ආදරණීය චූටි දෝණි,
අවුරුදු විසි හයක් වෙනකල් අපිත් එක්ක එක වහල යට උන්නු චූටි දෝණි තව ටික දවසකින් පතිනියක් වෙලා අලූත් ගෙදරකට යනවා. අම්මගෙයි, තාත්තගෙයි උණුසුමේ, අයියලා දෙන්නයි, අක්කයි එක්ක හැදුනු වැඩුණු චූටි දෝණි එ් හුරුපුරුදු වටපිටාවෙන් එකපාරට ම ඈත් වෙන්නයි යන්නේ.

චූටි දෝණි,
ගැහැනු දරුවෙක් විවාහ වෙලා තවත් ගෙදරකට යනවා කියන්නේ සුළුපටු කාරණයක් නෙමෙයි. සම්පූර්ණයෙන් ම ආගන්තුක වුණ පරිසරයක ඉඳන් ජීවිතේ වරද්ද ගන්නෙ නැතිව ඉක්මනින් පටන් ගන්නවා කියන්නේ පුංචි දෙයක් නෙමෙයිනෙ නේ ද?

දෝණිගෙ අක්කා විවාහ වෙලා යන්න ටික දවසකට කලින් අම්ම කියලා දුන්නු දේවල් ඔයත් අහගෙන හිටියා. අම්මා කියපු කාරණා අක්කා හරියට ම පිළිපැද්දා. බලන්න අක්කගෙ පවුල් ජීවිතේ මොන තරම් ලස්සනයි ද? අක්ක අපේ ගෙදර දවසක් නැවතුණොත් ඊළඟ දවසෙ අක්කගෙ එහෙ අම්මයි, තාත්තයි කථා කරලා ‘‘දුව කවද ද එන්නෙ? අපිට හරි පාළුයි දුව නැතිව…. අනේ නංගි, දුව ව ගොඩක් දවසක් නම් තියාගන්න එපා.” කියලා මට කියනවා.

චූටි දෝණි, ඔයාගෙ අක්කා එ් පවුලෙ ම දුවෙක් වෙලා ඉවරයි. එ් දෙමව්පියො, සහෝදර සහෝදරියෝ අක්කට ගොඩක් ආදරෙයි. එ් ආදරේ අක්කට ලැබුණෙ ඉබේ නෙමෙයි… අක්කගේ ලස්සන පවුල් ජීවිතේ රහස තමයි අම්මා එදා එ් කියලා දුන්නේ… එ් කතාව ම මම අද චූටි දෝණිටත් මුල ඉඳල ම කියනවා. ඔය දෙන්නට දැනුම් තේරුම් තියන කාලෙ ඉඳන් මං මේ දේවල් කියලා දීලා තියෙනවා. ආයෙමත් මතක් කරන්නේ පොඩි දෙයක් හරි අමතක වෙලා තියෙනවා නම් එ් දේවල් මතක් කරල දෙන එක වටින නිසයි.

මනමාලියක් වෙලා පතිකුලයට යන දුවකට දෙන්න ඕන මේ සුන්දර අවවාද ලබා දුන්නේ සම්බුදුරජාණන් වහන්සේ. බලන්න, උන්වහන්සේගේ අනුකම්පාව…. උන්වහන්සේ අපේ ගිහි ජීවිතේ හැම දෙයක්මත් සාර්ථක කරගන්න වුවමනා මාර්ගය දේශනා කොට වදාළා. එ් අනුකම්පාව නිසා ම යි අපිට අද මේ දේවල් ඔයාලට කියල දෙන්න වාසනාව ලැබුණේ.

චූටි දෝණිට මතකයි නේ ද මේ කතාව? සම්බුදුරජාණන් වහන්සේ භද්දිය නගරේ ‘ජාතියා’ කියන වනාන්තරේ වැඩ සිටින කාලෙදි තමයි මේ සුන්දර කාරණය ලෝකයට හෙළි කෙරුණේ. දවසක් මෙණ්ඩක සිටුතුමාගේ මුණුපුරා වුණ උග්ගහ සිටුතුමා සම්බුදුරජාණන් වහන්සේ හමුවෙන්න ආවා. ඇවිල්ලා ආදරයෙන් වන්දනා කරලා අනිත් දවසේ දානයට බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා හතර නමකට තමන්ගේ නිවසට වඩින්න කියලා ආරාධනා කළා.

ඉතින් සම්බුදුරජාණන් වහන්සේ පහුවදා උදේ සිවුරු පොරවාගෙන, පාත‍්‍රයත් අරගෙන, තවත් ස්වාමීන් වහන්සේලා තුන් නමකුත් එක්ක උග්ගහ සිටුතුමාගේ ගෙදරට වැඩම කළා. එ් වෙලාවේ උග්ගහ සිටුතුමා තමන්ගේ දෑතින් ම රසවත්, ප‍්‍රණීත ආහාරපානවලින් සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට සංග‍්‍රහ කළා. දන් වළඳලා අවසන් වුණාට පස්සෙ උග්ගහ සිටුතුමා ඇතුළු පවුලේ අය පැත්තකින් වාඩි වුණා. ඊට පස්සෙ සිටුතුමා, සම්බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහේ ඉල්ලීමක් කළා.

‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, විවාහ වෙන්නට සිටින මාගේ මේ දූ කුමරියන් සිටිනවා. ඔවුන්ට අවවාද කරන සේක්වා.! බොහෝ කාලයක් ඔවුන්ට හිතසුව පිණිස පවතින්ට අනුශාසනා කරන සේක්වා.!”

ඔන්න ඔය වෙලාවේ සම්බුදුරජාණන් වහන්සේ එ් දියණිවරුන්ට අවවාද කළා. චූටි දෝණි, මේ ලෝකයේ දුවලට හොඳක් වෙනවා දකින්න කැමති හැම අම්මෙක් ම හැම තාත්තෙක් ම මේ අවවාද තමයි එ් අයට දෙන්න ඕන. ඇහේ තියාගෙන හැදුවා, වැඩුවා වුණාට දුවලා කියන්නේ ‘පරසතු මල්’නේ… ඉතින් කොතැනකට ගියත් නින්දාවක් නො ලබා, සතුටින්, සෙනෙහසින් ජීවත් වෙන්න මාර්ගය කියලා දෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම ඔයාගෙ අම්ම එ් යුතුකම ඉෂ්ට කරනවා. මෙන්න මෙහෙමයි උන්වහන්සේ එ් දියණිවරුන්ට අවවාද කළේ.

‘‘පින්වත් දියණිවරුනි, ඔබ මේ විදිහට හික්මෙන්න. ඔබගේ යහපත කැමති, ඔබට අනුකම්පා කරන මව්පියන් ඔබලා ගැන අනුකම්පාවෙන් ම යි යම් හිමියෙකුට ඔබව විවාහ කොට දෙන්නේ.”

ඇත්තක්මයි නේ ද චූටි දෝණි? අක්කට විවාහ යෝජනාව ආව වෙලාවේ වගේ ම ඔයාට ආදරය කරන පුතෙක් ඉන්නවා කියල දැනගත්ත වෙලාවෙත් අම්මයි, තාත්තයි එ් අය ගැන හොඳට හොයලා, බලලා එ් පවුල්වලට කථා කරලා මේ වැඩ කටයුතු පිළිවෙළට සිද්ධ කරපු විදිහ ඔයාට මතක ඇති… එ් හැමදේ ම කරලා ඔයාලව විවාහ කරලා දෙන්න අපි කැමති වුණේ ඔයාලට හොඳක් ම වෙයි කියලා අපේ දැනුමේ හැටියට තේරුණ නිසයි. දරුවන්ට වරදින්න කියලා දෙමව්පියෝ එයාලව විවාහ කරවන්නේ නෑ….

ඉතින් සම්බුදුරජාණන් වහන්සේ ඔය කාරණය වදාරලා මෙන්න මේ විදිහට පළමුවෙනි අවවාදය පෙන්වා වදාළා.
‘‘පින්වත් දියණිවරුනි, ඔබ මේ අයුරින් හික්මිය යුතුයි. එ් පින්වත් ස්වාමියාට පළමුව උදෑසනින් ම ඔබ අවදි වෙන්න. නින්දට යනවිට ස්වාමියාට පසු නින්දට යන්න. තමාගෙන් ඉටු විය යුතු යුතුකම් විමසන්න. ස්වාමියාගේ සිත සතුටු වන ආකාරයට කටයුතු කරන්න. ප‍්‍රිය වචනයෙන් කථා කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.”

චූටි දෝණි, ඔයා එ් ගෙදරදි අවදිවෙන්න ඕනේ කිසිම කෙනෙකුට පස්සෙ නෙමෙයි, ඔයා ඉස්සෙල්ල ම අවදි වෙන කෙනා වෙන්න. නින්දට යනකොටත් හැමදෙනාට ම පස්සෙ නින්දට යන්න. ගෙදර කාලා බීලා ඉවර වුණාට පස්සේ එ්වා පිරිසිදු කරලා ඉවර කරල, අවසානෙට ම නින්දට යන්න.

එ් ගෙදර කටයුතු සිද්ධ වෙන්නේ අපේ ගෙදර පිළිවෙළට නො වෙන්න පුළුවන්. එ් නිසා කරන හැම දෙයක් ම හොඳට විමසලා බලල ම කරන්න. කවුරු හරි වැඩක් කරනවා නම් ඔයාගෙන් වෙන්න ඕන මොනව ද කියලා හොයලා බලලා එ් දේවල් කරන්න. එතකොට ඔයා නිසා එ් ගෙදර වැඩපිළිවෙළ අවුල් වෙන්නෙ නෑ, කාගෙවත් හිත රිදෙන්නෙත් නෑ… ඔයාව විවාහ කරගන්න පුතාට එ් ගැන සතුටක් ඇති වෙනවා ම යි.

ප‍්‍රිය උපදවන විදිහට හැසිරෙන්න. නියපොතු කකා, කොණ්ඩෙ කඩාගෙන, ඔළුව කහ කහ ඉන්න ගැහැනු දරුවො ඔයා දැකලා ඇති. එ්ක දකිනකොට හරි අප‍්‍රසන්නයි. එහෙම නැතිව හොඳට ඇඳලා, පැලඳලා ලස්සනට, පිළිවෙළට ඉන්න. හිත රිදෙන වචනයක්වක් පිට කරන්න නම් එපා. ප‍්‍රියමනාප වචන ම කතා කරන්න. බොරුවට නෙමෙයි, ආදරයෙන්, ගෞරවයෙන් කතා කරන්න. එ් වචනවල තියෙන ළෙංගතුකම එයාලට දැනෙන්න අරින්න. එහෙම වුණා ම ඔයත් ගෙදරින් එළියට යනකොට එ් ගෙදර අයට පාළුවක්, අඩුවක් දැනෙන තරමට ඔයා එ් අයගෙ ජීවිතවලට එකතු වෙනවා. පිටින් ගිය ගැහැනු දරුවෙක් ලබන ලොකු ම දිනුමක් තමයි චූටි දෝණි එ්….

සම්බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ කාරණය පෙන්වා වදාළා.
‘‘පින්වත් දියණිවරුනි, ඔබගේ ස්වාමියාගේ මව හෝ පියා හෝ නෑදෑයන් හෝ ගුරුවරුන් හෝ ස්වාමියා හෝ සත්කාර කරන, ගරු කරන, බුහුමන් දක්වන මහණ බමුණන් හෝ නිවසට පැමිණෙන්න පුළුවන්. එවිට එ් අයට හොඳින් සංග‍්‍රහ කරන්න. අසුන් පවරන්න. ගෞරවයෙන් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.”

ඇත්තටම චූටි දෝණි ඔයා දන්නෙ නෑනේ එ් ගෙදර අය ගරු සත්කාර කරන්නෙ කාට ද කියලා. එ් නිසා එ් පවුලෙ අය ගරු කරන, සත්කාර කරන අයට ඔයත් ගරු කරන්න, සත්කාර කරන්න. එ් පවුලේ අය ගරු කරන්නේ, සත්කාර කරන්නේ කාට ද කියලා ඔයාට දකින්න ලැබේවි. එ් පිරිස ඔයාගෙත් ගෞරවය, සත්කාරය, බුහුමන, වන්දනාව ලබන්න සුදුසුයි කියලා මතක තියාගන්න. ගෙදරට එන කෙනාට ඉඳගන්න කියන්න මැලි වෙන්න එපා. ඔයා එ් ගෙදරට ආගන්තුකයෙක් නෙමෙයි. එ් නිසා ඉඳගන්න කියලා, වතුර එකක් එහෙම දෙන්න පුරුදු වෙන්න. එ් ගෙදර ම කෙනෙක් වගේ ඔයත් එ් අයට සලකන්න.

