සීලය කියන්නෙ උත්තරීතර නිවන් මඟ ආලෝකවත් කරන දෙයක්. නිවන් මඟට පිවිසෙන කෙනාට පනවන ලද සංවර විය යුතු සුන්දර ධර්මයක් තමයි සීලය කියන්නේ. ගිහි ජීවිතය අත් හැර අනගාරික පැවිද්දට පැමිණෙන ජීවිතයකට බුදුරජාණන් වහන්සේ විසින් පනවන පළමු අවවාදය තමයි සීල සංවරය කියන්නේ. අනගාරික පැවිද්දට පැමිණි ශ‍්‍රාවකයා ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා. යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වෙනවා. ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ සමාදන්ව හික්මෙනවා. කුසල් සහගත කාය හා වචී කර්මයෙන් යුතු වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්නවා. නුවණින් සලකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුතුව ඉන්නවා. ලද දෙයින් සතුටුව ඉන්නවා.
ආකංඛෙය්‍ය සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ට මෙසේ තවදුරටත් අවවාද කොට වදාළා.
‘‘එ් වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම් ‘මම සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට ප‍්‍රිය කෙනෙක් වෙනවා. කැමති කෙනෙක් වෙනවා. ගරු බුහුමන් ලබන සම්භාවනීය කෙනෙක් වෙනවා’ කියල, එ් භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නො වී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.”
බලන්න, මෙය සුන්දර අවවාදයක්. තමාට වඩා සීලයෙන් උසස්, ගුණයෙන් උසස් උතුමන්ගේ ඇසුරක් ලැබීම තමයි මේ නිවන් මඟ පරිපූර්ණ කරගන්නට එක එල්ලේ ලැබෙන උපකාරය වන්නේ. කලණ මිතුරු ඇසුර යනු නිවන් මඟට පරිපූර්ණ උපකාරයක් බවයි ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන්නේ. ගරුසරු භාවයකින් තොරව පවත්වන ඇසුරක් ප‍්‍රිය ඇසුරක් නම් වෙන්නෙ නැහැ. අප‍්‍රිය ඇසුරකින් වාසය කරන කෙනා සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා හට කැමති කෙනෙක් වෙන්නේ නැහැ. එ් වගේ ම අන්‍යයන්ගෙන් ගරු බුහුමන් ලබන කෙනෙක් වෙන්නෙත් නැහැ. එහෙනම් ශ‍්‍රාවක ජීවිතයක් සීලයෙන් සංවර වීමේ ප‍්‍රධානතම කාරණයක් තමයි සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට ප‍්‍රිය කෙනෙක් වීම කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණය ගැන හොඳින් පැහැදිලි කොට දෙනවා. ගුලිස්සානි නම් ගොරෝසු ගති පැවතුම් ඇති ස්වාමීන් වහන්සේනමක් උදෙසා කළ අවවාද තමයි එ් දේශනාවේ අඩංගු වන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
‘‘ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් ව යි සිටිය යුත්තේ. ඉදින් ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසී භික්ෂුව සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අගෞරව සහිතව යටහත් පහත් බවෙන් තොරව සිටියොත් ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තියෙනවා. ‘කිම? මේ ආයුෂ්මතුන් ආරණ්‍යවාසීව, හුදෙකලාවේ අරණ්‍යය තුළ නිදහස්ව වාසය කළා කීමේ අරුතක් තිබේ ද? මේ ආයුෂ්මතුන් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැහැ නෙව. යටහත් පහත් බවක් නැහැ නෙව’ කියල ඔහු ගැන නුගුණ කියන්නට ඉඩ තිබෙනවා. එනිසා අරණ්‍යවාසී භික්ෂුව විසින් සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසමින් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් බවෙන් යුක්තව වාසය කළ යුතුයි.” (ගුලිස්සානි සූත‍්‍රය – ම. නි. 02)
ලෝකයෙන් අපට පෙන්වා දෙන්නේ, යටහත් පහත් භාවය කියන්නෙ නිදහස අවුරන දෙයක් හැටියටයි. නීච දෙයක් හැටියටයි. සන්සිඳීම නැති කරන දෙයක් හැටියටයි. එ්ත් ධර්මය තුළ හාත්පස වෙනස් ගුණයක් උපදවන්නට යටහත් පහත් භාවය හේතු වෙනවා. වැඩිහිටි සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි යටහත් පහත් භාවයෙන් වාසය කිරීම කියන්නෙ සුන්දර අවවාද ලැබෙන පරිසරයක් අපට උදා කර දෙන කාරණයක්. ගෞරවයෙන් යුතුව අවවාද ලබාගන්නා ශ‍්‍රාවකයාට කීකරුකමින් බුද්ධ වචනය පිළිපදින්නට අවස්ථාව ලැබෙනවා. අන්න එ් කෙනා සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට ප‍්‍රිය කෙනෙක් වෙනවා. සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා හා එකට වාසය කරනකොට චෝදනා නො ලබන කෙනෙක් වෙන්නට, සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මෙසේ තවදුරටත් ස්වාමීන් වහන්සේලාට ලබා දෙන අවවාද සිහිපත් කර ගනිමු.
‘‘ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී ඉතා උදෑසන ගමට නො පිවිසිය යුතුයි. ඉතා දහවල් ද ගමින් නො පැමිණිය යුතු ය.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී පෙරවරු කාලයෙහි වේවා, පස්වරු කාලයෙහි වේවා දායක පවුල්වල නො හැසිරිය යුතුයි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී උඩඟු නො විය යුතු ය. චපල නො විය යුතු ය.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, සංඝයා අතර වසද්දී කටමැත දොඩන්නෙක් නො විය යුතු ය. විසුරුණු වචන ඇත්තෙක් නො විය යුතු ය.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් ද සංඝයා මැදට පැමිණ, අවවාදයට කීකරු විය යුතු යි. කලණ මිතුරන් ඇත්තෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් ඇස්, කන් ආදි ඉන්ද්‍රියයන් සංවර කරගෙන වාසය කළ යුතු ය.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් නුවණින් ප‍්‍රත්‍යවේක්ෂා කරමින් ම දන් වළඳන කෙනෙක් විය යුතු ය.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් නිදි වරමින් බණ භාවනාවෙහි යෙදෙන කෙනෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් අකුසල් දුරලීම පිණිසත්, කුසල් වැඞීම පිණිසත් අරඹන ලද වීරිය ඇති කෙනෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් සතර සතිපට්ඨානයෙහි සිහිය පිහිටුවා ගෙන සිටින කෙනෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් සමාධිමත් සිතක් ඇති කෙනෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව ප‍්‍රඥාවෙන් යුක්ත කෙනෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් ගැඹුරු ධර්මයෙහිත්, ගැඹුරු විනයෙහිත් යෙදීමට උත්සාහ කරන කෙනෙක් විය යුතු යි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසිනුත් රූප සමාපත්ති ඉක්මවා ගිය යම් අරූපී ශාන්ත විමෝක්ෂයක් ඇද්ද, එබඳු සමවත් තුළ ද යෙදීමට උත්සාහ කරන කෙනෙක් විය යුතුයි.
ප‍්‍රිය ආයුෂ්මතුනි, අරණ්‍යවාසීව සිටින භික්ෂුව විසින් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ මාර්ග ඵලාදියක් ඇති කර ගැනීම පිණිස බොහෝ සෙයින් උත්සාහ කළ යුතුයි.”
(ගුලිස්සානි සූත‍්‍රය – ම. නි. 02)
මෙසේ හික්මීම ඇති කර ගැනීමෙන් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් චෝදනා නො ලබන චරිතයක් වෙන්නට අවස්ථාව උදා වෙනවා. එතැන ම එ් භික්ෂූන් වහන්සේට ප‍්‍රිය ඇසුරක් උපදිනවා නේ ද? එ් නිසා සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට කැමති කෙනෙක් වෙලා, ගරු බුහුමන් ලබන කෙනෙක් වෙලා, ප‍්‍රිය ඇසුරක් ඇති කරගෙන වාසය කරන භික්ෂුවට, ආකංඛෙයිය සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙන්නේ කුමක් ද? ‘‘එ් භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නො වී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.” කියල පෙන්වා දෙනව.
අවවාද ලැබෙන උල්පත, අවවාද ලැබෙන පැන් තොට, නිර්මාණය වීමට මේ ගරුසරුභාවය ම යි හේතු වන්නේ. එහෙනම් මේ ධර්මයන් අසන විට අපටත් බොහෝ කාරණා ජීවිතයට ගළපාගෙන පුරුදු කිරීමේ භාග්‍යය උදා වෙනවා නේ ද? අපිත් අන්‍යයන්ගෙන් චෝදනා නො ලබන අය වෙනවා කියල හික්මීමක් ඇති කර ගැනීම ඉතා වැදගත්. සීලය සම්පූර්ණ කරනවා කියන්නෙ සිල් පද සමාදන් වෙලා හිතලූ විදිහට වාසය කරන එකක් නෙවෙයි කියල මේ ධර්ම කාරණාවලින් හෙළි වෙනවා. සීලය තුළ ඉඳගෙන වඩන්න ඕන ධර්ම කාරණා මේ ආකාරයෙන් අසන විට ශ‍්‍රාවකයා තමන්ගෙ ජීවිතයට එ් කාරණා ඔස්සේ පුරුදු කර ගත යුතු අංග හඳුනාගන්නට දක්ෂ වෙන්න ඕන. පැවිදි ජීවිතයකට ලැබෙන අවවාද පැවිදි ජීවිතයේ සීලය සම්පූර්ණ කරන්නට උපකාර වන නිසා එ්වා ගිහි අපට අදාළ නැහැ කියන මතයේ ඉන්න එක නිවනට අනතුරක් ම යි. එ් අවවාද හොඳින් කියවා ගිහි ජීවිතයකට අනුරූප පරිදි සීල සංවරය උපදවා ගැනීමට කළ යුත්ත නො කළ යුත්ත මනා කොට හඳුනාගන්නයි ඕන. ‘‘මම භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. ශ‍්‍රාවකයෙක්ගෙන් අපේක්ෂා කළ ප‍්‍රතිපදාව මං අනුගමනය කරන කෙනෙක් වෙනවා” කියන අදහස තුළයි මේ සියලූ ධර්මයන් අපි පුරුදු කරන්න ඕන. නැත්නම් සිතේ වැඩෙන ධර්මයන් අපි පිළිගන්නෙ ”මම මේ ධර්මයන් උපදවා ගත්තා. මගේ මේ හැකියාවන් වැඩෙනවා, මේවා මා වසඟයේ පවතින ධර්මයන්” හැටියට යි.
‘අප ශ‍්‍රාවකයන් ය’ යන දරා ගැනීමෙන් සමන්විත ව, අපට ද ගරුසරු භාවයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරමින් සීලය පරිපූර්ණ කර ගැනීමේ වාසනාව උදා වේවා!
මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK
මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments