උණු තාර ඇතිරිල්ල දිගේ වාහන හැල්මේ දුවනවා. නුඔ හොඳට නිදි…
කටුවත්, මිටියත් හුරු පුරුදු දෑත් රළු කළු ගල් එක්ක ඔට්ටු වෙමින් කාසි පණම් හොයනවා. මේ තරම් සියුමැලි ද කළු ගල් කියලා බලන්නේ නැති ව ම නුඔ හොඳට නිදි…
ලෝකය ම අවදියෙන් ඉඳගෙන ජීවිතය ජීවත් කරවන්න අපමණ වෙහෙසක් දරාගෙන ගිනියම් වෙලා ඉන්න මොහොතක, ඝෝෂාකාරි හඬින් ලෝකය පිරිලා තියෙන මොහොතක…
ඒ ගැන වගේ වගක් නැතිව නුඔ හොඳට නිදි…
නිදා වැටුණ සිහින පොදිය පැදුරට නම් මහ බරක් නෙමෙයි. ඒත් පුංචි දුවේ, මේ අරුම පුදුම ලෝකෙට නම් නුඔ ව බරක් වෙන ඉඩ කඩ තමයි ගොඩක් වැඩි. නෑ, නෑ මං නුඔ ව බය කරනවා නෙමෙයි. දුවේ, මේ ලෝකෙ තියෙන්නේ බොහොම බය හිතෙන ඇත්තක්. දැන්ම ඒ දේ කියලා නො දුන්නොත් ඒ ඇත්තට මුහුණ දෙන්න වෙද්දි දූ ගොඩක් අසරණ වෙයි. ඒ නිසයි මං මේ දේවල් කියන්න හිතුවේ.
දූ දන්නෙ නැහැ, මේ ලෝකෙ හැම තත්පර තුනක දී ම අවුරුදු පහට අඩු එක දරුවෙක් මිය යනවා. කන්න බොන්න නැතිව ලෙඩ රෝගවලින් පීඩා විඳිමින් තමයි ඒ ගොඩක් අය මරණයට පත් වෙන්නේ. එන්න එන්නම ඔය ගණන තවත් වැඩි වෙනවා. කොහොම හරි එතැනින් බේරිලා ජීවත් වෙන්න ලැබුණත් මේ වල්මත් වුණ ලෝකෙ මංමුලා නො වී ජීවිතේ යහපත් අයුරින් හැඩ ගස්වන එකත් ගොඩක් අමාරුයි. එක මොහොතක ලබන බොහොම සුළු ආස්වාදයක් වෙනුවෙන් මනුස්සකම්වලට පයින් ගහන සමාජයක් මේ. මුදල්වලින් බොහෝ දේවල් මනින සමාජයක් මේ. ලෝකෙට වටින්නේ පණ ඇති සජීවි දේවල් නෙමෙයි දුවේ. පණ නැති අජීවි දේවල්වලට තමයි හොඳ ඉල්ලුමක් තියෙන්නේ. මේ විපත් මහ ගොඩක් තියෙන ලෝකයක්. යුද්ධ, කල කෝලාහල, ලෙඩ දුක්, ස්වභාවික විපත්… මොන විපත ද මේ ලෝකෙ නැත්තේ? ජීවත් වෙනවට වැඩිය මැරෙන්න තමයි ගොඩක් අවස්ථා තියෙන්නේ.
මේ හැම දේකින් ම බේරිලා ජීවත් වුණත් ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක සිද්ධ නො වී තියෙන්නෙ නෑ. හැමෝටම ඒ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ආගම, ජාතිය, දැන උගත්කම, වත් පොහොසත්කම, වයස, තරාතිරම කිසි දෙයක් ගණනකට ගන්නේ නැතිව ඒ දේවල් මොහොතකින් අප කරා එනවා.
ගොඩක් බය හිතුන ද? බය වෙන්න එපා දූ. ඔය හැමදේට ම හොඳ ම සහ එක ම විසඳුම අදටත් මේ ලෝකෙ තියෙනවා. ඒ මාර්ගය හොයා ගත්තේ බොහෝ කාලයක් සියලු විපත්වලින් ලෝක සත්ත්වයා මුදවන්න පෙරුම් පුරාගෙන ආපු සුපවර උත්තම මිනිසෙක්. ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීමෙන් සරණ යා හැකි මිනිසෙක්. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඒ… උන්වහන්සේ සොයා ගත් විමුක්ති මාර්ගය අදටත් ජීවමාන යි.
දූට හිතෙනව ද මේ දේවල් දන්න නිසා හැමෝටම ඒ එක ම විමුක්තියට එළඹෙන්න උවමනා ඇති කියලා? එහෙම නෑ. මේ කාම ලෝකෙ සැප සම්පත්වලට මුලා වෙලා ඒ අය හැල්මේ දුවනවා. විපත වෙන්නෙ තමන්ට නෙමෙයි නම් සුවසේ නිදා ගන්නවා. විපත වෙන්නෙ තමන්ට නම් හඬා වැලපෙනවා. දෙස් දෙවොල් තියනවා. කාලයක් යද්දි ඔක්කොම අමතක කරලා දානවා. ආයෙත් හැල්මෙ දුවනවා. ඇත්ත පෙනෙද්දි ඇස් වහගෙන නිදා ගන්නවා. ඔව්, ඇස් ඇරගෙන හරි ඔවුන් නිදා ගන්නවා…
ඒත් දූ එහෙම කෙනෙක් වෙන්න එපා. මිහිඳු මහ රහතන් වහන්සේ අපට දුන්න ඒ සදහම් දායාදය මෙත් සිතින් දුවටත් දෙන්න කල්යාණ මිත්රයෝ ඉන්නවා. ගිනියමේ දුක් විඳින ජීවිත සදා සුවපත් කරවන ඒ සදහම් දියවර තවමත් ගලා හැලෙනවා. අසිරිමත් අයුරින් ම ගලා හැලෙනවා…
ඇස් ඇරලා බලන්න දූ…
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමී
පෙව් එ උතුම් සදහම් මී
පුත නුඔටත් පොවමි එ මී
Recent Comments