හීන්සීරුවේ පාර පැත්තට ඇදුනෙ යාළුවෙක් හමුවෙන්න යන්න. ටික දුරක් යද්දි ම කලින් යාළු වෙලා ඉඳපු ගැහැණු ළමයෙක් ව හමු වුණා ඉස්සරහට. මං හිනා වුණා. එයා අහක බලා ගත්තා. පරණ මතකයන් ආයෙත් අලූත් වුණා වගේ දැනුණා. ඉස්සර ගත කළ සෙල්ලක්කාර ජීවිතේ මතක් වෙලා මට තනියම හිනා ගියා. පව් කියලත් හිතුණා. ඉස්සරට වඩා එයා දැන් සුදු වෙලා. ටිකක් විතර මහත් වෙලා. හැබැයි මං දැන් එයාට වඩා ටිකක් උසයි. “සාරියක් එහෙම ඇඳල… හොඳ ඔෆිස් එකක වැඩ ඇති…” මට හිතුනා. කාලය මවපු වෙනස ගැන හිතිලා මට මගේ බුදු සමිඳුන්ව මතක් වුණා.

“පින්වත් මහණෙනි, හොඳට හයිය හත්තිය තියෙන දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් නුවර හතරමං හන්දියකට එනවා. පුළුවන් තරම් වෙර දාල එකම වෙලාවට ඊතල හතරක් හතර දිශාවට විදිනවා. තවත් පුරුෂයෙක් මේ ඊතල හතර ම බිමට වැටෙන්න නො දී අල්ලගන්නව නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන ඔබ මොකද හිතන්නේ?” කියල මගේ බුදු සමිඳුන් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා.

“අනේ ස්වාමීනි, එක ම වෙලාවේ දී හතර දිශාවට විදින ඊතල හතර ම බිම වැටෙන්න නො දී අල්ලා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන හිතන්නවත් බෑ.” කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා,

“පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ ඉර හඳ දෙක ගමන් කරනවා. මේ ඉර හඳ ගමන් කරනවට වැඩිය වේගෙන් ඒවාට අධිගෘහිත දෙවියන් ගමන් කරනවා. පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ උපන් මනුස්සයාගේ ජීවිතේ ගෙවිලා යනවා.” කියල ඒ වෙලාවේ දී මගේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් නම් සත්‍යයක් ද වදාළේ කියල හිතෙද්දි මට බුදු සමිඳුන් ගැන පුදුම ආදර ගෞරවයක් ඇති වුණා.

හිත හරි ඉක්මනට අතීතෙට දිව්වා. හුඟාක් පුංචි කාලේ වෙච්ච දේවල් පවා මට අද ඊයෙ වුණු දේවල් වගේ මතක් වුණා. හරියි කියලා හිතාගෙන මා කරපු වැරදි දේවල් ගැන මතක් වෙද්දි මට මහා ලැජ්ජාවක් ඇති වුණා. වාසනාවකට උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ මුණගැහිලා මේ උතුම් ධර්මය මුණගැහුණු එකට නම් මට පුදුම සතුටක් තියෙන්නෙ. ඒ උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ හමු නො වුණා නම් අදත් මං ඒ රූපෙට අහු වෙලා යනව නේද? කියල මට හිතුණා.

ඒ උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ කියා දුන් බුද්ධ දේශනාවක් ඒ වෙලාවේ දී මට සිහි වුණා. ඒක කොච්චර ඇත්තක් ද කියල හිතුණේ මගේ හිත අර දැකපු රූපය ගැන ම හිතන්න යද්දි. “මේ ඇස කියල කියන්නේ රූපය තුළ ම පවත්වන්න කැමති එකක්. ඇසට පෙනෙන රූපෙත් එක්ක තමයි ඇස පවතින්නේ. ඇස තියෙන්නේ රූපයට ඇලිල. ඇස තියෙන්නේ රූපයෙන් සතුටු වෙවී. ඒ ඇස තථාගතයන් වහන්සේ දමනය කරලා තියෙන්නේ; සංවර කරලා තියෙන්නේ; රැකගෙන තියෙන්නේ; මනාකොට සංවර කරලා තියෙන්නේ. ඒ වගේ ම ඇස සංවර කිරීම පිණිස ධර්මය දේශනා කරනවා. මගේ බුදු සමිඳු කොච්චර නිදහසකින් ද ඉන්නේ. ඇස දමනය කරලා ඉන්නේ. ඒ වගේ උත්තමයෙක් සරණ ගියා කිය කියා “චිකේ” ලැජ්ජා නැතුව මේ හිතන කැත දේවල්! මට ආයෙත් මගේ කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේව සිහි වුණා. උන්වහන්සේ දේශනා කළානේ නිතර හිතන්න කියල ‘මම සංවර වෙමි…..’ මං එහෙම හිතුවා.

යාළුවගේ ගෙදර යද්දී යාළුවා ගමනක් ගිහින්. යාළුවගේ අම්ම හිටියේ. අම්මා මා එක්ක කථාවට වැටුණා. ආ ගිය විස්තර කථා කරමින් ඉන්න ගමන් ඒ අම්ම එක පාරට මගෙන් ඇහුවා. “ඇත්ත ද පුතා මේ මහණ වෙන්න යනවයි කියන්නේ ආරණ්‍යයකට…? මොකෝ සසර කලකිරිලවත් ද…?” මං හිනා වුණා. හිනා නො වී වෙන මොනවා කරන්න ද…? “සසර ඇත්තට ම කලකිරුන නම් මං මෙහෙම ඉන්නෙ නෑ නෙ අම්මෙ” මං කියපු දේ අම්මට වැටහුණා ද දන්නෙත් නෑ. ඇත්තට ම ඒ කලකිරීම ගැන නම් තාමත් මටත් හරියට වැටහුණේ නෑ.

“ඇයි පුතේ එහෙම වුණේ…? ගෑනු ළමයා එක්කවත් තරහ වුණා ද?” මට ආයෙත් හිනා ගියා. “අම්මේ මං මහණ වෙන්න නෙවේ එහෙ යන්නේ. එහෙන් තමයි ජීවිතේ ඇත්ත ගැන බුදු සමිඳුන් වදාළ දේ පැහැදිලිව ම නිවැරදිව ම මට ඇහුණේ… හැමදාමත් බුදු සමිඳුන් වදාළ දේවල් තමයි එහෙන් ඇහෙන්නේ. හැකිනම් අම්මත් පෝයට එන්න.”

“අපෝ බෑ. එහෙ හාමුදුරුවෝ වශී බන්ධන කරනවලූ. ඒකනේ ඔච්චර තරුණ ළමයි මහණ වෙන්නේ.” මං ආයෙත් හිනා වෙලා කිව්ව… “එහෙනම් ඉතින් අම්මල අපි උදේ හවහ සරණ යන අපේ ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සෙත් වශී බන්ධන කරපු නොම්මර එකේ කට්ටඩියෙක් වෙන්න ඕන. මොකද මේ වගේ නෙවෙයි…. දහස් ගණන් තරුණ පිරිස් එකවර ගිහිනුයි භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණේ. මේ අකාලික ධර්මයේ ආශ්චර්යය නිසා ම යි අම්මෙ එහෙම වෙන්නෙ. ඒ නිසා ඔය මෝඩ කථා කියල නිකරුණේ පව් පුරවගන්න එපා.”

අම්ම මට තේ එකක් දුන්නා. අම්මට හුඟක් පින් කියල මං එළියට බැස්සෙ මේ ලෝකෙ ගැන, ලෝකෙ මිනිස්සු ගැන, ඒ මිනිස්සු මැද්දෙ ම ඉන්න මං ගැන හිත හිතා. හරි ම වේගෙන් වයසට යන, ලෙඩ වෙන, මැරෙන, ප‍්‍රියයන්ගෙන් වෙන් වෙන, අපි‍්‍රයයන් හා එක්වෙන ජීවිතයක් උරුම කරගෙන, ආයේ ආයෙමත් ඉපදි ඉපදී යන මේ සසර ගැන ඇත්ත ඇති සැටියෙන් ම ඇහිලත් මේ ගැන හරි අවබෝධයක් ඇති වුණේ නැති එක ගැන මට හරි දුක හිතුණා.

“හා… ඕක දුක් වෙන්න දෙයක් නෙවෙයි. ඒක ප‍්‍රඥාවේ මදිකමනේ. නුවණ දියුණු වෙන්න නම් මේ බුද්ධ දේශනා නැවත නැවත නුවණින් මෙනෙහි කළ යුතු යි. තියුණු නුවණක් ලැබෙන්නෙ එතකොටනෙ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම ම මුල් කරගෙන පින් දහම් කරල කුසල් වඩාගත්තොත් තමයි හොඳ. තමන්ගේ හිත කියන දේ නෙවෙයි, මේ ධර්මය ම විශ්වාස කරගන්න. මේ ධර්මයේ ගුණයක් තමයි සන්දිට්ඨික බව. මේක අකාලික දහමක්. ඕපනයිකයි. තමා තුළින් දැකිය හැකියි. ඒ නිසා මේ ධර්මය අදහගෙන ම මේක අනුගමනය කරන්න.” උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ දේශනා කළ ධර්මයක් මට ආයෙත් මතක් වුණා.

අප ඉන්නේ මිනිසුන්ගේ ප‍්‍රඥාව හීන වෙලා යන කාලෙක. නුවණ මොට වෙලා ගිය කාලෙක. හිතට එන රාගයට අහුවෙලා යන හැටි… හිතට එන ද්වේෂයට අහුවෙලා යන හැටි… අනේ මෝඩකමක මහත! අනිත්‍ය බව දැන දැන ම අහුවෙලා යන විදිහ… වාසනාවකට කල්‍යාණ මිත‍්‍රයෝ පහළ වුණා.

“අපිට දුර්ලභ දෙයක් ලැබුණා. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇති විශ්මිත ඥානයෙන් අවබෝධ කරගත් ධර්මය අපිට ලැබුණා. මැණික ලැබුණා. ඔප දාගන්න කවුරුත් නෑ. ඔහේ තියෙනවා. හැමෝම කියවනවා “මෙන්න මැණික… මෙන්න මැණික…” ඒත් ඔප දාගන්න කවුරුත් නෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා ජීවිතේට යම්කිසි අර්ථයක් සොයාගත යුතු යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිය කෙනා ජීවිතේට යම්කිසි අර්ථයක් සොයා ගත යුතු යි. ශ‍්‍රාවක සංඝයා සරණ ගිය කෙනා ජීවිතේට යම්කිසි අර්ථයක් සොයාගත යුතු යි. මේක හිස් ලෝකෙක හිස් තරගයක්. ඔබට පේන්නේ නැද්ද ඒක?…. මේ හිස් ලෝකය දන්නෙම නැතුව ගෙවිල යයි… දන්නෙම නැතුව අපි මිය යයි… දන්නෙ ම නැතුව මිය යද්දි අපිට එල්ලෙන්න තියෙන්නේ නැවතත් සකස් වෙච්ච මේ හිස් ලෝකයේ ම නම් අපි ඇසූ බණ කුමට ද?…

අනේ…! කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේගේ උතුම් සිංහනාදය මතක් වෙලා මට ආයෙත් සිහි ඉපදුනා. මැරුණට පස්සේ ආයෙත් මේ මනුස්ස ලෝකෙම ඉපදෙන්න වුණොත් නැවත මේ ධර්මය මේ ආකාරයෙන් ම මුණගැහෙන්නේ නෑ නේ. එතකොට මේක තවත් පිරිහුණු ලෝකයක්. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ මේ ලෝකෙන් මේ සද්ධර්මය නැත්තට ම නැතිවෙලා යාවි. පිරිසිදු ධර්මය විවර වීමට එරෙහිව දැනටත් සේනා සංවිධානය කරන ගිහි පැවිදි හිස් මිනිසුන් ධර්මයේ නාමයෙන් ඒ අයගෙ පෞද්ගලික මතවාද සමාජගත කරල මිථ්‍යාදෘෂ්ටිය වපුරාවි. කම්සැප විඳීමින් වැජඹේවි. දැනටත් බොහෝ කොට වෙන්නෙ ඔය දේ නෙ. ධර්මයට විරුද්ධව මේ තරම් කෙනෙහිලි, ඊර්ෂ්‍යා, කුහකකම් කරන්නෙ නිර්මල ධර්මය විවර වීම ඉදිරියේ මේ අයගෙ ලාභ සත්කාර ගිලිහී යාම නිසා ම යි. බුද්ධ කාලීන භාරත සමාජයේ එදා සිද්ධ වුනෙත් මේ ටිකම නෙ. පව් එයාල. අනුකම්පා කරනව ඇරෙන්න වෙන මක් කරනන් ද…?

පුංචි කාලේ ගෙවල නව යොවුන් වියට ආපු මං හරි ඉක්මනට තරුණ කාලෙට ආව. තව ටික දවසකින් ම මැදි වියට ඇවිත් ඉක්මනට ම අන්තිම කාලෙට යාවි. වයසට ගිහින් වකුටු වෙලා, කන්න බොන්නවත් පණක් නැතුව දුක් විඳින්න වෙන හැටි මතක් වෙලා මට හුඟක් බය හිතුණා. දවසක් උණ හැදිලා විඳපු දුක මට අයෙත් මතක් වුණා. පුංචි උණක් හැදුනම එච්චර දුකක් නම් ඊට වඩා සිය දහස් ගුණයකින් ලොකු දුකක් මට උරුමයිනේ කියල මට හුඟක් බය හිතුණා. ඊ ළඟ මොහොතේ වුණත් මැරිලා යන්න පුළුවන්. මරණයට නිශ්චිත තැනක් වෙලාවක් නෑ නේ කියල හිතුණම…. මගෙ අම්මල අක්කල වුණත් දැන් මැරුණොත්, ප‍්‍රිය දෙයින් වෙන් වීමෙන් මට විඳින්න වෙන දුක ගැන හිතිලා මට හුඟක් බය හිතුණා. මෙච්චර දුක් ගොඩාක් උරුම කරගෙන, ආයේ ආයේ යන්න හදන සසර ගමන ගැන මට හුඟක් බය හිතුණා. වයසට යාම ඒකාන්තයි නම්, ලෙඩවීම ඒකාන්තයි නම්, මරණය ඒකාන්තයි නම් දුක් විඳ විඳ හොයන මේ සැප මොකට ද කියල මට හිතුණා. දුකෙන් මිදෙන ධර්මය අහ අහ ඒක තේරුම් අරන් දුකෙන් මිදෙන්න උත්සහයක්වත් නැතුව ඉන්නව නම් ඇත්තට ම මේ ඇසු බණ පද මොකට ද කියල මට හුඟක් දුක හිතුණා. අනේ සාදු! සාදු…! දුකෙන් මිදෙන මඟ ගැන කියල දීපු මගෙ සම්බුදු සමිඳුට මං එතන ම දණ ගහල වන්දනා කළා… උතුම් මුනිඳුගේ ධර්මය මට තේරෙන්න කියල දීපු උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා….!

මළකඳන් වගේ මිනිස්සු මැද්දේ, මළකඳක් වගේ ම ගඳ ගගහ ඉඳල, දුර්ලභව ලොව පහල වූ උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා නිසා ම ආයෙත් උපන් එකෙක්