ගී‍්‍රසිය කියන්නේ දේව කථා සාහිත්‍යයට නම ගියපු රටක්. ලෝකය ගැන, මනුෂ්‍ය ජීවිත ගැන, සතාසිව්පාවන් ගැන විතරක් නෙමෙයි ගහ කොළ ගැන පවා දෙවියන් හා සම්බන්ධ බොහෝ වෘත්තාන්තයන් ගොඩනගන්නට මුල් වුණේ ගී‍්‍රක වැසියන්. ගී‍්‍රක දේව කථා පුරාණයට අනුව මුළු මහත් පෘථීවිය ඔසවා ගෙන සිටින්නේ ඇට්ලස් නම් වූ යෝධයෙක්. ඇට්ලස් යෝධයාට හදිස්සියේ හරි කිවිසුමක්වත් පිටවුණොත් පෘථීවිය කැලඹිලා, හෙල්ලිලා මහා භූමිකම්පා පවා ඇති වෙන බව ගී‍්‍රක වැසියන් විශ්වාස කරනවා.

අප මේ කථා කරන්න හදන්නෙ ගී‍්‍රක දේව විශ්වාස ගැන නම් නෙමෙයි; පෘථිවිය ඔසවා ගෙන සිටිනවා යැයි ඔවුන් විසින් විශ්වාස කරනු ලබන ඇට්ලස් උසුලන බරටත් වැඩි බරක් ඔසවා ගෙන සිටින අය ගැන තමයි අද අපේ කථාව. පුදුමෙකුත් ඇති නේ ද මහ පොළවටත් වැඩි තවත් මොන බර ද සහ එහෙව් බරක් දරන්න පුළුවන් යෝධයොත් ඉන්නව ද කියල.

ඒ මහා බර ඉසිලීම ගැන කියන්න කලින් මානව ශරීර ව්‍යුහය ගැන පුංචි කථාවක් කියල ඉන්න  ඕනෙ. ශරීරයේ ජීව විද්‍යාත්මක සියලූ ක‍්‍රියාවන් මෙහෙයවන පාලන මධ්‍යස්ථානය ලෙස හඳුන්වන්නේ මොළය. මේ මහා පාලන මධ්‍යස්ථානය ඔසවා ගෙන සිටින්නේ අපේ බෙල්ල. විශාල ශරීරයට සාපේක්ෂව නම් ශරීරය පාලනය කරන මොළය සහිත හිස් කබල දරා සිටින බෙල්ල ඉතා කුඩා ව්‍යුහයක්. බෙල්ලේ සන්ධාරක කෘත්‍යය සැබැවින් ම විශ්මය ජනකයි. පුංචි අස්ථි කැබලි කිහිපයකින් පාලන මධ්‍යස්ථානයත් ශරීරයත් යාකරවලා පවත්වා ගන්න එකලේසි පහසු දෙයක් නෙමෙයි නේ. පොඞ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත්… හැම දේ ම ඉවරෙට ම ඉවර වෙන්නත් ඒ පොඩ්ඩ හොඳට ම ඇති. මිනිස්සු ඔළුව ඇතුළෙ තියන් ඉන්නෙත් සුළුපටු බරක් නෙමෙයිනෙ. හිස්කබලෙයි, මොළයෙයි බරට වැඩි, මොන තරම් නම් බරක් ඔය ඔළු අස්සේ තියනව ද?

රටේ ලෝකේ හැම ප‍්‍රශ්නයක් ම අපේ ප‍්‍රශ්න කරගෙන දුම් දමමින්, ගිනි පිට කරමින් මොන තරම් නම් පීඩනයක ද අපේ ඔළු හැම වෙලේ ම තියෙන්නෙ? දේශපාලන ප‍්‍රශ්න, සමාජ ප‍්‍රශ්න, ආර්ථික ප‍්‍රශ්න, කාලගුණ ප‍්‍රශ්න, දේශගුණ ප‍්‍රශ්න, සංස්කෘතික ප‍්‍රශ්න, ආගමික ප‍්‍රශ්න, භාෂා ප‍්‍රශ්න… මොන තරම් නම් ප‍්‍රශ්න කන්දක් ද? රටේ ලෝකෙ අර්බුද අපේ අර්බුද කර ගෙන, රටේ ලෝකෙ කාලගෝට්ටි අපේ කාලගෝට්ටි කර ගෙන ඔළුවට පුරවන් ඉන්න ඔය ප‍්‍රශ්නවලට අගයක් දීලා බර මැන්නොත් එහෙම ඇට්ලස් ඔසවන් ඉන්න බරත් බරක් ද කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා.

ඇත්තට ම අපි ඔළුවට පුරවන් ඉන්නේ ඔළුවෙ එහෙම තියා ගන්න උවමනා බර ද? ඔය ප‍්‍රශ්න කන්ද ම විසඳුවත් අපේ සැබෑ ප‍්‍රශ්නෙට විසඳුමක් ලැබෙනව ද? ඒ කිව්වෙ අප ලෙඩ නො වී, වයසට නො යා, මැරෙන්නෙත් නැතිව ඉන්නව ද?

මොහොතකට කල්පනා කරලා බලමු අපේ ඔළු අස්සේ කොච්චර දේවල් තියෙනව ද කියලා? නළු නිළියෝ ගැන, ගායක ගායිකාවො ගැන, පිරිස් ගැන, දේශපාලකයො ගැන, මැති ඇමතිවරු ගැන, ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ ගැන අපි මොන තරම් දේවල් අපේ ඔළුවල ගබඩා කරලා තියෙනව ද? සමහර විට එයාලගෙ ජීවිතවල එයාලට අමතක වුණ දේවලුත් අපිට හොඳට මතකයිනේ. ඒ වගේ ම ඇඳුම් පැළඳුම්, ආහාරපාන, යාන වාහන ගැන අපි දන්න තරම්…….. ගම්, නියම්ගම්, නගර, ජනපදවල සිද්ද වෙන දේවල්, ඕපදූප කොච්චරක් අපිත් දන්නව ද? මැරුණ මිනිස්සු සහ හොල්මන් ගැන අපි මොන තරම් හොයා බලනව ද? ඒ දන්න තරම වැඩි වෙලා, තනියෙන් ඉන්න බය වුණ අවස්ථාත් ඕන තරම් ඇතිනේ…. කාන්තාවො ගැන, පුරුෂයො ගැන, ඥාතීන් ගැන, පංචකාම සැප ගැන දවස පුරාවට අපි කථා කරන වචනවලින් එළියට එන්නේ අපේ ඔළුවල පුරවන් ඉන්න දේවල් නේ. හිතලා බලන්නකෝ කථා කෙරෙන වචනවලින් කාගේ ප‍්‍රශ්නවලට ද අපි උත්තර හොයන්නෙ කියලා… ලේසි නෑ නේ ද අපි උස්සන් ඉන්න බරත්…?

නුවමනා බර ඔළුවෙ තියා ගත්තහම වෙන්නෙ දරන්න උවමනා බර ගැන සලකලා බලන්නවත් කලින්; හිතන ඔළුවයි, වැඩ කරන කඳයි යා කරන පුංචි ව්‍යුහය කඩන් වැටෙන එක. ප‍්‍රශ්නය සුළු පටු නෑනේ ද එතකොට? එහෙම නම් ඒ අනවශ්‍ය බරට අප කරන්න  ඕනෙ මොනව ද?

කියවලා බලන්න මේ කථාව;

වතුර වීදුරුවක් අතින් ගෙන දේශන ශාලාවට පැමිණි මහාචාර්යවරයා එය පෙන්වමින් මෙසේ ඇසී ය.
”මේ වීදුරුව කොච්චර බර ඇද්ද?”
”ග‍්‍රෑම් 25ක්… 50ක්… 75ක්…….” ළමයි උත්තර බැන්දෝ ය.
”හරි මං මේ වතුර වීදුරුව අල්ල ගෙන අත දික්කර ගෙන හිටියොත් මොකද වෙන්නෙ?”
මහාචාර්යවරයා ඇසී ය.
”මුකුත් වෙන්නෙ නෑ…” ළමයි කීහ.
”හරි මං මේක පැය බාගයක් අල්ලගෙ උස්සන් හිටියොත්….???”
ළමයි එකිනෙකා එක් එක් උත්තර දුන්නෝ ය. ”අත හිරි වැටෙයි…. අතේ ලේ ගමනය නැවතිලා අංශ බාගෙ හැදෙයි…. ආතතිය වැඩි වෙයි…. පිස්සු හැදෙයි……”
”හොඳයි එහෙම වෙන්න, උස්සන් ඉඳිද්දි මේ වතුර වීදුරුවෙ බර වැඩි වුණා ද….???”
”නැහැනෙ සර්….”
”එහෙනම් කොහොම ද එහෙම වෙන්නෙ???” මහචාර්යවරයා ඇසී ය. ළමයින්ට උත්තර නැත. නිශ්ශබ්ද ය.
ටිකකින් එකෙක් මෙසේ කෑ ගැසී ය.
”ඔන්න ඕක බිමින් තියන්න සර්……..”
මහාචාර්යවරයා මහත් සොම්නසින් මෙසේ කී ය.
”හරියට හරි දරුවා. අපි යමක් උස්සන් ඉන්න තරමට තමයි ඒකෙන් අයහපත් ප‍්‍රතිඵල ඇති වෙන්නෙ… උස්සන් ඉන්න එපා… බිමින් තියන්න…. තියලා සැහැල්ලූ වෙන්න…”

කථාව කියෙව්වනෙ……. දැන් ඔබ ම තීරණය කරන්න ඔළුවෙ තියන බරට මොනව ද කරන්න  ඕන කියලා…