දිවි නසා ගත් කිරිල්ලියක්
රුසියාවේ සයිබීරියානු වනාන්තරයේ ඇවිද යන දඩයක්කරුවෙක් ඉහළ අහසේ පියාඹා යන තාරා ජෝඩුවකට වෙඩි තැබුවේ ය. තාරාවා වෙඩි වැදී මැරී වැටුණේ ය. වැටුණු තාරාවා අතට ගත් දඩයක්කරු ඌ පුළුස්සා කෑමට ගැනීමට ගල්තලාවක් සොයා යන්නට විය.
තාරාවිය ඔහුගේ අතේ සිටින තම මිතුරා මුදාහරින ලෙස ඉල්ලන්නාක් මෙන් ශෝකී නාද පවත්වමින් බොහෝ බැගෑපත් වෙමින් ඔහු වටා පියාඹන්නට වූවා ය. කිරිල්ලියගෙන් බේරීමට බැරි වූ තැන ඔහු ඇයට ද වෙඩි තැබුවේ ය. එහෙත් ඇය එම පහර වළක්වා ඉවතට පියඹා ගත්තා ය. ගල්තලාවක් හමුවන තුරු ම තාරාවිය බැගෑපත් වෙමින් ඔහුගේ හිස වටා පියැඹුවා ය.
ගල්තලාව හමුවූ පසු මිනිසා මැරුණු තාරාවා කෝටුවක අමුණා පුළුස්සන්නට විය. පිළිස්සෙන මස්වල සුවඳ අහසට පැතිරෙන්නට විය.
මස් සුවඳ හඳුනාගත් තාරාවිය තම මිතුරා නැවතත් තමාට නොලැඹෙන බව දැන වහ වහා ඉහළ අහසට ම පියැඹුවා ය.
ක්ෂණයකින් ඇය හිස පහතට නමාගෙන ම ගල්තලාව මතට කඩා වැටුණා ය. ගල මත හිස හැපී ඇය ක්ෂණයේ ම මිය ගියා ය.
දඩයක්කරුට තම වරද වැටහී ගියේ ය. තම මිතුරා තමාට ලබා දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමින් ශෝකී රාව නංවමින් ඇය තමා පසුපස පියාඹා ආ හැටි ඔහුට සිහි විය.
කුරුල්ලාගේ මස් සුවඳ පැතිරෙත්ම බලාපොරොත්තු සුන්කර ගත් ඇය හිස පහතට නමාගෙන ගල්තලාව මත හැපී දිවි නසාගත් අයුරු ඔහුට සිහි විය.
මසට පැවති ආශාව යටපත් විය. ඔහු කුරුල්ලන් දෙදෙනා දෝතින් ගෙන වළලා දමා කම්පිත වූ සිතින් ගෙදර ආවේ නැවතත් සතුන් දඩයමේ නොයන බවට අධිෂ්ඨාන කර ගනිමිනි.
ස්වාමියාගේ ආදරය අහිමිව දිවි නසා ගත් බල්ලා
නෙදර්ලන්තයේ අවිවාහක තරුණයෙක් සුරතලයට බල්ලෙක් ඇති කළේ ය. ඒ මහතා සවස ඇවිදින්ට යන විට බල්ලා ද ඔහු සමඟ යයි. අතරමඟ දී මස්කටුවක් ද ඔහුට ස්වාමියාගෙන් දිනපතා ම ලැබේ. බල්ලා ස්වාමියා සමඟ සුරතල් වෙමින් ඔහුගේ ඇඳ අසල ම නිදා ගනී.
පසුකලෙක ඒ මහතා විවාහයක් කර ගත්තේ ය. බල්ලා සමඟ හවසට ඇවිදින්ට යාම ද මස්කටුවකින් සංග්‍රහ කිරීම ද නැති විය. මහතාගේ නිදන කාමරය ද බල්ලාට අහිමි විය. බල්ලාට තනිවම ඉදිරිපස කොරිඩෝවේ නිදාගන්ට සිදු විය.
සතියක් පමණ ගත විය. මහතා නැගිට බලන විට උඩතට්ටුවේ කොරිඩෝවේ නිදාසිටි බල්ලා දකින්ට නැත. බල්ලා බැල්කනියෙන් බිමට පැන මැරී වැටී සිටිනු දැකගත හැකි විය.
තමාගේ ආදරය අහිමි වීම නිසා සිත් වේදනාවට පත් තම සුරතලා දිවිනසාගත් බව පසුව කෝටිපතියකු වූ නෙදර්ලන්තයේ ජේන් කානර් මහතා තම මිතුරන්ට පවසා සිටියේ ය.
