දෙසොහොයුරන්ගේ යුද්ධය
01. ඇත් ශිල්ප, අස් ශිල්ප, කඩු ශිල්ප යන මේවායේ දක්ෂ වූ, පුහුණු වූ ගාමණී රජ කුමරු එකල මාගම වාසය කළේ ය.
02. රජ තෙමේ සැපයූ සේනාවන් ද යුද රථ ද ඇති තිස්ස කුමරු ජනපදය ආරක්ෂා කරනු පිණිස දිගාමඩුල්ලේ වාසය කරවන ලද්දේ ය.
03. ගාමණී කුමරු තෙමේ ඒ (සුදුසු) කාලයේ බල සේනාව ද ශක්තිය ද විමසන්නේ “දමිළයන් හා යුද කරමි.”යි පිය රජු හට කථා කළේ ය.
04. රජ තෙමේ ඔහුව ආරක්ෂා කරන්නේ “ගඟින් මෙතෙර පමණ ය.” (කියා) වළක්වාලී ය. ගාමණී කුමර තෙමේ තුන් වරක් ම ඒ අයුරින් ම කථා කළේ ය.
05. “මගේ පිය රජු පුරුෂයෙක් නම් මෙසේ නො කියන්නේ ය. එනිසා මේවා පලඳින්න.” යැයි (හෙතෙමේ) රජු හට ස්ත්‍රී ආභරණ යැවුවේ ය.
06. (කාවන්තිස්ස) රජ තෙමේ ඔහු ගැන කෝප වී “මාංචු සදනු…! එයින් ඔහු බැඳ දමන්නෙමි. අන් ක්‍රමයකින් ඔහු රැකිය හැක්කේ නො වේ.” (යැයි කී ය).
07. (ගාමණී කුමර තෙමේ) පිය රජු ගැන කෝපයෙන් මලය රටට පලා ගියේ ය. පියාණන් කෙරෙහි දුෂ්ට වූ නිසා ඔහුට ‘දුෂ්ට ගාමණී” යැයි කීහ.
08. ඉන් පසු රජ තෙමේ මහා මංගල සෑය ඉදිකිරීමේ කටයුතු ඇරඹී ය. සෑය නිම කළ පසු රජ තෙමේ සංඝයා රැස් කළේ ය.
09. දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලා සිතුල් පව්වෙන් වැඩම කළහ. ඒ ඒ දිශාවෙන් තවත් දොළොස් දහසක් (භික්ෂූන් වහන්සේලා) වැඩම කළහ.
10. එකල්හී චෛත්‍ය පූජාව සිදු කොට රජු සංඝයා වහන්සේ අභිමුවෙහි සියලු යෝධයන් රැස් කරවා මෙසේ සපථ කරවී ය.
11. “(රජ) පුත්වරුන්ගේ කලහයක් සිදුවන ස්ථානයකට අපි නො යන්නෙමු.” මෙසේ සියල්ලෝ සපථ කළෝ ය. එනිසා ඔවුහු ඒ යුද්ධයට නො ගියෝ ය.
12. ඒ රජ තෙමේ විහාරයන් හැට හතරක් කරවා එතෙක් අවුරුදු එහි වාසය කොට පසුව කලුරිය කළේ ය.
13. රජ බිසව වසන ලද යානාවකින් රජුගේ සිරුර ගෙන්වාගෙන තිස්සමහාරාමයට පමුණුවා ඒ බව සංඝයා වහන්සේලාට දැන්වූවා ය.
14. ඒ ඇසූ තිස්ස කුමර තෙමේ දිගාමඩුල්ලෙන් ගොස් පියාගේ සිරුරට කළ යුතු ආදාහන ආදිය තමන් සකසා කරවා,
15. මෑණියන්ව ද කණ්ඩුල ඇතු ද ගෙන මහත් බල ඇත්තේ සොහොයුරාට බියෙන් එතැනින් වහා දිගාමඩුල්ලට ගියේ ය.
16. සියලු ඇමතිවරුන් එකතු වි ඒ පුවත දන්වන්නට ලියුම් දී දුටුගැමුණු කුමරු වෙත දූතයන් යැවූහ.
17. හෙතෙමේ ගුත්තලට පැමිණ තමන්ට හිතවත් චරපුරුෂයන් එහි යවා මාගමට එළඹ තමන් රාජ්‍යයේ අභිෂේක කළේ ය.
18. මෑණියන් පිණිසත්, කණ්ඩුල ඇතු පිණිසත් (හෙතෙමේ) සොයුරාට ලියුම් යැවී ය. තුන් වරක් මෙසේ කොට නො ලැබුණ හෙයින් යුද්ධය පිණිස එළඹුනේ ය.
19. චූලංගනී පිටියේ දී ඒ දෙදෙනාගේ මහත් යුද්ධයක් වී ය. එහි දී රජුගේ මිනිස්සු නොයෙක් දහස් ගණනින් වැටුණෝ ය.
20. රජ තෙමේ ද තිස්ස ඇමතියා ද දීඝථූනිකා නම් වෙළඹ ද යන තිදෙනා පලා ගියෝ ය. (තිස්ස) කුමර තෙමේ (ඔවුන්) ලුහු බැන්දේ ය.
21. දෙපාර්ශවය අතරේ භික්ෂූන් වහන්සේලාගේ මහා පවුරක් වී ය. ඒ දැක (හෙතෙමේ) භික්ෂු සංඝයා සිදු කළ දෙයකි’ යි දැන නැවතුණේ ය.
22. ඒ රජ කප්කඳුරු ඔය ජීවමාලී තොටට එළඹියේ තිස්ස ඇමතියා හට, “සා පිපාසා ඇත්තේ ය.” යැයි කී ය.
23. (ඒ ඇමති තෙමේ) රජු පිණිස රන් තැටියක වූ බත් පිටට ගත්තේ ය. සංඝයා වහන්සේලා විෂයෙහි දන් දී අනුභව කරනු පිණිස කොටස් හතරක් කරවා,
24. “කාල ඝෝෂා කරන්න.” යැයි ඇමතිවරයා හට කීවේ ය. තිස්ස (ඇමති) තෙමේ කාල ඝෝෂා කළේ ය. රජු හට (ළමා කල) සිල්පද දුන් ඒ (ගෝතම) ස්ථවිර තෙමේ දිව කනින් එය ඇසූහ.
25. තෙරුන් ප්‍රතිග්‍රාහකයෙකු ලෙස කෙළඹි පුත් තිස්ස තෙරුන්ට එහි (යන්න යැයි) නියෝග කළහ. උන් වහන්සේ අහසින් එහි වැඩි සේක.
26. ඒ තිස්ස (ඇමති) තෙමේ උන් වහන්සේ අතින් පාත්‍රය ගෙන රජුට දුන්නේ ය. රජ තෙමේ සංඝයා වහන්සේලාගේ කොටසත්, තමන්ගේ කොටසත් එහි බහාලුවේ ය.
27. තිස්ස තෙමේ තමන්ගේ කොටස ද දැමුවේ ය. වෙළඹ ද සිය කොටස ගැනීමට අකැමති වූවා ය. තිස්ස (ඇමති) තෙමේ ඇයගේ කොටසත් පාත්‍රයේ බහාලී ය.
28. රජ තෙමේ බතින් පිරවූ පාත්‍රය තෙරුන් වහන්සේට දුන්නේ ය. උන් වහන්සේ වහා අහසින් වැඩම කොට ගෝතම නම් තෙරුන් වහන්සේට දුන්හ.
29. ස්ථවිර තෙමේ වළඳන පන්සියයක් තෙරුන් වහන්සේලාට පිඬු කොටස් බෙදා උන් වහන්සේලා වෙතින් ලද
30. කොටසින් පාත්‍රය පුරවා රජු පිණිස අහසට දැමූ සේක. තිස්ස (ඇමති) තෙමේ අහසෙහි වූ ඒ (පාත්‍රය) දැක, එය ගෙන රජු වැළඳවී ය.
31. තමා ද අනුභව කොට වෙළඹට ද කැවී ය. සන්නාහය දරණුව කොට රජ තෙමේ පාත්‍රය යැවී ය.
32. හෙතෙමේ මාගමට ගොස් හැට දහසක් බල සෙන් ගෙන සොහොයුරා හා නැවත යුද්ධ කළේ ය.
33. රජ තෙමේ (දීඝථූනිකා) වෙළඹ පිට ද තිස්ස (කුමර) තෙමේ කණ්ඩුල ඇතු පිට ද නැගුණහ. මෙසේ මුණ ගැසී දෙසොහොයුරෝ යුද කරන්නේ යුද්ධයේ දී
34. රජ තෙමේ ඇතා ඇතුළට සිටින සේ වළල්ලක් ආකාරයෙන් කැරකී එයින් ද දෝෂයක් නො දැක (ඇතු පිටින් වෙළඹ) පන්නවන්නට සිතුවේ ය.
35. (හෙතෙමේ) වෙළඹ ඇතු පිටින් පන්නවා සොහොයුරාගේ පිට සන්නාහය කැපෙන ලෙසින් තෝමරය දැමී ය.
36. ඒ යුද්ධයෙන් කුමරුගේ නොයෙක් දහස් ගණන් මිනිස්සු යුද කරමින් වැටුණෝ ය. (ඔවුන්ගේ) මහත් බලය ද බිඳුනේ ය.
37. ‘ඇතරුවා විකල් වූ නිසා ස්ත්‍රියක (වූ වෙළඹ) මට ඉහළින් පන්නවන ලද්දේ ය.’ යැයි කිපුණු (කණ්ඩුල) ඇත් තෙමේ ඇඟ සොලවමින් එක් ගසක් වෙතට ගියේ ය.
38. (ඒ තිස්ස) කුමරු ගසට නැංගේ ය. ඇත් තෙමේ ස්වාමියා වෙත ගියේ ය. (ගාමණී) රජ තෙමේ ඇතු පිට නැගී, පලා යන (තිස්ස) කුමරුන් ව ලුහු බැන්දේ ය.
39. (ඒ කුමර තෙමේ) විහාරයකට පිවිස මහා ස්ථවිරයන් වහන්සේගේ කුටියට ඇතුළු වූයේ ය. (තිස්ස) කුමර තෙමේ සොහොයුරාට බියෙන් ඇඳ යට සැඟවී ගත්තේ ය.
40. මහා ස්ථවිරයන් වහන්සේ ඒ ඇඳ වටා සිවුරු ඇතිරූ සේක. රජ තෙමේ පසුපසින් ම ගොස් “තිස්ස කොතැන ද?” යැයි විමසුවේ ය.
41. “මහරජ, ඇඳේ නම් නැත.” යැයි ස්ථවිරයන් වහන්සේ රජු හට කීහ. (සොහොයුරු තිස්ස සිටින්නේ) ඇඳ යට බව දැන එතැනින් නික්මුණු රජ තෙමේ
42. විහාරය වට කොට මුර තැබුවේ ය. කුරු ඇඳක තබා, මතුපිටින් සිවුරකින් වසා
43. ඇඳ කකුල් අල්ලා ගත් ළදරු භික්ෂූන් වහනසේලා හතර දෙනෙකු ඒ කුමරුව මළකඳක් සේ බැහැරට ගෙන ගියහ.
44. ඒ ගෙන යනු ලබන තැනැත්තා (තිස්ස කුමරු යැයි) දත් රජ තෙමේ, “තිස්ස, ඔබ කුල දේවතාවුන් හිස මත ගෙන යනු නො ලැබුව ද
45. කුල දේවතාවුන් අතින් මා (ඔබව) පැහැර ගන්නේ නැත. ඔබ කොයි දවසෙත් කුල දෙවියන්ගේ ගුණ සිහි කරන්න.” (යැයි කී ය).
46. රජ තෙමේ එතැනින් මාගමට ගියේ ය. මෑණියන් කෙරෙහි ගෞරව ඇත්තේ එහි දී මෑණියන්ව ද කැඳවා ගත්තේ ය.
47. (ධර්මයේ පිහිටි සිත් ඇති ඒ රජ තෙමේ හැට අට අවුරුද්දක් වෙසෙමින් විහාර හැට අටක් කරවී ය.)
48. භික්ෂූන් වහන්සේලා විසින් බැහැර කරවන ලද ඒ තිස්ස රජ කුමර තෙමේ අන් අයෙකු සේ එතැනින් ම දිගාමඩුල්ලට ගියේ ය.
49. ඒ කුමර තෙමේ ගෝධගත තිස්ස තෙරණුවන්ට මෙසේ කී ය. “ස්වාමීනී, මම අපරාධ සහිත වෙමි. සොහොයුරාගෙන් සමාව ගන්නෙමි.”
50. වතාවත් කරන්නෙකුගේ වෙස් ඇතිව තිස්ස කුමරු ද භික්ෂූන් වහන්සේලා පන්සියයක් ද ගෙන ඒ ස්ථවිරයන් වහන්සේ රජු කරා එළඹුණේ ය.
51. ඒ ස්ථවිර තෙමේ රජ කුමරු පියගැටපෙළ මුදුනේ සිටුවා සංඝයා වහන්සේලා සමඟ (රජ ගෙට) පිවිසි සේක. සැදැහැති රජ තෙමේ,
52. (උන් වහන්සේලාව වඩා හිඳුවා) කැඳ ආදිය පිළිගැන්වූයේ ය. ඒ ස්ථවිරයන් වහන්සේ පාත්‍රය වැසූ සේක. “කිමෙක් ද?” යැයි විමසූ කල්හි “තිස්ස කුමරු ගෙන ආවෙමු.” යි කීහ.
53. “කෝ ඒ සොරා…?” යැයි විමසන ලද්දේ, සිටින තැන ප්‍රකාශ කළහ. විහාර දේවිය ගොස් පුතුව මුවා කොට සිටියා ය.
54. රජ තෙමේ, “ඔබ වහන්සේලා විසින් අපගේ දාස භාවය දන්නේ ම ය. ඉදින් ඔබ වහන්සේලා සත් හැවිරිදි සාමණේරයන් වහන්සේනමක් එවන ලද්දේ නම්,
55. ජනයා නැති කිරීමකින් තොර වී, අපගේ කලහයක් ද නො වන්නේ ය.” යැයි කීවේ ය. තෙරණුවෝ වරද පිළිගෙන, “මේ සංඝයා වහන්සේලාගේ වරද ය. සංඝයා වහන්සේලාට දඬුවම් පමුණුවන්න” යැයි පැවසූහ.
56. (රජ තෙමේ,) “ඔබ වහන්සේලා වැඩම කළා වූ කාරණය සිදු වන්නේ ය. මේ කැඳ ආදිය පිළිගත මැනැව.” යැයි කියා භික්ෂු සංඝයාට දන් දී සොහොයුරා එහි කැඳවා,
57. ඒ ස්ථානයේ ම සංඝයා වහන්සේලා මැද හුන්නේ සොහොයුරා සමඟ එක්ව භෝජන වැළඳවීම නිමවා භික්ෂු සංඝයා පිටත් කර හැරී ය.
58. වී කර්මාන්තය කරවනු පිණිස තිස්ස කුමරුව (දිගාමඩුල්ලට ම) යැවී ය. හෙතෙමේ බෙර හසුරුවා වී කර්මාන්තය කරවන ලද්දේ ය.
59. මෙසේ නොයෙක් අයුරින් රැස් කරන ලද්දා වූ බොහෝ වූ වෛරය සත්පුරුෂයෝ නිමා කරති. නුවණ ඇති කවර මිනිසෙකු වුව ද මෙසේ සිතා අනුන් කෙරෙහි සන්සුන් සිත් ඇත්තේ නො වන්නේ ද?
(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘දෙසොහොයුරන්ගේ යුද්ධය’ නම් වූ විසි හතරවන පරිච්ඡේදය නිම විය.)
Recent Comments