විද්‍යාවේ නිම් වළලූ පුළුල් කරමින්, සීමා මායිම් ඉක්මවා ගිය අති තාක්ෂණික දියුණුවක හිඳිමින් විසි එක් වන සියවසේ විශ්ව ගම්මානයක් නිර්මාණය කරන්නට ලෝකය සමත් වෙලා නේ ද? ලෝකයේ එක තැනක සිදු වන දෙයක් සැණෙකින් එහා කෙළවරට ම දැන ගන්නට සලස්වන්නට තරම් මේ ලෝකයේ සන්නිවේදන තාක්ෂණය ප‍්‍රබලයි. එ් නිසා ම මනුෂ්‍ය වර්ගයා සිතන්නේ මේ ලෝකයේ ජය ගත හැකි සියලූ මායිම් ජය ගන්නට තම පරපුර සමත්වී සිටින බවක්.

යන්ත‍්‍ර සූත‍්‍ර මෙවලම්වලට සන්නිවේදනයේ වැඩි කාර්යභාරයක් පැවරීම හරහා ක‍්‍රමවත් සහ කාර්යක්ෂම බවට පත් කර ගත් මේ තොරතුරු හුවමාරු කර ගැනීමේ ක‍්‍රමවේදය අද වන විට වාණිජ වශයෙන් වටිනා වෙළඳපළක් නිර්මාණය කොට අවසන්. මුළු මහත් ලෝකයේ ම සිදු කෙරෙන වියදම්වලින් අති බහුතරයක් සන්නිවේදන ක‍්‍රියාවලියට වැය වෙන බව සත්‍යයක්. අති විශාල ධනස්කන්ධයක් වැය කරමින් අභ්‍යවකාශයේ රඳවන ලද චන්ද්‍රිකා ආධාරයෙන් ලෝකය ම එක මොහොතකින් එක තැනකට ගොනු කර ගැනීමේ තාක්ෂණය ගොඩ නංවන්නට මනුෂ්‍ය වර්ගයාට ව්‍යවහාර වර්ෂ 1900කට වඩා ගත වුණා. ආතර් සී. ක්ලාක් විද්වතාණන්ගේ සංකල්පයක් අනුව යමින් චන්ද්‍රිකා තාක්ෂණය හා සන්නිවේදනය අතර සහාය සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ විසිවන සියවසේ දී. එ් තාක් ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු කර ගත් සන්නිවේදන මාධ්‍යයන් ලෝකයේ භාවිත වුණා. අද වන විට දුරකථනය, අන්තර්ජාලය සන්නිවේදනයේ වැඩි කාර්යභාරයක් ඉටු කරනවා. ඔය මොන ක‍්‍රමවේදය භාවිත කළත් සන්නිවේදනය වෙනුවෙන් අප විසින් යම් මූල්‍යමය වටිනාකමක් ගෙවනු ලබනවා.

මේ සියල්ල ඉක්මවා යමින් සිතුවිලි හරහා පණිවිඩ හුවමාරු කර ගැනීමේ තාක්ෂණයක් දියුණ කළ හැකි බවට අදහසක් පසුගියදා යළි කථාබහට ලක් වුණා. මේ තාක්ෂණය හඳුන්වන්නේ ‘ටෙලිපති’ නමින්. කාලයක් පුරා ම ටෙලිපති තාක්ෂණය පිළිබඳ බටහිර විද්‍යාව තුළ යම් යම් පර්යේෂණයන් සිදු කෙරුණා.

එහි උච්චතම අවස්ථාවක් ලෙසිනුයි ප‍්‍රංශයේ ස්ට‍්‍රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක හා ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ පර්යේෂණාගාරයක රැඳී සිටි දෙදෙනෙකු අතර මනෝමය අදහස් හුවමාරුවක් සිදු කෙරුණේ. සැතැපුම් දහස් ගණනක් ඈතින් රැඳී සිටි මේ දෙදෙනා කිසිදු සන්නිවේදන උපකරණයක සහායක් නොමැතිව නිවැරදිව සිතුවිලිවලින් අදහස් හුවමාරු කොටගෙන තිබුණා. පර්යේෂණ වාර්තාව පෙන්වා දුන්නේ සැතැපුම් 4600ක් දුරින් සිටි මේ දෙදෙනාගේ පණිවිඩ හුවමාරුව 90% – 95% මට්ටමකින් නිරවද්‍ය වූ බවයි. සියයට සියයක් ම නො වූවත්. ඔවුන් අතර හුවමාරු වූ සිතිවිලි යාන්ත‍්‍රිකව ග‍්‍රහණය කරගෙන සංකේත බවට පත් කිරීමෙන් නිවැරදි බව තහවුරු කරනු ලැබුවා. දෑස් බැඳ දමා, කිසිවක් නෑසෙන අයුරින් දෙසවනට ඇබ ගසා සම්පූර්ණයෙන් ම අඳුරු කරන ලද, එකිනෙකට හැතැප්ම ගණනාවක් දුරින් පිහිටි කාමර දෙකක හිඳ ඔවුන් මෙසේ සන්නිවේදනයේ යෙදීම අනාගතයේ මානව ශිෂ්ටාචාරයේ සන්නිවේදන විප්ලවයක් ඇති කරන්නට සමත් වනු ඇති බව මේ විද්‍යාඥයන් විශ්වාස කරනවා…

මේ පර්යේෂණයට සහභාගී වූ පිරිස් පවසා සිටියේ මතු කලෙක කිසිදු සන්නිවේදන උපකරණයකින් තොරව යුද බිමක් වැනි කටුක ඝෝර පරිසරයක පවා තම සගයන් සමග සිතිවිලි මඟින් සන්නිවේදනයේ යෙදීමක් දක්වා මේ ක‍්‍රමය දියුණු වනු ඇති බවයි. චන්ද්‍රිකා තාක්ෂණයේ හෝ ගුවන් විදුලි පණිවිඩ සම්පේ‍්‍රෂණයේ බිඳ වැටීමක් වූ විටක පවා සන්නිවේදන සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. මේ හරහා මොළයකින් මොළයකට ඍජුව පණිවිඩ හුවමාරු කර ගැනීමක් සිදු වන නිසා අනාගතයේ මෙයින් ඇති විය හැකි සමාජයීය බලපෑම සලකා පුද්ගල ආරක්ෂාව පිළිබඳව නව නීති පවා සම්පාදනය කරන්නට සිදු විය හැකි බවට ඔවුන් අදහස් පළ කොට තිබුණා.

චිත්ත තරංග භාවිතයෙන් පමණක් මෙසේ පුද්ගලයන් අතර අදහස් හුවමාරු කර ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව තව දුරටත් පර්යේෂණ සිදු කරමින් මේ තාක්ෂණය දියුණු කර ගන්නට වෑයම් කරන බවයි පර්යේෂකයන් පවසා සිටියේ. මේ ආකාරයෙන් සිතිවිලි උපකාරයෙන් ම එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම කළ හැකි නම් සන්නිවේදන උපකරණයන්ට හෝ සන්නිවේදන ජාලයන්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව වගේ ම භෞතිකමය වශයෙන් එල්ල වන බාධාවන්ගෙන් නිදහස් ව සන්නිවේදනයේ යෙදීමේ අද්විතීය අවස්ථාව මිනිසුන්ට උදා වනවා. නමුත් මෙය කළ හැක්කේ කෙසේ ද යන්න ගැන හෝ එය සිදු වන්නේ කෙසේ ද යන්න ගැන හෝ නිශ්චිත අදහසක් තවමත් ඉදිරිපත් වී නැහැ.

සිතිවිලි මඟින් අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදිය හැකි බව බටහිර ලෝකය දැන ගන්නේ විසිවන සියවසේ ආරම්භයේ දී… එ් වගේ ම නිශ්චිතව ම එය කළ හැකි බව ඔවුන් තහවුරු කර ගන්නේ විසි එක්වන සියවසේ ආරම්භයේ දී… මේ විස්මිත සන්නිවේදන ක‍්‍රමය ප‍්‍රායෝගි ප‍්‍රයෝජනයට ගැනීමට සම්බන්ධ වැඩපිළිවෙළක් සකස් කර ගන්නට ඔවුන්ට තව සියවස් කොපමණ අවශ්‍ය වේවිද යන්නත් අතිශය අවිනිශ්චිතයි.

නමුත්… මෙසේ මනෝමය සන්නිවේදනයක යෙදීම මේ දෙව් මිනිස් ලෝකයට ආගන්තුක දෙයක් නොවෙයි. මේ සංකල්පය පිළිබඳව කථා බහ ඉන්දියානු යෝගීන් අතර පවතින්නේ සියවස් ගණනක සිටයි. මේ මුළු මහත් ලෝකය ම පිරිසිඳ අවබෝධ කළ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සන්නිවේදන ක‍්‍රමය භාවිත කරමින් මිනිසුන්ටත්, දෙවියන්ටත් මහත් වූ යහපත උදා කර දුන්නේ මීට වසර 2500කටත් එහා අතීතයේ දී යි. දූතයන් මඟින් සිදු කරන සන්නිවේදනයක් හැර සන්නිවේදන උපකරණ හෝ සන්නිවේදන ජාල පිළිබඳ හෝඩුවාවක්වක් නො තිබුණ එ් අතීතයේ දී සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා සමග චිත්ත තරංගවලින් සිදු කළ සන්නිවේදනය සැබැවින් ම ආශ්චර්යවත්….

තථාගතයන් වහන්සේට අනුන්ගේ සිත් දැකිය හැකියි. එ් වගේ ම කුසල් දහම් දියුණු කිරීමට එකිනෙකා සතු වාසනාව, කුසලතාවය කොතරම් ද යන්නත් දැන ගත හැකියි. එ් එ් සිතට ධර්මය වැටහෙන අයුර බලා ධර්මය දේශනා කිරීමට තථාගත බලයක් තිබූ නිසා උන් වහන්සේගෙන් දහම් ඇසූ දෙව් මිනිසුන් දහම තුළ දමනය වුණා. සම්බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරදවාලන්නට ආ අන්‍ය තීර්ථකයන් අවසානයේ සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් උතුම් තිසරණයේ පිහිටියා. මේ නිසා තීර්ථක පිරිස් පවසා සිටියේ ගෞතමයන් වහන්සේ ආවට්ටනීය මායාවෙන් අන්‍යයන් වසඟයට ගන්නා බවයි. එ් වනාහි තථාගත බලයක් බවවත්, දමනය වූ තථාගතයන් වහන්සේ අන්‍යයන්ට දමනය වීම පිණිස මඟ පෙන්වන බවවත් දැන සිත පහදවා ගන්නට ඔවුන් සමත් වූයේ නැහැ.

තථාගතයන් වහන්සේ අනුන්ගේ සිත් දක්නා නුවණින් යුතු වූවා සේ ම එ් බුද්ධ කාලයේ සත්‍ය ගවේෂණයේ යෙදුණ ඇතැම් පිරිස් සිතින් සංවාදයේ නියැළෙන්නට සමත්කම් දැක්වූවා. සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ අජිත සූත‍්‍රයේ එවන් අසිරිමත් සිදුවීමක් විස්තර කෙරෙනවා. බාවරී බමුණාගේ ශිෂ්‍ය වූ අජිත තවුසා සම්බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ප‍්‍රශ්න කරන්නේ සිතිවිල්ලකින්…

‘‘මුදුනත් මුදුනේ පැලූමත්
බාවරි බමුණා විමසයි
භගවත් මුනිඳාණනි එය
පවසාලනු මැනවි අපට
මහා ඉසිවර මුනිඳාණනි
දුරලනු මැන අපේ සැකය”

මේ මනෝමය ප‍්‍රශ්නයන් නැගෙන විට පිරිස් මැද දහම් දෙසමින් සිටි සම්බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාළා.

‘‘‘මුදුන’ අවිදු අඳුර වේ ය
‘මුදුනේ පැලූම’ ය කියන්නෙ
විද්‍යාව ඇති කරගෙන
අවිදු අඳුර වැනසීම ය
සැදැහැ සිතින් හොඳ සිහියෙන්
සමාධියෙන් වීරියෙන් ද
කුසල් දහම් ගැන කැමැත්ත
මෙයින් යුතුය එ ‘විද්‍යාව’”

මෙසේ ඉතා නැණවත් වූ ප‍්‍රශ්න මනසින් විමසමින්, එ් සියලූ ප‍්‍රශ්න පැණවත්ව විසඳාලූ තථාගත සම්බුදු නුවණ ගැන මහත් ශ‍්‍රද්ධාවට පත් වෙමින් අජිත තවුසා ඇතුළු දහසක් පිරිවර අනතුරුව රැස්ව හුන් පිරිසට ද ඇසෙන ලෙස ගම්භීර පැන කිහිපයක් විමසනු ලැබුවා. එ් පැනයන්ට පිළිතුරු ලබා අවසන ඔවුන් තිසරණ සරණයේ පිහිටියා. පින්වත් අජිත එහි දී ම අරහත්වය සාක්ෂාත් කළා. නූතන සන්නිවේදනයේ එදා මෙදාතුර සිදු වූ සියලූ විප්ලවයන් එක ගොඩකට ගෙන වටිනාකමක් දුන්නත් මෙවන් අසිරිමත් සන්නිවේදනයක් සමඟ සසඳන්නට තරම් වටිනාකමක් එ් සියල්ලේ ම නැහැ.

දීඝ නිකායේ පාථික වර්ගයේ සම්පසාදනීය සූත‍්‍රයේ දී සම්බුදු බල මහිමය ගැන සිංහ නාද කරමින් ගෞතම සම්බුදු සසුනේ සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ අනුන්ගේ සිත ගැන කරුණු පැවසීමේ ක‍්‍රම පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් ධර්මය දේශනා කරනවා නම් එය ද අනුත්තරීය ධර්මයක් බව ප‍්‍රකාශ කොට වදාළා.

සම්බුදු නුවණින් පිරිසිඳ දුටු අයුරට අනුන්ගේ සිත් දකිනා ක‍්‍රම හතරක් ලෝකයේ පවතිනවා. ඇතැම් අයෙක් සිතෙහි ස්වභාවය ප‍්‍රකට වන ශාරීරික නිමිති බලා සිතේ ස්වභාවය මෙසේ යැයි පවසනවා. තවත් අයෙක් මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ කථා ශබ්දය අසා අනුන්ගේ සිත්වල ස්වභාවය මෙසේ යැයි පවසනවා. තවත් කෙනෙක් මේ ආකාර දෙකෙන් ම තොරව අන්‍යයන් මනසින් විතර්ක විචාර කරන විට එ් විතර්ක විචාර ශබ්දය අසා ඔවුන්ගේ සිතේ ස්වභාවය මෙසේ යැයි පවසනවා. තවත් අයෙක් විතර්ක විචාරයෙන් යුතු සමාධියකට සම වැදී සිටින්නා වූ අයෙකුගේ සිත තම සිතින් පිරිසිඳ දැක සමවතෙහි සිටින්නාගේ දැන් පවතින මනෝ සංස්කාරයත්, අනතුරුව පහළ කරන විතර්කය කවරක් ද යන්නත් දකිනවා. නූතන විද්‍යාඥයන් උත්සාහ කර බලන්නේ මේ තුන්වන ක‍්‍රමය සාර්ථක කර ගත හැකි ආකාරයක් හඳුනාගැනීමට. එයත් ඔවුන් ඉතා සුළු පරාසයකින් පමණයි හඳුනාගෙන තිබෙන්නේ. එසේ තිබිය දී ඉතා සියුම් චිත්ත කුසලතාවයක් වන තම සිතින් අනුන්ගේ සිත පිරිසිඳ දැකීමේ හැකියාවක් උපදවා ගැනීම ගැන ඔවුන් කවරක් නම් සිතන්න ද? ලොව ඇති තතු එලෙසින් ම අවබෝධ කර ගත් සම්බුදු නුවණින් ම හැර අන් කවරකින් මේ විස්මිත චිත්ත ස්වභාවයන් ලෝකයට හෙළිදරව් කරන්න ද?

සිතිවිලි දහරාවන්ගේ සීමාවක් නැහැ. අප සිතන සිතිවිලි මඟින් මිනිසුන්ට පමණක් නෙවෙයි, තිරිසන් සතුන්ට – අමනුෂ්‍යයන්ට පවා බලපෑම් එල්ල කළ හැකි බව බුද්ධ දේශනාවල සඳහන් වනවා. සියලූ ලෝක සත්වයන් වෙත මෙත් පැතිරවීම තුළ සිදු කෙරෙන්නේ ඉතා යහපත් වූ චේතනාවක් සියලූ සක්වළ පතුරුවා හැරීම. මේ මෙත් සිතේ බලය නිසා වනේ වන සතුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් පවා උවදුරක් සිදු වීමේ ඉඩකඩ මඟ හැරෙනවා. ඈත වන සෙනසුන්වල හුදෙකලාවේ බවුන් වැඩූ පින්වත් බුද්ධ ශ‍්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත උපද්‍රවයකින් තොරව ආරක්ෂා වුණේ මේ මෛත‍්‍රී චේතෝ විමුක්තියේ ආනුභාවයෙන් ම යි. සිතක උපන් සිතිවිල්ලක් මඟින් අන් සිත් සතන්වල ද යහපත උපද්දවාලිය හැකි බව ලොවට හෙළි කොට වදාළ එ් උතුම් තථාගත ධර්මය කෙතරම් නම් ආශ්චර්යවත් ද? අපටත් එ් උත්තම පණිවිඩය සිතකින් සිතකට යොමු කරන්නට පුළුවනි නම් මේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කළ හැකි බව නම් විශ්වාසයි…!

සටහන
කලණ ගංගානාථ