මා අදරැති දරුවෙනි, මා ඔබ ලක් දෙරණත් ගෞතම සම්බුදු සසුනත් සුරකින්නා වූ සක් දෙව්රජාණෝයි. ඔබ ගෞතම බුදු සමිඳුන්ගේ අසිරිමත් ධර්මයෙහි පිළිසරණ ලබනු දැක මම බෙහෙවින් තුටු වුණා. පෙර මනුලොව මඝ නම් තරුණයෙකු වී සිටිය දී මා අනුගමන කළ සක්දෙව් වත් හතක් ඔබට ව්‍රත පද හතක් ලෙස සමාදන් වෙන්නට ලැබීම මහා භාග්‍යයක්.

ව්‍රත කියා කියන්නේ දරුවනේ සමාදන්වීමට. ජම්බුද්වීපයේ නොයෙක් සාදුවරුත් නොයෙකුත් ව්‍රත සමාදන් වෙනවා. එනමුත් එවා තුළින් නිවන් මගක් වැඩෙන්නේ හෝ සුගතියෙහි උපත කරා යෑමට හෝ උපකාරී වන්නේ නැහැ. එනමුදු දරුවනේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය සමඟ එකතු කර ගත් විට ඔබට මේ ව්‍රත පද සමාදන් වෙලා අනුගමනය කළහොත් සම්පූර්ණ නිවන් මග ම වුවත් දියුණුකර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒකට හේතුව රාග ද්වේෂ මෝහ දුරුවන අයුරින් ගුණධර්ම වැඩීමටත් අනුබලයක් ලැබෙන නිසා.

ඒ ව්‍රත පදයන් වෙන්නේ මේවා.

– “මම දිවි තිබෙන තුරාවට මව්පියන් හට උපස්ථාන කරනනෙමි” සමාදන් ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

– “මම දිවි තිබෙන තුරාවට කුලදෙටුවන් හට පුදන්නෙමි” සමාදන් ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

– “මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන්නෙමි” සමාදන් ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

-“මම දිවි තිබෙන තුරාවට කේළාම් නො කියන කෙනෙක් වෙමි” සමාදන් ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

– “මම දිවි තිබෙන තුරාවට මසුරුමල දුරුකළ සිතින් වාසය කරන්නෙමි” සමාදන්ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

– “මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතාකරන කෙනෙක් වෙමි” සමාදන්ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

– “මම දිවි තිබෙන තුරාවට මෙත් සිතින් වාසය කරන්නෙමි” සමාදන්ව ඔබ ආරක්ෂා කළ යුතුයි.

මා අදරැති දරුවනේ, මෙයින් ව්‍රත පද තුනක් පිළිබඳව මෙයට පෙර ඔබට මා පෙන්වා දුන්නා. අද ඔබට පෙන්වා දෙන ව්‍රත පදයේ සඳහන් වෙන්නේ දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතාකරන කෙනෙක් වෙනවා කියලා සමාදන් ව ආරක්ෂා කිරීම. මිහිරි වචනය කියලා කියන්නේ බොරුවෙන් කේළමෙන් හිස් වචනයෙන් පරුෂ වචනයෙන් තොර වචනය. වචන කතා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අයුරින් කතා කිරීමටයි.

බොරු කීමෙන් වැළකීම කියලා කියන්නේ, සත්‍ය කතා කරනවා, සත්‍යයෙන් සත්‍යය ගළපලා කතා කරනවා, පිළිගත හැකි දේ කතා කරනවා, ලෝකයා ව රවට්ටන්නේ නැතිව වාසය කරනවා.

පින්වත් දරුවනේ, බොරුව ගැන රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ අයුරින් දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ සිට අම්බලට්ඨිකාවට වැඩම කොට වදාළා. අම්බලට්ඨිකාවේ සිටි රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පා දෝවනය කරන්න පැන් බඳුනක් සූදානම් කළා. පැන් ස්වල්පයකින් පා දෝවනය කළ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම ඇසුවා.

“රාහුලය මේ පැන් බඳුනේ වතුර ස්වල්පයයි නේ ද තියෙන්නේ?”

“එසේ ය භාග්‍යවතුන් වහන්ස…”

“රාහුලය යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතය මේ පැන් ස්වල්පය වගේ. ජීවිතයේ සත්‍ය ස්වල්පයයි.”

මෙසේ වදාරලා පැන් ටික ඈතට විසි කළා. විසිකරලා බුදුරජාණන් වහන්සේ මෙසේ අසා සිටියා.

“රාහුලය, භාජනයේ පැන් ටික විසිවෙනවා දුටුව ද?”

“එසේ ය භාග්‍යවතුන් වහන්ස.”

“රාහුලය, යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතය මේ වගේ විසිවෙලා යනවා. ඔහුගේ ජීවිතයේ සත්‍ය රඳින්නේ නැහැ.” හිස් භාජනය අතට අරගෙන බුදුරජාණන් වහන්සේ මෙසේ අසා වදාළා.

“රාහුලය මේ හිස් භාජනය පේනවා ද?”

“එසේ ය භාග්‍යවතුන් වහන්ස.”

“රාහුලය යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතය මේ භාජනය වගේ හිස්. සත්‍යය ඔහු තුළ නැහැ.”

භාජනය මුනින් අතට හැරෙව්වා. හරවලා මෙසේ ඇසුවා.

“රාහුලය මේ භාජනය මුනින් අතට හරවලා තියෙනවා පේනව ද?”

“‘එසේ ය භාග්‍යවතුන් වහන්ස.”

“රාහුලය, යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතය මුනින් අතට හැරවිලා තියෙන්නේ. ඔහු සත්‍යයෙන් තොර කෙනෙක්.”

එහෙනම්, අපට පැහැදිලිව පෙනෙනවා දරුවනේ බොරු කීමේ කෙතරම් අනතුරක් තියෙනව ද කියලා?. නමුත් අද සමාජයේ ගොඩාක් අයට බොරු කීම ගැන ලොකු බරපතළකමක් පෙනෙන්නේ නැහැ. බොරු කියන්න කිසි ලැජ්ජාවක් නැහැ. කිසි බයකුත් නැහැ. නමුත් අපි මිහිරි වචන කතා කරන ව්‍රතය සමාදන් වෙලා දිවි තිබෙන තුරාවට බොරුවෙන් වළකින්න ඕනි.

ඊ ළඟට පින්වත් දරුවනේ මිහිරි වචන කතා කරන කෙනෙක් කේළාම් කීමෙන් වළකින්න ඕනි. කේළාම් කීමෙන් වළකිනවා කියලා කියන්නේ, මෙතැනින් අහලා මේ අය බිඳවන්න අතන කියන්නේ නැහැ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්න මෙතැන කියන්නේ නැහැ. මේ අයුරින් බිඳුණු අය සමඟි කරවනවා. සමඟි වූවන්ට අනුබල දෙනවා. සමඟි වූවන් හා වාසයට කැමතියි. සමඟි වූවන් හා එක්ව වාසය කරනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරනවා. මේ විදිහට අපිත් මිහිරි වචන කතා කරන ව්‍රත පදය සමාදන් වෙලා දිවි තිබෙන තුරාවට කේළමින් වළකින්න ඕනි.

මා අදරැති පින්වත් දරුවනේ, අපි දිවි තිබෙන තුරාවට පරුෂ වචනයෙන් වළකින්නත් ඕනි. පරුෂ වචනයෙන් වළකිනවා කියලා කියන්නේ යම් වචනයක් දොස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම්, එබඳු වචන පවසනවා කියන එකයි. අපිත් දිවි තිබෙන තුරාවට මේ අයුරින් වචන පාවිච්චි කරන්න සිතින් අදිටන් කර ගන්න ඕනි.

පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ පවා දේශනා කළා.

“පින්වත් මහණෙනි, අන් අයට චෝදනා කරන කෙනෙකු විසින් චෝදනා කරද්දී කරුණු පහක පිහිටා චෝදනා කළ යුතුයි.

සුදුසු කාලයෙහි කියමි, නොකාලයෙහි නො වෙයි. සත්‍ය වූ දෙයින් කියමි, අසත්‍යයෙන් නො වෙයි. මොළොක් බසින් කියමි, දරුණු වචනයෙන් නො වෙයි. යහපත් වූ දෙයින් කියමි, අයහපත් දෙයින් නො වෙයි. මෛත්‍රී සිතින් කියමි, ද්වේෂ සිතින් නො වෙයි.

