බුදුරජාණන් වහන්සේ තුළ පැවති අතිශයින් ම විස්මිත වූ අවබෝධය ගැන ඔබ තුළ ශ්‍රද්ධාවක් ඇති වෙන්නට නම් ඔබ අනිවාර්යයෙන් ම බුද්ධ දේශනා කියවිය යුතු යි. එවිට ය බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කවර ධර්මයක් ද යන කරුණ පිළිබඳ ව යම්කිසි වටහා ගැනීමක් ඇති කරගත හැකි වන්නේ.
ධර්මයෙහි ගුණ හයක් තිබේ. පළමුවෙනි ගුණය ස්වාක්ඛාත ගුණයයි. අක්ඛාත යනු ප්‍රකාශ කිරීමයි. ස්වාක්ඛාත යනු ‘මනාකොට දේශනා කරන ලද්දේ ය’ යන්නයි. සැබැවින් ම එහි තේරුම කුමක් ද? එනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ආරම්භයත් කල්‍යාණ වූ දෙයකි. එහි මැදත් කල්‍යාණයි. එහි අවසානයත් කල්‍යාණයි. පැහැදිලි අර්ථයෙන් යුක්ත යි. පැහැදිලි වචනවලින් යුක්ත යි. ජීවිතාවබෝධය පිණිස, නිවන පිණිස, ඍජු ව ම යොමු කරවන ගමන් මාර්ගය පිළිබඳ ව පැහැදිලි විග්රහයකින් යුක්ත යි. එනිසයි තථාගත ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන්නේ. එය කොතරම් සත්‍යයක් ද කියා ඔබට තේරුම් ගත හැකි වන්නේ උතුම් බුද්ධ දේශනා කියවා ඒ ගැන නුවණින් විමසන්නේ නම් පමණි.
එමෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය සන්දිට්ඨික ගුණයෙන් යුක්ත යි. සන්දිට්ඨික යනු ඉහාත්මය හෙවත් මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. මේ ධර්මය සන්දිට්ඨික ගුණයෙන් තොර නම් ලොව කිසිවෙකුට කිසි කලෙක මාර්ග ඵල ලැබිය නො හැකි ම ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැතිරුණු සෑම දේශයක ම මග ඵල ලාභීන් පහළ වූයේ ධර්මයෙහි ඇති සන්දිට්ඨික ගුණය නිසා ම ය. මේ සන්දිට්ඨික ගුණය ගැන බුදු මුවින් වදාරණ දෙය ගැන බලන්න.
‘‘පින්වත් රාජකුමාරය, එක් ? දවාලක් තිබේවා. මේ පංචපධානීය අංගවලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමකගේ ඇසුර ලබන ඒ භික්ෂුවට සවසට අනුශාසනාව ලැබෙනවා. පසුව දා උදේ වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා. උදේ අනුශාසනාව ලැබෙනවා. සවස් වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා.”
– බෝධිරාජකුමාර සූත්‍රය (ම.නි. 2)
අද වන විට එම සන්දිට්ඨික ගුණය ගැන කතා කිරීම පවා නින්දා ලබන තත්ත්වයට පත් වී ඇත. සසුනෙහි පිරිහීම කොතරම් ද යන්න එයින් මැනැවින් පෙනී යයි. අඩු ගණනේ මෙම ධර්මයෙහි සන්දිට්ඨික ගුණය ගැන ශ්රද්ධාවවත් තිබිය යුතු ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උන්වහන්සේ වදාරණ අයුරින් යම් භික්ෂුවක් ප්රතිපත්තියෙහි යෙදුණහොත් සත් දිනක් ඇතුළත දී අරහත්වයට පත්වීම හෝ අනාගාමී බවට පත්වීම හෝ සිදුවන බවයි. බෝධිරාජකුමාර සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ උදේ වරුවේ උපදෙස් දෙන සේක. සවස් වන විට ඒ උපදෙස් ලැබූ භික්ෂුව මාර්ගඵලාවබෝධය ලබයි.
මේ සඳහා අනිවාර්යෙයන් ම තිබිය යුතු කුසලතා පහක් ගැන එම සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ වදාරණ සේක. එනම්, භික්ෂුව තුළ ශ්‍රද්ධාව තිබිය යුතු ය. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව පහන් සිතින් යුතු අදහාගැනීමක් තිබිය යුතු ය. එමෙන් ම නීරෝග කෙනෙක් විය යුතු ය. එමෙන් ම සට කපට, මායා නැති තමන්ගේ සැබෑ ස්වභාවය සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ විවෘතව කතා කරන කෙනෙක් විය යුතු ය. එමෙන් ම අකුසල් ප්රහාණය කිරීමටත්, කුසල් උපදවා ගැනීමටත් අවබෝධයෙන් යුතු වූ අධිකතර වීරියක් තිබිය යුතු ය. එමෙන් ම විදර්ශනා ප්‍රඥාව මුහුකුරවා ගත හැකි ආකාරයේ තියුණු යෝනිසෝමනසිකාරයක් තිබිය යුතු ය. මෙවැනි ලක්ෂණයන්ගෙන් යුත් පුණ්‍යවන්තයන් අද නැතැයි කීම මිනිස්කමට කරන නිගාවකි. මෙවැනි අය ස්වල්ප වශයෙන් හෝ සිටිය හැකි ය. එවැනි අයට පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නො ලැබුණහොත් ඔවුන් ද පිරිහෙනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළේ,
‘‘සන්ති භික්ඛවේ අප්ප රජක්ඛ ජාතිකා. අස්සවණතෝ ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”
‘‘පින්වත් මහණෙනි, කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුන් හට චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය අසන්නට නො ලැබුණහොත් ඔවුහු පිරිහී යන්නාහ. ඔවුන් හට ධර්මය අසන්නට ලැබුණහොත් ඔවුහු අවබෝධ කරන්නාහ.”
වශයෙනි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි යම් ශ්‍රාවකයෙකු තුළ සැබෑ ගෞරවයක් තිබේ නම්, එම ශ්රාවකයා විසින් කළ යුත්තේ ඒ ධර්මයෙහි ඇති ගුණාත්මක වටිනාකම ඉස්මතු කොට පෙන්වීම නො වේ ද? එම නිසා සද්ධර්මය තුළ තිබෙන සන්දිට්ඨික ගුණය කුමක් ද යන්න ගැන දැනගැනීමට ඔබට බෝධිරාජකුමාර සූත්‍රය ම ප්‍රමාණවත් ය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ගුණයෙන් යුක්ත ය. කෙනෙකුට එම ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුවහොත් ඔහු තුළ ධර්මයෙහි හැසිරෙන්නට කැමැත්තක් ඇති වේ. එවිට කලණ මිතුරන් සොයාගෙන යයි. කලණ මිතුරන්ගේ ඇසුරින් ධර්මය අසයි. ධර්මයේ හැසිරෙන්ට වීරිය කරයි. එවිට ඔහු දුසිල් බවින් අත්මිදෙයි. අකුසලයෙන් මිදෙයි; පස්පවින් මිදෙයි; සිල්වත් වෙයි; කුසල් වඩයි. දාන, ශීල, භාවනා ආදි පුණ්යක්රියාවල යෙදෙයි. මෙය ධර්මයෙහි ඇති අකාලික ගුණයක් නො වේ ද? එමෙන් ම පින්වත් කෙනෙකුට කාමයෙන් වෙන්ව, අකුසලයෙන් වෙන්ව, විරාගී ප්‍රීතියෙන් යුතු ව සමාධි සැපයක් පවා උපදවා ගත හැකි ය. එමෙන් ම පින්වත් කෙනෙකුට විදර්ශනා ප්‍රඥාව තුළින් හේතු ඵල දහම විනිවිද දැක්ක හැකි ය. ඒ සියල්ල ධර්මයෙන් ලැබිය හැකි අකාලික ගුණයන් නො වේ ද?
එවැනි සන්දිට්ඨික, අකාලික ගුණ තිබෙන මේ ධර්මයට කෙනෙක් හිතා මතා නින්දා අපහාස කළහොත්, ගැරහුවහොත්, එම ගුණයන් හෑල්ලූ වන ආකාරයට හෙළා දුටුවහොත් ඔවුන්ට බොහෝ පව් සිදුවීම වැළැක්විය නො හැකි යි. එමෙන් ම උපනූපන් ආත්මවල දී අහේතුක ප්රතිසන්ධිය ලබන්නටත් හේතු වනු ඇත. එමනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැරහීම යනු බලවත් පාපයක් බව අප තේරුම් ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්ත යි. ඒහිපස්සික යන්නෙහි තේරුම ‘ඇවිත් බලන්න’ යන්නයි. ඇවිත් බැලිය හැකි ධර්මයක් තේරුම් ගැනීමට ‘‘අපට පින් මදිය, අපට පින් නැත. ඒ සඳහා සසරේ බොහෝ ඇවිද යා යුතු ය. අනන්ත වාරගණනක් ඉපිද ගිය පසු