1. මිත‍්‍රද්‍රෝහීවූ උදායීභද්‍ර නම් පුත‍්‍රයෙක් අජාසත් රජතුමාට සිටියේය. හේ තම පියාවූ අජාසත් රජු මරවා දහසය අවුරුද්දක් රාජ්‍ය කළේය.

2. උදායීභද්‍රගේ පුත‍්‍රයාවූ අනුරුද්ධ කුමාරයා ද තම පියාව ඝාතනය කෙරෙව්වේය.අනුරුද්ධ රජුගේ පුත‍්‍ර වූමුණ්ඩ කුමාරයා ද තම පියාණන්වූ අනුරුද්ධ රජු මරවා රාජ්‍යය විචාළේය.

3. මිසදිටු ගත් මිත‍්‍රද්‍රෝහීවූ ඔවුහු මගධ රාජ්‍යය කළහ. මෙම අනුරුද්ධ සහ මුණ්ඩයන රජවරුන්ගේ යුගය අට අවුරුද්දකින් ඉක්ම ගියේය.

4. මුණ්ඩ රාජ පුත‍්‍රයා වූ නාගදාසක නම් පවිටු කුමරා තම පියා ඝාතනය කරවා විසිහතර වසරක් රාජ්‍යය විචාළේය.

5. ‘මේවනාහී පීතෘ ඝාතක පරම්පරාවකි’යි කියා කිපුණු නගරවැසියෝ සමඟිව එක්ව නාගදාසක රජු මගධ රාජ්‍යයෙන් පහ කොට,

6. ජනයා විසින් ඉතායහපතැයි සම්මත කරගත් සුසුනාග යැයි ප‍්‍රසිද්ධවූ සියල්ලන් හට යහපත සළසන සිත්ඇති ඇමතිවරයෙකු රාජ්‍යයෙහි මැනැවින් අභිෂේක කළාහුය.

7. ඒ රජතෙමේ දහ අටවසරක් මගධ රාජ්‍යය විචාළේය. ඔහුගේ පුත‍්‍ර වූ කාළාශෝක කුමාර තෙමේ විසිඅටවසරක් රාජ්‍යය විචාළේය.

8. කළාශෝක රජතුමාගේ අභිෂේකයෙන් දසවෙනි වර්ෂය ඉක්ම යන කල්හි සම්බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමෙන් වර්ෂ සියයක් සම්පූර්ණ වූයේය.

9. එකල්හි විශාලා මහනුවර වාසය කරන නොයෙක් වජ්ජිපුත්තක භික්ෂූන්වහන්සේලා අඟක ලූණු දමාගෙන අවශ්‍ය විටෙක ගෙන වැළඳීම කැපය (සිංගිලෝණකප්ප), ඉර අවරට ගොස් දෑඟුලක් යනතෙක් වැළඳීම කැපය (ද්වංගුලකප්ප), එමෙන්ම ගමනක් වඩිනවිට දන් වළඳා අන් ගමකට ගොස් යළි වැළඳීම කැපය (ගාමන්තරකප්ප),

10. ප‍්‍රධාන සීමාවක ඇති කුඩා කුඩා සීමාවලදී වෙන් වෙන් පොහොය කිරීම කැපය (ආවාසකප්ප), ආචාර්ය උපාධ්‍යායය ආදීන් විසින්ප රම්පරාවෙන් පුරුදු කරන ලද දේ ඒ අයුරින්ම පුරුදුකිරීම කැපය (ආචිණ්ණකප්ප), විනය කර්ම කිරීමෙන් පසු භික්ෂූන් අතර ඒ සඳහා අනුමැතිය ගැනීම කැපය (අනුමතිකප්ප), සුරා බවට පත් නොවූ මෙන්ම නොමේරූ රහ මෙර පානයකිරී මකැපය (ජලෝගිකප්ප), කැප කොට නොගත් ආහාර පාන ආදිය වැළඳීම කැපය (අමථිතිකප්ප), දාවලූ නැති නිසීදන පරිහරණය කැපය (අදසකනිසීදනකප්ප), රන් රිදී මිල මුදල් පිළිගැනීම කැපය (ජාතරූපාදීකප්ප)

11. මෙසේ විශාලා මහනුවර වැසි අලජ්ජී භික්ෂූහු මෙම කරුණු දහය කැපයැයි සම්මත කොට ප‍්‍රකාශ කළහ. වජ්ජි දේශයන්හි චාරිකා යෙහි වඩිමින් සිටි යස මහරහතන් වහන්සේ මෙම දසවස්තුව ගැනඅසා,

12. ෂඩභිඥාලාභී මහබලැති කාකණ්ඩපුත‍්‍ර වූ යස මහ රහතන්වහන්සේ මෙසේ අකැප ලෙස සම්මත කරගත් කරුණු දහය තුළින් උපදින ශාසනික අර්බුදය සංසිඳ වනු පිණිස උත්සාහ සහිතව විසල් පුර මහ වනයට වැඩිසේක.

13. ඒ වජ්ජි භික්ෂූහු උපෝසථාගාරයෙහිදිය සහිත වූලෝහ භාජනයක් තබා ‘සංඝයා හට කහවණු ආදිය දෙව්’කියා උපාසකවරුන්ට කීවාහුය.

14. එවිට යස මහරහතන්වහන්සේ ‘මෙය කැප නැත. එනිසා සංඝයාට කහවණු නොදෙව්’ කියා උපාසකවරුන්ව වැළැක්වූහ. එකල්හී ඒ භික්ෂූහු යස මහරහතන්වහන්සේ ලවා එම ගිහියන් ගෙන් සමාව ගැනීම පිණිස ‘පටිසාරණීය’ නම්වූ විනය කර්මය කළහ.

15. යස මහරහතන්වහන්සේ තමා හා යායුතු සහායක අනු දූත භික්ෂුවක ඉල්ලාගෙන නගර වැසියන් හට තමන් වහන්සේගේ ධර්ම වාදී බව පැහැදිලිකොට ඔහු සමඟ විශාලා මහනුවරට වැඩියහ.

16. එවිට ඒ අනුදූත භික්ෂුවගේ බස් ඇසූ අලජ්ජී භික්ෂූහු යස මහරහතන්වහන්සේව සංඝයාගෙන් බැහැර කිරීමපිණිස ‘උක්ඛේපනීය කර්මය’ නම්වූ විනය කර්මය කිරීම පිණිස යස මහරහතන්වහන්සේ වැඩ සිටි කුටියවට කළහ.

17. යස මහරහතන්වහන්සේ එතැනින් අහසට පැනනැඟී කොසඹෑ නුවරට වැඩම කළහ. පාවානුවරවාසීභික්ෂූන්ටද, අවන්තිරටවාසී භික්ෂූන්ටද වහා දූතයන්යැවූසේක.

18. එලෙසින්ම තමන්වහන්සේ අහෝ ගංග පර්වත විහාරයට වැඩම කොට සාණ රට වාසී වූ සම්භූත නම් මහරහතන්වහන්සේ හමු වී සිදුවූ සියල්ල සැළ කරසිටියහ.

19. පාවා නුවරවාසී සැට නමක්වූ ද, අවන්තිරටවාසී අසූ නමක්වූ ද ක්ෂීණාශ‍්‍රවවූ සියලූ රහතන්වහන්සේලා අහෝ ගංග පර්වත විහාරයට අහසින් බැස්සාහුය.

20. ඒ ඒ තැන එහි වැඩි සියලූ භික්ෂූන්වහන්සේලා අනූ දහසක් වූහ. ඒ කෙලෙස් හුල් රහිත  වූ මහරහතන්වහන්සේලා මෙකරුණ සාකච්ඡාකොට,

21. බහුශ‍්‍රැත වූ ආශ‍්‍රව රහිත වූ සෝරෙය්යරටවාසී රේවත මහතෙරුන්වහන්සේ ඒ කාලයෙහි වැඩ සිටි ප‍්‍රධානභික්ෂූන්වහන්සේ බව දැන උන්වහන්සේ දැකීම පිණිස නික්ම ගියාහුය.

22. ඒ රේවත මහරහතන්වහන්සේ එම සාකච්ඡාව දිව කණින් අසා විශාලා මහනුවරට වඩිනු පිණිස පහසු ගමනකට කැමතිව එකෙණෙහිම  තමන්වහන්සේ සිටි තැනින් නික්ම වැඩිසේක.

23. උදෑසනින් නික්මුණු තැන සිට සවස පැමිණෙන්නාවූභික්ෂූන්ට ඒ රේවත මහරහතන්වහන්සේව සහජාත නම් භූමියේදී දැක ගන්නට හැකි වූහ.

