highlights of the week
Home » NEW ARTICLES » ලෝ සත උදෙසා තම දිවි කැප කළ වීරවතාණෝ

ලෝ සත උදෙසා තම දිවි කැප කළ වීරවතාණෝ

ගිනි ගහන අව් රශ්මිය මිහිමත පතිත කළ හිරු කුමරු ගගනතට සමුදී සඳ කුමරුට ගගනත භාරකරන්නට කාලය උදා වෙමින් පවතී. එදින සඳ කුමරුට විශේෂිත වූ දිනයක් නො වන්නේ ද නො වේ. කඳු අතරින් අපර දිගින් හිරු කුමරු සැඟව යත් ම, සඳ කැන් වගුරවමින් පූර්ණ රන් තැටියක් බඳු වූ සඳ කුමරු එබී බලන්නේ සඳ කැළුමින් දියත තෙමාලමිනි. සඳ කැන් මිහිමත වැතිර යද්දි, වන ගොමුවල වන මල් සිපගෙන සීත පවන් රැලි දසත හමා ගියේ ය. නිල්වන් පැහැයෙන් බබළන්නා වූ සීත ජල කඳ දරා ගංගා කොමලිය සඳ කැනින් නැහැවී සන්සුන් ව පහළට ගලා බසින්නට විණි.

දඹදිව් තලයේ ආශ්චර්යවත් දෙයක් සිදුවෙමින් පැවතුණේ මේ සියල්ල වන අතරතුර ය. එය දෙව්ලොව දෙවියන්ටත්, බඹ ලොව බ්‍රහ්මයන්ටත් නම් නොරහසකි. ඒ අතර මේ පුවත මනුලොව දෙදෙනෙකු සමඟ තිරිසන් ලොව සත්වයෙකු ද දැනගන්නට විය. මේ විපර්යාස සියල්ල ම සිදුවන්නේ මිහිමත මනු කැලගේ ද දෙව්ලොව දේව සමූහයා ඇතුළු සියල්ලන්ගේ ද යහපත උදෙසා ම ය.

ශාක්‍යය රාජ්‍යයේ අණසක පතුරවමින් රාජ්‍ය පාලනය කරන සුදොවුන් රජමැදුර සඳ කැනින් නැහැවී ඇති මේ රාත්‍රී යාමයේ මේ සිදුවීම සිදුවන බව රජ පවුලේ කිසිවෙකුත් දැන සිටියේ ද නැත. මේ සියල්ල ම සිදුවන්නේ මේ ලෝක සත්වයාගේ යහපත උදෙසා ම ය. මේ පෘථිවි තලය මත වසන බොහෝ දෙනෙකුගේ යහපත, සැපත, සතුට වෙනුවෙන් තමන්ගේ සැප සතුට පවා කැප කරන්නට කවුරු නම් දිරිමත් වෙද්ද? කවුරු නම් වෙර දරද්ද?

මේ ලෝ සතුන් වෙනුවෙන්, තම ජීවිතය කැප කරන්නට, තම සතුට, කැප කරන්නට දිරිමත් වූ ඒ වීරවතාණන් වහන්සේ ඇසළ සඳ කැන් මෝදු වන යාමයේ, ඡන්න ඇමතීන් කැටුව කන්ථක අසු පිටින් අභිනික්මන් කරන්නට වූහ.

යොදුන් සිය ගණන් ගෙවා ගෙන බෝසතාණන් වහන්සේ සීත ගංගා නදී තෙරට පැමිණියේ ජල ස්නානයට නො වේ. තම අරමුණ ඉටුකර ගන්නට ශ්‍රමණ වෙස් ගැනීමටයි. සකල ලොව අග රජු, මේ ලොව සක්විති රජ කිරුළට හිමිකම් කී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජ සැප අත්හැරියේ ය.

රජ සළු හැර දමා කසාවත් ඇඟ දවටා ශ්‍රමණ වෙසක් ගත්තේ ය. මහා කතරක පිපාසිත වූවෙක් පැන් සොයා යන්නේ යම් සේ ද තම විමුක්ති මාර්ගය සොයමින් පා යුග පෙරට ම තබන්නට විය. සත්‍ය සොයා යන ගමනේ දී එකල ජම්බුද්වීපයේ සිටි ආලාරකාලාමයන් හා උද්දකරාමපුත්ත යන තාපසීන් වහන්සේලා ද ළඟින් ම ඇසුරු කිරීමේ ඉඩ අප බෝසතාණන් වහන්සේට උදාවිය.

සොයන්නා වූ නිවන් මග ඔවුන් ළඟින් ලබන්නට නො හැකි බව පසක් වෙත් ම ඔවුන්ගේ අවසරයෙන් ඔවුන්ට සමුදී බෝසතාණන් වහන්සේ නික්ම ගියහ. එහෙත් තම විමුක්තිය සෙවීමේ පිපාසය වැඩි වූවා මිස අඩු වූයේ නම් නැත. ඉන් නික්මී ගිය බෝසතාණන් වහන්සේ ගිරි ගුහාවල, ගණ වනාන්තරවල තපස් චර්යාවෙන් දිවි ගෙවන්නට වූයේ විමුක්තිය පසක් කිරීමටයි. එකල සිටි තපස් චර්යා ගෙවූ තාපසීන්ට නො හැකි වූ උග්‍ර වූ තපස් චර්යාවන්හී අප මහා බෝසතාණන් වහන්සේ නියැළුනහ. තම අභිප්‍රාය වෙනුවෙන් අත්තකිලමථානුයෝගයේ උන්වහන්සේ යෙදුණහ.

ගස්වල අමුකොළ, ගස්වල පොතු, ගස්වලින් වැගිරෙන ලාටු, තණකොළ, ගස්මුල් ආදිය බෝසතාණන් වහන්සේගේ ආහාර බවට පත් විය. රජ මැදුරේ රස මසවුළු සමග අහාර අනුභව කළ අප බෝසතාණන් වහන්සේට මේ ආහාර කෙසේ වන්නට ඇද්ද? කෙතරම් රළු ද? රන් තැටිය වෙනුවට තමාගේ අත් දෙක ම පිඟාන බවට පත් විය. මෙසේ රළු ලෙස ආහාර ගැනීම කෙතරම් අප්‍රියජනක ද? එහෙත් අප වීරවතාණන් වහන්සේට ඒ සියල්ල ගණනකටවත් නො වී ය. විටෙක ආහාරයට ගත්තේ ගොම ය, ගස්වල ඵල ය, එහෙත් රසමසවුළුත් මේවාත් අතර ඇති වෙනස සිහිකළේවත් නැත. උන්වහන්සේට අවශ්‍ය වූයේ ආහාර නොව උතුම් වූ විමුක්තිය ය.

අති දුෂ්කර තපස් ජීවිතයක් ගත කළ එතුමාණෝ තම වැඩුණු කෙහේ රැවුල් ආදිය තල් ඇට දෙකක් අතරට තෙරපා උදුරා දමන්නට වූහ. හිසකේ ගැලවී යනවිට සුන්දර රන් සිරසින් කෙතරම් ලේ වැගිරෙන්නට ඇද්ද? අහෝ… අප බෝසතාණන් වහන්සේ කෙතරම් දුක් වින්දා ද? ඒ අප නිසා ම ය.

සයනාසන වෙනුවට කටු ගැසූ ලෑලි මත සැතපුනේ රාජ සයනාසනයන්හි සැතපෙන පරිදි නො වේ.

මෙසේ මේ ඇරඹි දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාව දින, සති, මාස, වසර වශයෙන් දීර්ඝ වන්නට විය. මේ අති දුෂ්කර ප්‍රතිපදාව ඇරඹි දිනයේ පටන් නො සේදූ සිරුරින් හම් පතුරු ගැලවී යන්නට විය. මෙසේ ශරීරයට මහත් දුක් දුන් අප මහා බෝසතාණන් වහන්සේ මිනිස් කටහඬක්වත් නොමැති මහා වන දුර්ගයන්හි, මහා ගුප්ත බවින් යුතු බිහිසුණු වන ගුහාවන්හි තමාගේ විවේකය සොයන්නට විය. ගිනි ගහන මහා අව් රශ්මියට රත්වූ ගල්තලා මත මහා මද්දහනේ බවුන් වඩන්නට විය. අධික සීතලකින් යුතු හිම වැටෙන මහා රාත්‍රියේ ගඟ පතුලේ පවා කිමිද සිටින්නට විය.

අප මහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ දී සත්වයා ආහාරයෙන් පිරිසිදු වන්නේ ය යන මතය දැඩිව පැතිර තිබුණි. එවක් පටන් ළපටි කිරි බොන වයසේ වසුපැටවුන්ගේ ගොම ආහාරයට ගන්නට විය. ඒ අතර තමන් වහන්සේගේ අසූචි, මල මුත්‍රා ද ආහාර බවට පත් විය. ඒත් සමඟ ම උන්වහන්සේගේ ආහාරය දිනකට මසන් ගෙඩියක ප්‍රමාණයට පත් විය. ඉන් අනතුරුව මුං ඇටයක ප්‍රමාණයට, සහල් ඇටයක ප්‍රමාණයට ආදි වශයෙන් ආහාර ගැනීමට පටන් ගන්නට විය. එසේ ආහාර අඩුවී ගිය සුන්දර රන් සිරුර ක්‍රම ක්‍රමයෙන් වියැකී ඇට පෑදෙන්නට විණි. කෙතරම් ඇට පෑදී ගියා ද යත් දිරාගිය ශාලාවක වහලයේ පරාල යම් සේ ද එලෙසින් ම වන්නට විය. උන්වහන්සේ තමන් වහන්සේගේ කුස අතගානාවිට පිටේ කොඳු ඇට පෙළ ස්පර්ශ වන්නට විය. දෑතින් ශරීරය පිරිමදින විට සිංහපෝතකයෙකුගේ මෙන් තේජාන්විතව තිබූ සිරුරේ මවිල් ගැලවී අතට එන්නට විය. ළිං පතුලේ ඇති දිය ස්වල්පයක තරු එළියක් පෙනෙන්නේ යම් සේ ද, අභිනීල නෙතු සඟල වත කමලේ ඇතුළට ම ගිලෙන්නට විය. සුන්දර කේශ කලාපයෙන් ගැවසගෙන තිබූ සුන්දර රන් සිරස අවුවට වියළී ගිය ලබුගෙඩියක් මෙන් වියළෙන්නට විය. කුසෙහි සම පිටකොන්දට ඇලී යන්නට විය.

තමන් වහන්සේට නැගිට යා ගත නො හැකි තරමට ම සිරුර දුබල වී ගියේ ය. මල මුත්‍රා ගොඩේ සිහිසුන්ව ඇද වැටුණේ ය. එහෙත් පුණ්‍ය මහිමය නිසා අප මහා බෝසතාණන් වහන්සේ අවසන් හුස්ම පොද හෙළුවේ නැත. මෙසේ බිම වැතිර සිටි අප වීරයාණන් වහන්සේගේ සිරුරට ගොපලු දරුවන් මල මුත්‍රා කිරීමට තරම් එඩිතර වූහ. ඒ කිසිවක් එතුමන්ගේ ගමනට බාධා වූයේ නැත.

මෙසේ අත්තකිලමථානුයෝගයෙන් බෝසතාණන් වහන්සේ සය වසක් තපස් දිවියක් ගත කළහ. එහෙත් විමුක්තිය නම් තවමත් නොමැති බවට පසක් විය. ඒ පසක් වූවත් පෙරට තැබූ පා යුග පෙරට මිස පසුපසට හැරවූයේ නැත. උන්වහන්සේ ධෛර්යවත් වූහ. ඉන් පසුව උන්වහන්සේ අත්තකිලමථානුයෝගය බැහැර කොට තම ශරීරය පවත්වා ගැනීමට පමණක් ආහාර ගන්නට විය. ඒත් සමඟ ම අප මහා බෝසතාණන් වහන්සේ ධෛර්යවත් වීර්යවත් සිතකින් ඉදිරියට ම යන්නට වූහ.

දින, සති, මාස, වසර ගාණක් ගෙවී ගොසින් මිහිමත සුන්දර යුගයකට දොරටු විවර වෙමින් තිබෙන බව කවුරු නම් දනිද්ද? තුරුලතාවන් මඳ පවන් රැල් නංවමින් තාලයට සෙලවෙත්, ඒ මඳ පවන් රැල්ලට වන මල් තාලයට නටත්, වන ගොමු අතරට වැද සිටි මුව පොවුවන්, සා පොවුවන් වන වදුලෙන් එළියට පැමිණ හරි හරියට උඩ පැන දිව යන්නේ මන්ද? කවුරු නම් මේ සිදුවෙන අසිරිමත් සිදුවීම දනිද්ද? තුරු වදුලේ සිටි නොයෙක් පක්ෂීහු තම හඬ නංවමින් ගී ගයමින් ඒ මේ අත සතුටින් පියාසර කරත්. මේ සොඳුරු මොහොතේ හිරු රැස් තද පොළෝ තලය මතින් සමුගනිමින් තිබුණි. ඒ වෙනුවට සඳ කැන් දහර ගලා බස්සවමින් සඳවත දියත තෙමන්නට වූවා ය. පොළෝ තලය සඳ කැනින් නැහැවී දෝර ගලන්නට වූයේ රාත්‍රි යාමය සුන්දරවත් කරවමිනි.

මේ සොඳුරු දිනයේ අප මහා බෝසතාණන් වහන්සේ, නේරංජරා නදීතෙර සුදුවැලි තලාව මතින් පිය සටහන් තබන්නට වූහ. නදී කොමලිය අසබඩ තිබුණ තේජාන්විත මනස්කාන්ත වූ ඇසතු රුක් සෙවණ ඒ පා යුග පිළිගන්නට මග බලා සිටින්නට වූයේ නො ඉවසිල්ලෙනි.

ඇසතු රුක් සෙවණට වැඩි අප මහා බෝසතාණන් වහන්සේ ඒ වජිරාසනය මත වාඩි වූයේ නිකම් ම නොව, “මාගේ ශරීරයේ ලේ, ඇට, මස්, වියළෙතොත් වියළේවා. ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ පරාක්‍රමයකින් සාක්ෂාත් කළ යුතු දෙයක් ඇද්ද එය සාක්ෂාත් කොට මිස නො නැගිටිමි” යන උතුම් වූ වීරියෙන් යුතුව ය. ඒ සිතුවිල්ල සිතුවිලි මාත්‍රයක් බවට පමණක් පත් නො වී ය.

සුන්දර වෙසක් සඳ කැන් වැතිර දිලිසුන ඒ රාත්‍රියේ ගයාවේ ගංතෙරේ උතුම් වජිරාසනේ මත අප මහා බෝසතාණන් වහන්සේ, දස මාරසෙන් පරදා, සියලු කෙලෙසුන් නසා, මේ සියලු ලෝකයන් අවබෝධ කොට, තමන් වහන්සේගේ අභිප්‍රාය සම්පූර්ණ කරවමින් ලොව්තුරු සම්මා සම්බුදු කිරුළ පලඳමින් මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුව පහළ වූ ගෞතම නම් වූ අරහත් නිකෙලෙස් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. තුන් ලොවෙහි ම දහම් ඇස බවට පත් වී වදාළ සේක. ලෝ සතුන්ගේ ගැලවුම්කරුවාණන් බවට පත් වී වදාළ සේක. දෙව්මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ බවට පත් වී වදාළ සේක.

විශාරද මුනි, දසබලධාරී, මහා කාරුණික අපගේ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සටහන – සංජීව ධර්මදාස

Leave a Reply

Your email address will not be published.

x

Check Also

පිළිවෙත් සරු සඟරුවන

බුදු සසුනක් ලෝකයේ පවතින යුගයක පමණක් දක්නට ලැබෙන අරහත් ධජය වන කසාවත පොරොවා ගත් ඒ ශ්‍රාවකයෝ දෙව්ලොව ද බඹලොව ද දක්නට නො ලැබෙති. මේ මිනිස් පියසෙහි ම පමණක් ඒ උතුම් ශ්‍රාවකයෝ බිහි වෙති.