highlights of the week
Home » Archives » මහාවංශය 3

මහාවංශය 3

1. පංචනේත්‍රධාරී වූ අතුල්‍ය වූ සර්වඥයන් වහන්සේ පන්සාළිස් වසක් මැ වැඩවසමින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස සකළ බුද්ධකෘත්‍යය කොට නිමවා,

2. කුසිනාරායෙහි උත්තම සාල වෘක්ෂයන් දෙක අතරෙහි වැඩසිටි ලෝකයෙහි එකම ප්‍රදීපය වූ ඒ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයෙහි පිරිනිවන් පෑ සේක.

3. ගණනින් නිමා කළ නොහැකි භික්ෂු සංඝයා වහන්සේ ද එහි රැස්වූහ. එමෙන්ම ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යන වර්ණයන්ට අයත් ජනයා ද, දෙවියෝ ද එහි රැස්වූහ.

4. ඒ රැස් වූ භික්ෂූන් අතුරෙන් ප්‍රමුඛත්වය දැරූ භික්ෂූහු සත් ලක්ෂයක් වූහ. උන්වහන්සේලා අතර එකල්හී සංඝස්ථවිරයන් වහන්සේ වූවෝ මහා කස්සප මහරහතන් වහන්සේ ය.

5. ශාස්තෘන් වහන්සේගේ සිරුර සම්බන්ධ වූ ශාරීරික ධාතු කෘත්‍යයයන් නිමා කරවූ ඒ මහරහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයෙහි චිරස්ථිතිය කැමති වන්නාහු,

6. දසබලධාරී ලෝකනාථයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් සත්වන දින සුභද්‍ර නම් වූ මහළු පැවිද්දාගේ අභද්‍ර වචනය සිහි කරන්නාහු,

7. එමෙන්ම ශාස්තෘන් වහන්සේ තම සිවුර මහා කස්සපයන් වහන්සේට ලබාදීමෙන් සම තන්හි පිහිටුවා වදාළ කරුණත්, ශ්‍රී සද්ධර්මය ස්ථිරව පිහිටුවාලීම පිණිස බුදුරජුන්ගෙන් ලත් අනුග්‍රහයත් සිහි කරන්නාහු,

8. සද්ධර්ම සංගීතිය හෙවත් ධර්ම සංගායනාව කිරීම පිණිස සම්බුදුරජුන්ගේ අනුමැතිය ලත් නවාංග ශාස්තෘ ශාසනධාරී වූ සර්වාංගයන්ගෙන් උපලක්ෂිත වූ,

9. උත්තම වූ මහා ක්ෂීණාශ්‍රව වූ භික්ෂූන් වහන්සේලා සම්මත කරන සේක් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ තවම අරහත්වයට පත් නොවූ කාරණයෙන් උන්වහන්සේ වෙනුවෙන් එක නමක් අඩු කොට පන්සිය නමක් සම්මත කළ සේක.

10. අනඳ මාහිමියන් වහන්සේ බැහැර කොට සංගායනාව කළ නොහැකි බව දැන රහත් භික්ෂූන් විසින් විශේෂයෙන් ඉල්ලා සිටින ලදුව එතෙක් නොරහත් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේව යළි සම්මත කළ සේක.

11. සාධු ක්‍රීඩායෙන් සත් දවසක් ද, ධාතු පූජායෙන් සත් දවසක් ද වශයෙන් අඩමසක් ගෙවා සකල ලොකානුකම්පායෙන් යුතු වූ ඒ රහතන් වහන්සේලා

12. රාජගෘහ නගරයෙහි වස් වසමින් ධර්ම සංගායනා කරන්නෙමුයි සලකා සංගායනාවට සහභාගී නොවන අන්‍ය භික්ෂූන් එහි වස් නොවැසිය යුතු යැයි නිශ්චය කොට,

13. ඒ ඒ  ප්‍රදේශයන්හි ශෝකාතුර වූ මහාජනයා අස්වසාලමින් ඒ මහරහතන් වහන්සේ ජම්බුද්වීපයෙහි චාරිකායෙහි වඩමින්,

14. ඇසළ මස පුර පක්ෂයෙහි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් සමෘද්ධ වූ රාජගෘහයට වැඩිසේක.

15. ස්ථිර වූ සසුන් ගුණයෙහි පිහිටි සර්වඥ මතයෙහි දක්ෂ වූ ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා රාජගෘහයෙහි වස් එළැඹ,

16. වස්සාන ඍතුවෙහි ප්‍රථම මාසයෙහි අජාසත්ත රජුට පවසා රාජගෘහයෙහි සියලූම කුටි සේනාසනයන් පිළිසකර කැරවූහ.