අපට ධර්මය අවබෝධ වන්නේ ය” කියා අප පසු වුවහොත් එය අයත් වන්නේ බුදු දහමට නො වේ. ඒ මක්ඛලී ගෝසාලගේ මතය යි. එම මතය දරන බොහෝ උදවිය දැන් හිරි ඔතප් කිසිවකින් තොරව එය කියනු අපට අසන්නට ලැබේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිරු සඳු දෙකටත් වඩා ප්‍රභාෂ්වර දෙයකි. උන්වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය බබළන්නේ විවෘත වූ විට බවයි. සැඟවුණ විට නො වන බවයි. මෙම ධර්මය තුළ රහසේ උපදෙස් දීම, රහසේ උපදෙස් ගැනීම නැත. එසේ තිබුණා නම් එය අයිති වන්නේ උපනිෂද් ධර්මයටයි. උපනිෂද් ධර්මය යනු වේදාන්තයයි. එනම් වේදයෙහි අවසාන කොටසයි. බ්‍රාහ්මණයින් තම ශිෂ්‍යයන්ට ගුරු මුෂ්ටි වශයෙන් සඟවාගෙන උගන්වන ධර්මය උපනිෂද්වල ඇතුළත් වේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගුරුමුෂ්ටි කිසිවක් නැති දෙවි මිනිසුන් ඉදිරියෙහි ඉතා පැහැදිලිව එළිපෙහෙලි කරන ලද පරම ප්‍රභාෂ්වර ධර්මයකි. එසේ නො වන්නේ නම්, ධර්මය සංගායනා කළ හැකි ද? රහස් බණ සංගායනා කළ නො හැකි ය. වාචනා කිරීම ද කළ නො හැකි ය. අන් අයට ඇසෙන බැවිනි. එනිසා යම් තැනක රහස් බණක් ඇද්ද, රහස් උපදෙස් ඇද්ද, රහසේ උපදෙස් ගෙන පිළිපැදීමක් ඇද්ද එය සැක කළ යුතු දෙයකි. බුද්ධ දේශනාවේ තිබෙන්නේ ඇවිත් බලන්න යැයි කිව හැකි, ඕනෑ ම කෙනෙකු ඉදිරියේ නිර්භයව පෙන්වා දිය හැකි යථාර්ථවාදී ධර්මයකි. ඒ බව සූත්‍ර දේශනා තුළින් ඔබට ම මැනැවින් පසක් කරගත හැකි ය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕපනයික ගුණයෙන් යුක්ත යි. එනම් ධර්මයෙහි විස්තර වන්නා වූ යම් සීලස්කන්ධයක් ඇද්ද, එය තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නා වූ යම් සමාධි ස්කන්ධයක් ඇද්ද, එය ද තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නා වූ යම් ප්‍රඥා ස්කන්ධයක් ඇද්ද එය තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නේ ප්‍රගුණ කළ යුතු දෙයක් පිළිබඳ ව යි. එය තම තමා විසින් ප්‍රගුණ කිරීම කළ හැකි වන්නේ එහි ඇති ඕපනයික ගුණය නිසා ය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයෙන් යුක්ත යි. එනම් මේ ධර්මයට විවිධාකාර පුණ්යගුණයන්ගෙන් යුතු අය පැමිණෙති. ඔවුන් තුළ ධර්මයෙහි හැසිරීමෙහිලා විවිධාකාර කුසලතාවයන් ඉස්මතු වේ. ඒ හේතුව නිසා එකම ධර්මය අසන සමහර කෙනෙක් සෝවාන් වෙති. ඇතැම් කෙනෙක් සකෘදාගාමී වෙති. ඇතැම් කෙනෙක් අනාගාමී වෙති. ඇතැම් කෙනෙක් අරහත්වයට පත්වෙති. එයින් පැහැදිලි වන්නේ ධර්මයෙහි අවබෝධය ඇති වන්නේ එක එක්කෙනා තුළ වෙන වෙනම බවයි. බුද්ධිමත් උදවිය විසින් තම තම නැණ පමණින් එම ධර්මය අවබෝධ කරගත යුතු බව පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයයි.
මෙබඳු ගුණයෙන් සපිරි උතුම් බුද්ධ වචනය මෙවැනි යුගයක දී තමන්ගේ භාෂාවෙන්, තේරෙන වචනවලින් අවබෝධ කරගන්නට ලැබෙන්නේ නම් එය කොතරම් වාසනාවක් ද? එනිසා මේ උතුම් බුද්ධ දේශනා සුලභ වීම යනු මිනිස් ලොවට ඇතිවන ලාභයක් ම ය. එහි අර්ථ මැනැවින් තේරුම් ගත හැකි වීම මිනිස් දිවියට ආලෝකයක් ම ය. මජ්ඣිම නිකායෙහි ඒසුකාරී සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ ‘‘පින්වත් බ්‍රාහ්මණය, මනුෂ්‍යයා හට තමන්ගේ ම ධනයක් හැටියට මා පණවන්නේ ආර්ය වූ ලොව්තුරා දහමයි” යනුවෙන් වදාළ සේක. එසේ නම් මනුෂ්‍යයාට ස්වකීය ධනයක් ලෙස ආර්ය වූ ලෝකෝත්තර ධර්මයක් ලබාගත හැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මිස වෙන කුමකින් ද?
namo buddhaya!