සම්බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න තුන්වන කාරණය තමයි මේ.
‘‘පින්වත් දියණිවරුනි, ඔබගේ ගෙදර දොරේ කටයුතු හා ගෙවත්තේ කටයුතු හා යම්කිසි ගෘහ කර්මාන්තයක් ඇත්නම් එහි කටයුතු දක්ෂ ලෙස, කම්මැලි නැතිව සිදුකරන්න. සියලූ කටයුතු හොඳින් සංවිධානය කොට උපායශීලී විමංසනයෙන් යුතුව කරුණු සොයා බලා කටයුතු කරන්න. පිළිවෙළකට මැනැවින් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.”

මෙන්න මේ කාරණය චූටි දෝණිට ගොඩාක් ප‍්‍රයෝජනවත් වේවි. ඔයා එකතු වෙන පවුල කුඹුරු ගොවිතැන්වලිනුත් හම්බ කරන අය. අපිට කුඹුරු නො තිබුණ නිසා ඔයාට එ් දේවල් හරි නුහුරු වෙයි. එ්ත් චූටි දෝණි, එ් අම්මගෙන් අහලා, එ් අම්මලා කරන විදිහ බලන් ඉඳලා එ් එ් වැඩ ඉගෙන ගන්න. එ්වා කරන පිළිවෙළ හොඳට බලා ගන්න. එ් දේවල් කරන්න දක්ෂ වෙන්න. එ්වට කම්මැලි වෙන්න එපා. පිළිසකර කරන්න තියෙන දෙයක් වුණත් ‘මහන්සියි’ කියල, දැක දැක මඟහැරලා යන්නත් එපා.

එහෙම කියලා මැෂින් එකක් වගේ කරන්නන් වාලේ වැඩ කරන්නත් එපා. එ් වැඩ කරන විදිහ කවුරු හරි බලන් ඉන්නවා නම් එ් කෙනාට ඔයාගේ පිළිවෙළ ගැන, රටාව ගැන කැමැත්තක් ඇති වෙන විදිහට වැඩ කරන්න. හිතුමතේ තැන් තැන්වල බඩු භාණ්ඩ තියන්න යන්න එපා. ගේ දොර ලස්සන ගැන වගේ ම කාටවත් අනතුරක් නො වෙන විදිහට එ් එ් තැන්වල බඩු භාණ්ඩ තියන එක ගැන හොඳට හිතන්න. උපායශීලිව එ් කටයුතු ඉෂ්ට කරන්න.

ඔයාට එ් දේවල් නුහුරු වුණාට ඉක්මනින් එ් දේවල්වලට දක්ෂ කෙනෙක් වෙන්න. කොටින් ම එ් වැඩේ වෙන කෙනෙක් ලවා කරවන්න පුළුවන් තරමට දක්ෂ වෙන්න. වෙන කෙනෙකු ලවා එ්ක කරවන්න ඔයා එ්ක හොඳට ම දැනගෙන ඉන්න ඕනනේ. මගේ චූටි දෝණි අන්න එ් විදිහට එ් ගෙදර හැම වැඩක් ම ඉගෙන ගන්න.

සම්බුදුරජාණන් වහන්සේ හතරවෙනියට කිව්වේ මෙන්න මේ කාරණේ.
‘‘පින්වත් දියණිවරුනි, ඔබගේ නිවසේ හෝ වත්ත පිටියේ හෝ ගෘහ කර්මාන්තයේ හෝ සේවය කරන සේවක සේවිකාවන් ඇත්නම් ඔවුන් කළ දේවල් ගැන, නො කළ දේවල් ගැන දැනගෙන ඉන්න. ගිලන් වෙලා ඉන්නවා නම් ඔවුන්ගේ රෝගීභාවය හෝ සුවපත්භාවය ගැන දැනගෙන ඉන්න. ඔවුන්ට උපස්ථාන කරන්න. එ් වගේ ම සේවක සේවිකාවන්ට සුදුසු පරිදි සොයා බලා ආහාරපාන ආදිය ලබා දෙන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.”

දැනට නම් එ් ගෙදර වැඩපළට පිට කෙනෙක් නෑ තමයි. එ්ත් එ් තාත්තගේ කුඹුරු වැඩවලටයි, පුතාගේ වෙළඳ වැඩවලටයි සේවකයො යන එනවනේ. ඉතින් එ් අය ගැන ඔයත් හොඳට දැනුවත් වෙන්න. එ් අය කරන්නේ මොනව ද?, නො කරන්නේ මොනව ද? කියන දේ ඔයා දැනගන්න ඕන. එ් වගේ ම චූටි දෝණි එ් අය සනීපයෙන් ඉන්නව ද?, අසනීපයෙන් ඉන්නව ද කියලත් ඔයා දැනගෙන ඉන්න ඕන. අසනීපෙන් ඉන්නවා නම් හොයලා බලලා වුවමනා බෙහෙත් ටිකක්, කෑම ටිකක් හදලා දෙන්න. එ් අය එ් පවුලට තව තවත් සෙනෙහසින්, හිතවත්ව කටයුතු කරන්න උත්සාහ කරයි ඔයා එ් විදිහට හොඳින් සලකනකොට. ඔයා පිට කෙනෙක් කියලා එ් කාටවත් හිතෙන්නේ නැති විදිහට චූටි දෝණි වැඩ කරන්න.

ඔයත් රස්සාවක් කරන නිසා මේ දේවල් කරන එක ඔයාට දුෂ්කර වෙයි, ඔයාගේ නිදහස, සුවපහසුව ඇහිරුණා කියලත් ඔයාට හිතෙයි. එ්ත් චූටි දෝණි පවුල් ජීවිතේ සුන්දර වෙන්න නම් ඔයාට එ් සුවපහසුව අත්හරින්න වෙනවා. ගොඩක් කාර්යබහුලයි, අවිවේකයි කියලා දැනෙද්දි ඔයාටත් හිතෙයි ‘මේ මොන කරදරයක් ද?’ කියලා. එ් වෙලාවට මතක් කරගන්න ‘‘ජීවිත සැහැල්ලූ විය යුතුයි (සල්ලහුකවුත්තී)” කියලා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන තරම් සත්‍යයක් ද කියලා… එ් අවබෝධය ගැන ම පැහැදෙන්න චූටි දෝණි. ‘මෙන්න මේ අපහසුතා අවබෝධයෙන් ම දැකලයි සම්බුදුරජාණන් වහන්සේ වැඩ අඩු සැහැල්ලූ ජීවිතය අගය කළේ’ කියලා හිත පහදා ගන්න.

ඔයත් උපයන බව ඇත්ත වුණත් ස්වාමියා උපයන දේවලූත් ඔයාගේ වගකීම්වලට එකතු වෙයි. අන්න එ් වෙලාවට සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ පස්වෙනි අවවාදය හොඳට පිළිපදින්න.
‘‘පින්වත් දියණිවරුනි, ඔබගේ ස්වාමියා යම් ධනයක් වේවා, ධාන්‍යයක් වේවා, රන් රිදී වේවා නිවසට ගෙනෙයි නම් එ්වා හොඳින් ආරක්ෂා කොට වසා තබා රකින්න. ස්වාමියාට හොරෙන් කිසිවක් ගන්න එපා. එ්වා විනාශ කරන්නියන් වෙන්න එපා. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.”

ස්වාමියා තමන්ගේ බිරිඳ අතට හරි හම්බ කරන දේවල් දෙන්නේ ලොකු විශ්වාසයකින්. එ් වගේ ම ලොකු සතුටකින්. එ් දේවල් අරපිරිමැස්මෙන්, සුදුසු විදිහට යොදාගන්න එක බිරිඳගේ වැඩක්. එ් නිසා මගේ චූටි දෝණි අතට මහත්තයා දෙන මුදල් පවා හරි පරිස්සමෙන් වියදම් කරන්න. එ්වා පරිස්සමින් රැකගන්න. හොරෙන් ගන්න පුළුවන් විදිහට, ගිය ගිය තැන අනාරක්ෂිතව වටින කියන දේවල් තියන්න එපා. ඔයාගේ වුවමනා එපාකම්වලට වුණත් අනවශ්‍ය විදිහට සල්ලි ගන්න එපා. සල්ලි නාස්ති වෙන දේවල් කවදාවත් කරන්න එපා.

ඔයාට සමහර විට හිතෙයි ‘කටට රහට කඩෙන් කන්න ඕන, අද උයන්න බෑ, හරී කම්මැලියි… අද නම් කඩෙන් ම යි කන්නෙ…, කඩේට ලස්සන ඇඳුම් වගයක් ඇවිත්, ඇඳුම් ආයිත්තම් ගන්න ඕන’ වගේ එක එක දේවල්. එ්ත් හැම වෙලේ ම බලන්න එ් වියදම ස්වාමියාට දරන්න පුළුවනි ද කියලා. මොන තරම් හිතේ ආශාව තිබුණත් එ්කෙන් සල්ලි නාස්ති වෙනව නම්, විනාශ වෙනව නම් මගේ චූටි දෝණි කවදාවත් එ් දේවල් කරන්න එපා. ඔයා එ් ආශාවන් අත්හරින්න. එ්ක ඔයාට දුකක් වෙන්න බෑ. එ් වගේ ම එ්ක ස්වාමියාටත්, පවුලේ අයටත් හරි පහසුවක්, සැනසීමක්….

අනවශ්‍ය වියදම් වැඩි වුණොත් යමක් කමක් ඉතිරි කරගෙන, හොඳ පවුලක් ගොඩ නගා ගන්න එක අමාරු වෙනවා. මම විශ්වාසෙට ම දන්නවා ඔයාලා කවදාවත් හොරකම් කරන්නේ නම් නෑ කියලා. මං එ්ක ගැනත් කියන්නේ ඉඩක් ලැබුණත්, කාටවත් නො තේරී කරන්න පුළුවන් කියලා හිතුණත් එ් වගේ පහත් දේවල් නම් කරන්න ම එපා කියලා මතක් කරන්නයි.

මේ විදිහට වැඩ කටයුතු සිද්ධ කළොත් ඔයාට ලැබෙන්නේ බොහොම සුන්දර වාසනාවක්. එ් ගැන සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කොට වදාළා.
‘‘පින්වත් දියණිවරුනි, මේ ධර්ම පහෙන් සමන්විත ජීවිතයක් ගත කරන කාන්තාව කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.”
එ් කියන්නේ චූටි දෝණි, නිම්මාණරතී දිව්‍යලෝකයේ තමයි මරණින් මතු උපත සිද්ධ වෙන්නේ. තමන්ට ඕන ඕන දෙයක් මවාගෙන, නිර්මාණය කරගෙන එ්කෙන් සතුටු වෙවී ජීවත් වෙන්න පුළුවන් දිව්‍යලෝකයක උපදින එක සතුටක් නේ ද? තමන් සම්බන්ධ වෙන පවුලේ අයට ප‍්‍රියමනාප වන ආකාරයෙන් ජීවත් වීම නිසා ලැබෙන ලාභය පුංචි දෙයක් නෙමෙයි නේ ද චූටි දෝණි?

අපි ආදරයෙන් හදපු වඩපු ඔයාව එ් පවුලට අපි බාර දෙන්නේ අභිමානයකින්. මොකද අපි දන්නවා බයක් නැතිව ගෙදරකට යවන්න පුළුවන් හොඳ ගතිගුණ, හැසිරීම් තියෙන දුවක් අපට ඉන්නෙ කියලා. මගේ චූටි දෝණි එ් අභිමානය හැමදාටමත් රකින්න ඕන. අම්මටයි, තාත්තටයි තියෙන ලොකු ම සතුට අපි පෙන්නලා දුන්න යහපත් මාර්ගයේ ඉඳගෙන ඔයාලා ජීවිත සාර්ථක කරගන්නවා දකින එක කියලා අමතක කරන්න එපා.

ඉතින් මගේ චූටි දෝණි එ් පුතාට හොඳ ම හොඳ බිරිඳක් වෙන්න. අම්මෙක් වගේ දයාබරව එ් පවුල රැක බලා ගන්න. අපි දෙන්නට සලකනවා වගේ ම එ් අම්මා තාත්තටත් කීකරු වෙලා, හිත් රිදවන්නෙ නැතිව, ආදරය – සෙනෙහස – ගෞරවය දක්වන්න. පතිකුලයේ පින් රැස් කරගෙන සුගතියට ම යන්න….

මගේ චූටි දෝණිට තුනුරුවනේ ආශීර්වාදය වේවා!

ආදරයෙන්,
අම්මා….
(ඇසුර – උග්ගහ සූත‍්‍රය, අ. නි.)