දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සන්සිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය. සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග‍්‍ර ශ‍්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය. එමෙන් ම ගෞතම සසුනේ ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට  ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වන් නවම් පුන් පොහෝ දිනක දී ම ය. පන්සාලිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිවා සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය හළ වදාළේත් මෙවන් පොහෝ දිනක දී ම ය. එනයින් බලන කල නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදැහැ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයකි.

ප‍්‍රථම මහා සංඝ සන්නිපාතය හා අගසව් තනතුරු පිරිනැමීම

උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන තුන් බෑ පුරාණ ජටිලයන් දහසක් පිරිවර සමඟින් ආදිත්ත පරියාය සූත‍්‍රය අසා නිකෙලෙස් මහ රහතන් වහන්සේලා බවට පත්වූ සේක.

සාරිපුත්ත – මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප‍්‍රමුඛ දෙසිය පනහක් පිරිවර රහතුන් සමග, එක්දහස් දෙසිය පනහක් මහරහතන් වහන්සේලාගෙන් වේළුවනය එ්කාලෝක විය. තරු පිරිවැරූ පුන්සඳ මඬලක් සේ එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ, දම් සෙනෙවි සාරිපුත්තයන් වහන්සේත්, මහාඉර්ධිලාභී මොග්ගල්ලානයන් වහන්සේත් සම්බුදු සසුනේ භද්‍ර වූ අග‍්‍ර ශ‍්‍රාවක යුවළ බවට පත් කළ සේක. මින් එ්කාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අබියස දී විවරණ සිරි  ලබා පැතුම් පරිදි ශ‍්‍රාවක පාරමී ඤණය සපුරා අගසව් තනතුරු ලද බව බුදුරජාණන් වහන්සේ සඟ පිරිසට පහදා දුන් සේක. සච්ච විභංග සූත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේලාගේ ගුණ කීර්තනය කොට වදාළේ මෙලෙසින් ය. ‘‘පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් ගෞරවයෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. ප‍්‍රඥවන්ත වූ එ් දෙනම සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට නිවන් මඟට අනුග‍්‍රහ කරන්නේ ය. සාරිපුත්තයන් ශාසනික දරුවන් බිහිකරන මව වැනි ය. සෝතාපත්ති ඵලය පිණිස හික්මවයි. මොග්ගල්ලානයන් දරුවන් වඩන කිරිමව් වැනි ය. ඉහළ මාර්ග ඵලයන්හි හික්මවයි. (සේවේථ භික්ඛවේ, සාරිපුත්තමොග්ගල්ලානේ, භජථ භික්ඛවේ, සාරිපුත්තමොග්ගල්ලානේ. පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ‍්‍රහ්මචාරීනං. සෙය්‍යථා’පි භික්ඛවේ, ජනෙත්ති එ්වං සාරිපුත්තෝ, සෙය්‍යථා’පි ජාතස්ස ආපාදේතා එ්වං මොග්ගල්ලානෝ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපත්ති ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති.) එමෙන් ම පැවිදි ශ‍්‍රාවකයන් වූ භික්ෂූන්ට ආදර්ශවත් චරිත දෙක ලෙස භාග්‍යවතුන් වහනසේ පෙන්වා වදාළේ ද අගසව්වන් වහනසේලා ම ය. සම්බුදු මුවින් අපමණ පැසසුම් ලද සාරිපුත්ත – මොග්ගල්ලාන මුනිවරයන් වහන්සේලා අග‍්‍රශ‍්‍රාවක බවට පත් වූයේ අදවන් නවම් පුන් පොහෝ දිනක දී ය.

 ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම

නවම් පුන් පොහෝ දින අග‍්‍රශ‍්‍රාවක තනතුරු ප‍්‍රදානයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ රැස්ව සිටි සඟ පිරිසට  ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. සම්බුද්ධත්වයෙන් පසු පළමු වසර විස්ස තුළ හෙවත් ප‍්‍රථම බෝධියෙහි ශාසනය පිරිසිදු ව නිකැළැල් ව අර්බුදවලින් තොරව පැවතුණි. රහතන් වහන්සේලා සුලබ විමුක්තිකාමී අල්පරජස්ක ශ‍්‍රාවකයන් වැඩ සිටි එ් අවධියේ විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන්ගෙන් එබඳු වැරදි අඩුපාඩු සිදු නො වූ බැවිනි. එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ‍්‍රාවකයන්ගේ හික්මීම පිණිස වදාළේ  ඕවාද ප‍්‍රාතිමෝක්ෂය යි. එනම් පහත ගාථා රත්නයන් ය.
ඛන්ති පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

ඉවසීම තමයි පරම තපස කියා කියන්නේ. එ් අමා මහ නිවන සියල්ලට ම වඩා උතුම් බව, බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. අනුන් නසන කෙනා පැවිද්දෙක් වෙන්නේ නෑ. අනුන් ව වෙහෙසන කෙනාත් පැවිද්දෙක් වෙන්නේ නෑ!
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
එ්තං බුද්ධාන සාසනං

සියලූ පව් නො කිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය යි!
අනූපවාදෝ අනූපඝාතෝ – පාතිමොක්ඛේච සංවරෝ
මත්තඤ්ඤුුතාච භත්තස්මිං  – පන්තං ච සයනාසනං
අධිචිත්තේච ආයා්ගෝ – එ්තං බුද්ධානසාසනං

අන් අයට නින්දා අපහාස නො කිරීමත්, අනුන්ට පීඩා නො කිරීමත්, ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ!

විපස්සී, සිඛී, වෙස්සභූ ආදි දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දී මෙම අවවාද ප‍්‍රාතිමෝක්ෂය පිරිනිවන් පානා තුරු ම එ් ශාස්තෘන් වහන්සේලා විසින් උදෙසන ලදී. එනමුත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන්ගේ ශාසනවල දී  ඕවාද ප‍්‍රාතිමෝක්ෂය උදෙසන ලද්දේ සම්බුද්ධත්වයෙන් පසු මුල් අවධියේ දී පමණි. ප‍්‍රථම බෝධියෙහි පැවිදි ශ‍්‍රාවකයන්ගේ තිබූ නිර්මල, විමුක්තිකාමී, පාරිශුද්ධ ස්වභාවය ක‍්‍රමයෙන් දුර්වල වී දුර්වලතා ඉස්මතු විය. එවිට බුදුරජාණන් වහන්සේ ආනිසංශ දහයක් පිණිස විනය ශික්ෂා පද පනවා, අඩ මසකට වරක් එ්වා උදෙසමින් පොහොය කිරීමට අනුදැන වදාළහ. එය හඳුන්වන්නේ ආණා ප‍්‍රාතිමෝක්ෂය නමිනි.

භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

පන්සාලිස් වසක් පුරා දිනකට පැය දෙකක් පමණක් විවේක ගනිමින්, දෙව් – මිනිසුන්ට අපමණ සෙත සැලසූ භාග්‍යවතුන් වහන්සේ සිය අසූවෙනි වියෙහි දී චාපාල නම් චෛත්‍යය ස්ථානය වෙත වැඩම කොට අග‍්‍ර උපස්ථායක ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක. ‘‘පින්වත් ආනන්දය, ඡුන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර ඍද්ධිපාද වැඩූ කෙනෙකුට කැමති නම් ආයු කල්පයක් වුව ද (වසර 120ක් හෝ ඊට මඳක් වැඩියෙන්) ජීවත් විය හැකි ය.” තෙවරක් ම මේ අදහස ප‍්‍රකාශ කළ මුත්, ආනන්ද හිමියන්ගේ සිත පාපී මාරයා විසින් ග‍්‍රහණය කරගෙන සිටි බැවින්, සිහි එළවාගත නො හැකි ව එසේ වැඩ සිටින්නැයි ආරාධනා කළ නො හැකි විය. ඉන් පසු ආනන්ද හිමියන් ඉවතට ගිය කල්හී, පාපී මාරයා පෙනී සිට බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. මින් තුන් මසකට පසු පිරිනිවන් පානා බව වදාළ භාග්‍යවතුන් වහන්සේ ‘‘ඉදිරි තුන් මස පමණක් සමාපත්තියට සම වැද ඉන් පසු නො සමවදින්නෙමි.” යයි සිහි නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හැරි සේක. එකෙණෙහි ම මහා භූමි චලනයක් සමඟින් අකුණු ගැසීම් ද සිදු වූ අතර ආනන්ද හිමියන් පැමිණ කල්පයක් වැඩ සිටින ලෙස ආරාධනා කළේ ය. එනමුත් ආයු සංස්කාරය හළ බැවින් තව තුන්මසකින් පිරිනිවන් පානා බව වදාරා, විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කළ සේක. එහි රැස්වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා, එම භික්ෂූන්ට අන්තිම අවවාදය ද කළ සේක. ඉන් පසු පාවා නගරය පසු කරගෙන කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණ සේක. එකල්හී දෙව් බඹ පිරිස අහසෙහි දිව්‍යමය සුගන්ධයන්ගෙන් ද පුෂ්පයන්ගෙන් ද දිව්‍ය සංගීතාදියෙන් ද පූජෝපහාර දැක්වූහ. පිරිනිවන් මංචකයේ සැතපී සිටි භාග්‍යවතුන් වහන්සේ තමන් වෙත පැමිණි සුභද්‍ර නම් පරිබ‍්‍රාජකයා අමතා මෙසේ දේශනා කළ සේක. ‘‘සුභද්‍රය, ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙන බුද්ධ ශාසනයක පමණයි, පළමු ශ‍්‍රමණයා වන සෝතාපන්න ශ‍්‍රාවකයාත්, දෙවන ශ‍්‍රමණයා වන සකදාගාමී ශ‍්‍රාවකයාත්, තුන්වෙනි ශ‍්‍රමණයා වන අනාගාමී ශ‍්‍රාවකයාත්, සතරවෙනි ශ‍්‍රමණයා වන රහතන් වහන්සේත් පහළ වන්නේ.”  එම දම් දෙසුම අවසානයේ දී සුභද්‍ර තෙරුවන් සරණ ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා සුළු මොහොතකින් සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් විය. එසේ සම්මුඛී අවසන් ශ‍්‍රාවකයා බිහිවූ පසු භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ අවවාදය මෙසේ වදාළ සේක. ‘‘පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලූ සංස්කාර වැනසෙන සුලූ ය. අප‍්‍රමාදීව ධර්මාවබෝධ කර ගන්න.” (හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ.) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද නිරෝධ සමාපත්තියේ පටන් ප‍්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් සම වැදී එයින් නැගිට සියලූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප‍්‍රකට කරමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එ් පිණිස ආයු සංස්කාරය අත්හැර වදාළේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.
භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අපත් එ් අනිත්‍ය ධර්මතාව මෙනෙහි කරමින් ධර්මාවබෝධයට අප‍්‍රමාදී වෙමු.

(ඇසුර – පූජ්‍ය පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර හිමිපාණන්ගේ පොහොය වර්ණනාව ග‍්‍රන්ථය.)

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි