(මහා සෑයේ) ධාතු ගර්භය සැකසීම

01. (ගාමණී අභය) මහරජ තෙමේ සියලු සංඝයා වහන්සේලාට වැඳ “චෛත්‍ය කර්මාන්තය නිමාවන තුරු ම සංඝයා වහන්සේලා මාගෙන් පිණ්ඩපාතය පිළිගන්නා සේක්වා!” යැයි ආරාධනා කළේ ය.

02. සංඝයා වහන්සේලා එකී (පිණ්ඩපාතය) පැවරීම නොඉවසූහ. හෙතෙමේ පිළිවෙළින් සත් දවසක් ම අයදින්නේ සත් දවසක් දානය ඉවසීම පිණිස (අයැදුම පිළිගත්)

03. අර්ධයක් වූ භික්ෂු සංඝයා ලද්දේ ය. හෙතෙමේ එපමණ ලැබ සතුටු වූ සිත් ඇත්තේ චෛත්‍ය ස්ථානයේ හාත්පස දහඅට තැනෙක

04. මණ්ඩපයන් කරවා ඒ සංඝයා වහන්සේලාට සත් දවසක් මහා දන් පැවැත්වී ය. අනතුරුව සංඝයා වහන්සේලාව පිටත් කර හැරියේ ය.

05. ඉක්බිති බෙර හසුරුවා වහා ම ගඩොල් වඩුවන් රැස් කළේ ය. ඔවුහු පන්සියයක් පමණ එහි රැස් වූහ.

06. “කෙසේ (ගඩොල්) කරවන්නේ ද?” යැයි රජ තෙමේ විමසූ කල්හි එක් අයෙක් “මම මෙහෙකරුවන් සියයක් ලැබ මැටි ගැලක් ගෙන්වාගෙන

07. එක දවසකින් ගඩොල් සකසමි.” යි කීවේ ය. රජ තෙමේ ඔහුව වැළැක්වී ය. එයින් අර්ධය, අර්ධය (වන සේ) මැටි ද මැටි අමුණු දෙකක් ද

08. (ගෙන කරමි) යි එකිනෙකා කීහ. රජ තෙමේ ඒ වඩුවන් සතර දෙනාවම ද වැළැක්වූයේ ය. ඉක්බිති පණ්ඩිත වූ, වියත් වූ වඩුවෙක් රජු හට මෙසේ කීවේ ය.

09. “වංගෙඩියෙහි කොටවා කුල්ලෙන් වැඩූ කල්හි මම දාගලින් අඹරා මැටි අමුණක් කරවමි.

10. (එසේ කළ විට) මෙහි චෛත්‍යයේ තණකොළ ආදිය ද නො වන්නේ ය.” මෙසේ පවසන ලද්දවුන් ව සක් දෙවිඳු හා සමාන පරාක්‍රම ඇත්තා වූ (රජ තෙමේ) අනුදැක්කේ ය.

11. “ඔබ කවර ස්වරූප ඇති චෛත්‍යයක් කරවන්නේ ද?” යැයි (රජ තෙමේ) විමසුවේ ය. එකෙණහි ම විස්කම් දෙව්පුත් තෙමේ වඩුවාට ආවේශ වූයේ ය.

12. වඩු තෙමේ රන් පාත්‍රයක් අතින් ගෙන ජලයෙන් පුරවා අතින් දිය ගෙන (පාත්‍රයේ) දිය පිට ගැසුවේ ය.

13. (එවිට) පළිඟු බුබුළ් හා සමාන වූ මහා දිය බුබුළක් පැන නැංගේ ය. “මෙබඳු ස්වරූප ඇත්තක් කරවමි” යි කී ය. රජ තෙමේ සතුටුව

14. ඔහුට (කහවණු) දහසක් වටිනා වස්ත්‍ර යුගළක් ද මෙසේ ම ආභරණ හා පාවහන් යුගළක් ද කහවණු fදාළොස් දහසක් ද දුන්නේ ය.

