යෝධයන් ලැබීම
01. ඒ කඩොල් ඇත් තෙමේ බල ලකුණු රූපයෙන් ද තේජස් ජව ගුණයෙන් ද අග්‍ර වූයේ විශාල කයකින් යුතු විය.
02. (ඒ ගාමණී අභය කුමරු හට) නන්දිමිත්ර, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, එසේ ම,
03. ඛඤ්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන මහා බල ඇති දස මහා යෝධයෝ වූහ.
04. ඒ එළාර රජුගේ මිත්‍ර නම් වූ සෙන්පතියෙක් ඇත්තේ ය. හෙතෙමේ හට නැගෙනහිර කඩරොද කර්මාන්ත ගමෙහි
05. සිතුල්පව්ව සමීපයේ සොයුරියකගේ පුතෙකු වී ය. කොපුවක බහාලූ වැනි පුරුෂ නිමිති ඇති, මාමණ්ඩියගේ නාමය ම ඇති,
06. දුර බඩ ගාගෙන යන ඒ ඉතා ළදරු කුමරුගේ ඉඟේ වරපටකින් ඇඹරුම් ගල බඳින ලද්දේ ය.
07. ඒ ඇඹරුම් ගල ද ඇදගෙන බිම බඩ ගාගෙන යන කල්හි එළිපත ඉක්මවීමේ දී වරපට බිඳී යන්නේ ය.
08. එහෙයින් නන්දිමිත්ර යැයි ප්‍රසිද්ධ වූ හෙතෙමේ ඇතුන් දස දෙනෙකුගේ බලයෙන් යුතු විය. හෙතෙමේ වැඩුණු කල නගරයට පැමිණ මාමණ්ඩියට උපස්ථාන කළේ ය.
09. එකල චෛත්‍යය ආදියට අසත්කාර කරන දමිළයන් ව ශක්ති සම්පන්න හෙතෙමේ එක් පයකින් කලවය පාගා අතින් ඉදිරි කලවය
10. ගෙන දෙපළු කොට බැහැර දමයි. ඔහු බැහැර දමන සිරුරු දෙවියෝ අතුරුදහන් කරවති.
11. දමිළයන් අඩු බව දැක ඒ බව රජුට දන්වන ලදී. (රජු) “තම යෝධයෝ ඔහු අල්ලා ගනිත්වා!” යැයි කීව ද එය කළ නො හැකි විය.
12. නන්දිමිත්ර මෙසේ සිතන්නේ ය. ‘මා මෙසේ කරන විට දමිළ ජනයා අඩු වූව ද ශාසනයේ බැබළීමක් නො වන්නේ ය.
13. රුහුණු රට තුනුරුවන කෙරෙහි පැහැදුනු රජවරු වෙසෙන්නෝ ය. එහි ගොස් රාජ සේවය කොට සියලු දමිළයන් ගෙන
14. ඒ ක්ෂත්රියයන්ට රාජ්‍යය ගෙන දී බුද්ධ ශාසනය බබළවන්නෙමි.’ මේ අරමුණින් ගොස් ගාමණී කුමරු හට ඒ බව පැවසී ය.
15. හෙතෙමේ මෑණියන් හා සාකච්ඡා කොට ඔහුට සත්කාර කළේ ය. එසේ සත්කාර කරන ලද නන්දිමිත්ර තෙමේ ගාමණී කුමරු වෙත වාසය කළේ ය.
16. කාවන්තිස්ස රජු දමිළයන් වළකනු පිණිස මහා ගංගාවෙහි සියලු තොටුපළවල් ආරක්ෂා කළේ ය.
17. රජුගේ අන් බිරිඳකගේ පුතෙකු වූ දීඝාභය නම් කුමරෙක් වි ය. ගංගාවේ කසාතොට ඔහු ලවා ආරක්ෂා කරවන ලද්දේ ය.
18. හෙතෙමේ ආරක්ෂාව පිණිස හාත්පස යොදුන් දෙකක් (ගිය තැන) මහා කුලයකින් එක එක පුතෙකු බැගින් එහි රැඳවී ය.
19. කොට්ඨවාල ජනපදයේ කඩවිටි නම් ගමෙහි පුතුන් සත් දෙනෙකු ඇති ‘සංඝ’ නම් ප්‍රධාන කුලපතියෙක් වී ය.
