වප් මස අව පෑළවිය (වප් පුර පසළොස්වක පොහොය දිනට පසු දින) පටන් ඉල් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කාලය ශාසන ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ‘චීවර මාසය’ කියලයි… ඇසළ පුන්පොහෝ දිනයේ පෙරවස් සමාදන් වී, තුන් මාසයක් පුරා මැනැවින් වස් ආරක්ෂා කළ උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරමින් සිදු කරන විනය කර්මයන් මේ චීවර මාසයේ දී යි සිදු වන්නේ…

කඨිනය බවට පත් වන වස්ත්‍රය ලෙස ගැනෙන්නේ තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණවත් වන වස්ත්‍රයක්. වසරකට එක් වතාවක් ම පමණක් පූජා කළ හැකි, එක් විහාරස්ථානයකට එකක් පමණක් ම පූජා කළ හැකි, එසේ පුදන ලද චීවරය පිළිගන්නා සංඝයා විසින් චීවරය ලැබීමට තෝරා ගන්නා භික්ෂුවට පස් මසක් ගත වන තුරු විනය ප්‍රතිපත්ති පහක් පිළිබඳ ව විශේෂ පහසුකම් ඇති කරවන – එහෙයින් ම පූජා කරන දායකයනට සොඳුරු පින් ඵල උපදවන කඨින චීවර පූජාවන් හැකි උසස් ම අයුරින් සිදු කිරීම ලක්වැසි බොදුනුවන්ගේ සිරිතක්… අසිරිමත් මුනිවරුනගේ ගත වසන කසාවත බොහෝසෙයින් පිදුම් ලබනා මේ චීවර මාසයේ, ඔබ අප කාටත් සිත පහදවාගෙන ම ඒ පින්කම්හි කොටස්කරුවන් වීම පිණිසයි මේ සටහන තබන්නේ…

අසංඛ්‍යෙය කල්ප සතරකුත් කල්ප ලක්ෂයක් සමතිස් පාරමී ධර්මයන් පූරණය කරමින් පැමිණ, බුද්ධකාරක ධර්මයන් පරිපූර්ණ කොටගෙන අවසන් සිරුර දරාගෙන මනුලොවට වැඩම කළ සිද්ධාර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේට සදහටම සසරේ ගිහි බන්ධන බැහැරලන දිනය උදා වූයේ විසිනව වන වියෙහි දී… ඇසළ පුරසඳ මඬල මිහිකත සඳදියෙන් සෝදා හැරිය, රාහුලයන් මව්කුසින් බිහි වූ දිනයේ රාත්‍රියේ ජාති ජරා මරණ දුක් ඉක්මවන – සසර සැඩ පහර බිඳහරින සම්මා සම්බුද්ධ රාජ්‍යය ම අරමුණු කොටගෙන මහාබිනික්මනේ යෙදුණු මහ බෝසතාණන් වහන්සේ අනෝමා ගංතෙර දී ‘අපගේ පැවිද්ද ද අනෝම (අළාමක) වන්නේ ය’ යැයි සිත් උපදවමින් සසරේ අසුපිටින් යන ගමන් ද සදහට ම කෙළවර කළා…

එසේ අසුපිටින් බට මහ බෝසතාණන් වහන්සේට මෙබඳු සිතුවිල්ලක් උපන්නා. ‘මේ කෙස් ශ්‍රමණ සාරුප්‍ය නොවෙයි. ඒවා කඩුවෙන් කපමි.’ මහ බෝසතාණන් වහන්සේ කෙස් සිඳ අහසට දැමූ කල්හි සක්දෙව් රජු රන් කරඬුවකින් ඒ කෙස්වැටිය පිළිගෙන තව්තිසාවෙහි සිළුමිණි නම් සෑය පිහිටුවාලූවා. කෙස් සිඳ හැරි මහ බෝසතාණන් වහන්සේට මේ සිතුවිල්ලත් උපන්නා. ‘මේ කසී සළු මාගේ පැවිද්දට නොගැළපෙයි.’… බුද්ධාන්තරයකට පෙර වූ කාශ්‍යප සම්බුද්ධ ශාසනයේ මහ බෝසතාණන් වහන්සේ සමඟ මිත්‍රධර්මයෙන් බැඳී සිටි ‘ඝටීකාර’ නම් වූ අනාගාමී උපාසකතුමන් ‘ඝටීකාර’ නමින් ම ඒ වනවිටත් මහාබ්‍රහ්මයා ව පහළ වී සිටියා පමණක් නොවෙයි; මේ අසිරිමත් මොහොතේ මහ බෝසතාණන් වහන්සේගේ සිත ඒ මහාබ්‍රහ්මයා දුටුවා. ‘අද මාගේ මිත්‍රයා මහබිනික්මන් කළේ ය. එතුමාට ශ්‍රමණ පරිෂ්කාර ගෙන යමි.’ යි සිතා ඝටීකාර මහාබ්‍රහ්මයා තුන්සිවුර ද පාත්‍රය ද කරය ද හිඳිකටුව ද පෙරහන හා කායබන්ධන ද යන මේ අටක් වූ ශ්‍රමණ සාරුප්‍ය පිරිකර ගෙනවිත් මහ බෝසතාණන් වහන්සේට පිදුවා. ඒ උතුම් ශ්‍රමණ පිරිකර දරා, අරහත් ධජය පොරවා මහ බෝසතාණන් වහන්සේ පැවිදි වෙස් ගත්තා… ඔව්… සම්බුදු සසුනේ චීවර ධාතුව ලොවට දකින්නට ලැබුණේ මහාබ්‍රහ්මයාගේ පූජාවකින්…!

