බොහෝ දේ සොයා ආ ගමනක බොහෝ දේ නො ලැබ ම මිය යන්නවුන් ය අප… මේ ගමනේ අවසානයක් නැත. එකක් නිම වන විට එකක් ලෙස ඉලක්ක අපට ඇත. සන්සිඳීමක්, නිමාවක්, තෘප්තියක් නැති ගමනකි ජීවිතය…

    එහෙත්… කෙළවරක් ඇති ගමනක් ද ලෝකයේ ඇත. එහි ඇරඹුමට පැමිණියෝ එ්කාන්තයෙන් ම කෙළවරට ද පැමිණෙති. එ් වනාහි සුගත තථාගත මුනි මඟයි. කලණ යහළුවන් එහි පෙරගමන්කරුවන් ය. ඔවුන් පෙන්වන මෙඟ් අපේ පිය තබන තීරණය අප ගන්නේ කවදා ද!!! අපේ තීරණය ගැන යළි සිතනු වස් දිගහැරෙන කසාවත 21වන පෙළගැස්මයි මේ…!

————————————————————
කාම ලෝකයේ ගාමක බලවේගය පංච කාමය යි. පංච කාමය නො තිබුණා නම් එය කාම ලෝකය ලෙස හැඳින්විය නො හැකි ය. කාම සංඥා පහළ නො වන මිනිසුන්ගෙන් ම මේ පෘථිවිය පිරී තිබුණා නම්, මිනිස් ලොව පංච කාමය නො තිබුණා නම්, මෙලොව කෙතරම් ශාන්ත වනු ඇත් දැයි මම බොහෝ කල්පනා කොට ඇත්තෙමි.

පංච කාමයෙන් තොර ලොවක් නම් මෙලොව, මිනිසා රසය පසුපස නො ගොස් ජීවිත යාත‍්‍රාව පවත්වා ගැනීම උදෙසා ම පමණක් ආහාර අනුභව කරනු ඇත. එමෙන් ම සුන්දරත්වය පසුපස නො ගොස් ශීත උෂ්ණයෙන් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා වීම, සත්ව උවදුරුවලින් ආරක්ෂා වීම පිණිස වස්ත‍්‍ර සහ නිවාස පරිහරණය කරනු ඇත. ඇස කන පිනවන ජනමාධ්‍ය සහ මායාකාරී දැන්වීම් පුවරු මෙන් ම කාම ව්‍යාපාර ආදි කිසිවක් නොමැති සැලසුමකින් අතිශය ශාන්ත මං මාවත් හා නගර ජනපද ඉදිවනු ඇත.

සම්බුද්ධ දේශනාවන්ට අනුව, කාම ලෝකයේ කාම බන්ධනයෙන් නිදහස් වුවත්, රූප ලෝකයේ බන්ධනයන්ගෙන් සහ අරූප ලෝකයේ බන්ධනයන්ගෙන් නිදහස් වීම තව දුරටත් ඉතිරි ව තිබේ. කාම බන්ධනයන්ගෙන් ගැලවීම මේ තරම් අසීරු ව තිබියදීත්, ඊටත් අසීරු රූප අරූප බන්ධනයන්ගෙන් ගැලවීමට නො හැකි ව නිවනට පත් නො වී සසරට වැටුණු ඍෂිවරු කෙතරම් නම් සිටිත් ද! එවන් යුගයක සියලූ භව බන්ධනයන්ගෙන් නිදහස් වන එ්කායන විමුක්ති මාර්ගය අසන්නට ලැබීම කොයි තරම් නම් වාසනාවක් ද..!

බෝසත්වරු, ශ‍්‍රාවක චරිත අතීතයේ දී විමුක්තිය උදෙසා සිදු කරන ලද පරිත්‍යාගයන් පිළිබඳ කතා රැසක් දහම් පිටු අතරින් කියවන්නට ලැබුණි.
උන්වහන්සේලාට සැබැවින් ම විමුක්තිය පිණිස අත්හැරීමට දේවල් තිබුණි. විමුක්තිය පිණිස පමණක් නොව දිවි ගලවාගෙන සුනාමියකින් පැන යාමේදීවත්, අත්හළ නො හැකි යමක් ඇත් ද උන්වහන්සේලා අත්හළ කුඩා ම වටිනාකමකින් යුතු දේ සමඟවත් අපේ වත්කම් අහසට පොළව මෙන් නීච ය… හීන ය.

උන්වහන්සේලා රිදියෙන් රත්තරනින් කළ හැඳි පිඟන් අත් හැර පාත‍්‍රය අතට ගත් නමුත්, රිදී පාටට දිළිසෙන සුදු යකඩ හැන්දත්, කිරි පාටට පාට කරන ලද පිඟන් මැටි තැටියත් අත හැර ගැනීමට අපට නො හැකි ය. උන්වහන්සේලා සුසිනිදු සළුපිළි අතහැර, පිරිසිදු රනින් කළ අධි වටිනාකමකින් යුතු මුතු මැණික් දියමන්ති සවි කළ ආභරණ අතහැර කසාවත දරා ගත් නමුත්, රුපියල් පනහේ සීයේ සිට දාහ දෙදාහ දක්වා වූ පාංකඩ වැනි ඇඳුම් කෑලිවලින් මැවුනු විලාසිතා ලෝකයක් සහ පොල් කෙන්දක් දෙකක් මහත චේන් පොටක් මුද්දක් කරාබු කෑල්ලක් අත හැර ගැනීමට අපට නො හැකි ය. උන්වහන්සේලා ධාර්මික ව ලද රන් ඔටුනු ගලවා, අභිනීල කෙස් වැටිය කපා හිස මුඩු කරගත් නමුත්, තඩි ලේඬි පිරුණ අකලට පැසෙන අකලට වැටෙන හිස කෙස් කපා දමා දැමීමට අපට නො හැකි ය.

එපමණක් ම නො වේ. උපතින් ම ලද, රන්වන් පැහැති සුසිනිඳු සමකින් සහ ව්‍යායාම් බෙහෙත්වලින් තොර ව උපතින් ම ලද සුන්දර ස්වභාවික රූ සපුවකින් යුක්ත වූ, ස්වභාවික ව ලද සුන්දර දෙනෙතක් හා සුන්දර පැහැයෙන් යුතු තොල් සඟලක් මෙන් ම ස්වභාවිකව ම දිළිසෙන නීරෝගී කෙස් කළඹකින් යුතු අධිරූමත් පංච කල්‍යාණි කුමාරිකාවන් බිරින්දෑවරුන් ව සිටිය දී එ් සියලූ දෙනා අතහැර පැවිදි වන්නට කසාවත් දරන්නට උන්වහන්සේලාට හැකි විය.
එනමුත්, උපන් දා සිට නානාප‍්‍රකාර දේවල් තවරමින් සුදුමැලි පාටක් මතුකරගෙන උලා ලෑම නිසා ම ගෙවී ගොස් සිනිඳු ගතියක් සකසා ගත් සමකින් යුක්ත… ලෝකයාට පෙනෙන සම පමණක් පැහැපත් වී සැඟවුණු තැන් උපන් අප‍්‍රිය අවලස්සන දුර්වර්ණ ස්වභාවයෙන් ම පවතින… පේ‍්‍රතියන් මෙන් ආහාර අඩුවෙන් ගෙන සිරුරේ මේදය වියළවා දමා හිතාමතා ම කෘෂ කරගෙන සකපෝරුවේ දමා වෙහෙස වී මැටි කළයක් තනන්නා සේ අධික ව්‍යායාමවලින් ශරීර හැඩය සකසා රැකගෙන සිටින… ප්ලාස්ටික් කෑලි ඇස් ගුලිවල ඔබාගෙන ඇස් පාට කර ගත්, ඉටි තීන්තෙන් වර්ණ ගැන්වූ තොල් සහිත…
සැලෝන්වලට පින් සිද්ධ වෙන්න කාලෙකට ඇඹරී ගිය, කාලෙකට කෙළින් වී ගිය, කාලෙකට කාල වර්ණ සහ තවත් කාලෙක මලකඩ වර්ණ කෙස් කළඹක් නඩත්තු කරනා…. මවාගත් අධිරූමත් භාවයකින් යුතු දියසායම් චිත‍්‍රයක් බඳු ඉමිටේෂන් පංච කල්‍යාණි සි`ගන්නියන් රැුළක් අතහැර ගැනීමට නො හැකි ව නැවත නැවතත් අපි සසරේ ම යන්නෙමු.

සියල්ල අත්හැරීමට සිතෙන විට, අතහැර ගන්නට නො හැකි බොහෝ දේ සිහියට පැමිණෙන නමුත්, එ් අතීත උතුමන් වහන්සේලාගේ ජීවිත දෙස බලද්දී අප හට අතහැරීමට ඇත්තේ හිඟන සැපයක් පමණි. සැබෑ කම්සැප අතහැරියේ උන්වහන්සේලා ය. කිසිවක් අතහැරීමට නො හැකි ව සියල්ල පොදි බැඳගෙන සියක් ආයු ජීවත් වුවත්, තමාගේ මරණයට පෙර හෝ මරණයත් සමඟින් එ් සියල්ල අහිමි වී යනු ඇත. යම් දිනක ස්ථිරව ම අහිමි වන දෙයක් අවසන් මොහොත දක්වා ම ආශාවෙන් භුක්ති විඳීම ණයට ගත් දෙයක් හිමිකරුවන් පැමිණ පැහැරගෙන යන තෙක් ම ආශාවෙන් භුක්ති විඳීමටත් වඩා අවාසනාවන්ත ය. කිම ද, හිමිකරුවා සමඟ කතිකා කරගෙන එ් දෙය නැවත ලබාගත හැකි ව තිබීම යි. නමුත් මරණයෙන් අහිමි වන සියල්ල එසේ නැවත ලබා ගත නො හැකි ය. අහිමි වුව හොත් අහිමි වූවා ම ය. වෙන් වුව හොත් වෙන් වූවා ම ය.

ජීවිතයක් තුළ දුක සැප පැමිණෙන්නේ කෙසේදැයි කල්තියා දැනගත නො හැකි වුවත්, තථාගතයන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයට අනුව මනා කොට අවබෝධ කළ හැකි එ්කායන සන්ධිස්ථාන කිහිපයක් වේ. එනම්, ඉපදීම, ලෙඩ වීම, වියපත් වීම සහ මරණය යි. පිරිසෙන් වෙන් වී ප‍්‍රියයන් අතහැර අප‍්‍රියයන් සමඟ මධ්‍යස්ථ වූ පැවිදි උතුමෙකුට සෝක වැළපුම් දුක් දොම්නස් සුසුම් හෙළිම් නවතා වාසය කළ හැකි වුවත්, ඉපදීම, ලෙඩ වීම, වියපත් වීම සහ මරණයට මුහුණ නො දී සිටීමට උන්වහන්සේට ද නො හැකි ය. එනමුත් නැවත වතාවක් ඉපදීම, ලෙඩ වීම, වියපත් වීම සහ මරණයට පත් නො වී සිටීම සඳහා ප‍්‍රතිපදාවක් උන්වහන්සේ තුළ පැවතිය හැකි ය.

විස පිරුණු මඩ වළක ජීවත් වන සම ගැලවුනු සතුන් රෑනක් සේ සසරට වැටී සිටින අප කලාතුරකින් ඉන් නිදහස් වීමට ලැබෙන අවස්ථාව දැන දැන ම මඟ හැර ගන්නේ අඥානකම නිසා ම ය. සසරත් අවිද්‍යාවත් අඥානකමත්… අප‍්‍රමාදයත් ක්ෂණ සම්පත්තියත් නිවනත් ගැන ලියවුණු සුන්දර වදන් පෙළක් ‘කන්ද උඩ කුටියේ වැඩ සිටි’ ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ තැනක තිබුණා මා හට මතක ය. වහා ම එ් පිටුව පෙරලා එම කවිපෙළ මෙහි සටහන් තබන්නෙමි.

‘‘නිමක් නොමැති මේ සසරේ –
ඇවිද ඇවිද යන අතරේ
ලැබුණි කලාතුරකින් යුතු –
ඉතා උතුම් මිනිසත් බව
ආයෙත් නම් කවදාවත් –
දුක් නො විඳින්නට සසරේ
සියලූ දෙයට වඩා උතුම් –
තුන් ලොවට ම උතුම් මැණික
ලැබුණා! අප හට ලැබුණා! –
සැරසෙව් පින්වතුනි ඉතින්
මේ සදහම් සළුපිළියෙන් –
නගිව් දහම් නෞකාවට
නැගගත්තොත් දහම් නැවට –
ආයෙත් නො වැටේ සසරට
බිඳිමින් සැඩ පහර යසට –
නො නැවතී ම යයි නිවනට”

සුත්ත නිපාතය සූත‍්‍ර පොත් වහන්සේගේ පරිවර්තනයක් වූ ‘අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති’ නම් වූ පින්වත් ගුරු දේවයන් වහන්සේ විසින් රචිත පොත් වහන්සේගේ පසු පිටේ සඳහන් වූ කවිපෙළ යි.

ජීවිත ගමන වෙනස් කරන සන්ධිස්ථානයන් රැසක් සියල්ලන්ට ම හමු වී ඇති බව මම විශ්වාස කරමි. විටෙක අධ්‍යාපන රටාවක් තෝරා ගැනීම ද තවත් විටෙක රැකියාවක් තෝරා ගැනීම ද සන්ධිස්ථානයන් වේ. කිසියම් වෘත්තියක දී හෝ ව්‍යාපාරයක දී අසාර්ථක වුවහොත් වෙනස් මාවතකට යොමු වීම සඳහා සුදුසු ම අවස්ථාවේ සුදුසු ම තීරණය ගැනීම ද තවත් එක් තීරණාත්මක සන්ධිස්ථානයකි. දහස් ගණනක් තරුණියන් අතරින් මුළුමහත් ජීවිත කාලය ම ගත කිරීම සඳහා තෝරා ගන්නා තරුණිය කවුදැයි යන්න තීරණය කිරීම ද එ් හා සමාන ම වැදගත් සන්ධිස්ථානයකි. මේ සියලූ සන්ධිස්ථාන අතරේ වෙනස් ම වූ තීරණයක් ගැනීමට නො හැකි ව අද මම හිර වී සිටිමි.

එ් පිළිබඳ ව පියා සමඟින් ද මාගේ වැඩිමහල් ඥාති සොයුරෙකු සමඟ ද කතිකා කිරීමෙන් පසු තීරණයක් ගැනීමට මම කල්පනා කළෙමි. පියා නිවසට පැමිණෙන්නේ රාත‍්‍රියේ බැවින් දවල් 12ට පෙර ඥාති සොයුරාගේ නිවස වෙත යාමේ අදහසින් යතුරුපැදියට නැඟී පිටත් වී ගියෙමි. ඔහුගේ නිවස තිබුණේ මඳක් දුරට වන්නට ය. නමුත් එහි පැමිණීමට පෙර මා පැමිණෙන බව දුරකථනයෙන් දැනුම් දුන්නෙමි. එ් මා වෙනුවෙන් ඔහුගේ කාලය සූදානම් කරවීම උදෙසා ය.

‘‘ආහ්… එන්න මල්ලි. උඹ ආව එක ලොකු දෙයක්. මටත් එපා වෙලා හිටියෙ බං. අද ඉරිදනෙ. මාර කම්මැලියි…” යතුරුපැදියේ ශබ්දය ඇසී මිදුලට පැමිණි අයියා ඉතා උණුසුම් ලෙස මාව පිළිගත්තේ ය.

‘‘එ් මොකෝ ජනිත් අයියා කම්මැලි…? අද අක්කා නැද්ද ගෙදර…??” යතුරුපැදියෙන් බැසගත් මම හෙල්මට් එක ගලවමින් ගේ තුළට ද බැල්මක් හෙළමින් විමසුවෙමි.

‘‘ඉන්නව ඉන්නවා… එ්ක තමයි අවුල බං. නිවාඩු දවසෙත් ගෙදර නෑ කියයි කොහෙ හරි ගියොත්. ඔය ඉතිං හෙල්මට් එක ගලවන්න එපා බං. මම උඹෙ වැඩක් කියල ෂර්ට් එකක් දාගෙන එන්නං. අපි යං ටවුමට…?” දෑතින් ම හෙල්මට් එක ගෙන නැවත මගේ හිසේ පැලඳවූ ඔහු ක්ෂණයෙන් නිවසට ගොස් විනාඩි පහක් පමණ ඇතුළත විනාඩි 30ක් පමණ ගෙන ලක ලැහැස්ති වූවෙකු සේ අතිශය පිළිවෙළට ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් හැඳ පැමිණියේ ය. එ් සමඟින් ම පිටුපසින් පැමිණියේ ඇගේ බිරිය යි. කලකට පෙර ඉතාමත් ම රූමත් ව නගරයේ දී මුණගැසුණු ප‍්‍රියංකා අක්කා ම දැයි සිතෙන තරමට පළමු දරු ප‍්‍රසූතියෙන් පසු විකෘති වී ගොස් ඇත්තේ පෙරේත බැල්මක් වැටුණා සේ ය. දරුවාට යමක් කවමින් ම මිදුලට පැමිණි ඇගේ වස්ත‍්‍රය සහ හිස කෙස් පවා පිළිවෙළකට නො තිබුණි.

‘‘මේ ගෑනු.. ටවුමට බහිද්දි තමයි කෙස් ටික අතුපතු ගාගෙන මූණ සුද්ද කරල පින්තාරු කරගෙන අලූත් ඇඳුමක් ඇඳගෙන එන්නෙ. ගෙවල්වලට එන්න  ඕනෙ අප්සරාවියන්ගෙ පෙරේත මූඞ් එක බලන්න…” මම මට ම කියාගත්තෙමි. හෙල්මට් එක තුළ ම මුමුණමින් මා පැවසූ දේ් දෙදෙනාට ම නෑසුණි. එ් අතරේ අක්කා පැමිණිල්ලක් සටහන් කරවන්නාක් මෙන් මා ඇමතී ය.

‘‘බිනර මල්ලි එනව කීවම මම හිතුවෙ කෑමටත් ඉඳියි කියල. ආව ගමන් යන්නනෙ ඇවිල්ල තියෙන්නෙ. මොකද්ද මල්ලි වැඬේ…? තේකක් බීල  යන්නකො. පැයක් දෙකක් හිටිය නම් මටත් එන්න තිබ්බ. ටවුමට යන්න හිටියෙ මාත් හවස් වෙලා…”

‘‘න්නෑ අක්කෙ… බ්බෑ අක්කෙ… මට අත්‍යාවශ්‍ය කරුණු ටිකක් කතා බහ කරගෙන පොඩි වැඩ වගයක් කර ගන්න තියෙනවා. ඉතිං අයිය කීවා ටවුමට ගිහිල්ල ම කර ගමු කියල…”

‘‘ආහ් මෙයා ද මේ ටවුමට යමු කිව්වෙ…?” දෑස් සමතල කර ගනිමින් ජනිත් අයියා දෙස බැල්මක් හෙළුෑ ඇගේ වැඩිමනත් කතාවට මැදින් පැනගත් ජනිත් අයියා… ”හරි හරි  ඕව පස්සෙ කතා කරන්න බැරියැ. ඔයා ගේට්ටුව වහල ගෙට යන්න. මම ඉක්මනට එන්නං…” යි මැදට පැන අක්කාගේ දෙබස් කපා හැරියේ ය.

‘‘පර්ස් එක ගත්ත ද?” තරවටු කරන්නාක් මෙන් අක්කා විමසුවා ය.

‘‘ඔව් ඔව්…”

‘‘අනේ… මේ මොබයිල් එක මේසෙ උඩ. මොබයිල් එක අරන් යන්නකො වදේ…”

‘‘නෑ… මේ  ඕකෙ බැට්රි මදි. අරන් ගියත් බහිනවා. ඔයා චාර්ජ් එකට ගහන්න. මං එන්නං. හදිසියක් වුණොත් බිනර මල්ලිගෙ මොබයිල් එකට ගන්න… යං මල්ලි යං…” හෙල්මට් එකත් දමාගෙන ලහි ලහියේ යතුරුපැදියේ පිටුපසට නැගගත් අයියා කරත්තෙ දක්කන්නට ගවයාට තලන්නා සේ වැරෙන් මාගේ පිටට ගසමින් ගමන ඉක්මන් කළේ ය. මම ද ඉක්මනින් ම යතුරුපැදිය පණ ගන්වා නිවසෙන් පිටතට යොමු කොට මාර්ගයට දමා ඉදිරියට පදවගෙන ගියෙමි. එ් අතරේ අක්කාගේ හඬ පිටුපසින් ඇසෙන්නට විය.

‘‘අයියෝ… මගෙ ළඟ බිනර මල්ලිගෙ නම්බර් එක නැතෝ….”

‘‘මොකද ජනිත්තයියා මොබයිල් එක දාල ආවෙ…?” යතුරුපැදිය පදවන ගමන් ම මම ඔහුගෙන් විමසුවෙමි.

‘‘න්නෑ මල්ලි.  ඕක ගෙනිච්ච නං තෝං ලණුව අදිනව වගේ…. කොහෙද ඉන්නෙ… කීයට ද එන්නෙ… එන්නෙ නැද්ද… පුතා තාත්ත හොයනව… අනේ ලයිට් නෑ… අයියෝ සද්දයක් ඇහුණා… අනේ මට උණ වගේ… මොකද පරක්කු…. අද එන්නෙ නැද්ද ගෙදර… ඔන්න මම කෑම කන්නෙ නෑ පරක්කු වුණොත්…. අයියෝ බබා අඬනවා… උණ වගේ…. නන්ස්ටොප් කරච්චලේ මචං. වැඩක් කර ගන්නත් නෑ. කෝල් ආන්සර් කළේ නැත්තං මැසේජ් දානවා මොළේ කචල් වෙනකම් ම. ඊට මීට වඩා හොඳයි එකපාර ම ගෙදර ගිහිල්ල වන්ෂොට් ඔය අඳෝනාව අහගෙන තියෙන දෙයක් කාලා නිදාගන්නවා…” මාගේ කතා බහට හොඳ ආරම්භයක් ලබා දුන් ජනිත් අයියා එ් සියල්ල මිටින් හළ කුරුල්ලෙකුගේ මෙන් සතුටකින් කියා දැමූ බව යතුරුපැදියේ පැති කණ්ණාඩියෙන් දුටු ඔහුගේ සිනහවෙන් ම තේරුම් ගත්තෙමි.

වසර කිහිපයකට පෙර ඉරිදා දිනවල දී මේ ආකාරයෙන් ම අමාරුවෙන් අම්මාගෙන් අවසරය ගෙන තාත්තාට වහං වී ගෙදරින් පැනගත් ජනිත් අයියා යාළුවන් ද මඟ හැර උමතුවෙන් මෙන් ප‍්‍රියංකා අක්කා ව හමු වීමට ටවුමට ගිය ආකාරයත්, වර්තමානයේ එ් ආකාරයෙන් ම ප‍්‍රියංකා අක්කා ව රවටා ගෙදරින් පැනගෙන ටවුමට යන ආකාරයත් සිහිපත් වන විට මගේ සිතට ඇති වූයේ පුදුමාකාර කණගාටුවකි. ජීවිතය කෙතරම් නම් නිස්සාර ද..! සත්වයා එක් සිරකුටියකින් නිදහස් වී පලා යන්නේ තවත් සිරකුටියක් වෙතට යි. මේ සිරකුටියෙන් ද නිදහස් වී ‘මත්පැන්’ ‘වෙසඟනන්’ ‘සූදුව’ සහ ‘පාප මිත‍්‍රයන්’ වෙතට පලා යයි. එය ඔහු නිදහස යැයි සිතුව ද එ් ද තවත් බරපතළ සිර කුටි හතරකි. එමෙන් ම මානසික ඇබ්බැහි වීම නිසා තමා ම තම දිවිය සිරගත කර ගන්නා වූ ගැලවීමට අපහසු බරපතළ පඹගාලකි. සත්වයා සොයනා නිදහස ඔහුට කිසි දිනක නො ලැබෙන්නේ මෙලොව නිදහසක් විමුක්තියක් නැති නිසා නො වේ. ඔහු නිදහසත්, විමුක්තියත් සොයා යන මාවතේ ඇති වරද නිසා ය.

සිරකුටියෙන් සිරකුටියට යාමට පෙරුම් පුරන ජීවිතත්, පඹ ගාලවල පැටලූණු තවත් ජීවිතත් ආදි ජීවිත රැුසක් එ් මේ අත ඇවිද යන ආකාරය නගරය හරහා යතුරුපැදිය පදවන මගේ නෙත මත ස්පර්ශ විය. එ් සියල්ල අතරේ ජනිත් අයියා එක්තරා හොටෙල් එකක් අසල දී මගේ පිටට තට්ටු කළේ ය.

‘‘නවත්තපං නවත්තපං… මෙතන්ට යං…”

‘‘මෙතන්ට??? මං හිතුවෙ වැව ළඟට යයි කියල. නිදහසේ කතා කරන්න…”

‘‘හරි හරි. මෙතනයි එතනයි ලොකු වෙනසක් නෑ. යමු යමු…”

ඔහුගේ බසට අවනත වූ මම රථ ගාල දක්වා ම පැදවුවෙමි. එහි යතුරුපැදිය නවත්වා හෙල්මට් දෙක ද අතට ගෙන අවන්හල තුළට පිවිසුණෙමි. ඔහුට ඉතා ම පුරුදු තැනක් වූ මේ ස්ථානයට එකල යහළුවන් සමඟ පැමිණෙන බව මම දැන සිටියෙමි. මඳක් බීමතට ඇබ්බැහි වී සිටින ජනිත් අයියා ඉන් එහාට වරදක් කරන අයෙකු බව මා අසා නැත. ඔහු සෑම අතින් ම හොඳ හිතක් ඇති අයෙකි. අවන්හලේ පුටු මේස අතරින් ඇවිද ගිය ඔහු එක්තරා පුද්ගලික ශාලාවකට ඇතුල් විය. එය කුමක් දැයි වටහා ගැනීමට මා හට තප්්පරයක්වත් ගත වූයේ නැත. එ් වෙන කිසිවක් නොව… අවන්හලේ මත්පැන් පානය කරන ශාලාව විය.

