ලේ බිඳකුදු නොහෙළා අපි නිදහස ලබා ගතිමු යයි ඇතැමෙක් කියති. එහෙත් විදේශාධිපත්‍යයට විරුද්ධව තුවක්කුවට මුහුණ දුන් වීර සිංහලයෝ එමට ය. පුරන්අප්පු එවැනි ලක් පුතෙකි. රට වෙනුවෙන් ඔහු දිවි පිදූ අන්දම මේ ලිපියෙන් විස්තර කරයි.

ක්‍රිස්තු වර්ෂ 1815 සිංහල ජාතියේ අඩපණව ගොස් තිබුණු පිට කොන්ද යළිත් දිග හැරවීමේ පුරෝගාමියන් පහළ වූ යුගයේ ආරම්භය වශයෙන් සැලකිය හැකිව තිබේ. වර්තමාන ස්වාධීනත්වයේ ප්‍රාරම්භ ස්වර්ණ යුගය මෙයමැ කොට නිගමනය කළ නො හැකි නො වේ. ප්‍රතිකාල්, ඕලන්ද, ඉංග්‍රීසි ආදි පරගැත්තන්ට වහල්ව ඔවුන්ගේ අයෝමය මිරිවැඩි සඟලට පෑගී, තැලී, පොඩි පට්ටම් වී ගිය අපේ සභ්‍යත්වය, සංස්කෘතිය හා ශිෂ්ටාචාරය පිළිබඳ මූලික අත්තිවාරම, හැටියට ද 1815 අපේ යටගියාවෙන් මතුවී නවාලෝකය පිළිබඳ අරුණාලෝකයෙන් මැවී, කැපී, පෙනෙන්නට ද පටන් ගන්නා ලද්දේ මේ වකවානුවේ දී යයි කීම සත්‍යයෙන් පරිපෝෂිත ය.

ජාතියට පණ දී, භාෂාවට ළය දී, අපේකමට ගෙල දී සෛංහලීය අසහාය බල පරාක්‍රමය හුවා දක්වන ලද. සිංහලයේ පතාක යෝධ වීර මහා පුරුෂයාණවරුන්ගේ අතට, ඒ අත මත ලෙලදුන් කඩුවට, හෙල්ලට, තෝමරයට, ගල් ඉන්නට, මෙන් ම වචනයට, ලේවලට, දෙපාවලට, හිතට, යටත් පිරිසෙයින් ස්කන්ධ පංචකයෝ රෝමකූපවලට පවා නො සැලෙන, නො තැති ගැනෙන, නො නැසෙන, නො පිරිහෙන අපරාජිත කාර්යශූරත්වයක් පන්නරය ලද වානේ දුනු කොළයටකට නොදෙවෙනිව පණපෙවුණේ ද මේ යුගයේ ය.

දේශයට අහිතකරව, ජාතියට පටහැණිව, අපේකමට එරෙහිව අප උපන් බිමෙහි අප දඩ බල්ලන් ලෙස සලකා රටේ සාරය උරා පෙරා සූරාගෙන කමින් අපේ ආර්ථික, සමාජයික දේහය මත යස රඟට දෙපා විහිදා දෑත් ඔසවා, රජකම් කරන පරදේශක්කාරයන්ගේ නම්බුනාමයට, පදක්කමට, වස්තුවට, ගැති නො වී නො හිරවී, වන්දිභට්ටකම් නො කළ, වරෙන්තුවන් නො වුණු අවංක දේශමාමක ජාති වාත්සල්‍යයෙන් ඔද වැඩී ගිය හදවත්, පපු කැවුතු ඇතියවුන් අප බේරා ගැනීමට, අපේ දේශය රැකීමට ජීවිතය පරදුවට තබා පරාජිත නොවන අන්දමින් අරාජික වූයේ මෙවැනි යුගයක ය. සමයක ය. එවකට සුද්දන්ගේ චක්‍ර රත්නය වූ “මාර්ෂල් ලෝ” නමැති මිනීමරු නීතිය පසික්කාට්ටු පරණ සෙරෙප්පු කබලක් තරම්වත් නො තකා එකා පිට එකා දරුණු වෙඩි පහරවලින් කෙසෙල් කඳන් සේ ඇද වැටෙද්දී වීරෝදාර එඩිතර යකඩ හදවතකින් යුතුව ළය, ගෙල, මුහුණ දුන් අයගේ ශ්‍රීමත් නාමයන් නව්‍යතම යුගයේ අපට සමරන්නට, අනුස්මරණය කරන්නට සිදුවී තිබෙන්නේ මොරගෙඩි තරම් උණු කඳුළු බිඳු දෙනෙතින් ගලා වෑස්සෙමින් ඇද වැටෙද්දී ය.