ගයාවේ වජිරාසනය මත වැඩහිඳිමින් අපගේ ශාස්තෘන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය දිනූ මොහොතේ සම්බුදු සිරුර වසා පෙරවුණු සුගත් චීවර ධාතුව අද දක්වා ම ඒ සම්බුදු සසුනේ සරුකෙත බවට පත් වන සියලු පැවිදි ශ්‍රාවකයන්ගේ මහානීය උරුමයක්… තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩි කල්හි සම්බුදු ශ්‍රී දේහයේ ආදාහන කටයුතු නිමවා කුසිනාරාවේ සිට රජගහනුවර කරා පාගමනින් වැඩම කළ අපගේ ආනන්දයන් වහන්සේ සුගත තථාගත චීවරයත්, පාත්‍රයත් බොහෝ පුදසත්කාර මධ්‍යයේ වැඩම කරවූවා. පස්විසි වසක් පුරා සම්බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල මෙන් ළඟ රැඳෙමින්, මෛත්‍රී සහගත කාය කර්මයෙන්, මෛත්‍රී සහගත වචී කර්මයෙන්, මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් බුද්ධ උපස්ථානයන් සිදු කළ ආනන්දයන් වහන්සේ පිරිනිවන් වැඩි මුනිඳුගේ චීවර ධාතුව උදෙසා ද ඒ අයුරින් ම පුදසත්කාර කළා…

සම්බුදු සසුනේ මුල් අවධීන්වල දී ශ්‍රාවක සංඝයා පැවිදි උපසම්පදාව ලැබූයේ ‘ඒහිභික්ඛු’ භාවයෙන්. සම්බුදුරජුන් වදහළ දහම් අසා ප්‍රමුදිත වූ සිතින් යුතුව සසුන් බඹසර ම රුචි වූ ශ්‍රාවකයන් පැවිදි උපසම්පදාව ඉල්ලා සිටි කල්හි සම්බුදුරජාණන් වහන්සේ, “භික්ෂුව මෙහි එන්න. දුක කෙළවර කිරීම පිණිස මැනැවින් දේශනා කරන ලද සසුන් බඹසරෙහි හැසිරෙන්න.” යනුවෙන් වදාරණ විට ඒ බුද්ධ වචන පමණකින් ම ගිහි ඇඳුම් අතුරුදන් ව පාත්‍ර සිවුරු පහළ වී ශාන්ත විහරණ ඇති භික්ෂු රුවකින් ඒ උදවිය පෙනී යනවා. එය අසිරිමත් ප්‍රාතිහාර්යයක්. මහා අද්භූත ඉර්ධිමත් පැවිදි උපසම්පදාවක්. ශාස්තෘන් වහන්සේ බ්‍රහ්මයෙකුගේ පූජාවකින් සිවුරු ලැබුවා; ඒ ශාස්තෘන් වහන්සේගේ වචනයෙන් ශ්‍රාවක සඟරුවන සිවුරු ලැබුවා…

යම් මේ සම්බුදු ශ්‍රාවකයෙක් සව් කෙලෙසුන් නසා ඛීණාශ්‍රවයන් වහන්සේනමක් බවට පත් වනවා ද ඒ රහතන් වහන්සේට ගිහි වේශයෙන් වාසය කරන්නට හැකි වන්නේ එක් දිනක් පමණයි. නැතහොත් උන්වහන්සේ ආයු සංස්කාර අත්හැර ගිහි වේශයෙන් ම පිරිනිවන් පෑම යි සිදු වන්නේ. පිරිනිවන් නොපාන්නේ නම් ඒ උතුම් මුනිවරයා චීවරය දරාගෙන උතුම් පැවිදි බිමට පත්විය යුතු ම යි. ඔව්…! ‘චීවර ධාතුව’ දරා ලබන පැවිද්ද යනු රහතන් වහන්සේගේ ආයුෂය සුරකින්නක්…!