24. එහිදී සම්භූත මහරහතන්වහන්සේගේ නියෝගයෙන් යස මහරහතන් වහන්සේ සද්ධර්ම ශ‍්‍රවණය සිදු කොට අවසානයේදී උත්තමවූ රේවත මහරහතන්වහන්සේ වෙත එළැඹ,

25. දසවස්තුව කැප අකැපබව විමසූ සේක. රේවත මහරහතන්වහන්සේ එයඅකැප යැයි ප‍්‍රතික්ෂේප කළසේක. මේ අර්බුදය අසා එය වළක්වාලමුයි පවසා සිටි සේක.

26. පාපීභික්ෂූහු ද උතුම් වූ රේවත මහරහතන් වහන්සේව තමන්ගේ පක්ෂයට නතු කරගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ කැප සරුප්ශ‍්‍රමණ පරිෂ්කාර පිළියෙළකොට,

27. වහා නැවෙන් ගොස් සහජාත භූමිය අසලට පැමිණි විට දන් වළඳන වේලාව පැමිණිහෙයින්ද න් වැළඳීම කළහ.

28. එකල්හී ආනන්ද මහරහතන්වහන්සේ ළඟ වැඩසිට දැනට සහජාත භූමියේ වැඩවසන සාළ්හ නම් රහතන්වහන්සේ මෙම පාවානුවරවැසි භික්ෂූහු ධර්මවාදීහු වෙත් දැයි සිතා වදාළහ.

29. එවිට මහාබ‍්‍රහ්මරාජයා උන්වහන්සේ වෙත එළැඹ ‘ධර්මයෙහි පිහිටාසිටින්න’ යැයි පවසා සිටියේය. එවිට සාළ්හ රහතන්වහන්සේ නිරන්තරයෙන් තමන් ධර්මයෙහි පිහිටා සිටින බව එම බ‍්‍රහ්මරාජයාට වදාළහ.

30. අර භික්ෂූහු පරිෂ්කාර ද රැගෙන රේවත මහරහතන් වහන්සේව දුටහ. එවිට රේවත තෙරණුවෝ එමපිරි කර නොගත් සේක. එම අධර්මවාදී පක්ෂය ගත් උත්තර නම්වූ තම ශිෂ්‍ය භික්ෂුව ද නෙරපූහ.

31. ඉක්බිති ඒ පාප භික්ෂූහු විශාලා මහනුවරට ගොස් එතැනින් පාටලීපුත‍්‍ර නගරයට ගියාහුය. මේ අලජ්ජී භික්ෂූහු කාලාශෝක රජතුමා මුණගැසී මෙසේ කීහ.

32. ‘අපි විශාලා මහනුවර මහා වන විහාරයෙහි ශාස්තෘන්වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය ආරක්ෂාකරමින් වජ්ජි භූමියෙහි වාසය කරමු.

33. ග‍්‍රාම වාසී භික්ෂූන්වහන්සේලා අප ගේ විහාරය ඩැහැගන්නෙමුයිකියා පැමිණෙති. මහරජාණෙනි, ඔවුන් වළක්වාලනුමැනැව’

34. මෙසේ රජතුමාව වැරදි කරුණ කපිහිටුවා ඔවුහු විශාලා මහනුවරට පැමිණියහ. මෙම සහජාත භූමිය රේවත මහරහතන්වහන්සේ සමීපයෙහි,

35. දස වස්තුවෙන්ඇතිවූ අර්බුදය සංසිඳුවන අදහසින් රැස්වූ භික්ෂූන්වහන්සේලා ගණනින් එකොලොස් ලක්ෂ අනූ දහසක්වූහ.

36. නමුත් මෙකරුණට මුල්වූ වජ්ජි පුත්තක භික්ෂූන්ගෙන් වෙන්ව මෙකී දස වස්තුව සමථයකට පත් කිරීමට රේවත මහ රහතන්වහන්සේ නොකැමති වූ සේක. එකල්හී සියලූ භික්ෂූන්වහන්සේ එතැනින් නික්ම විශාලා මහනුවරට වැඩියහ.

– හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහා වංශයෙහි ද්විතීය ධර්ම සංගීතිය නම්වූ සිව්වෙනි පරිච්ජේදයෙන් කොටසකි. –