[image title=”” size=”full” id=”8451″ align=”none” linkto=”none”]

සුගත තථාගත ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිකෙලෙස් මහ රහත් මුනි ධාතුන් වහන්සේලා වඩා හිඳුවමින් ඉදි කරන්නට යෙදුණු සිරි ඝටීකාර මහා සෑ රජුන් පසුගිය බිනර පුන් පොහෝ දිනයේ ගෞතම සම්මා සම්බුදු සසුනට පිදුම් විණි. ඒ මාලඹේ, පිට්ටුගල, මහමෙව්නාව ‘අමාවතුර’ භාවනා අසපුවේ දී ය.

ලොව ඉදි කෙරෙන පළමු තුන්තරා බෝධි මණ්ඩපය වන ‘බුදු -පසේබුදු – අරහන්තක මහා විහාරයේ’ ඉහළ මාලයේ මෙම මනෝරම්‍ය සෑ රජාණන් වහන්සේ ඉදි කොට තිබේ. පරිවාර සෑ රජාණන් වහන්සේලා අටනමක් ද සමඟින් නිර්මාණය කෙරුණු මේ මහා සෑය සුසුදු පැහැයෙන් දිදුලමින් විරාජමාන වන්නේ අහසේ වැඩ සිටින්නා වූ සුන්දර ආකාශ චෛත්‍යයක මනරම් දසුනක් ගෙන එමිනි.

කාශ්‍යප සම්බුදු සසුනේ අග‍්‍ර උපාසක ධුරය දරා හිඳ අනාගාමී ඵලයට පත් ව, ඝටීකාර මහා බඹු නමින් බඹ ලොව පහළ වුණු බ‍්‍රහ්මරාජයා ගෞතම සම්බුදු සසුනේ ද ශ‍්‍රාවකත්වය දරා වැඩ හිඳී. සම්බුදු සසුන සුරකින්නට බොහෝ උපකාර කරන මේ බ‍්‍රහ්මරාජයා නමින් මහා සෑයක් ඉදි කොට ගෞතම සම්බුදු සසුනට පූජා කෙරුණේ ද ලොව පළමු වරට ය.

සිරි ඝටීකාර මහා සෑ රජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්දර, ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක, අති පූජනීය දොඩම්පහල චන්දසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක චමල් රාජපක්ෂ, කඩුවෙල ගරු නගරාධිපති ජී. එච්. බුද්ධදාස ඇතුළු සම්භාවනීය පිරිස් සමඟින් දහස් සංඛ්‍යාත ගිහි උපාසක පිරිස් ද සහභාගී වූහ.

පින් කැමති දෙව් මිනිසුන්ගේ අපමණ උපකාරයන්ගෙන් ඉදි කරන්නට යෙදුණ මේ අසිරිමත් සිරි ඝටීකාර මහා සෑ රජුන්, දෙව් මිනිසුන්ට යහපත සලසමින්, වන්දනාමානයෙන් පින් රැස් කර ගැනීමට ඉඩකඩ විවර කරමින් චිරාත් කාලයක් සුවසේ වැඩ හිඳීවා !!!