සිංහල වීරයෝ

හඟුරන්කෙත ඩිංගිරාල, ගොංගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පු හා වාරියපොල හිමි ආදි ගිහි පැවිදි ඒ වීරයන් නො සිටින්නට අපට, අපේ දැයට අද ඉතිරිවන්නේ, ශේෂ වන්නේ කුමන සංස්කෘතියක් ද? කවර සභ්‍යත්වයක් ද? කොවැනි ශිෂ්ටාචාරයක් ද? සැබෑ ජාත්‍යාලයෙන්, අත හිත දෙක ම දී පරදෙස්සන්ගෙන් මේ ත්‍රි සිංහලය රැක ගැනීමේ උදාර චේතනාවෙන් වානේ තුවක්කු කටක් ඉදිරියේ ඉලක්කයක් මෙන් නො බියව, එඩිතරව, පපුව දී “පරදෙස්සනි, මගේ ගල ලෝහිතයෙන් තෙපි තාවකාලික සැනසුමක් ලබන බව මම ඒකාන්තව ම දනිමි. නමුත් එය ජාතියේ ඉදිරි ගමනට හේතු භූත වන දවසත් එතරම් ඈත නොවන බව දැන ගනුව” යි අභීතව කියූ අපේ පැරණි වීරයකුන් ගැන ඔබගේ සිත යොමු කරනු ලබන්නේ ඔහු අපේ විමුක්තිය පිළිබඳ සටනේ මුල් තැන් ගන්නා රණ සූරයෙක් බව ඔබට ද වටහා දෙනු සඳහා ය.

1815 පැනනැගුණු ජාතික ආන්fදා්ලනයේ දී බලය බලගතුව පැවැති පරදේශීන්ට නොබියව ඔහු සටනට එළැඹියේ ය. අරෝහ පරිණාහ උත්තුංග කායකින් යුත් මේ පාංශු දේහධාරියා වයස අවුරුදු දහතුනේ දී කිසිවෙකුගේ අණ නො සැලකූ “පෝරිසාදයෙක්” බවට පත් විය. හෙතෙම බඩ වියත රැක ගැනීම සඳහා කීප තැනක ම රක්ෂාවල් කළේ ය. මෙහෙකාරකම් කළේ ය. එහෙත් ඒ එක තැනකිනුත් තමා මෙලොව ජනිතවී ඇති ජන්ම පරමාර්ථ ඉටුකර ගැනීමට නො හැකි වූයෙන් ඒ හැම තැනකින් ම පැන්නේ ය. පළා ගියේ ය. අඳුරු ලෙන්, ගුහා යසසින් පිරුණු මහා මන්දිර බවට පරිවර්තනය කර ගනිමින් ගන කැලෑ මිහිරි පරිසරයන් හැටියට තබාගෙන, අප්‍රිකාවේ මාවු මාවු ව්‍යාපාරයෙහි ජෝ මෝ කීනියාටා මෙනුත්, කියුබාවේ අසහාය නායක පිදෙල් කැස්ත්‍රෝ මෙනුත් අභීත ජීවිතයක් හෙතෙම ඇරඹුවේ අනාගතයේ දිනෙක ජාතියේ අභ්‍යුදය වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් ඔහුගෙන් ඇති වේ යැයි කිසි විටෙකත් නොසිතා විය හැක.
ඉංග්‍රීසි මෙන් ම සිංහල පාසල්වලට ද ඔහු ඉගෙනීම සඳහා ගියේ ය. තරමක් දුරට ද උගත්තේ ය. එහෙත් ඒ ටික කාලයකි. එවකට පැවැති පාසල් ජීවිතය තපෝ ජීවිතයක් වූ හෙයින් ඔහුගේ “ඇඟට” එය ඇල්ලුවේ නැත. ඔහුගේ රෝමයක් ගානේ කැකෑරෙන්ට වූයේ දඟකාරකමකි. ගායකි. ඉවසුම් නො දෙන කැසිල්ලකි. ඔහුගේ රණකාමිත්වය පාසලේ දී විදහා දක්වන්නට නො හැකි බව පෙනුන නිසාත්, පාසල තාපසාරාමයක් යයි සැලකූ නිසාත් හෙතෙම කැලෑ පැන්නේ ය. ඒ නිකම්මත් නො වේ. තම වයසේ සිටි ප්‍රතිවාදී කීප දෙනෙකුගේ සිරුරුවල හයි හත්තිය බලා තුවාල ද කරමිනි. ඔහුට යන්තම් අවුරුදු දහ තුන ලැබුවා විතර ය. එවකට රජයේ උසස් සුදු නිලධාරියෙකුට ගල් පහරක් දී පෝරිසාද ජීවන ගමන ඇරඹුවේ එසමයේ ය. ඒ වරදට දඬුවම් ලැබීමට මත්තෙන් ඔහු ගමින් ද පැන්නේ ය.

මොරටුවට ගෞරවයක්

ඔහු ඉපදුණේ මොරටුවේ ය. හැදුණේ ද මොරටුවේ ය. පාසල් ගියේ ද මොරටුවේ ය. මොරටුවෙන් පළා ගිය හේ නතර වුණේ බදුල්ලට ගොස් ය. බදුල්ලේ විසූ මාමා කෙනෙකු සොයා ගොස් ය. මාමාගේ හෙවණ ලැබූ ඔහුට වන සතුන් දඩයම පුරුදු වුණේ මෙහි දී ය. කලක් ගෙවිණි. හෙතෙම දැන් නාඹර වියෙහි පසුවන ගැටවරයෙකි. දරුණු යකෙකු මෙන් ඔහු කිසිවකුට කිසිවකට බයාදුකමක් නො දැක්වී හොඳ හෝ වේවා නරක හෝ වේවා ඔහු ගත් තීරණයක් මොන හේතුවක් නිසාවත් වෙනස් කළේ හේ නො වේ. කිසිදු අණක් ගුණක් නැති හෙතෙම උඩරටින් කුමාරිහාමි කෙනෙකු ද සොයා ගත්තේ ය. එහෙත් ඔහුගේ දඟකාර නොඉවසුම් ජීවිතය ඒ හේතුවෙන්වත් නතර නො වී ය. වැඩි කල් යන්නට මත්තෙන් හේ බදුලු පළාතට උතුවන් කන්දේ සරදියෙල් කෙනෙක් විය. පළාතේ දුප්පතුන් විඳින ගැහැට හා පාලනයේ විෂමතා දකින මොහොතක් පාසා ඔහුගේ රුධිරය කෝපයෙන් උතුරන්නට පටන් ගත්තේ අනාදිමත් කාලයක සිට කැකෑරී තිබුණ හෙයින් විය යුතු ය. හෙතෙම ජීවිතය පරදුවට තබා දුප්පතුන්ගේ අමරණීය ගැලවුම්කාරයෙකු බවට පත්විණි.

දරිද්‍රතාවයේ මිරිකුණු දුප්පත් අසරණයන්ට තලා පෙලා දඬුවම් කරන නිලධාරීන් දකින ඔහුගේ නෙත් බැම වෙන් වන්නේ ය. දෙකන් යවටක් මෙන් රත් වෙන්නේ ය. දත් කන්නේ ය. එවැනි දුර්දාන්තයන් කවරෙකු වුණත් ඔහුගෙන් බේරී නො ගියේ ය. අල්ලා මරා ඉරා පුළුස්සා දැම්මේ ය.

පොලීසියට පාඩමක්

වරක් දුප්පතෙකු වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට හෙතෙම උසස් පොලිස් නිලදරුවෙක් සොයා පිටත් විය. ඔහු ඒ දුප්පතාගේ අමාරුව ඩෝසන් නම් ඒ පොලිස් නායකයා ඉදිරියේ තැබී ය.

එහෙත් ඒ පොලිස් නිලධාරියා ඔහුගේ ඉල්ලීමට බීරි අලියෙකු විය. ඔහුට සුපුරුදු යකා යළිත් ආරූඪ විය. පසුවදා ඒ නිලධාරියාගේ ගෙය තම සහචරයනුත් සමග ගොස් බිඳින ලද්දේ ය. එයින් ලැබූ මුදල් හදල් ඔහු අසරණ දුප්පතුන්ට බෙදා ඊට දඬුවම් වශයෙන් හිර බත් කෑවේ කඳුළු සමඟ නො වේ. වීරයෙකු ලෙසිනි. ඔහු හිර ගෙදර තැටියේ ද බත කෑවේ කීප දිනකි. හිර ගෙදරින් හෙතෙම පැන ගත්තේ දැවැන්ත විදේශීන්ගේ ඇස් වසා ය. එතැන් සිට හෙතෙම භයානක සොරෙකු හැටියට විදේශීන් විසින් හංවඩු ගසන ලද්දේ ය. ඔහු එවකට විසූ කිසිදු නිලධාරියෙකුට මොනම හේතුවක් නිසාවත් හිස පහත් නො කළේ ය. හිරගෙයින් පැනගිය ඔහු ඌව පළාතේ වැවිලිකරු විදේශිකයන්ට මහත් තර්ජනයක් විය. ඔවුන්ගේ වතුවල දුප්පතුන් හා එකතුව විමුක්ති සටනක් පටන් ගත්තේ විදේශිකයන්ගෙන් මේ රට මුදාගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙනි. විදේශගත ඉඩම් හිමියන් අල්ලා තලා පෙළා ඔවුන්ගේ ධනය දුගී දුප්පතුන් අතර බෙදා දුන්නේ ය. මේ රටේ සාරය උරා බිව්වන්ගෙන් හේ හැකි තරම් පලි ගත්තේ ය. දරුණු බවේ අන්තිම හිණි පෙත්තට ඔහුට නගින්නට හේතු වූයේ එවකට විසූ මිනීමරු පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා ය.

