ළමා අපරාධකරුවා

දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් කිසිවිටෙකත් තම දරුවා නොමඟ ගොස් කරදරයේ වැටෙනවා දකින්නට කැමති නැත. වයස අවුරුදු පහළොව යනු අ.පො.ස. සාමාන්‍ය පෙළවත් අවසන් නො කළ කාලයයි. අද කථාව කියවාගෙන යන ඔබගේ සිතට විශේෂයක් දැනෙණු ඇත. ඒ දැළි රැවුලවත් නිසියාකාර ව එන්නට පෙරාතුව අවුරුදු පහළොවක ළමා වයසේ දී ම සුදන්ත මිනීමැරීමේ චෝදනාවට ලක්වීම යි.

සුදන්තගේ අම්මාත් තාත්තාත් ගමේ පොඩි සිල්ලර කඩයක් කරමින් තම පවුල නඩත්තු කරගෙන ගිය සාමාන්‍ය අය වූහ. තමන්ට වැඩි උගත්කමක් නැතත් දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් ප‍්‍රදේශයේ තිබුණු හොඳම පාසලට තම දරුවන් ඇතුළත් කළහ. මේ සිද්ධිය සිදු වූ 1990 වර්ෂයේ දී සුදන්ත, ගම් ප‍්‍රදේශයේ හොඳම පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

ව්‍යාපාරික ආශාව
පාසලේ ඉගෙනීමේ කටයුතුවලට වඩා සුදන්තගේ උනන්දුව ඇති වුණේ ඉක්මනින් මුදල් සෙවීමට යි. මේ නිසා අවුරුදු දහතුන තරම් කාලයේ සිට කුඩා සුදන්ත යම් යම් වෙළහෙළඳාම් කිරීමේ නිරත වී ඇත්තේ මුදල් සෙවීමේ ආශාව නිසා ය. තම නැන්දාගේ පුතා වූ වික‍්‍රම මේ වන විටත් ගමෙන් පිට වී කොළඹ ආසන්නයේ එළවළු වෙළඳාමේ නිරත වෙමින් සිටි අතර සුදන්තගේ හොඳම මිත‍්‍රයා ද ඔහු විය. පාසලේ නිවාඩු කාලය එළඹෙන තෙක් සුදන්ත බලා සිටින්නේ වික‍්‍රමගේ කඩයට පැමිණ එළවළු වෙළඳාමේ නිරත වීමට යි. පසු ව පාසල් අධ්‍යාපනය අතපසු කරමින් ඔහු ගම් ප‍්‍රදේශයෙන් සපයා ගත හැකි අලිගැටපේර, දොඩම්, නාරං, කෙසෙල් ගෙඩි ආදි පලතුරු වර්ග එකතු කර පෙට්ටිවල පටවා කොළඹ යවා වික‍්‍රමට විකුණා ලාභ ලබන්නට විය. මේ ලාභයට රස වැටුණු සුදන්ත පාසල් ගමන් යද්දී ම අත මිට සරු කර ගත්තේ ය. සාමාන්‍ය දරුවන් පාසලේ නිවාඩු කාලයට තම නෑදෑ ගෙවල්වල යන්නා සේ ඊටත් වඩා උනන්දුවෙන් සුදන්ත වෙළඳසැලට පැන එන්නේ තම ගජ මිතුරා වූ වික‍්‍රම මස්සිනාට උදව් කිරීමට ය.

