බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේඝිය කියලා ස්වාමීන් වහන්සේනමක් සිටියා. උන් වහන්සේ කාලයක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. දවසක් මේඝිය ස්වාමීන් වහන්සේ වඩිද්දී ලස්සන අඹ වනයක් ළඟින් ලස්සන ගඟක් ගලනවා දැක්කා. ඉතින් මේක දැකලා උන් වහන්සේට ‘අනේ මෙතැන නම් කුසල් වඩන්න යස තැන’ කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේටත් ගිහින් කිව්වා.

‘‘භාග්‍යවතුන් වහන්ස, මට හොඳ තැනක් හම්බ වුණා. ලස්සන අඹ වනයක්. මට හොඳටම විශ්වාසයි මම එතැනට ගිහිල්ලා වාඩිවෙලා භාවනාව පටන් ගත්තොත් හරි කියලා.”

බුදුරජාණන් වහන්සේ දන්නවා මේක හරි යන්නේ නෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එ්ක එක පාරට කිව්වේ නෑ.‘‘පොඞ්ඩක් ඉන්න භික්ෂුව. තව කවුරු හරි එනකම්” කිව්වා.

මේඝිය ස්වාමීන් වහන්සේට මේක තේරුණේ නෑ. ආයෙමත් එ්ක ම කිව්වා. බුදුරජාණන් වහන්සේ එ් පාරත් එ් පිළිතුර ම දුන්නා. තුන්වෙනි වතාවේත් ඇහුවා. එ් පිළිතුර ම දුන්නා.

‘‘අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නම් කර ගන්න තියෙන කරුණු ඔක්කොම කරගෙනනේ තියෙන්නේ. මටනේ ප‍්‍රශ්නේ” කිව්වා. ‘‘එහෙම නම් ඉතින් යන්න” කිව්වා. ඔන්න දැන් ගියා. ගිහින් ගඟ අයිනේ වාඩිවෙලා භාවනා කරන්න පටන් ගත්තා. නමුත් වුණේ බලාපොරොත්තු නො වූ දෙයක්. මෙතෙක් සිතපු නැති, කල්පනා නො කළ අකුසල් හටගන්න පටන් ගත්තා. එතකොට බලන්න, මේ සිතේ තියෙන සංසාරගත දේවල් ඉස්මතු වෙන තැන් හොයන්න බැරි හැටි.

එතකොට මේ ස්වාමීන් වහන්සේ පුදුම වුණා, ‘‘අනේ මම බොහොම ශ‍්‍රද්ධාවෙන් පැවිදි වුණු කෙනෙක්. මේ මොනවද මගේ සිතේ ඇති වෙන දේවල්? ඊට පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. සියලූ විස්තර කියා සිටියා. එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘පින්වත් භික්ෂුව, ඔතැන ඔබ ආත්මභාව පන්සීයක් රජකම් කරපු තැනක්. උයන් කෙළියේ යෙදුණු තැනක්. එ් නිසා එතැනට ගියා විතරයි එ්ක මතු වුණා” කියලා. බලන්න, මේ සසරේ ස්වභාවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිවන පිණිස නොමේරූ සිත මේරීම පිණිස කරුණු පහක් පෙන්වා දුන්නා. කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සීලය, සිහිය, ආරද්ධ වීරිය, ප‍්‍රඥාව ආදි කාරණා දියුණු කර ගැනීම පිණිස කරුණු කිව්වා. උන් වහන්සේ පස්සේ අරහත්වයට පත් වුණා.

එතකොට අපට පේනවා, බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දී පවා වීර්යයෙන්, උත්සාහයෙන් ම යි ජය අරන් තියෙන්නේ. එ් අඛණ්ඩ උත්සාහය, අඛණ්ඩ වීර්යය පවත්වන්නේ පින් බලෙන්. කෙනෙක් අකුසලයට යන්නේ අකුසල් බලෙන්. අකුසලය බලවත් නම් එයා අකුසලයට ම ඇදිලා යනවා. කුසලයට එන්නේ නෑ.

එ්කනේ බුදුරජාණන් වහන්සේ දේවදත්තවත් බේරාගන්න බැලූවාට බැරුව ගියේ. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා, ”ආනන්දය, මම දේවදත්ත ගැන තරම් බේරාගැනීම පිණිස වෙන කවුරු ගැනවත් මෙච්චර හොයලා නෑ.

එ්ක හරියට මේ වගේ. මනුෂ්‍යයෙක් අසූචි වළක ගිලෙනවා. අසූචි ගාගන්න අසතුටු කෙනෙක් මේ වළ වටේ ඇවිදිනවා, අල්ලලා උඩට අදින්න මෙයාගේ අසූචි තැවරුණු නැති තැනක් හොයා ගන්න තියෙනව ද කියලා. නමුත් එ් කෙනාගේ අසූචි නො ගෑවුණු කෙස් ගහක ප‍්‍රමාණයක්වත් නෑ. ආනන්දය, එ් වගේ ම මම දේවදත්ත ගැන බැලූවා. නමුත් ඔහු තුළ කෙස් ගහක ප‍්‍රමාණයේ කුසලයක්වත් ඉතිරි වෙලා තිබුණේ නෑ. මට කෙස් ගහක ප‍්‍රමාණයේ කුසලයක් අහුවුණා නම් මම එ්කෙන් අල්ලලා උඩට අදිනවා.”

එහෙම නම් අපට තේරෙනවා, බුදුකෙනෙක් වැඩසිටියත් උඩට යන්න නම් කෙස් ගහක තරම්වත් කුසලයක් තියෙන්න ඕන. එ් නිසා බුදුවරු මුණගැහුණා කියලා, ධර්මය ඇහුණා කියලා එපමණකින් ම මේක සිද්ධ වන්නේ නෑ. මේ සඳහා තමන්ගේ ජීවිතය තුළ වැඩුණු පින් බලයක්, කුසල් බලයක්, ප‍්‍රඥාවක් වුවමනයි.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !