අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පන්සාලිස් වසරක් පුරා දෙව් මිනිසුන් වෙත පතළ මහා කරුණාවෙන් යුක්තව උතුම් ශී‍්‍ර සද්ධර්මය දේශනා කොට වදාළා. නිකෙලෙස් හද මඬලින් යුතුව පරිපූර්ණ අවබෝධයට පත්ව ප‍්‍රාතිහාර්යය සහිතව පරිපූර්ණ නිවන් මඟ පෙන්වා වදාළ එ් උතුම් ශී‍්‍ර සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් ද ගුරු තනතුරෙහි ලා ගෞරව කරනු ලැබුවා. එ් ශී‍්‍ර සද්ධර්මය සසරින් එතෙර වීම පිණිස ඇති එ්කායන මාර්ගයයි. සසර දුකට වැටී කෙලෙසුන් නිසා අපිරිසිදු වී සිටින සත්වයන් හට එම කෙලෙසුන්ගෙන් මිදී, පරම පාරිශුද්ධත්වයට පත් වීම පිණිස උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයයි. දුකින් පීඩිතව සෝ සුසුම් හෙළමින්, හඬමින්, වැළපෙමින් සිටින සත්වයන් හට එයින් නිදහස් වීම පිණිස ද කායික මානසික දුක් දොම්නස්වලින් අත්මිදීම පිණිස ද උපකාර වන්්නේ ශී‍්‍ර සද්ධර්මයයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කොට තණ්හාව ප‍්‍රහාණය කරමින් සදාකාලික සැපය ඇති අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතින ශී‍්‍ර සද්ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ශ‍්‍රාවකයා වඩන භාවනාව ‘ධම්මානුස්සතිය’ යි.
ධම්මානුස්සති භාවනාව පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවෙත්, බහුල වශයෙන් පුරුදු කළොත් එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා. එ් එක ම එක දෙය නම් ධම්මානුස්සතිය යි”.

තව ද ධම්මානුස්සති භාවනාවේ ආනිශංස සම්බුදුරජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජු හට මෙලෙසින් ද වදාළා.
‘‘මහානාමයෙනි, ආර්ය ශ‍්‍රාවකයා ධර්මයේ ගුණ සිහිකරමින් ධම්මානුස්සති වඩයි. එසමයෙහි ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ධර්මයෙහි ගුණ අරබයා ඍජු බවට පත් වූයේ වෙයි. ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප‍්‍රමුදිත බව ලබන්නේ ය. ප‍්‍රමුදිත වූ කෙනාට ප‍්‍රීතිය උපදී. ප‍්‍රීති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි. මහානාමයෙනි, මේ ආර්ය ශ‍්‍රාවකයා රාග ද්වේෂ මෝහ ආදියෙන් විෂම බවට ගිය ප‍්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද දුක් සහිත ප‍්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ ධම්මානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

තවද ධම්ම පද ගාථාවල දී ධම්මානුස්සතිය වඩන ශ‍්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද වදාළා.
‘‘යමෙක් දවාලටත්, රාත‍්‍රියටත් නිතර ම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ එ් ශ‍්‍රාවකයෝ හැමදාම ඉතා ප‍්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

තවත් අවස්ථාවක දී විශාකා උපාසිකාවට ධම්මානුස්සතිය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
‘‘පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ‍්‍රාවකයා ශ‍්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා. එවිට ඔහුගේ සිත පහදිනවා. ප‍්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේෂ ඇත්නම් එ්වා ප‍්‍රහාණය වෙනවා. මෙයට තමයි කියන්නේ ආර්ය ශ‍්‍රාවකයා ධර්ම උපෝසථයෙන් වාසය කරනවා කියලා.”

මේ ආකාරයට මහත්ඵල මහානිශංස ලබා දෙන ධම්මානුස්සති භාවනාව අපි කවුරුත් නිරන්තරයෙන් පුරුදු පුහුණු කර ගනිමු.

ස්වාක්ඛාත ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතා ම යහපත් ලෙස ශ‍්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ‍්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතා ම යහපත් ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතා ම යහපත් ය. එහි අවසාන කොටස නම් වූ ප‍්‍රඥාවත් ඉතා ම යහපත් කොට දක්වන ලද්දේ ය. අර්ථ සහිතව පෙන්වා දෙන ලද්දේ ය. පැහැදිලි වචනවලින් පෙන්වා දෙන ලද්දේ ය. අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතය පෙන්වා දෙන ලද්දේ ය.

එම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළ හෙයින් ස්වක්ඛාත වන සේක. මෙසේ ස්වක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

සන්දිට්ඨික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතය තුළ දී ම අවබෝධ කළ හැකි වන සේක. එ් ශ‍්‍රී සද්ධර්මය සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් දියුණු කළ හැකි වන සේක. එ් ශ‍්‍රී සද්ධර්මය සෝවාන් මාර්ග – ඵල, සකදාමී මාර්ග – ඵල, අනාගාමී මාර්ග – ඵල, අරහත් මාර්ග – ඵල වශයෙන් අවබෝධ කර ගත හැකි වන සේක. එ් ශ‍්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

අකාලික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඕනෑම කාලයක දී එ් ආකාරයෙන් ම අවබෝධ කළ හැකි වන සේක. එ් ධර්මයේ සඳහන් වන සීල, සමාධි, ප‍්‍රඥා හෝ මාර්ග ඵල හෝ චතුරාර්ය සත්‍යයාදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

එ්හිපස්සික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ‘ඇවිත් බලන්නැ’යි දක්වාලන, දෙව් මිනිසුන් අතරට විවෘත භාවයට පත් වුණ සේක.

රහස් බණ, රහස් උපදෙස්, සැඟවී කතා බස් කිරීම් නොමැති මේ ශ‍්‍රී සද්ධර්මය හිරු මඬල දක්වන්නා සේ සඳ මඬල දක්වන්නා සේ හඬ නගා පෙන්වා දිය හැකි සේක. මෙසේ ‘නුවණින් විමසා බලන්නැ’යි දෙව් මිනිස් ලෝකයා හමුවේ විවෘතව තබන ලද නිසා, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය එ්හිපස්සික වන සේක.

මෙසේ එ්හිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ එ්හිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඕපනයික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය මනා කොට ශ‍්‍රවණය කිරීමෙන් ද මනා කොට ධාරණය කිරීමෙන් ද වචනයෙන් පුරුදු කිරීමෙන් ද නුවණින් මෙනෙහි කිරීමෙන් ද ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියේ යෙදීමෙන් ද තම තමන්ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හෙයින් ඕපනයික වන සේක.

මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය වනාහී ඕනෑම ජාතියක, ඕනෑම ගෝත‍්‍රයක, ඕනෑම කුලයක, කපටි නැති, මායා නැති, අවංක ගති ඇති ප‍්‍රඥාවන්තයන් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී වන සේක.

මෙසේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී වන ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුුහී වන ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද
ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතට සුව දෙන භාවනා