15. රජ තෙමේ ‘මිනිසුන් පීඩාවට පත් නො කර කෙසේ ගඩොල් ගෙන්වන්න ද?’ යැයි රාත්‍රියේ සිතුවේ ය. දෙවිවරු ඒ සිත දැක

16. එක එක දවසට වුවමනා ගඩොල් එක එක රැයට ගෙනවිත් චෛත්‍යයේ සතර දොරටුවේ තැබූහ.

17. ඒ අසා සතුටු වූ සිත් ඇති රජ තෙමේ චෛත්‍යය කරවීම ඇරඹි ය. මෙහි නොමිලයේ කර්මාන්ත නො කළ යුතු යැයි ද දැන්වුවේ ය.

18. එක් එක් දොර දහසය ලක්ෂය බැගින් කහවණු ද බොහෝ වූ වස්ත්‍රයන් ද තැබ්බ වී ය.

19. විවිධාකාර ආභරණ ද පාන වර්ග සහිත වූ ඛාද්‍ය භෝජ්‍යයන් ද සුවඳ මල්, උක් සකුරු ආදිය ද මුව සුවඳ කරවන (බෙහෙත්) වර්ග පස ද

20. “කැමති වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය කැමති සේ ගනිත්වා!” යි කියා තැබ්බවූයේ ය. රජුගේ කම්කරුවෝ එසේ ම කළහ.

21. එක් භික්ෂූන් වහන්සේනමක් චෛත්‍ය කර්මාන්තයට සහාය වීමට පතන්නේ තමන් විසින් කරවන ලද මැටි පිඩක් ගෙන

22. චෛත්‍ය ස්ථානයට පැමිණ රජුගේ කම්කරුවන් රවටා එය වඩුවාට දුන්නේ ය. හෙතෙමේ (එය) ගනිමින් ම (වෙනස් එකක් බව) දැන ගත්තේ ය.

23. ඒ භික්ෂුවගේ ස්වභාවය දැක ඔහුට කුතුහලයක් උපන්නේ ය. රජ තෙමේ පිළිවෙළින් එය අසමින් ආවේ වඩුවාගෙන් විමසුවේ ය.

24. “දේවයන් වහන්ස, භික්ෂූන් වහන්සේලා එක අතකින් මල් ගෙන එක අතකින් මට මැටි පිඩු දෙත්හ. මම වනාහී

25. මේ ආගන්තුක භික්ෂුවකි, මේ නේවාසික භික්ෂුවකි යි නො දනිමි.” යි කී බස් අසා රජ තෙමේ

26. මැටි පිඩ දුන් භික්ෂුව දක්වනු පිණිස එක් යුද භටයෙක් එවී ය. හෙතෙමේ යුද භටයාට (ඒ භික්ෂුව) දැක්වී ය. යුද භට තෙමේ රජුට දැනුම් දුන්නේ ය.

27. ඒ රජ තෙමේ යුද භටයා ලවා මහ බෝ මළුවේ දෑ සමන් මල් කැකුළු කළ තුනක් තබ්බවා (ඒ) භික්ෂුව හට දුන්නේ ය.

28. (නිධාන කරුණු) නො දැන එය පූජා කරන ලද භික්ෂුව හට යුද භට තෙමේ (ගඩොල් ණය ගෙවීම මේ බව) දැන්වුවේ ය. එවිට ඒ භික්ෂූන් වහන්සේ (සිදු වූ දෙය) දැන ගත්තේ ය.