මස්සිනාගේ සහායකයා
තමාට වඩා අවුරුදු පහක් පමණ වැඩිමහල් වික‍්‍රම සිටියේ ඔහුගේ දෙමාපියන් ළඟ ය. අතමිට සරු වික‍්‍රම නම් නාඹර තරුණයාට හැඩරුව ඇති සචිනි හමු වුණේ ඇය පාසැල් යන අතරතුරේ දී ය. මේ වන විට වික‍්‍රමගේත් සචිනිගේත් පේ‍්‍රම සම්බන්ධයට අවුරුදු දෙකක් පමණ කල්ගත වී තිබුණු අතර දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කිරීමට නො හැකි තරම් සිත්වලින් බැඳී තිබුණි. සචිනි ඇයගේ දෙමව්පියන්ගේ එක ම දරුවා විය. අක්කර විස්සක් පමණ පොල් ඉඩමක හිමිකරුවා වූ සචිනිගේ පියා රජයේ සංස්ථා විධායක නිලධාරියෙකු ද විය. තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දී මතු දියුණුව සැලැස්වීමට නිති වෙහෙසුණත් සචිනි ඒ සියල්ල පසෙක දමා පෙම්වතා සමඟ විවාහ වී තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට පිඹුරුපත් සකස්කොට අවසාන ය. සචිනිගේ පාසල් අධ්‍යාපනය ද හමාර වුණේ දෙවතාවක් ම සාමාන්‍ය පෙළ අසමත් වීම නිසා ය. වතු පිටි දේපළවල සවියත්, දුවගේ හැඩරුවත් නිසා මඟුල් කපුවෙකුගේ මැදිහත් වීමෙන් හොඳ මංගල යෝජනාවක් සචිනිට ගෙන එනු ලැබුවේ වික‍්‍රමගේ සම්බන්ධය කඩා දැමීමේ අරමුණෙනි. සචිනිගේ සිත දැඩි ය. ඇයට එකහෙළා වුවමනා වූයේ වික‍්‍රම සමඟ දීග කන්නට ය. සචිනිගේ ගෙදර සණ්ඩු සරුවල් වැඩි වූයේ වික‍්‍රම සමඟ ඇති පේ‍්‍රම සම්බන්ධය නැවැත්වීමට ගත් උත්සහාය නිසා ය. සචිනිට තහංචි පැනවින. ඇයගේ සියලූ ගමන් බිමන් නතර කෙරුණි. හොර රහසේ මේ සම්බන්ධය පවත්වා ගැනීමට වික‍්‍රමට සෙවණැල්ල මෙන් උපකාර කළේ තම මිතුරු මස්සිනා වූ සුදන්ත ය. වික‍්‍රමගේ ලියුම් සහ රහස් පණිවුඩ සියල්ල ඉතා උපක‍්‍රමශීලී ව සචිනිට ගෙන ගියේ සුදන්ත ය.

මාස කීපයක් ගත විය. මංගල යෝජනාවට කැමති වන්නට දෙමව්පියන්ගෙන් සචිනිට එල්ල වූ බලපෑම උත්සන්න විය. දැඩි සිත් ඇති සචිනි වික‍්‍රම සමඟ පැන යන්නට තීරණය කළා ය. වික‍්‍රමගේ ලිපියක් ගෙන ගිය සුදන්තට සචිනි කියා ඇත්තේ පසුව දා දවල් දොළහත් එකත් අතර තමා හොරෙන් කැන්දා ගෙන යාමට වික‍්‍රමට තම නිවසේ ගේට්ටුව අසලට වාහනයකින් පැමිණෙන ලෙසට ය.