20. රජ කුමරු පුතෙකු ගෙන්වනු කැමති ව ඔහු වෙත ද දූතයෙකු යැවී ය. (ඔහුගේ) නිමල නම් සත් වැනි පුත්‍ර තෙමේ ඇතුන් දස දෙනෙකුගේ බල ඇත්තේ ය.
21. ඔහු ක්‍රියාශීලී නැති හෙයින් සොහොයුරෝ හයදෙනා විසින් ම හෙළා දකිනු ලැබෙන්නේ ඔහුගේ ගමන ම කැමැති වූහ. (එහෙත්) මවුපියෝ එය කැමති නුවූහ.
22. (නිමල තෙමේ) අනෙක් සහෝදරයන් ගැන කිපී ඉතා උදයේ ම තුන් යොදුන් මඟ ගෙවා (ගොස්) හිරු නැගෙන කල්හි ම රජ පුතු ව බැහැ දුටුවේ ය.
23. හෙතෙමේ ඔහු විමසනු පිණිස දුර කටයුත්තක යෙදවූයේ ය. “සිතුල්පව්ව සමීපයේ fදාරමඬලාව ගමෙහි
24. කුණ්ඩල නම් යහළු බමුණෙක් වෙසෙයි. ඔහු සතුව මුහුදෙන් එතෙර භාණ්ඩ ඇත්තේ ය.
25. ඔබ ගොස් ඔහු විසින් දෙනු ලබන භාණ්ඩ මෙහි ගෙන එන්න.” මෙසේ කියා බොජුන් අනුභව කරවා ලියුමක් ද දී යැවී ය.
26. මේ අනුරාධපුරය එයින් (කසාතොටින්) යොදුන් නවයක් දුරින් වී ය. හෙතෙමේ පෙරවරුවේ ම ගොස් බමුණා ව දුටුවේ ය.
27. “දරුව, වැවෙන් නා පැමිණෙන්න.” යැයි බමුණා කීය. එහි පෙර නොආ බැවින් තිසාවැවෙන් නාගෙන,
28. මහා බෝධිය ද ථූපාරාම චෛත්‍යය ද පුදා සමස්ත පුරවරය ම දකින්නට නගරයට පිවිස
29. සල්පිලෙන් සුගන්ධ ද්‍රව්‍යය ගෙන එහි උතුරු fදාරටුවෙන් නික්මී උපුල් කෙතින් උපුල් මල් ද ගෙන
30. ඒ බමුණා වෙත එළඹියේ ය. (බමුණු තෙමේ) විමසන ලද්දෙන් හෙතෙමේ තම ගමන් ගැන කීය. ඒ බමුණු තෙමේ ඔහුගේ පළමු ඒමත්, මෙහි ඒමත් ගැන අසා
31. පුදුමයට පත් වූයේ මෙසේ සිතී ය. ‘මේ තෙමේ ජව සම්පන්න පුරුෂයෙකි. ඉදින් එළාර රජු දැන ගතහොත් මොහු අත්පත් කොට ගන්නේ ය.
32. එනිසා මේ තෙමේ දමිළයන් සමීපයේ වාසය කරවාලීම නුසුදුසු ය. රජ පුතුගේ පියාණන් වෙත වාසය සුදුසු ය.’
33. මෙසේ ම ලියුම ලියා ඔහුට දී පුර්ණවර්ධන නම් වස්ත්‍ර ද බොහෝ පඬුරු ද
34. දී, භෝජන අනුභව කරවා මිතුරු කුමරු වෙත යැවුවේ ය. හෙතෙමේ හවස් යාමයේ කුමරු වෙත ගොස්
35. ලියුම ද පඬුරු ද රජ පුතුට දුන්නේ ය. තුටු වූ හෙතෙමේ “දහසකින් මොහු සතුටු කරවන්න.” යැයි කීය.
36. රජ පුතුගේ අනිත් සේවකයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝ ය. ඒ (කුමර) තෙමේ (එකල්හී) දස දහසකින් ඒ දරුවා සතුටු කරවූයේ ය.