‘‘ඉඳගනිං…” මා වෙනුවෙන් පුටුවක් ඇද දුන් ඔහු එ් මේසයේ ම මා හට මුහුණ ලා ඇති පුටුවේ හිඳ ගත්තේ ය. හෙල්මට් දෙක මේසයේ ඉතිරි පුටු දෙක මත තැන්පත් කළ අප දෙදෙනා ම අවන්හල තුළ වටපිට බැලූවේ දන්නා හඳුනන තවත් කවුරුන් හෝ සිටිත්දෝ යැයි කල්පනා කරමිනි.

‘‘මට නං මේ තැන් පුරුදු නෑ අයියා. ඔන්න මං මුලින් ම කියන්නං. මම නං බොන්නෙ නෑ…” මම නීති රීති රෙගුලාසි දමාගෙන ම කතා බහ ඇරඹුවෙමි.

‘‘හරි හරි මලේ. මමත් මේ බොනව නෙවෙයි නෙ. ඉඳගෙන ඉන්නවනෙ. එ්ව පස්සෙ බැරියැ… හොඳයි හොඳයි කියමු බලන්න. මොකද්ද උඹේ ප‍්‍රශ්නෙ?
මටත් ආරංචියි උඹ උළු තියෙද්දි යට ලී ගලවනව කියල…” තියුණු බැල්මක් මා වෙත හෙළුෑ ජනිත් අයියා නො තේරෙන උපමාවක් ද ගෙන හැර පෑවේ ය.

‘‘යට ලී…?”

‘‘නිකං ජීවිතේ කාලකණ්ණි කර ගන්න එපා කොල්ලො. කොල්ලෙක් වුණා ම පුළුවන් තරං සැප විඳින්න  ඕන. ෆන් එක ගන්න පුළුවන් ද බං වෙද පප්පලා වගේ නාකි වුණා ම…? එක එක එ්වට ගැළපෙන කාලයක් වකවානුවක් තියනව. උඹ මේ සුපර් මෑන් වගේ ඉන්න පුළුවන් කාලෙ ආතල මුත්තලගෙ වැඩ කොරන්න ගිහිල්ලා ආතල මුත්තලගෙ වයසට ගියාම බොකවගෙන හිටපං නිකමා වගේ…? යකෝ… ෆන් එකේ ඉඳපං බං. මට නැන්ද කිව්ව දවසක් උඹේ දිනචරියාව. ඔය අනන්තයට පිස්සු. ඌ ඉගෙන ගත්ත වැඩියි. එ්කයි උට පිස්සු හැදුනෙ. වයසට ගියා ම දැං කවුද බලන්නෙ අනන්තය ව? දරුවෙක් මල්ලෙක් ඉන්නව කියල ද මහණ වුණාට පස්සෙ? කවුරුත් අද වෙනකං ‘මං නිවන් දැක්කා’ කියල ඇවිත් කීවෙ නෑනෙ බං. කවුද දන්නෙ නිවනක් තියනව ද කියලවත්. මැරෙන්න බය උං තමයි  ඕව පස්සෙ යන්නෙ. නිකං ජීවිත කාලෙ ම දුක් විඳල කට්ට කාලා අන්තිමට පිස්සෙක් වගේ මැරිල යනව. එම්බාං කරන්න අරන් යන්නෙ එක ම මල්ශාලාවට. සීය යි, හාමුදුරුවොයි දෙන්නගෙ ම පෙට්ටිය එළියට ගන්නෙ එක ම දොරෙන්. ඉතිං මොන නිවනක් ද බං…??? මෙන්න මෙහෙ පිස්සු නැතුව හිටපං. උඹට ගෙදර පාළු නං අපේ ගෙදර වරෙං. ඉස්සරහ කාමරේ මම ඇරල දෙන්නං… හරි? එහෙනං අද දේශීය පානයක් අරං ම මේ කතා ව ක්ලෝස් කරමු මලේ. මොකද කියන්නේ…?”

‘‘උළු තියෙද්දි යට ලී ගලවන්නෙ කවුද කියල මට දැන් තේරෙනවා…” මඳ සිනහවක් පෑ මම ඔහුට දැනෙන නො දැනෙන සේ ඇසෙන්නට ම කියා දැමුවෙමි.
‘‘ ඕකනෙ බං උඹල එක්ක බැරි. එක පාරින් කීව ම තේරෙන්නෙ නෑනෙ…” යැයි පැවසූ ඔහු අත ඔසවා සේවකයෙකු ඇමතී ය. ‘‘ෂ්… මල්ලි…” හෝටල් සේවකයා පැමිණියේ ය.

‘‘සර් කාලෙකින්. මොනව ද  ඕර්ඩර්??”

‘‘ෆ‍්‍රයිඞ් රයිස් කනව නේ ද බිනරෙ?”

‘‘හ්ම්ම්ම්…”

‘‘හරි… ෆ‍්‍රයිඞ් රයිස් දෙකයි… චිකන් ප්ලේට් දෙකයි බියර් බෝතලයයි.”

‘‘හරි සර්..”

‘‘ආහ්… ලොකු සයිස් වීදුරු දෙකයි…”

‘‘සර් කෝක්…? අයිස්…?”

‘‘නෑ දැනට එපා.  ඕන වුණොත් මං කියන්නංකො… හරි එච්චරයි. ඉක්මනට ගෙනෙං…” සේවකයා පිටත් ව ගියේ ය. අනපේක්ෂිත කරදරයක පැටලෙන්නට යන බවක් ඉවෙන් මෙන් මා හට වැටහී ගියේ ය. අයියා සමඟ කතා කිරීමට අවශ්‍ය යැයි පැවසූයේ ද මා ය. කිහිප වරක් ම ප‍්‍රතික්ෂේප කළත් ඔහු අද නම් මා හට හොඳ හැටි කන්න බොන්න දෙන සැටියක් පෙනෙන්නට තිබෙන්නේ ය. බොම්දෝ නො බොම්දෝ කියා සිතිවිල්ලක් ද එ් අතරේ පැමිණ අතුරුදහන් ව ගියේ ය.

‘‘උඹ දන්නවනෙ ජනිත්තයියා. මට මේව අල්ලන්නෙ නෑ. මං බත් එක කන්නං. මම දවල්ට කාලත් නෑ…”

‘‘හරි බං. මම කාලත් නෑ. එ්කයි රයිස් එකක් දාන්න කිව්වෙ… කෑවට පස්සෙනෙ බොන්නෙ. ඔය ඉතිං උඹ මටත් වඩා හදිසියිනෙ බං බොන්න….” අවඥා සහගත ලෙස වදන් හැසිරවූ ඔහු නැවත මගේ බස නො සලකා හැර ලිස්සා ගියේ ය. ඥාති සොයුරෙකු වුණත් කුඩා කල සිට ඔහු මා ඇමතුවේ මිතුරෙකුට අමතන පරිද්දෙනි. වැඩිමහල් සොයුරෙකුට පවතින ගරුසරු ඇසුරක් එකල සිට ම මා වෙතින් ද ඔහු වෙත තිබුණේ නැත. එම නිසා අප දෙදෙනාගේ ඇසුර සහෝදරකමකටත් වඩා මිතුදමක් විය. ඔහුගේ ඇතැම් ස්වභාවයන් වෙත මා කැමැත්තක් නො දැක්වූ නිසා සමීප ඇසුරකට නො ගිය මා විටින් විට ඔහු හමුවීමට යාමට පුරුදු වී සිටියේ හුදෙක් ම ඥාතිකම නිසා ය.

‘‘හොඳයි. කියන්න බලන්න. මොනව ද මාත් එක්ක කතා කරන්න තියෙනව කිව්වෙ…?” සියලූ ආචාර සමාචාර නින්දා අපහාසවලට පසු ඔහු මා පැමිණි මාතෘකාව මතුකර ගත්තේ ය.

‘‘ඇති යන්තං ජනිත්තයියා ටොපික් එකට ආවා. මම හිතුවෙ මට හිස් අතින් ම යන්න වෙයි කියල. මොනව උණත් අයියා මේක සිහි කල්පනාවෙන් කතා කරන්න  ඕන එකක්. එ් නිසා තව පැයක් දෙකක් යන්න කලින් කතාව ඉවර කරමු. අයිය බීල මං නො බී ගෙදර ගියොත් එ්කෙ නඩුව වැටෙන්නෙත් මට ප‍්‍රියංකා අක්කගෙන්…”

‘‘එයාගෙ නඩු කවුද අහන්නෙ බං…? උඹ එයාට බය වෙන්න  ඕන නෑ. මම කසාද මිනිහ වෙලා මමවත් බය නැති එකේ…”

‘‘ඔව්… එ් බව නං පේනවා…”

‘‘මොකද්ද කීවෙ…”

‘‘මේ ජනිත් අයියා…! උඹ සතුටින් ද බං පවුල් කන්නෙ?”

‘‘ඔවු. මම ෆුල් ෆන් එකේ ඉන්නේ. ඇයි උඹට අක්ක මොනව හරි කිව්ව ද? උඹත් ඔන්න ඔය කැම්පස් එකේම ලෙක්චර් ළඳක් සොයාගෙන බැඳපං බං. කැලෑ ගානෙ රිංග රිංග ඉන්නෙ නැතුව…!”

‘‘මට නං එ් හැටි ෆන් එකක් පේන්නෙ නෑ බං අයියෙ. මම දැක්කනෙ අද ගෝනි නැතුව මගෙ කරේ ගිය හැටි… ජනිත් අයියා හිරේ වැටිච්ච එකෙක් වගේ මම දැක්කෙ. අයියගෙ නිදහස හැම දේ ම සීමා වෙලා නේ ද? බඳින්න කලින් කෙල්ලෙක් එක්ක ලබාගන්න ආසාවෙන් හිටපු සැපේට ජනිත් අයියගේ දුක නිවන්න බැරි වෙලා කියලයි මට නං හිතෙන්නේ… එ් කාලේ කොල්ලෙක් වුණා ම නිදහසේ ඉන්න දෙන්නෙ නැති එකට අම්ම තාත්තා එක්ක අමනාපෙන් හිටපු ජනිත් අයියා සැපයක් හොයාගෙන ගිහිං තිබ්බටත් වැඩිය නිදහස අවුරගත්තා කියලයි මට නං හිතෙන්නේ. අඩු ගානෙ කොල්ල කාලෙ තිබ්බ නිදහසවත් නෑ නේ ද දැන්?”

‘‘මොනවද බං උඹ මේ කියවන්නෙ..? මට නං තේරෙන්නෙ නෑ…” පෙර මෙන් ආත්ම විශ්වාසයෙන් කතා නො කළ ඔහු මෙවර ම`ඳක් පසු බෑ ස්වරයකින් මා පැවසූ සියල්ල ප‍්‍රතික්ෂේප කරන බවක් මවා පාන්නට විය. නමුත් සත්‍යය කුමක් දැයි මට වැටහී ගොස් හමාර ය. එ් අතරේ මත්පැන් බෝතල් මේසය කරා පැමිණි අතර මඳ නිහැඬියාවක් සමඟින් ඔහු හුදෙකලාවේ මධුවිත සමඟ ගත කරන්නට විය. මම ද ඔහුගේ මනසට ඉඩ දී දුරකථනයේ තිබූ ‘රුවන්වැලි මහා සෑයේ’ තිබුණු පින්කමක දී ගත් ඡුායාරූප කිහිපයක් නරඹමින් මනස නිරාමිස අරමුණක රඳවා ගැනීමට උත්සාහ කළෙමි. ෆ‍්‍රයිඞ්රයිස් දෙක ද මේසය කරා පැමිණියේ ය. එ් අතරේ ටික ටික බළලා මල්ලෙන් එළියට පනින බවක් පෙනෙන්නට විය.

‘‘මල්ලි කියන දේවල් ඇත්ත මල්ලි. ප‍්‍රියා ව දැක්ක දවස්වල මගෙ හිත ම අමුතු ම හැඟීමකින් පිරිල ගියා. හැමදා ම මූණ බලන්න ම යි  ඕන වුණේ. ඊට පස්සෙ කතා කරන්න  ඕන වුණා. මාර කට්ටක් කාගෙන කරපු එකක් බං එ්ක. ජීවිතේට යන්නෙ නැති පාරවල බස්වල නැගල ගියා. ටියුෂන්වලට දුන්න සල්ලි වියදම් කරල අලූත් ෂර්ට් කලිසං ගත්තා ප‍්‍රියාට පේන්න. අමාරුවෙන් කතා කරල ගෑස් බලල අමාරුවෙන් ම තමයි යාළු කර ගත්තෙ. එයා මට කැමති වුණා ම ඔක්කොම හරි වගේ දැණුනා බං. එ්ත් මාසයක් දෙකක් ගියා ම අර අමාරුවෙන් පස්සෙන් යන කාලෙ තිබ්බ ගතිය යාළු වුණා ම නෑ කියල හිතට දැනෙන්න ගත්තා.  මිනීමරුවෙකුගේ පාපොච්චාරණයක් සේ ජනිත් අයියා සියල්ල වමාරගෙන ගියේ ය.

‘‘හොරෙන් පාක්වල කතා කරපු කාලෙ අවුරුදු සීයකට කතා කරන්න දේවල් තිබ්බ ගානයි. එ්කිගෙ අතින් උයපු බත් එකක් ගෙනාව ම අම්ම උපන්දා සිට කන්න නො දුන්නු ගානයි. එ් තරං කන්න හිතයි. බිනර මල්ලි. එ්වත් හරි එ්ත් බං… එ්ත් බැන්දට පස්සෙ වැටකඩොලූ නෑනෙ බං. ඇති තරං කතා කරන්න පුළුවන්, උයපු කෑම කන්න පුළුවන්. කාමෙ නං කාමෙ. හැම දේම අනුමතයිනෙ බං…”

‘‘ඔව්… ඉතිං ඉතිං…” උණු උණුවේ ම තිබුණු එළවළු බත් එක කන ගමන් කතාව දුරදිග ඇදීම පිණිස මම පොහොර දැම්මෙමි.

‘‘වැඩක් නෑ මලේ. ටික කාලෙකින් කිසි ගතියක් නෑ වගේ මට දැනෙන්න ගත්තා. උඹ දන්නවනෙ බං එ්කි මාර ලස්සනයි. එ්කි ව එක ම වහලක් යටට හැමදාට ම ලැබිලත් බැඳල අවුරුද්දක් විතර යද්දි මම හිර වෙලා වගේ දැනෙන්න ගත්තා. කොල්ලො එක්ක ගත්ත විනෝදෙ මීට වඩා සැපයි කියල දැනෙන්න ගත්තා. සෙක්ස් වුණත් මල්ලි ටික වෙලාවනෙ. ඉතිරි පැය විසි හතර ම එ්කිගෙ ගෑස් බලාගෙන කියන කතන්දර අහගෙන ඉන්න එපැයි. ඊට පස්සෙ තමයි බං දරුවෙක්වත් හිටියොත් සතුටක් එයි කියල හිතුණෙ. දරුව ආවට පස්සෙ මම නිකං  කලින් ලැබුණු සැප ටිකවත් ලැබෙන්නෙ නැති ගාණට  වැටුනා. නිවාඩුවට ගෙදරින් එළියට යන්න නෑ. දවස් පහේ ඇරියස් එකට සති අන්තෙට පුතා ව බලාගන්න  ඕන. පුතා මගෙ නිසා ආදරේට ජීවිතේ ඇදන් ගියාට වෙලාවකට මට දමල ගහල යන්නත් හිතෙනවා බං…”

‘‘ ඕක ද ජනිත්තයියා මටත් ගන්න කිව්ව ෆන් එක. බැඳපු උන් හරියට ඇත්ත කිව්ව නං නො බැඳපු උන් අමාරුවේ වැටෙන්නෙ නෑ අයියා…”

‘‘සෑහෙන්න මොළේ දාලා මම මේකි ව තේරුම් අරන් ඉන්නව කියල දැකපු අහපු හැම දෙයක් ගැන ම මතක තියාගෙන හිටියත් මාස ගාණක් හිතන්න වෙන අමුතු ම අලූත් මූඞ් එකක් දානවා ඊට පස්සෙ. තේරුං ගන්න නම් අමාරු ම ජාතියක් බං ගෑනු. වෙලාවකට හිතෙනවා හැමදා ම ලව් කර කර හිටිය නං හොඳයි කියල කසාද බඳින්නෙ නැතුව…”

‘‘එහෙම සංස්කෘතිත් බටහිර ලෝකෙ තියෙනවා අයියා. එතනත් දුක තමයි. කසාද නො බැඳ හිටියත් එ්කාකාරී කාම සැපය එපා වෙලා ගිහින් පරස්ත‍්‍රී සේවනයේ හරි පරපුරුෂ සේවනයේ හරි යෙදෙනවා…”

‘‘මල්ලි හරි මල්ලි…!”

‘‘අයිය අක්ක එක්ක රණ්ඩු වෙලා තියෙනව ද?….”

‘‘නෑ… මල්ලි. උඹ බං බොලං කියාගෙන නෑ. එ්කි හොඳයි බං. එ්ත් මේ ජීවිතේ කිසි සතුටක් නෑ. කිසි ගතියක් නෑ. කනව බොනව බබා නළවනව බුදියනවා වැඩට යනවා ගෙදර එනවා ටීවි බලනවා කනව බොනව බබා නළවනව බුදියනවා… ඔච්චරනෙ බං. රස්සාවෙන් අයින් වෙනකං ම පොඩි උං ලොකු වෙනකං ම ඔච්චරයි…”

‘‘ඊට පස්සෙ සිද්ධ වෙන දේ අපේ අම්මල තාත්තල දිහා බැලූව ම හිතාගන්න පුළුවන්නෙ ජනිත් අයියා….” ඔහුගේ කතාවට ඌනපූරණයක් එක් කරමින් මම ද එය අනුමත කළෙමි.

‘‘ඇත්තට ම මම ගිහි ජීවිතේ ගැන තිබ්බ එක ගැටලූවක් නිරාකරණය කර ගන්නයි අයියා එක්ක කතා කරන්න ආවෙ. පණ වගේ ආදරේ කරල බොහොම ලස්සන කෙල්ලෙක් ව කසාද බැන්ද අයියගෙ පවුල් ජීවිතේ ගැන දැනගන්න මට  ඕන වුණා. මට හැම අතින් ම උපකාරයක් වෙන දේවල් තමයි අයියගෙ ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් ම සිද්ධ වුණේ. මෙච්චර හොඳ දෙන්නෙක්ට වුණත්, ජීවිතේ තියෙන නිස්සාරකම නිසා ම අවසානයේ ලැබුණෙ දුක විතරයි…”
”එහෙම නෙවෙයි මල්ලි. මල්ලි මල්ලිට ම ගැළපෙන භාවනා කරන බණ අහන්න ආස මල්ලිගෙ ම ටයිප් එකේ කෙල්ලෙක් ව කසාඳ බැඳගත්ත නං හරිනෙ. ඊට පස්සෙ දෙන්න ම එකට දානෙ දීගෙන අටසිල් අරගෙන ඉන්න බැරියැ….” සියල්ල පසෙකලා අලූත් ම යෝජනාවක් ගෙන ආ ජනිත් අයියා, මාගේ ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් දෑස් දල්වා බලා සිටියේ ය.

‘‘ ඕකට කියන්නේ හලාහල විසට මී පැණි දාලා රස කරල දෙනව කියලා. හරි ම ලස්සන කතාවක් අයියා කිව්වෙ. මම වගේ කෙනෙක්ගෙ හිත හොඳට ඇදිල යන්න පුළුවන්. මමත් කාලයක් ඔහොම හිතුව තමයි. නමුත් මට ඇත්ත වැටහුණා ම මම එ් මෝඩකං අතෑරියා.