ශාසන භාරධාරී වූ, ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක වූ, කෙලෙස් තවනා ධුත ගුණයෙන් අග්‍ර ව වැඩවෙසෙමින් සසුන් කෙත සාරවත් කළා වූ මහා කාශ්‍යප මහරහත් මුනිඳුන් තමන් වහන්සේ විසින් ම කෙස්රැවුල් බා, කසාවත් පොරවා, ගිහි ජීවිතය අත්හැර පැවිදි වුණේ ‘මේ ලෝකයේ යම් රහතන් වහන්සේලා වැඩසිටිත් නම් ඒ රහතන් වහන්සේලා උදෙසා මාගේ පැවිද්ද වේවා!’ යන සිතුවිල්ලෙනුයි. එසේ පැවිදි භූමියට පිළිපන් පිප්ඵලී ශ්‍රමණයාණන් වහන්සේට බහුපුත්තක නම් පූජ්‍යස්ථානයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ව දැකගන්නට ලැබුණු මොහොතේ සිරසින් වැඳ වැටී තම ශ්‍රාවකත්වය කියා සිටියා. එදින ම, වටිනා වස්ත්‍රයකින් කපා මසා ගත් කස්සපයන් වහන්සේගේ සඟල සිවුර, හණ රෙද්දෙන් කළ – කීප විටක් මහන ලද භාග්‍යවතුන් වහන්සේගේ පාංශුකූල සිවුර සමඟින් හුවමාරු කෙරුණා. ‘පාවිච්චියෙන් දිරා ගිය හණ රෙද්දෙන් කළ පාංශුකූල චීවරය පිළිගත් භාග්‍යවතුන් වහන්සේගේ පුතා’ කියා යමෙකු ගැන මනා කොට කියනවා නම් ඒ කියන්නේ මහා කාශ්‍යප මහරහත් මුනිඳුන් ගැනයි. එසේ සුගත තථාගත චීවරය ගත දැරූ මහරහත් මුනිඳුන් ම සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ශාසන බර ද උසුලමින්, ධර්ම විනය සංගායනා කරවා සුරක්ෂිත කරවීම කවර නම් අසිරියක් ද!

ෂඩ්වර්ණ රැස් විහිදෙනා දළ ඇති මහා ඡද්දන්ත හස්තිරාජයෙකු ව ඉපිද සිටිය දී වැද්දෙකු විසින් හීයකින් විද මරණීය තුවාල සිදු කරන ලද මොහොතේ, තමන්ට විපත් කැඳවූ වැද්දා නසනු පිණිස විමසා බලද්දී බෝසත් ඇත්රජු දුටුවේ ඍෂීන්ගේ ධජය වූ කසාවත පොරවා සිටින වැද්දායි. මරණීය දුකකින් පෙළෙමින් සිටිය දී පවා ඒ ඇත්රජුට සිතුණේ ‘රහතුන්ගේ ධජය සත්පුරුෂයන් විසින් නොනැසිය යුතුයි’ කියායි… බෝසත් ජීවිතයේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ අරහත් ධජයට සත්කාර සම්මාන දැක්වූවා…

ශාස්තෘන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා, තථාගත ධර්මවිනයේ මැනවින් හැසිරෙමින් පිළිවෙත් පුරනා ශ්‍රාවක සංඝයා අද පවා අපට දකින්නට ලැබෙනවා. කෙලෙස් යුදයට වන් ඒ උතුමන්ගේ ධජය වූ කසාවත දකිනා පමණකින් අප සිහි කළ යුත්තේ මේ ගුණශෝභාවන් ම යි. සංඝානුස්සතිය යනු නිවනට යොමු වූ දොරටුවක්. මේ චීවර මාසයේ අප කාටත් ඒ නිවන් දොරටුව විවර කරගන්නට වාසනාව ලැබේවා!

සටහන – උදුලා පද්මාවතී