17. වෙහෙර පිළිසකරයන් නිමි කල්හි ‘අපි දැන් සර්වඥ ධර්මය සංගායනා කරම්හැ’යි රජ හට වදාළහ.

18. ‘මා විසින් ඒ වෙනුවෙන් කුමක් කළ යුතු දැ’යි පුළුවුත් රජ හට ‘භික්ෂූන් වැඩහිඳිනා තැන් පිළියෙල කළ මැනැවැ’යි වදාළහ. ඉක්බිති රජ තෙමේ ‘කොතන්හි දැ’යි විචාරන්නේ උන්වහන්සේලා විසින් පෙන්වා වදාළ තැන වූ,

19. වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දිව්‍ය  සභාව සමාන වූ රම්‍ය වූ මණ්ඩපයක් වහා කැරවූයේය.

20. ඒ අජාසත් රජ තෙමේ සර්වාකාරයෙන් මණ්ඩපය සරසා භික්ෂූන් වහන්සේලා පන්සිය නමට වැඩසිටීමට අනර්ඝ වූ ඇතිරිලි ඇතිරවූයේය.

21. එහි උතුරු දිශාවට මුහුණලා දකුණු දිශායෙහි මහාර්ඝ වූ උත්තම වූ ථේරාසනයක් ඉතා යහපත් ලෙස පණවන ලද්දේය.

22. එම මණ්ඩපය මධ්‍යයෙහි පෙරදිගට මුහුණලා සුගතයන් වහන්සේට උචිත පරිද්දෙන් උතුම් ධර්මාසනයක් ඉතා යහපත් කොට පණවන ලද්දේය.

23. ඉක්බිති රජතෙමේ ධර්ම සංගායනාව පිණිස අපගේ කටයුතු නිමියේයැයි මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නේය. ඒ මහරහතන් වහන්සේලා ආනන්දය ඇතිකරවන ආනන්ද මහාස්ථවිරයන් වහන්සේට මේ වචන පැවසූහ.

24. ‘එම්බා ආනන්දයෙනි, හෙට රහතුන්ගේ සංඝ සන්නිපාතයයි. සේඛ භික්ෂුවක් වශයෙන් එහි ඔබගේ පැමිණීම නොහොබනේය. එහෙයින් තෙපි තමාගේ යහපත පිණිස අප්‍රමාදී විහරණයෙන් කල් ගෙවව්.’

25. මෙසේ රහතන් වහන්සේලාගෙන් චෝදනා ලැබූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීරිය සමකොට සතර ඉරියව්වෙන් වෙන්ව උතුම් අරහත්වයට පත්වූ සේක.

26. වස්සානයෙහි දෙවන මාසයෙහි දෙවෙනි දින ඒ  සිත්කළු මණ්ඩපයෙහි රහතන් වහන්සේලාගේ සංඝසන්නිපාතය විය.

27. ඉක්බිති ඒ රහතන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් වහන්සේට සුදුසු අසුන වෙන්කොට තබා තමන්වහන්සේලා සුදුසු අයුරින් අසුන්හි වැඩහුන් සේක.

28. ඒ ආනන්ද ස්ථවිරයන් වහන්සේ තම අරහත්ව ප්‍රතිලාභය සංඝයාට හඟවනු පිණිස උන්වහන්සේලා සමඟ නොවැඩි සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොහි සිටිත්දැයි යම්කිසි භික්ෂුවක් විසින් විමසන කල්හි,

29. පොළොවෙහි කිමිඳ අවුත් අහස් ගමනින් හෝ අවුත් ආනන්ද මහරහතන් වහන්සේ එහි වැඩ තමන් වෙනුවෙන් වෙන් කරන ලද අසුනෙහි වැඩහුන් සේක.

30. ශාසනභාරධාරී සියලූ රහතන් වහන්සේලා විනය සංගායනායෙහිලා උපාලි මහරහතන් වහන්සේ ද, අවශේෂ ධර්මයන් සංගායනායෙහිලා අනඳ මහරහතන් වහන්සේ ද ප්‍රධාන කළහ.

31. මහාථේරාසනයෙහි වැඩසිටි මහාකස්සප මහරහතන් වහන්සේ විනය විචාරීම පිණිස තමන්වහන්සේ වෙතටම පවරා ගත් සේක. විනය විසර්ජනය හෙවත් විසඳීම පිණිස පවරණ ලද්දාහු උපාලි තෙරුන් වහන්සේය.