පින්වත් දරුවනේ, අද සමාජය කොතරම් නම් පිරිහී ගිය ස්වභාවයක් පෙන්නුම් කරනවා ද යත් රණ්ඩු සරුවල් වන අවස්ථාවන්හි දී කොතරම් නම් අසභ්‍ය වචන පාවිච්චි කරනවා ද? හැම විටම ඇවිස්සුන වචන පාවිච්චි කරන්නට පුරුදු වූ මිනිසුන් කොතරම් නම් නොමඟ ගිහිල්ල ද කියලා මොහොතක් සිතා බලන්න. ඒ නිසා එයින් බේරෙන්න කල්පනා කරන ඔබ පින්වත් දරුවනේ කල් යල් බලා මිහිරි වචන ම පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනි. සත්‍ය දෙයින් ම මොළොක් වචනයෙන් ම යහපත් දෙයින් ම වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනි.

අපේ බුදුරජාණන් වහන්සේ මොළොක් වචන පාවිච්චි කළ නිසා කොතරම් නම් යහපතක් දෙව් මිනිස් ලෝකයට සිදු කළා ද කියා සිහි කරන්න. මිනිසුන් දහස් ගණනක් මරමින් ඇඟිලි කපමින් සිටි අංගුලිමාලයන් එක ම වචනයෙන් බුදුරජාණන් වහන්සේ දමනය කළ සේක් නො වේ ද? මහා දරුණු වූ නාලාගිරි හස්තිරාජයා දමනය කළ සේක් නො වේ ද? ආලවක යක්ෂයා දමනය කළ සේක් නො වේ ද? සිහිසුන් ව වස්ත්‍ර රහිත ව පැමිණි පටාචාරාවන් එක ම වචනයෙන් සිහිය පිහිටුවා විනයධර භික්ෂුණින් අතරින් අග්‍රස්ථානයේ තැබු සේක් නො වේ ද?

එනිසා පින්වත් දරුවනේ අපිත් පුරුදු වෙන්න ඕනි සැරපරුෂ වචනයෙන් තොරව සුන්දර වචන පාවිච්චි කරන්න.

ඒ වගේ ම පින්වත් දරුවනේ අපි හිස් වචනයෙන් වළකින්නත් පුරුදු වෙන්න ඕනි. හිස් වචන කතා කිරීමෙන් වළකිනවා කියලා කියන්නේ තේරුමක් නැති කතාවන්ගෙන් වැළකිලා කල්යල් බලා කතා කරනවා. ඇත්ත කතා කරනවා. අර්ථවත් දෙය කතා කරනවා. ධර්මය ම කතා කරනවා. විනය ම කතා කරනවා. සිත්හි ලා දරා ගැනීමට සුදුසු වූ, වෙලාවට ගැළපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නො තබා, ප්‍රමාණවත් පරිදි දෙලොව යහපත පිණිස පවතින දේ පවසනවා.

මාගේ සදාදරණීය දරුවනේ, මේ ආකාරයට ඔබ නුවණ පාවිච්චි කරලා වචන පාවිච්චි කළොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. මරණ මංචකයට ගියත් මාගේ වචනයෙන් අකුසල් සිදු වුණා කියලා තැවෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ අයුරින් නුඹ ධර්මය තුළ ම සුරැකිය යුතුයි.

නපුරු වචනයෙන් වළකිමු…

“මා’වෝච ඵරුසං කඤ්චී – වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛාහි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යු තං”

“කාටවත් ම නපුරු වචන කියන්න එපා. නපුරු වචන කියන්න ගියොත් අනික් උදවිය ඔබට පෙරළා නපුරු වචන කියනවා. එයින් ඔබට ම යි පෙරළා කරදර වෙන්නේ.”
(ධම්ම පදය)

බොරුවෙන් වළකිමු…..

“ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණ පරලෝකස්ස – නත්ථි පාපං අකාරියං”

“සත්‍යවාදී බව නම් වූ එක ම එක ගුණධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ නිසා ඔහුට කරන්න බැරි පාපයකුත් නැහැ.”

අපිදු කිසිවෙකුගෙන් චෝදනා නො ලබන සත්‍යය තුළ පිහිටමු… හිස් වචනයෙන් වළකිමු…

පින්වත් දරුවනේ, එය ඔබට ඒකාන්තයෙන් ම බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා ම යි…!

දෙව්ලොව සිට ඔබ අමතන මා සක්දෙව් රජාණෝ ය.