37. ඔහුගේ කෙස කපා ගඟෙහි නහවා පූර්ණවර්ධන වස්ත්‍ර යුගලයක් ද මනා ගඳ මල් ද පලඳවා, ආලේප කරවා ඉතා රූපත් ව සරසා
38. දුහුල්පටකින් හිස වෙලා (කුමරු වෙත) පැමිණවූහ. කුමරු, තමා ම පිළියෙල කළ ආහාර බඳුන්වලින් ඔහුට ආහාර දුන්නේ ය.
39. ඒ ක්ෂත්රිය තෙමේ තමාගේ දස දහසක් අනර්ඝ වූ යහපත් ඇඳ ඒ යෝධයාට සැතපෙනු පිණිස දුන්නේ ය.
40. හෙතෙමේ සියල්ල එක් කොටගෙන මව්පියන් වෙත ගෙන ගොස් මෑණියන්ට දස දහස ද පියාණන්ට ඇඳ ද දුන්නේ ය.
41. එම රැයෙහි ම පැමිණ රක්ෂා ස්ථානයේ තමා දැක්වී ය. උදෑසන රජ පුතු ඒ බව අසා සතුටු වූ සිත් ඇතිව
42. ඔහුට වස්ත්රාභරණ ආදිය ද දී එසේ ම දස දහසක් පිරිවර ජනයා ද දී පිය රජු වෙත යැවුවේ ය.
43. යෝධ තෙමේ දස දහස මවුපියන් වෙත ගෙන ගොස් ඔවුන්ට දී කාවන්තිස්ස රජු වෙත එළැඹියේ ය.
44. ඒ රජ තෙමේ ගාමණී කුමරුට ඔහුව භාර කළේ ය. සත්කාර කරන ලද සුරනිමල යෝධ තෙමේ ඒ කුමරු වෙත වාසය කළේ ය.
45. කුටුම්බරි කර්ණිකාවේ හුන්දරවැව නම් ගමෙහි තිස්ස නම් (ගෘහපතියා) හට සෝණ නම් අට වැනි පුතෙක් වී ය.
46. සත් හැවිරිදි කල හෙතෙමේ තල් පැළ උදුරා දැමී ය. දස හැවිරිදි කල මහත් බල ඇත්තේ තල් ගස් උදුරා දැමී ය.
47. කල් යාමෙන් ඒ මහාසෝණ තෙමේ ඇතුන් දස දෙනෙකුගේ බල ඇත්තේ වී ය. රජ තෙමේ එබඳු වූ ඔහු ගැන අසා පියා වෙතින් ගෙන,
48. පෝෂණය කරනු පිණිස ගාමණී කුමරු හට දුන්නේ ය. ඉන් පසුව ලබන ලද සත්කාර ඇති ඒ යෝධ තෙමේ කුමරු සමීපයේ වාසය කළේ ය.
49. ගිරි නම් ජනපදයේ නිසලවිට ගමෙහි මහානාග නමැත්තාගේ පුතු ඇතුන් දස දෙනෙකුගේ බල ඇත්තෙක් වී ය.
50. මිටි සිරුරක් ඇති හෙයින් (ඔහු) ගෝඨක නම් වී ය. වැඩිමහලු සොහොයුරන් හය දෙනා ඔහුට කෙළි කවටකම් කරන්නෝ ය.
51. ඔවුහු ගොස් උඳු වපුරනු පිණිස මහා වනය එළි කොට ඔහුගේ කොටස තබා ගොස් ඔහුට දැන්වූහ.
52. හෙතෙමේ එසැණින් ම ගොස් ඉඹුරු නම් ඒ ගස් උදුරා බිම සම කොට ගොස් දැන්වී ය.
53. සොහොයුරෝ ගොස් ඔහුගේ ඒ අද්භූත ක්‍රියාව දැන ඔහුගේ ක්‍රියාව පසසමින් ඔහු වෙත ගොස් පැවසූහ.
54. ඒ හේතු කොටගෙන හෙතෙමේ ගෝඨයිම්බර නම් වී ය. ඔහු ද පෙර කී පරිද්දෙන් ම ගාමණී කුමරු වෙත යැවිණ.
(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘යෝධයන් ලැබීම’ නම් වූ විසි තුන්වන පරිච්ඡේදයේ කොටසකි.)
Recent Comments