32. ඒ මහාකස්සප මහරහතන් වහන්සේ ථේරාසනයෙහි වැඩහිඳ විනය විමසූ සේක. ධර්මාසනයෙහි වැඩහුන් උපාලි මහරහතන් වහන්සේ විනය විසඳු සේක.

33. විනයධර භික්ෂූන්ගෙන් අග්‍ර වූ විනයෙහිලා දත යුතු සියල්ලෙහි දක්ෂ වූ උපාලි මහරහතන් වහන්සේ විසඳු ක්‍රමයෙහිලා විනය සජ්ඣායනා කළහ.

34. බහුශ්‍රැත භික්ෂූන්ගෙන් අග්‍රවූ මහාර්ෂී වූ සුගතයන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරයෙහි ආරක්ෂක වූ ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම විසඳීමෙහිලා සම්මත කොට, මහාකස්සප මහරහතන් වහන්සේ ධර්මය විමසීම පිණිස තමන්වහන්සේම සම්මත කරගත් සේක.

35. ඒ අයුරින් ධර්මය විසඳාලීම පිණිස තමන් සම්මත වූ ඒ ආනන්ද මහරහතන් වහන්සේ ඉතුරු නොකොට සකල ධර්මය විසඳාලූ සේක.

36. වේදේහමුනි වූ ධර්ම අර්ථයන්හි දක්ෂ වූ ඒ ආනන්ද මහරහතන් වහන්සේ විසින් විසඳන ලද ධර්ම ක්‍රමයෙන් ඒ සියලූ රහතන් වහන්සේලා සකල ධර්මය සජ්ඣායනා කළහ.

37. මෙසේ සකල ලෝක හිතකාරී වූ මහරහතන් වහන්සේලා විසින් සකල ලෝකයාගේම හිතසුව පිණිස සත්මාසයකින් ඒ ධර්ම සංගායනා තොමෝ සම්පූර්ණ කරන ලද්දීය.

38. මහාකස්සප මහරහතන් වහන්සේ විසින් මේ සම්මා සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් අවුරුදු පැවැත්මෙහිලා පොහොසත් වන පරිද්දෙන් ධර්ම සංගායනාව කරන ලද්දේයැයි

39. සකල සාගර ජලය හිම් කොට ගත් මහාපෘථිවි තොමෝ අතිශයින්ම හටගත් ප්‍රීති ප්‍රමෝද්‍යය ඇත්තී සංගායනාව අවසන්හි හයවරක් කම්පිත වූවාය.

40. ලෝකයෙහි අනේක වූ ආශ්චර්යයෝ ඇතිවූහ. මහරහතන් වහන්සේලා විසින් සංගායනා තුළින් කරන ලද මෙම මහාස්ථවිරයන් වහන්සේලාගේ පරපුර ‘ථේරීය’ නම් වේ.

41. ඒ මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව කොට ලෝකයට හිතසුව පිණිස පවතින බොහෝ දේ කොට ආයු ඇති තෙක් වැඩහිඳ පිරිනිවී ගිය සේක.

42. ප්‍රඥා ප්‍රදීපයෙන් මෝහාන්ධකාරය ප්‍රහාණය කළ ලෝකාන්ධකාරය දුරු කිරීමෙහිලා මහා ප්‍රදීපයන් බඳු වූ ඒ මහරහතන් වහන්සේලා පවා මරණය නම් වූ ඝෝරතර සැඩසුළඟ හැමීමෙන් නිවා දමන ලද්දාහුය. එහෙයින් නුවණැති කෙනා ජීවිත මදය අත්හැර දැමිය යුත්තේය.

හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ප්‍රථම ධර්ම සංගීතිය නම් වූ තෙවෙනි පරිච්ජේය නිමාවට පත්විය. –

Leave a Reply

Your email address will not be published.

x

Check Also

උත්තරීතර හුදෙකලාව…

ඔබ කවදා හෝ දිනක මිනිසුන්ගෙන් ඈත්ව ඉතා නිහඬ නිස්කලංක සුන්දර වන පියසක හුදෙකලාවේ අසිරිය විඳලා තියනව ද? නිරාමිස සිතුවිලි හදේ ජනිත වන එවන් සොඳුරු හුදෙකලාවක නිරාමිස සැපයක් ස්පර්ශ කළ බවට සිහිනෙකින් හෝ මතක නැතිව ඇති.