එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ සිටි සේක. තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.

පංචිමානි, භික්ඛවේ, ඉන්ද්‍රියානි. කතමානි පංච? දුක්ඛින්ද්‍රියං, දෝමනස්සින්ද්‍රියං, සුඛින්ද්‍රියං, සෝමනස්සින්ද්‍රියං, උපෙක්ඛින්ද්‍රියං.

මෙම ඉන්ද්‍රිය ධර්ම මොනවා ද? යන්න විභංග සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදාළ සේක. මෙම සූත‍්‍ර දේශනාව පැහැදිලි කරගැනීම උදෙසා එම විවරණය ඉතා වැදගත් වන්නේ ය.

යම් මේ කායික දුකක්, කායික ව හටගන්නා අමිහිරි ස්වභාවයෙන් යුතු විඳීමක් වේ ද, මෙය වනාහි කායික ව ඇති වන දුක් ඉන්ද්‍රිය නම් වන්නේ ය. යම් මේ මානසික දුකක් වේ ද, මානසික ව හටගන්නා අමිහිරි ස්වභාවයක් වේ ද, මනසේ ස්පර්ශයෙන් හටගත් දුක් සහගත අමිහිරි ස්වභාවයෙන් යුතු විඳීමක් වේ ද, මෙය වනාහි මානසික ව ඇති වන දෝමනස්ස ඉන්ද්‍රිය නම් වන්නේ ය.

යම් මේ කායික සැපක්, කායික ව හටගන්නා මිහිරි ස්වභාවයෙන් යුතු විඳීමක් වේ ද, මෙය වනාහි කායික ව ඇති වන සැප ඉන්ද්‍රිය නම් වන්නේ ය. යම් මේ මානසික සැපක් වේ ද, මානසික ව හටගන්නා මිහිරි ස්වභාවයක් වේ ද, මනසේ ස්පර්ශයෙන් හටගත් සැප සහගත මිහිරි ස්වභාවයෙන් යුතු විඳීමක් වේ ද, මෙය වනාහි මානසික ව ඇති වන සෝමනස්ස ඉන්ද්‍රිය නම් වන්නේ ය.

යම් මේ කායික ව හෝ මානසික ව හෝ මිහිරිත් නො මැති අමිහිරිත් නො මැති විඳීමක් වේ ද, මෙය වනාහි උපේක්ෂා ඉන්ද්‍රිය නම් වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

කායික ව හටගන්නා දුක් ඉන්ද්‍රීයත් සැප ඉන්ද්‍රියත්, මානසික ව හටගන්නා සෝමනස්ස ඉන්ද්‍රියත් දෝමනස්ස ඉන්ද්‍රියත්, එම ඉන්ද්‍රියන්ගේ හටගැනීමත්, නැති වීමත්, නිරුද්ධ වන තැනත් පිළිබඳ ව තථාගතයන් වහන්සේ මෙසේ විවරණය කළ සේක.

‘‘පින්වත් මහණෙනි, මෙහි ලා නො පමා ව කෙලෙස් තවන වීරිය ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවට දුක් ඉන්ද්‍රිය උපදියි. ඔහු එය මෙසේ දැනගනී. ‘මට මේ දුක් ඉන්ද්‍රිය ඉපදුණේ ය, එය නිමිති සහිත ව, හේතු සහිත ව, සංස්කාර සහිත ව, ප‍්‍රත්‍ය සහිත ව උපන්නේ ය’යි දැනගන්නේ ය. ‘එය නිමිති රහිත ව, හේතු රහිත ව, සංස්කාර රහිත ව, ප‍්‍රත්‍ය රහිත ව ඉපදේ ය’යි දැනගන්නවා යන්න එ්කාන්තයෙන් ම සිදු නො වන්නකි. ඔහු දුක් ඉන්ද්‍රියත් දැනගනී. දුක් ඉන්ද්‍රියේ හට ගැනීමත් දැනගනී. දුක් ඉන්ද්‍රියේ නැති වීමත් දැනගනී. යම් තැනක හටගත් දුක් ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වීමක් වේ නම් එය ද දැනගනී. හටගත් දුක් ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ කොතැනක ද? පින්වත් මහණෙනි, මේ කරුණෙහි ලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්වීමෙන් ම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමෙන් ම, සතර සතිපට්ඨානයට යොමු වූ මෙනෙහි කිරීමෙන්, එ් සඳහා ම යළි යළිත් සිත යොමු කිරීමෙන්, පංච නීවරණයන්ගේ සංසිඳීමෙන් හටගත් විවේකයෙන් යුතු ව, කායික මානසික ප‍්‍රීතියෙන් හා සැපයෙන් යුතු ව, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. මෙහි දී උපන්නා වූ දුක් ඉන්ද්‍රිය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ ය. පින්වත් මහණෙනි, මෙය වනාහි ‘භික්ෂුව දුක් ඉන්ද්‍රියේ නිරෝධයත් දන්නේ ය. එහි ලා සිතින් කරුණු ගළපා බලන්නේ ය’ යි කියනු ලැබේ.

‘‘පින්වත් මහණෙනි, මෙහි ලා නො පමා ව කෙලෙස් තවන වීරිය ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවට දෝමනස්ස ඉන්ද්‍රිය උපදියි. ඔහු එය මෙසේ දැනගනී. ‘මට මේ දෝමනස්ස ඉන්ද්‍රිය ඉපදුණේ ය, එය නිමිති සහිත ව, හේතු සහිත ව, සංස්කාර සහිත ව, ප‍්‍රත්‍ය සහිත ව උපන්නේ ය’යි දැනගන්නේ ය. ‘එය නිමිති රහිත ව, හේතු රහිත ව, සංස්කාර රහිත ව, ප‍්‍රත්‍ය රහිත ව ඉපදේ ය’යි දැනගන්නවා යන්න එ්කාන්තයෙන් ම සිදු නො වන්නකි. ඔහු දෝමනස්ස ඉන්ද්‍රියත් දැනගනී. දෝමනස්ස ඉන්ද්‍රියේ හට ගැනීමත් දැනගනී. දෝමනස්ස ඉන්ද්‍රියේ නැති වීමත් දැනගනී. යම් තැනක හටගත් දෝමනස්ස ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වීමක් වේ නම් එය ද දැනගනී. හටගත් දෝමනස්ස ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ කොතැනක ද? පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව සතර සතිපට්ඨානයට යොමු වූ මෙනෙහි කිරීමෙන් හා යළි යළි ඊට සිත යොමු කිරීමෙන් ඇති කරගත් ස්වභාවය සංසිඳී ගොස්, සිත තුළ ශාන්ත භාවයක් ඇති වීමෙන්, මානසික ව ඇති වූ මනා ලෙස එකඟ භාවයට පත් වීම තුළ, මෙනෙහි කිරීමෙන් තොරව ද යළි යළි ඊට යොමු වීමෙන් තොරව ද කායික මානසික ප‍්‍රීතියෙන් හා සැපයෙන් යුතු ව දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. මෙහි දී උපන්නා වූ දුක් ඉන්ද්‍රිය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ ය. පින්වත් මහණෙනි, මෙය වනාහි ‘භික්ෂුව දෝමනස්ස ඉන්ද්‍රියේ නිරෝධයත් දන්නේ ය. එහි ලා සිතින් කරුණු ගළපා බලන්නේ ය’ යි කියනු ලැබේ.

”පින්වත් මහණෙනි, මෙහි ලා නො පමා ව කෙලෙස් තවන වීරිය ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවට සැප ඉන්ද්‍රිය උපදියි. ඔහු එය මෙසේ දැනගනී. ‘මට මේ සැප ඉන්ද්‍රිය ඉපදුණේ ය, එය නිමිති සහිත ව, හේතු සහිත ව, සංස්කාර සහිත ව, ප‍්‍රත්‍ය සහිත ව උපන්නේ ය’යි දැනගන්නේ ය. ‘එය නිමිති රහිත ව, හේතු රහිත ව, සංස්කාර රහිත ව, ප‍්‍රත්‍ය රහිත ව ඉපදේ ය’යි දැනගන්නවා යන්න එ්කාන්තයෙන් ම සිදු නො වන්නකි. ඔහු සැප ඉන්ද්‍රියත් දැනගනී. සැප ඉන්ද්‍රියේ හට ගැනීමත් දැනගනී. සැප ඉන්ද්‍රියේ නැති වීමත් දැනගනී. යම් තැනක හටගත් සැප ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වීමක් වේ නම් එය ද දැනගනී. හටගත් සැප ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ කොතැනක ද? පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව, මානසික ප‍්‍රීතිය කෙරෙහි ද ඇල්ම දුරු වීමෙන්, මධ්‍යස්ත භාවයෙන් යුතු බලවත් සිහියෙන් යුතු බලවත් නුවණින් යුතු, සැපයක් කයින් විඳිමින් සිටින්නේ ද, සද්ධර්මය අවබෝධ කළ උත්තමයෝ යමකට මධ්‍යස්ත භාවයෙන් යුතු, බලවත් සිහියෙන් යුතු සැප සහගත විහරණයක් යැයි ප‍්‍රකාශ කරන්නා වූ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. මෙහි දී උපන්නා වූ සැප ඉන්ද්‍රිය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ ය. පින්වත් මහණෙනි, මෙය වනාහි ‘භික්ෂුව සැප ඉන්ද්‍රියේ නිරෝධයත් දන්නේ ය. එහි ලා සිතින් කරුණු ගළපා බලන්නේ ය’ යි කියනු ලැබේ.

‘‘පින්වත් මහණෙනි, මෙහි ලා නො පමා ව කෙලෙස් තවන වීරිය ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවට සෝමනස්ස ඉන්ද්‍රිය උපදියි. ඔහු එය මෙසේ දැනගනී. ‘මට මේ සෝමනස්ස ඉන්ද්‍රිය ඉපදුණේ ය, එය නිමිති සහිත ව, හේතු සහිත ව, සංස්කාර සහිත ව, ප‍්‍රත්‍ය සහිත ව උපන්නේ ය’යි දැනගන්නේ ය. ‘එය නිමිති රහිත ව, හේතු රහිත ව, සංස්කාර රහිත ව, ප‍්‍රත්‍ය රහිත ව ඉපදේ ය’යි දැනගන්නවා යන්න එ්කාන්තයෙන් ම සිදු නො වන්නකි. ඔහු සෝමනස්ස ඉන්ද්‍රියත් දැනගනී. සෝමනස්ස ඉන්ද්‍රියේ හට ගැනීමත් දැනගනී. සෝමනස්ස ඉන්ද්‍රියේ නැති වීමත් දැනගනී. යම් තැනක හටගත් සෝමනස්ස ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වීමක් වේ නම් එය ද දැනගනී. හටගත් සෝමනස්ස ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ කොතැනක ද? පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව, කලින් ම සැපයට ඇති ඇල්ම දුරුකොට, දුකට ඇති ගැටීම ද දුරුකොට, මානසික ව හටගන්නා සතුට මෙන් ම දුක ද නැතිකොට දැමීමෙන්, සැප දුක් රහිත වූ උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ වූ බලවත් සිහියෙන් යුතු සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. මෙහි දී උපන්නා වූ සෝමනස්ස ඉන්ද්‍රිය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ ය. පින්වත් මහණෙනි, මෙය වනාහී ‘භික්ෂුව සෝමනස්ස ඉන්ද්‍රියේ නිරෝධයත් දන්නේ ය. එහි ලා සිතින් කරුණු ගළපා බලන්නේ ය’ යි කියනු ලැබේ.

‘‘පින්වත් මහණෙනි, මෙහි ලා නො පමා ව කෙලෙස් තවන වීරිය ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවට උපේක්ෂා ඉන්ද්‍රිය උපදියි. ඔහු එය මෙසේ දැනගනී. ‘මට මේ උපේක්ෂා ඉන්ද්‍රිය ඉපදුණේ ය, එය නිමිති සහිත ව, හේතු සහිත ව, සංස්කාර සහිත ව, ප‍්‍රත්‍ය සහිත ව උපන්නේ ය’යි දැනගන්නේ ය. ‘එය නිමිති රහිත ව, හේතු රහිත ව, සංස්කාර රහිත ව, ප‍්‍රත්‍ය රහිත ව ඉපදේ ය’යි දැනගන්නවා යන්න එ්කාන්තයෙන් ම සිදු නො වන්නකි. ඔහු උපේක්ෂා ඉන්ද්‍රියත් දැනගනී. උපේක්ෂා ඉන්ද්‍රියේ හට ගැනීමත් දැනගනී. උපේක්ෂා ඉන්ද්‍රියේ නැති වීමත් දැනගනී. යම් තැනක හටගත් උපේක්ෂා ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වීමක් වේ නම් එය ද දැනගනී. හටගත් උපේක්ෂා ඉන්ද්‍රියේ නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ කොතැනක ද? පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව, සම්පූර්ණයෙන් ම නේවසඤ්ඤනාසඤ්ඤයතනය ඉක්මවා සංඤවේදයිතනිරෝධයට පැමිණ වාසය කරන්නේ ය. මෙහි දී උපන්නා වූ උපේක්ෂා ඉන්ද්‍රිය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වන්නේ ය. පින්වත් මහණෙනි, මෙය වනාහී ‘භික්ෂුව උපේක්ෂා ඉන්ද්‍රියේ නිරෝධයත් දන්නේ ය. එහි ලා සිතින් කරුණු ගළපා බලන්නේ ය’ යි කියනු ලැබේ.

අප හට කායික ව උපදින්නා වූ දුක ද සැප ද නිරුද්ධවන තැනක් තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. මානසික ව හටගන්නා සොම්නස ද දොම්නස ද නිරුද්ධවන තැනක් ද දේශනා කොට වදාළ සේක. දුක් දොම්නස් ද සැප සොම්නස් ද නැති පිරිසිදු උපේක්ෂාව උපදවාගෙන සිටිය හැකි තැනක් ද වදාළ සේක. එ් නිරාමිස සමාධිමත් සිත් උපදවාගෙන වාසය කරන්නට මේ සදහම් විවරණය අප සියලූ දෙනාට ම හේතු වාසනා වේවා…!