29. කෙලිවා නම් ජනපදයේ පියංගල වාසී ස්ථවිරයන් වහන්සේනමක් චෛත්‍ය කර්මාන්තයට සහාය වීමට පතා

30. එහි පැමිණියහ. ගඩොල් වඩුවාට ඤාතී වූ ඒ (ස්ථවිර) තෙමේ එහි ගඩොල් හඳුනාගෙන ඒ ගඩොල් හා සමාන ගඩොලක් කොට

31. කම්කරුවන් රවටා එය වඩුවාට දුන්නේ ය. හෙතෙමේ ඒ (ගඩොල) එහි යෙදුවේ ය. එයින් කෝලාහල ද ඇති විය.

32. රජ තෙමේ ඒ අසා “ඒ ගඩොල දැනගත හැකි ද?” යැයි විමසී ය. වඩු තෙමේ දනිමින් ම “නො දනිමි” යි රජු හට කීවේ ය.

33. “ඔබ ඒ ස්ථවිරයන් වහන්සේ ව දන්නේ ද?” යැයි විමසන ලද්දා වූ ඒ (වඩු තෙමේ) “එසේ ය” යැයි කී ය. ඒ (ස්ථවිර තෙමේ) දන්වනු පිණිස රජ තෙමේ ඔහු හට යුද භටයෙක් පැමිණවූයේ ය.

34. යුද භට තෙමේ එසේ ස්ථවිරයන් වහන්සේ ව හැඳින රජුගේ අනුදැනුමෙන් එළඹියේ කට්ඨහාල පිරිවෙනේ දී ස්ථවිරයන් වහන්සේව දැක කථා කොට

35. තෙරුන් වහන්සේ වඩිනා දවස ද වඩිනා ස්ථානය ද දැන “ඔබ වහන්සේලා සමග ම සිය රට යමි.” යි කීවේ ය.

36. (හෙතෙමේ ආපසු පැමිණ) රජු හට සියල්ල දැන්වූයේ ය. රජ තෙමේ දහසක් අගනා වස්ත්‍ර යුගළක් ද මහඟු රතුකම්බිලියක් ද

37. බොහෝ ශ්‍රමණ පිරිකර ද සකුරු ද සුවඳ තෙල් නැළියක් ද (ඒ යුද භටයාට) දී අනුශාසනා කළේ ය.

38. හෙතෙමේ තෙරුන් හා ගොස් පියංගල වෙහෙර පෙනෙන තැන දී ස්ථවිරයන් වහන්සේ දිය සමීප වූ සිසිල් සෙවණක වඩා හිඳුවා

39. සකුරු හා පැන් පොවා, (සුවඳ) තෙලින් දෙපා පිරිමැද වහන් යොදා පිරිකර දුන්නේ ය.

40. “මේ පිරිකර මා කුළුපඟ තෙරුන් වහන්සේනමකට ගත්තෙමි. මේ වස්ත්‍ර යුගළ මා විසින් පුත්‍රයා හට ගන්නා ලද්දේ ය. ඒ සියල්ල ඔබ වහන්සේට දෙමි.” යි

41. මෙසේ ඒ පිරිකර දි පිරිකර රැගෙන වඩිනා තෙරුන්ට වැඳ රජුගේ වචනයෙන් රජුගේ පණිවිඩය හෙතෙමේ කීවේ ය.

42. මහා සෑය කරවන ලද කල්හි බැල මෙහෙවරකම් කළ බොහෝ ජනයා ප්‍රසන්න වූවෝ සුගතියට ගියෝ ය.

43. බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාද මාත්‍රයෙන් වා සුගතියේ උපත ලබන්නේ ය යැයි දැන නුවණැත්තෝ චෛත්‍ය පූජාව කරන්නෝ ය.

44. මෙහි ම බැල මෙහෙවරකම් කොට කාන්තාවන් දෙදෙනෙකු තව්තිසා දෙව්ලොව උපන්නේ මහා සෑය නිමවූ කල්හි

45. දෙදෙනාගේ පූර්ව කර්මයන් සිහි කොට (මහා සෑ කරවීමේ) කර්ම ඵලය දැක ගඳමල් රැගෙන සෑය පුදන්නට පැමිණියෝ ය.

46. (ඔවුහු) ගඳමලින් පුදා සෑය අභිවන්දනය කළ එවෙලෙහි භාතිවංග වෙහෙරවාසී මහාසිව ස්ථවිරයන් වහන්සේ

47. රාත්‍රි කාලයේ මහා සෑය වඳින්නෙමි යි එහි පැමිණ ඔවුන් දෙදෙනාව දැක මහා සප්තපණ්ණී වෘක්ෂය අසල සිටියේ

48. තමන් නො දකින අද්භූත සම්පත්තීන් දකිමින් සිට ඔවුන්ගේ වන්දනා අවසානයේ ඔවුන් විමසමින්

49. “සකල දිවයින ම ඔබගේ ආලෝකයෙන් යුතු වෙයි. මෙහි ඔබ කවර පුණ්‍ය කර්මයක් කොට මෙයින් දෙව්ලොවට ගියෝ ද?” (යැයි ඇසූහ.)

50. දෙව් දූවරුන් මහා සෑයේ කළ කටයුතු උන්වහන්සේට කියූහ. මෙසේ තථාගතයන් වහන්සේ කෙරෙහි ම පැහැදීම මහත්ඵල වන්නේ ය.

51. මහා සෑයේ මල් ආසන තුන ගඩොලින් ඉදි කොට නිමවන ලදී. ඍද්ධිමත්හු පොළව හා සමවන පරිදි (ඒ සියල්ල) ගිල්වූහ.

52. නව වරක් ම ඉදි කරන ලද සියල්ල ඒ ඍද්ධිමතුන් පොළවේ ගිල්වූහ. ඉක්බිති රජ තෙමේ භික්ෂු සංඝයා රැස් කරවූයේ ය.

53. ඒ සමාගමයේ අසූදහසක් භික්ෂූන් වහන්සේලා කරා රජ තෙමේ පැමිණ වැඳ පුදා

54. ගඩොල් ගිලී යාමට හේතුව විමසුවේ ය. සංඝයා වහන්සේ එය විසඳන ලද්දේ ය. “සෑය නො ගිලෙනු පිණිස ඍද්ධිමත් භික්ෂූන් වහන්සේලා විසින් මෙය කරන ලදී.

55. මහ රජතුමනි, (දැන්) එසේ නො කරනු ලැබේ. අන් දෙයක් නො කොට ඒ මහා සෑය නිමවන්න.”

56. ඒ අසා පහන් සිත් ඇති රජ තෙමේ ථූපයේ කටයුතු කරවී ය. මල් ආසන දහයේ ගඩොල් දස කෝටියක් විය.

57. භික්ෂූ සංඝයා වහන්සේ උත්තර හා සුමන යන සාමණේරවරුන් දෙදෙනා වහන්සේ ව “චෛත්‍යයේ ධාතු ගර්භය පිණිස මේඝවර්ණ පාෂාණ

58. මෙහි ගෙන එන්න.” යැයි මෙහෙයවන ලදහ. ඒ දෙදෙනා වහන්සේ උතුරුකුරු දිවයිනට ගොස් අනූරියන් දිග පළල ඇති, හිරු මඬල සේ බබළන

59. අටඟුල් බොල් ගැට මල් බඳු යහපත් මේඝවර්ණ පාෂාණ හයක් එයින් සැණෙකින් ගෙන ආහ.

60. මල් යහන් මතුපිට මධ්‍යයේ ඉන් එක් ගලක් අතුරා සතර දිශාවෙන් (ගල්) සතරක් මංජුසාවක් සේ වසා

61. මහත් ඍද්ධි ඇති උන්වහන්සේලා විසින් එක් ගලක් පියන (ලෙස වැසීම) පිණිස නැගෙනහිර දෙසින් නො පෙනෙන ලෙස තබන ලද්දේ ය.

62. ඒ රජ තෙමේ ධාතු ගර්භය මධ්‍යයේ සර්වාකාරයෙන් ම මනරම් වූ මාණික්‍යමය බෝරුකක් කරවී ය.

63. ඒ බෝධි වෘක්ෂයේ කඳ රියන් දහ අටකි. අතු ශාඛාවන් පහකි. පබළුමය මුල ඉඳුනිල් බිමක පිහිටියේ වී ය.

64. (එහි) කඳ පිරිසිදු රිදියෙනි. මැණික්වලින් කළ පත්‍රයන්ගෙන් ශෝභමාන වූයේ ය. රනින් කරවූ පැසුණු කොළ හා ඵල ඇත්තේ ය. පබළුමය අංකුර ඇත්තේ ය.

65. ඒ බෝධියේ කඳේ අෂ්ට මංගලිකා ය, පුෂ්පලතාවන් ය, සිවුපා පේළි ය, ශෝභමාන හංස පේළි ය.

66. (එහි) ඉහළ සුන්දර වූ වියනේ මුතු හා කිංකිණි ජාල ය. රනින් කළ ඝණ්ටා පේළි ය. ඒ ඒ තැන මල්දම් ය.

67. වියනේ සතර කොණ මුතුවලින් කළ කලාප ඇත්තේ ය. එල්ලන ලද ඉන් ඒ එක එක නව ලක්ෂයක් අගනා වී ය.

68. හිරු සඳු තාරකා රූපයන් ද නොයෙක් නොයෙක් පියුම් ද මැණික්වලින් නිමවන ලද්දේ වියනේ අමුණන ලද්දේ ය.

69. විවිධාකාර වූ මහානර්ඝ වර්ණ ඇති අටතුරා දහසක් වස්ත්‍රයන් ද වියනේ එල්ලන ලද්දේ ය.

70. බෝධීන් වහන්සේ වටකොට නොයෙකුත් මැණික්වලින් කරවූ පිල්කඩ මතුපිට විසල් නෙල්ලි (වැනි වූ) මුතු අතුරන ලද්දේ ය.

71. නොයෙක් නොයෙක් මැණික් පුෂ්පයන් ද සිවුදෑ ගඳ දියෙන් ද පිරුණා වූ පුන් කලස් පේළි බෝ මුල තබන ලද්දේ ය.

72. බෝධීන් වහන්සේට නැගෙනහිරින් පනවන ලද අනර්ඝ පර්යංකයේ ප්‍රභාෂ්වර වූ රන්මුවා බුදු පිළිමයක් වඩා හිඳුවන ලද්දේ ය.

73. ඒ ප්‍රතිමා වහන්සේගේ ශරීර අවයවයෝ සුදුසු වූ පරිද්දෙන් නොයෙක් නොයෙක් මැණික්වලින් කරවන ලද්දේ අභිරූපී වී ය.

74. රිදී ඡත්‍රය දරන මහා බ්‍රහ්ම තෙමේ (අඹා) එහි තබන ලද්දේ ය. අභිෂේකදායක සක්‍ර තෙමේ ද විජයතුරා සක් ඇතිව (අඹා එහි) තබන ලද්දේ ය.

75. වීණා ගත් අත් ඇති පංචශිඛ ද නාටිකාංගනාවන් පිරිවරා ගත් කාලනාග (නාග තෙමේ) ද පිරිවර සහිත වූ දහසක් අත් ඇති මාර තෙමේ ද (අඹා) එහි තබන ලද්දේ ය.

76. නැගෙනහිර දිශාවේ පර්යංකය අයුරට ම සෙසු තුන් දිශාවේ ද කෝටියක්, කෝටියක් බැගින් වස්තු අගනා පර්යංකවල අතුරන ලද්දේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ථූපය (සෑදීමේ කටයුතු) ඇරඹීම’ නම් වූ විසි නවවන පරිච්ඡේදයේ මී ළඟ කොටස ලබන කලාපයේ.)