කැන්දා ගෙන යාම
හොඳින් සූදානම් වූ වික‍්‍රම තම සහායක ගජ මිතුරා වූ සුදන්ත ද සමඟ සචිනි දුන් උපදෙස් පරිදි ති‍්‍රරෝද රථයකින් ඇයගේ නිවස වෙත ගියෝ ය. සචිනි මේ වේලාව නියම කර දුන්නේ කිසියම් කටයුත්තකට තම මවත් පියාත් නිවසෙන් බැහැර යාමට කර තිබුණු සැලැස්මක් දැනගැනීමෙන් ඉන් කිසියම් ඉඩක් ලබා ගැනීමට ය. කුරුමානම වැරදුණේ එම ගමන සචිනිගේ තාත්තා තනි ව ගොස් මව ගෙදර නැවතීම නිසා ය. මේ තත්වය සන්නිවේදනය කිරීමට සචිනිට ක‍්‍රමයක් නැත. කිසිවෙකු ගෙදර නැතැයි සිතූ වික‍්‍රමත්, සුදන්තත් ත‍්‍රිරෝද රථය ගේට්ටුවෙන් පිටත නවතා සෙමෙන් සෙමෙන් ගෙට ඇතුළු වූහ. මේ වන විට සචිනි ඇඳුම් පැළඳුම් සහ මුදල් ද එකතු කරගෙන පෙම්වතා සමඟ පැන යාමට සියල්ල සූදානම් කරගෙන තිබුණත් තම මව ගෙදර නැවතීම ඇයට බලවත් ගැටලූවක් විය. වික‍්‍රමත්, සුදන්තත් හඳුනාගත් මව සිදුවන්නට යන්නේ කුමක් දැයි හරි හැටි නො දැන ‘‘මෙන්න මගේ දුව බලෙන් ඇදගෙන යන්න ඇවිල්ලා” යැයි මොර දෙමින් එළියට දිව ගියේ තම පොල් වත්තේ වැඩ කරන සේවක පිරිසවත් එකතු කර ගැනීමේ අදහසිනි. මවගේ කෑ මොර දීමෙන් කරදරයක් විය හැකි යයි සිතූ වික‍්‍රම ඇය පසු පස ගියේ කෑ ගසන්නට එපා යයි කියමිනි. සවිනිගේ අම්මා කෑ ගසමින් නිවස අසල ම තිබුණු ළිඳ ළඟට ගොස් ඇත. සුදන්ත සචිනි ව ගමනට ලෑස්ති කරමින් සිට ඇත. අම්මාගේ කෑ ගැසීම ද දැන් නැත. වහ වහා තී‍්‍රීවීලයට නැගුණු වික‍්‍රමත්, සුදන්තත්, සචිනිත් ඉක්මනින් කොළඹට ආහ. වික‍්‍රමගේ සැලැස්ම වී තිබුණේ සචිනිත් සමග නුවර ගොස් ටික කලක් එහි රැඳී සිටීම යි. නො සන්සුන් සිත් ඇති වික‍්‍රම එම තීරණය වෙනස් කොට තම පෙම්වතිය සමඟ එදින කොළඹ පොඩි හෝටලයක නැවතුණි. සුදන්ත මහරගම හිතවතෙකුගේ ගෙදර ගියේ ය.

කුමක් සිදු වී ද?
සැබැවින් සිදුවුණේ කුමක් දැයි දන්නේ වික‍්‍රම පමණි. සුදන්ත පවසන ආකාරයට සිදු වූ කිසිවක් ගැන ඔහු නො දනී. එනමුදු මෙහි දී එහි සත්‍ය අසත්‍යතාව විමර්ශනය කිරීම මගේ කාරිය නො වේ. තව දුරටත් සුදන්ත කියන ආකාරයට සිදු වී ඇත්තේ සචිනිගේ මව මොර දෙන විට රඹුටන් ගසකින් පොලූ කෑල්ලක් කඩා ගෙන ගොස් ඇයගේ හිසට වික‍්‍රම පහරක් ගසා ඇති බවත් ඒ පහර වැදී ඇය ළිඳට වැටී ඇති බවත් ය. සැබැවින් සිදු වුණේ කුමක් ද? යන්න අභිරහසක් වුව ද පොල් ඉඩමේ සේවකයින් මේ කලබලය ඇසී එන විට තම වතු හිමිකාරියගේ මළ කඳ ළිඳ තුළ පාවෙමින් තිබී ඇත. ඔවුන් සිදු වූ යම් යම් දේ දැක ඇති බව ද සුදන්ත කියයි.

අපරාධකරුවෙකුගේ පසු හැසීරීම
වික‍්‍රම නො සන්සුන් ය. පසු දා උදෑසන සචිනි ඇමතූ වික‍්‍රම ‘‘අම්මාට මොනවා වුණා දැයි බලන්න අපි යමු” යැයි කියා ඇත. ඒ අනුව ත‍්‍රීවීලරයකින් වික‍්‍රම සමඟ ගෙදර ආ සචිනිට දැක ගන්නට ලැබුණේ තම මවගේ මළගම යි. අඬාගෙන ගෙට දිව ගිය සචිනි ගොළු වී ඇත. සේවකයින් අතින් වික‍්‍රම නිවස ඉදිරිපස ගසක ගැට ගැසුණි. තම මව මැරූ පෙම්වතා ගැන කලකිරුණු සචිනි එළියට වත් බැස නැත. කෙසේ හෝ තම මස්සිනාට වී ඇති අකරතැබ්බය කිසිවෙකු විසින් සුදන්තට ද දැනුම් දී තිබුණි. සුදන්ත වහ වහා තී‍්‍රවීලරයකින් එහි ගියේ ය. ඔහුට ද අත් වූයේ මස්සිනාට අත් වූ ඉරණම ම ය. දෙදෙනා ම පොලිස් අත් අඩංගුවට පත් වූහ. දිගු නඩු විභාගයකින් පසු ව මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් වූ වික‍්‍රමටත් සුදන්තටත් මරණීය දණ්ඩනය නියම වී දෙදෙනා බන්ධනාගාර දෙකක දුක සේ කාලය ගත කරති.

මේ කථාව දිගට කියවාගෙන ගිය ඔබට මේ තරම් සාහසික අපරාධයක් සිදු කිරීම කොපමණ අමන කි‍්‍රයාවක් දැයි වැටහෙනු ඇත. මේ සිද්ධි මාලාවේ එකක් එකක් දහමට ගළපා විමසා බැලූවහොත් යමක ඉෂ්ටානිෂ්ට ඵල විපාක නො විමසා අවිචාරවත් ව කටයුතු කිරීමේ ආදීන ව මනා ව පසක් වෙයි.

සුදන්තගේ වැලපීම
තම ළමා කාලයේ අපරාධකරුවෙකු ලෙස ජීවිතය අඳුරු කරගත් සුදන්තගේ කථාව දෙමාපියන් හට පාඩම් වැලක් කියා දෙයි. පාසල් යන දරුවන් නිසි ලෙස රැක බලා ගැනීම සහ පෝෂණය කිරීම පිළිබඳව දෙමව්පියන්ගේ පරම වගකීම සුදන්තගේ දෙමව්පියන් අතින් ඉෂ්ට වී නැත. පාසල් යන වයසේ දී තම අවධානය ව්‍යාපාර ආදී බාහිර කටයුතුවලට අත්තනෝමතික ව යන්නට ඉඩ දීමෙන් සිදු වූ අයහපත ගැන ඔහු තම දෙමව්පියන්ට ද දොස් කියයි. ඒ දෙමව්පියන් සුදන්තට මුදල් ඉපැයීමට ආශා ඇති කරනවාට වඩා අධ්‍යාපනය සමඟ දහමට අනුව හැඩගැස්ස වූවා නම් වික‍්‍රම වැන්නවුන්ගේ අතකොලූ බවට පත් වන්නට ඉඩක් නො ලැබෙනු ඇත.

පිළිකුලෙන් මෙන් මුහුණ ඇඹුල් කරගත් සුදන්ත කීවේ ‘‘අපේ තාත්තා හොඳ නැහැ. ඔහුගේ චරිතය හොඳ නැතිකම මාව ගෙදරින් ඈත් කරන්න හේතු වුණා.” දරුවන් හොඳින් හැදෙන්න නම් දෙමාපියන් යහපත් කල්කි‍්‍රයාවෙන් යුතු වීමේ වැදගත්කම ද ඔහු පුන පුනා කීවේ ය. තම දෙමව්පියන් ළඟ ආගම ධර්මය පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවත් උපතින් පමණක් බෞද්ධකම තිබුණු බවත් කියා සුදන්ත තමාට බුදු දහමේ ආශිර්වාදය ළං කරගන්නට යම් යොමුවක් ඇති වූයේ බන්ධනාගාරයේ ගත කරන කාලය තුළ දී බව ද කිය යි. තම මස්සිනා කෙරෙහි ඇති කරගෙන තිබුණු සහෝදර කැක්කුම හා මිත‍්‍රකම නිසා අවිචාරවත් ව උදව් කිරීමට යාමේ අනිසි ඵල විපාක තමා දැන් අත් විඳින බව සුදන්ත කීවේ හඬමිනි. මොහොතක් මොහොතක් පාසා මැරි මැරී උපදින බව කියන ඔහු මේ වන විටත් ජීවිත කාලයෙන් අඩකට වඩා බන්ධනාගාරයේ සිරි මැදිරි තුළ ගතකොට ඇත. පේනතෙක් මානයේ ඔහුට නිදහසක් ද නැත. තම දෑත් දෙක මා ඉදිරියේ විහිදුවා කඳුළු පිරි දෙනෙතින් ඔහු වරෙක කීවේ ‘‘මහත්තයෝ, මේ අත් දෙකින් මම කිසි ම මිනීමැරුමක් අපරාධයක් කරලා නැහැ. මට සිද්ධ වුණේ මහා අවාසනාවක්. හතුරෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා. මම මිනිමැරුමක් කර නැති නිසා මරණින් පස්සේ යන තැනකට මට බය නැහැ. එහෙම වුණත් වෙනත් අපායක් මොකට ද? මේ විඳින නිරා දුක මදි ද? දවසකට මං කොයිතරම් නම් උණු කඳුළු බොනවා ද? රාජ භෝජන දුන්නත් මට වැඩක් නැහැ.” ආදි වශයෙන් ඔහු නො නවත්වා ම හඬමින් කියන්නට විය.

අකීකරු දියණිය
තම දෙමව්පියන්ට අකීකරු ව ද්‍රෝහී ව සචිනි කටයුතු කර ඇති ආකාරය කොතරම් අවිචාරවත් දැයි මෙය කියවන නො දරුවෙකුට වුව ද පසක් වේ. තරුණ මදයෙන් දෑස් අන්ධ වූ විට දුර දිග නො බලා කටයුතු කරන තරුණ ජීවිතවලට සචිනි හොඳ පාඩමක් උගන්වයි. මේ වන විට සචිනි විවාහ ජීවිතයකට ඇතුළු වී සිටිය ද ඇය ඒ දීගය යන්නට ඇත්තේ අවලංගු වූ කාසියක් මෙනි. මෙලොවට බිහිකොට හදා වඩා ගත් ආදරණීය මෑණියන් ව තමාගේ නො මනා පැවතුම් නිසා අකාලයේ ඇය අහිමි කර ගත්තා ය. තම ආදරණීය පෙම්වතා ද අහිමි විය.

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නො හැක. දෙමාපිය අකමැත්තෙන් කාන්තාවක් බලෙන් අයිතිකර ගැනීමට යාමත්, ඒ සම්බන්ධයෙන් ඔහු ගත් නො මේරූ ක‍්‍රියාමාර්ගත් නිසා වික‍්‍රමට මේ විපත සිදු විය. බුදු දහමේ ශික්ෂණයක් ඔහුට වී නම් මෙබඳු අවුලකට වැටෙන්නට ඉඩක් නැත. මේ සියල්ල මෙලොව දී ඔවුන් අත් විඳින දුක් ගොඩයි. මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීමේ පාපය නිසා මරණින් මතු කොතරම් නම් නිරා දුකක් විඳින්නට ඔවුන් සූදානම් විය යුතු ද?
මේ සිද්ධිදාමයේ පංගුකාරයින් මඳකට හෝ මෙල්ල වූ සිත් ඇති හික්මුණු අය වූවා නම් සිදු වූ මේ මහා විනාශය වළක්වා ගත හැකි ව තිබුණා නො වේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල