෝ දෙනා බුදු සසුනෙන් පිට පිහිට පතා යති.
ඉතින් මේ යුගය පරිහානි යුගය නො වන්නේ ද? අපට වැරදුණේ මෙතැන නේ ද? අප පිරිහුණේ මේ දේවල්වලින් නේ ද? එසේ නම් නිවැරදි විය යුත්තේ ද මෙතැනින් ම නේ ද?
‘‘පින්වත් මහණෙනි, උපාසකයාගේ නො පිරිහීමට හේතුවන කාරණා ද හතකි. එනම්,
x භික්ෂූන් දැකීම ප්‍රිය කරයි.
x සද්ධර්ම ශ්‍රවණය පමා නො කරයි.
x අධි ශීලයෙහි හික්මෙයි.
x ස්ථවිර, මධ්‍යම, නවක භික්ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල ව වාසය කරයි.
x දොස් නො දකිනා අදහසින් ධර්මය ශ්‍රවණය කරයි.
x බුදු සසුනෙන් පිට පුද පූජාවන්ට සුදුසු පුද්ගලයින් නො සොයයි.
එසේ නම් දහමින් සුපෝෂිත වූ අතීත ශ්‍රී විභූතියත් දහමට පිටුපෑ අධර්මවාදී ශාපලත් අවාසනාවත් තීරණය වූයේ මෙම පරතරය නිසාවෙනි. මෙම අපරිහානී ගුණදහමින් පොහොසත් වූ මගඵල ලාභී ගිහි උපාසක උපාසිකා පරපුර වනාහි සියලූ දෙනා අතර බබළන්නට විය. නිහඬ ජීවිත ගතකරන්නන් වූහ. අන්‍යාගමික පිරිස් අතර ගුණයෙන්, සීලයෙන් හැසිරීමෙන් පවා වෙනස් විය. එනිසා ම නිරායාසයෙන් ම ඒ හැමගේ ගෞරවයට පාත්‍ර විය.
බොහෝ අවස්ථාවන්හි දී සුදු වස්ත්‍ර අඳින බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්රාවකයින් දුරදීම දුටු විට අන්‍යාගමික පිරිස් නිශ්ශබ්ද වන්නට වූ අවස්ථා බොහෝ ය. එතරම් ම සමාජයේ ගෞරවයක්, පිළිගැනීමක් උපාසකයාට හිමි විය. දෙවිවරු පවා උපාසක උපාසිකාවන් සතු වූ ගුණවලට සාදුකාර දුන්හ. තවත් සමහර අවස්ථාවල ගැඹුරු දහම් කාරණා පිළිබඳ ව ස්වාමීන් වහනසේලා පවා උපාසක පින්වතුන්ගෙන් කරුණු විමසා ඇති අවස්ථා ඇත. ඉතින් අප පැවත එන්නේ ඒ වාසනාවන්ත උපාසක උපාසිකා පරපුරෙනි. නමුත් ඒ උතුම් අභිමානයේ කිරුළ තේජාන්විතව හිස පළඳවා ගැනීමට අප අපොහොසත් වී ඇත. ‘‘අපි තවමත් වනන්තරේ…..”කියා කට වචනයට පැවසුව ද බුදු සසුනේ සැබෑ උපාසක – උපාසිකා පිරිවර දෙව්ලොව උරුමකරගන්තෝ ය.
ඉතින් අපට වැරදුණු තැන මතක්කර දීම උදෙසා ය මේ සටහන තබන්නට සිත් වූයේ… ඒ යටගියාවේ අභිමානය කැටි වූ වාසනාවන්ත යුගය යළි ස්ථාපිත කිරීම කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු හෝ මෙම පරිහානි ධර්මවලින් බැහැර ව බුදු සසුනේ අපරිහානී අයකු බවට පත්වුවහොත් එය සතුටට කරුණකි. එය ඔහුට දෙලොව සැප සලසන්නකි. බුදු සසුන තුළ ජීවත් වෙමින්, ධර්මාවබෝධය තුළ ශාසනකාමිත්වයෙන් සිව්පසයෙන් උපස්ථාන කළ මගඵල ලාභී ගිහි උපාසක උපාසිකාවන්ට අපගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණ ගිය සැබෑ ම උපාසකයෙක්, උපාසිකාවක් වන්නට සියල්ලන්ට ම සිත් පහළ වේවා!
ඇසුර : උපාසක පරිහානි සූත්‍රය – අං.නි. 05
උපාසක සටහන
ගගන රවිමාල්
නමෝ බුද්ධාය.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට.
මාගේ නමස්කාරය වේවා.
හමු උනා. මහානාම සූත්‍රය. අඞ්ගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වර්ගය.
ස්තුතියි
පින්වත් මිත්‍රවරුණි,
තිසරණ සරණ යෑමෙන්ම කෙනෙකු උපාසකයකු වන බව සඳහන් සූත්‍රය මට කියනවාද. මට මතක හැටියට සීහ සේනාපතියාට උපාසකයා සහ සිල්වත් උපාසකයා අතර වෙනස පහදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
ඔබ සැමට අමා මහ නිවන් සුව!