කෙනෙකුගේ මොළය මිය ගොස් හදවත යම් මොහොතක් කම්පනය වන්නට බැරිකමක් නැහැ. හැබැයි මේ පුවතට අදාළ මිය ගිය දරුවාගේ හදවත නම් නො නැවතී ම කම්පනය වුණා. එසේ වුණේ එ් හදවත වෙනත් දැරියකගේ සිරුරට බද්ධ කිරීමෙන් පසුවයි.

මේ පුවත වාර්තා වුණේ ඇරිසෝනාවෙන්. ජෝර්ඩින් ඩෙර්ක් නම් වූ මේ දැරිය උපතේ පටන් ම හදවත් රෝගයකින් පෙළුනා. සිව් වස් වයස් වන තුරු ම වැඩි වශයෙන් රෝහල් තුළ ම දිවි ගෙවන්නට ඇයට සිදු වුණේ මේ නිසයි. ඇය ව ජීවත් කරවන්න නම් වයස අවුරුදු හතරකට අඩු දරුවෙකුගේ හදවතක් බද්ධ කළ යුතු ව තිබුණා.

2013 ජුනි 18 වැනිදා මේ දැරියට සුදුසු හදවතක් ලැබුණා. එ් හදවත ලැබීම පිටුපස තිබුණේ තවත් අම්මා කෙනෙකුගේ හදවත් අපමණ කම්පනයට පත් කළ සිදුවීමක්. හෙදර් නම් වූ එ් අම්මාගේ වයස අවුරුදු එක හමාරක් වුණ ලූකස් ක්ලාර්ක් නම් පුතු එදින මෙලොව හැර ගියේ දරුණු පුද්ගලයෙකුගේ පහර දීමක් නිසා. මේ ඛේදනීය මරණයෙන් ලද මහත් කම්පනය තුළ වුවත් මිය ගිය පුතුගේ නිරෝ්ගී ශරීර අවයව දන් දෙන්නට අම්මා පියවර ගත්තා. එ් අවයව නිසා දරුවන් තිදෙනෙකුට තම ජීවිත තවත් කාලයකට රැක ගන්නට හැකි වුණා. එ් අතරින් ලූකස්ගේ හදවත බද්ධ කෙරුණු ජෝර්ඩින් දැරිය එ් සැත්කමෙන් වසර තුනක පමණ කාලයක් ගෙවී යන්නට ආසන්න වෙමින් පවතින විට හෙදර් අම්මා ව මුණ ගැසුණා. වෙද නළාවක් දැරියගේ පපුවට තබා තම පුතුගේ හදවත ස්පන්දනය වන අයුර ශ‍්‍රවණය කළ හෙදර් අම්මා වසර තුනක් පමණ ගත වීත් නො වෙනස්ව ම පැවති දරු ස්නේහයෙන් හඬා වැටුනු සංවේදී රුව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණා.

සැබැවින් ම මේ පුවත අතිශයින් සංවේදියි. එ් තුළත් තිබෙන්නේ මවකගේ අපමණ ගුණය. පි‍්‍රය විප්පයෝග දුකින් විපිළිසර වූ සිත තුළ පවා සිහි නුවණ උපදවාගෙන උතුම් වූ දානයක නියැළෙන්න ඇය ගුණවත් වුණා. ඇගේ ගුණවත්කමින් ජීවිතය ලද දරුවන් අද යම් සුවපහසුවකින් ජීවත් වනවා.

ඇත්තටම මේ කය බිඳුනට පස්සේ ලස්සනට සරසවලා, සුවඳ පැන් නහවලා, ඇත්ත සඟවලා භුමදානය කළත්, ආදාහනය කළත්, කැලේ ගැසුවත් සිද්ධ වෙන්නේ ධාතු බිඳී වෙන් වීම ම යි. මේ කුණු වෙලා, පොළවට පස් වෙලා යන කය එසේ වන්නට පළමු තවත් කෙනෙකුගේ ජීවිතය යම් කලක් හෝ ජීවත් කරවන්නට යොදා ගන්නට හැකි නම් එ්ක බොහෝ වටින කාරණයක්. එ් වගේ සම්මා සම්බුද්ධත්වයට පෙරුම් පිරූ මහ බෝසත්වරු පවා අනුදැන වදාළ උතුම් කාරණයක්. ඇස්, හිස්, මස්, ලේ දන් දෙමින් පෙරුම් පිරූ බෝසත් පුවත අප අසා තිබෙනවා. එ් උතුම් බෝසත් මඟ ගනිමින් අපේත්, අපේ සමීපතමයන්ගේත් නිරෝගී ශරීර අවයව දන් දෙන්නට අපට හැකියි. අපේ ඇස්වලින් තව කෙනෙක් ලොව දකිනවා නම්… අපේ වකුගඩුවලින් තව කෙනෙක් කලක් දිවි රැක ගන්නවා නම්… අපේ රුධිරය තව පිරිසක් ජීවත් කරවනවා නම්… ධර්මය ඇහෙන, ධර්මය කියවන්න ලැබෙන, ධර්මයේ හැසිරෙන්න ලැබෙන මෙවන් උතුම් යුගයක එක මොහොතක් හෝ වැඩිපුර ඔවුන්ට ධර්මය පුරුදු කරන්න ඉඩක් නේ ද එ් විවෘත වෙන්නේ… සියලූ සත්වයන්ගේ සුවපත් භාවය කැමති කවුරු නම් මෙයට අකැමැති වෙත්ද…

දානය සත්පුරුෂ නුවණැතියන් විසින් පසසන දෙයක්. නිවනට මඟ කියන දෙයක්. මරණය තුළින් ජනිත වූ ප‍්‍රිය විප්පයෝග දුක් අප දවාලන මොහොතකට පවා මේ දානමය පුණ්‍යකර්මයන්හි යෙදෙන්නට ඇති ඉඩකඩ අපට අමතක නො වන්නේ නම් එය ම මහා ලාභයක්…!