බණ්ඩාර මැණිකේ

ඊට ටික කලකට පසු මුල් කසාදය අමතක කළ ඔහු හාරිස්පත්තුවේ බණ්ඩාර මැණිකේ නම් තරුණියක් බිරිය වශයෙන් තෝරා ගත්තේ ය. ඊට මාස කීපයකට පසු හෙතෙම සිංහල ලේවල ඇති තේජස්වී බලවේගය පෙන්වීමට මුල පිරුවේ ය. කවදත් කොතැනත් කොහේ ගියත් ඔහු දුප්පතුන්ගේ පැත්තේ ය. ඒ නිසා දිළිඳු ගැමියෝ හැමවිට ම හෙතෙම දෙවියෙකු ලෙස සැලකුවෝ ය. ඇඟ බදු, පාර බදු හා තුවක්කු බදු ආදිය පනවමින් දුප්පතුන් තළා පෙළා ඔවුන්ගේ රීරි මාංශය සූරා ගැනීමට වෑයම් කළ පරදේශීන්ගේ පරිශ්‍රමයට විරුද්ධව ඔහු එවකට මහනුවර දිසාපති වූ බුල්ජන්ස් මහතාට කරුණු කියා සිටියේ ය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දිසාපතිවරයා, පැමිණි මහජනයා අස්වසාලීමට අවවාදයක් දීමට නැගී සිටියා පමණි. ඔහුට නො වේ වචනයකුදු කතා කිරීමට ඉඩදුන්නේ. මහජන ගාලගෝට්ටිය නිසා එය කඩාකප්පල් වී ගියේ ය. දුප්පතුන් මහා සෙනගක් සේ පිරිවරාගෙන එහි පෙරමුණ ගෙන මාතලෙන් සටන් ඇරඹූ ඔහු, මහනුවර, කොළඹ, කෝට්ටේ කුරුණෑගල, දඹුල්ල, වාරියපොළ ආදි නගර කරා මෙහෙයවාගෙන පැමිණියේ එවකට හිටපු ලකිසුරු ඉදිරියේ කරුණු කියා පෑමට ය. එහෙත් එයට නො වේ ඉඩ ලැබුණේ. ලකිසුරු මැදුරේ ප්‍රධාන ගේට්ටුවට රාත්තල් 100ක් පමණ බර ඉබ්බෙක් වැටුනේ ඔවුහු මග එන ආරංචිය දැනෙත් ම ය. එවකට ඔබ්සර්වර් නම් ඉංග්‍රීසි පත්‍රයේ ප්‍රධාන කතුවර එලියට් මහතා පමණක් සිංහල දුප්පත් ජනතාවගේ පැත්ත ගෙන සටනට උදව් කළේ ය. වරක් මාතලේ උසාවිය බිඳ එහි වූ වටිනා ලියකියවිලි පවා පැහැරගත් ඒ සිංහල වීරයාගේ හමුදාව දිවි නො තකා ජාතිය වෙනුවෙන් පෙරමුණ ගත් මේ කලහයේ දී මැරුම් කෑ සිංහල ජනී ජනයාගේ ප්‍රමාණය ද අපමණ විය. මහනුවර දී මොහු කෙරේ සිංහල වැසියා කෙතෙක් ප්‍රසන්න වූවා ද කිවහොත් මහජනයා විසින් ම ඔටුන්නක් පලඳවා ඔහු රජ කෙනෙකු, නරපතියෙකු වශයෙන් පිළිගනු ලැබී ය. ඔහු සමග මේ සටනේ නායකයන් හැටියට පෙරමුණ ගෙන සිටි අනික් ජාතිමාමකයන්ගෙන් සමහරකු විදේශීන්ගේ තුවක්කුවලට ඉලක්ක වී උණු ලේ මත පිහිනද්දී ඇතැමුන් රටින් පිටුවහල් ද කරනු ලැබුවෝ ය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා මේ කලහයේ දී ඉතා දරුණු අන්දමින් මරුමුවට කැපවූවෝ වූහ.