ජනිත් අයියේ… බැන්දත් කරන්නේ පින් නම් කුසල් නම්, නො බැන්දත් කරන්නේ පින් නම් කුසල් නම්, බැන්ද ම එ්කට ලොකු බාධාවක් මිසක් පහසුවක් වෙන්නෙ නෑ. මේ කාලෙ ලෙඩ වුණොත් එක ඇඟයි. එ්ත් කසාද බැන්ද ම මම හොඳට හිටියත් වැඩක් ද අනිත් කෙනා ලෙඩින් නම්…? මට නිදහසක් නෑනෙ පිනක් දහමක් කර ගන්න.

එ්ක සාටක කියල බ‍්‍රාහ්මණයෙක් ඉඳල තියෙනව ඉස්සර. එයාට යි එයාගෙ බිරිඳට යි දෙන්නට ම තිබ්බෙ එක ම එක උතුරු සළුවයි ලූ. ඉතින් දවසක් බණ අහල බුදුරජාණන් වහන්සේට උතුරු සළුව පූජා කරන්න හිතෙනවා. එ්ත් පස්සෙ එයාගෙ හිත නවතිනවා. මම දුප්පත්. මගේ සළුව පූජා කළොත් බිරිඳට සළුවක් නැති වෙනවා. එ්කෙන් වෙන්නේ බිරිඳට බණ අහන්න එන්න බැරි වෙනවා. එ් නිසා මේ සළුව පූජා කරන්න බෑ. මේ විදියට දෙපාරක් ම පූජා කරන්න සිත් පහළ වෙලා වළක්වා ගන්නවා බිරිඳ වෙනුවෙන්. අන්තිමේ තුන්වෙනි වතාවෙ තමයි වෙන දෙයක් වුණාවෙ කියල පූජා කරල දාන්නෙ. ඉතිං බලන්න එ්ක සාටක තනිකඩයෙක් වුණා නම්, එක සැණින් ම එ් සළුව පූජා කරනවනේ…”

‘‘බිනරෙ. දැන් මේ කියන්නෙ හැම කොල්ල ම කසාද නො බැඳ ඉන්න  ඕන කියල ද? කසාද බැන්දොත් ධර්මයක් නෑ කියල ද?”

‘‘එ් තමයි මම නො කියපු දේ අයියා. එ්ක ම මම කිව්වා කියල කියන එක වැරදියි. එ්ක අයියගෙ හිතේ තිබ්බ අදහසක්. මම වගේ හිතන්න බැරි නම්, කාමයත් එක්ක ම පැටලිලා ඉඳල මැරිල යනකං ම එහෙම්ම ම ඉන්න කැමති නං එ් වගේ කොල්ලො කසාදත් බැඳගෙන පිනක් දහමක් හැකි විදියට කරගෙන ඉන්න එකේ වරදක් නෑ. හැකි පමණ ප‍්‍රශ්න අඩුවෙන් ඉඳීවි. නමුත් මම හිතන්නෙ… මට එහෙමටවත්  ඕන නෑ. දූපතක හිර වෙලා හිටපු කෙනෙක්ට නැවක නැගල බේරිල යන්න ලැබුණ ම දූපතේ දී ඇන්ද කඩමාලූ ඇඳුම් ටික මල්ලක දාල අරන් යන්න  ඕන නං අරන් යන්නත් පුළුවන්. හැබැයි ඉතිං අතිරේක බරක් විතරයි. මොකද නැවෙන් බැස්ස ම කොහොමත් එ්ව අඳින්න බෑනෙ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජෙ ඇඳුම් අඳින්න වෙනවා. මගේ අදහස නම් කොහොමත් නැති වෙලා යන දේ දාලා යන්න සිද්ධ වෙන දේ කලින් ම අතෑරලා දාන එක හොඳයි…”

‘‘එතකොට එ් සැප? උඹ ජීවිතේට එ් සැප විඳල නෑනෙ බං….”

‘‘ජීවිතේට විඳල නැති බව ඇත්ත. එ්ත් සසරෙ කොච්චර නං ඔය කාම සැපත විඳල ඇද්ද අයියා. බල්ලො වෙලා කුකුලො වෙලා සර්පයො වෙලා කොච්චර නං විඳල ඇද්ද. දැන් වුණත් එහෙමනෙ. විඳිනකම් විඳිනවා කියල දැනෙනවා. එ්ත් අවසන් වුණා ම ඔක්කොම දැනීම් ඉවරයි. ආයෙ විඳිනකම් අතරමැදි කාලෙ හිතේ තියෙන්නෙ කවදාවත් වින්දෙ නෑ වගේ කාම පිපාසයක්. මේක ඉවර වෙන්නෙ නැති පිපාසයක් අයියා. සසර පුරා ම මේ කාම පිපාසෙ තිබ්බා. මිරිඟුව වගේ එ්ක පස්සෙ ගියා. අනාගතේටත් තියේවි. මේ විදියට ම හිතුවොත් අනාගතෙත් එ්ක පස්සෙ ම යාවි.

ස්ත‍්‍රී පුරුෂයන්ගේ අසූචි මළ මූත‍්‍ර කෙළ සොටු දහඩිය තැවරුණ අවයව ස්පර්ශ කර ගන්නෙ නැති ව කාම සේවනයක් කරන්න බෑනෙ අයියා. සතා සර්පයාට වුණත් ඔය නීතිය ම යි…” ආහාර ගෙන අවසන් වූ මම ජලය පානය කළෙමි. මා පැවසු සියල්ල සාවධාන ව අසා සිටි ඔහු මත්පැන් පානය පවා අතරමඟ නතර කොට මඳක් කල්පනා කරන්නට විය.

‘‘එ් කියන්නෙ උඹ මහණ වෙනවා…!!!” ඍජුව ම මාගේ දෑස් දෙස බලා විමසූ ඔහු පැහැදිලිව ම ඊට පිළිතුරක් අපේක්ෂා කරන බව පෙන්වමින් නොසන්සුන් ලෙස සුසුම් හෙළන්නට විය.

‘‘නෑ…. මම එහෙම දෙයක් කිව්වෙ නෑනෙ….! අයියා ආයෙත් මම නො කිව්ව දෙයක් කිව්වා කියල හිතාගත්තා නේ ද…!! මට හිතෙන්නෙ අයිය වැරදි නිගමනේකට ආවෙ. මගේ තීරණේ මහණ වෙන එක නෙවෙයි. ඊටත් වඩා වෙනස් දෙයක්…!!!” මඳ සිනහවකින් ඔහුට සංග‍්‍රහ කොට කෑම මේසයේ කටයුතු මෙන් ම කතාබහ ද අවසන් බව හඟවමින් අත පිසදාගත් මම පුටුවෙන් ද නැගිට්ටෙමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2016  බක්  කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68