මිනීමරු නීතිය

මේ සමය වන විට මාර්ෂල් ලෝ නම් වූ මිනීමරු නීතිය ලක පුරා පණවා තිබිණි. මරණින් ද බේරී වීරයෙකු ලෙස පැරදුනු ඒ සිංහල වීරයා අවසානයේ දී අසරණ විය. අනාථ විය. තනි විය. ඒ නිසා හේ සැඟවී පළා යාමට ඉටා ගත්තේ ය. ටික දිනක් ගත විය. දිවිතෙක් සැඟවී සිටීම සිංහල නමට, සිංහල ලෙයට, තමාගේ වීරෝදාර ගතිගුණවලට තමා විසින් ම කර ගන්නා නින්දාවක්, පිළිකුලක් හැටියට සැලකූ ඔහු කැලයෙන් එළියට පැමිණියේ ය.

එළියට පැමිණි ඔහු කළේ තමා ම ගොස් ඔවුන්ගේ භාරයට පත් වීමයි. යටත් වීමයි. දින ගණනක් තිස්සේ යුද්ධාධිකරණයක් මගින් ඒ වීරයාට විරුද්ධව නඩුව විභාග විණි. නඩුව ඇසූ යථෝක්ත අධිකරණය ඔහු වරදකරු කොට ගසක බැඳ වෙඩි තබා මරා දැමීමට තීන්දු කළෝ ය.

එක වරට හත් වරක් වුව ද යුතුකමට ළය පා තුවක්කුවට හෝ බයිනෙත්තුවට ඉලක්කයක් වීමට පසු නො බෑ ඒ සිංහල වීරයා ජාතියේ දර්පන තලයට සදාකාලිකව අමරණීයත්වයක් තබා සංස්කෘතියේ මාර්ග දේශකත්වය පතා, සිංහලයේ අභ්‍යුදය තකා මාතලේ ඓතිහාසික කැරැල්ලේ පුරෝගාමී මහා සෙනෙවියා වශයෙන් පතාක යෝධයා මෙන්, හංවඩුවක් ලබා මුළු ලංකා පොළොව ම ශෝක fදා්ංකාරයක නිමග්න කරවමින් 1848 අගෝස්තු මස අට වැනිදා උදේ බෝගම්බර දී වෙඩි තබා මරා දැමීමට කණුවක තර කොට බඳින ලද්දේ ය. යුද සෙබළ නායකයා අත තුවක්කුවේ කුරුමානම අල්ලාගෙන සිටිද්දී “මා වගේ එක හිත ඇති හතර දෙනෙක් අද අප අතර සිටියා නම් සිංහල වූ අපට වසංගතයක් වූ මේ සුදු හැතිකරය මේ රටින් අතුගා දැමීමට ඒකාන්ත වශයෙන් ම පුළුවනැ”යි කියමින් එඩිතරව, නොබියව තුවක්කුවේ උණ්ඩයට, ළය පෑවේ කේසර සිංහ රාජයෙකු සේ ය. අභීත නියම සිංහලයෙකු සේ ය.

මෙසේ මේ ජාත්‍යානුරාගයෙන්, ඔද වැඩී ගිය හදවතක් ඇති, ජාතිය උදෙසා ජීවිත පූජාව නිස්සරණධ්‍යාශයෙන් කළේ අන් කිසිවෙක් නොව පහත රටට නොමැරෙන නමක් ලබා දී සිංහල ඌරුව පරදෙස්සන්ගේ කළුතාර පැල්ලමෙන් මුදා ගැනීමට ජීවිතයත් මරණයත් අතර සටන් කොට ජීවිතය ජාතියේ පූජාසනය මත දී පිදූ “වීර සන්නද්ධ වීරබල ජයසූරිය කරු උතුම්පොල අත්ථදේව ගුණරත්න පටබැඳිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු” ය. නැත්නම් මුළු තුන් සිංහලය ම දන්නා කෙටි නමක් ඇති අපේ ඉතිහාසයට පණ පිඹින ලද වීර සිංහලයන් අතර ප්‍රථම ස්ථානයක් ගත් පුරන්අප්පු ය.

රෝහිණී ඥානවතී යාපා විසිනි.
රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.