මිතුරියගේ වියෝව දැරිය නොහැකිව මියගිය කුරුලු පැටවා
ප්‍රංශයේ වයස 7ක් පමණ වන කුඩා දැරියක් කූඩුවක දමා ටික දිනක් කුරුලු පැටවෙකු ඇති කළා ය. කූඩුවෙන් මුදාහළ පසු ද පුංචි කුරුල්ලා දැරිය බැලීමට නිතර ආවේ ය.
දැරිය ලෙඩ වූ විට ද කුරුල්ලා ඇගේ ඇඳ අසලට වී නාද කරමින් සිටියේ ය. හදිසියේම රෝගය උත්සන්න වී දැරිය මිය ගියා ය.
කුරුල්ලා ද වෙනදා මෙන් තමා සමඟ සුරතල් වීමට නොඑන දැරිය ගැන සංවේගයට පත් වූවා මෙන්, වරින්වර ඇය අසලට පැමිණ නාද කරමින් සිටියේ ය.
දැරියගේ මිනිය මිනීවළ දක්වා ගෙනයද්දී කුරුල්ලා ගසින් ගසට පනිමින් ඈ සමඟ ම ගියේ ය.
මාපියෝ ඇය මිහිදන් කර නිවසට ආවෝ ය. පසුදා සොහොනේ ඉටිපන්දම් දල්වන්ට මාපියන් ගිය විට දැරියගේ මව මල්වඩමක් තුළ ගුලි වී ඇති මේ පුංචි ගුලිය කුමක්දැයි බැලීමට එය අතට ගත්තා ය.
ඒ කුමක්දැයි වටහාගත් කල ඔවුන්ට ඇති වූ සංවේගය අපමණ ය. ඒ පුංචි කුරුල්ලා තම එකම මිතුරිය අහිමි වූ සොවින් මල්වඩම තුළ ගුලිවී මැරී සිටියේ ය.
සතුන්ගේ දිවි නසා ගැනීම් පිළිබඳ මේ කථා පුවත් තුන 1992 ජූනි 21වැනි දින Sunday Observer පත්‍රයේ පළවී තිබුණි. ඩබ්. එස්. ඉලේපෙරුම මහතා විසින් එය ඉදිරිපත් කර තිබුණි.
සතුන්ට අප හා කථා කළ හැකි ද?
භද්‍රවතී ඇතින්න
බුදුරජාණන් වහන්සේ, භද්‍රවතී ඇතින්න පවසන බස් දැන, රජු හමුවී මහලු වී ගිය අය අතහැර දැමීම නුසුදුසු බවත් – පෙර පරිදි ම ඇතින්නට නාවා කවා පොවා ආදරය දැක්විය යුතු බවත් පෙන්වා දුන් සේක.
ඒ පිළිගත් උදේනි මහරජතුමා නැවතත් ඇතින්නට පෙර පරිදි ම ආදර සත්කාර දක්වන්නට විය.
පන්සිය පනස් ජාතක පොතේ එන කථා පුවත්වලින් ද එකල ඇතැම් මිනිසුන්ට සතුන් හා කථා කිරීමේ හැකියාව තිබුණු බව පෙනේ.
සතුන් අප සමඟ කතා කරතත්, අපේ භාෂාව ඔවුන්ට තේරුම් ගියත්, මිනිසුන් වූ අපට ඔවුන් හා කතා කිරීමේ ශක්තියක් නැත. බෙහෙවින් ඇලීම් බැඳීම් ඇති සංකීර්ණ සමාජයක මිනිසාගේ පරිසරයට ඇති සංවේදී බව අඩු වී ඇත.
කථා කළ ගිරවා
එක්තරා පිරිවෙනක සාමණේර භික්ෂූන් වහන්සේලා ඇබැද්දියකට ලක් වූ ගිරා පැටවෙක් කූඩුවක දමා ඇති කළෝ ය. දිනක් මේ ගිරවා කලබලයෙන් කෑ ගසන්නට පටන් ගත්තේ ය.
“ආසන්නෙට කියන බණ කියාපියෝ…
ආසන්නෙට කියන බණ කියාපියෝ…” ගිරවා කෑ ගසයි.
මේ ලතෝනිය ඇසී මිදුලට පැමිණි හිමිවරු ගිරවාට සිදු වී ඇති ඇබැද්දිය දැක වහා ඌ ඒ විපතින් මුදවා ගත්හ.
ගිරා කූඩුව මත නැඟ සිටියේ විශාල ගැරඬියෙකි. තම ජීවිතය අවසන් බව දත් ගිරවා මිනිසුන් මරණාසන්න වී සිටින විට හිමිවරු බණට වඩින බව දැන සිටියේ ය.
ආසන්නෙට කියන බණ තමාට ද කියන ලෙස ඌ හිමිවරුන්ගෙන් කෑගසා ඉල්ලා සිටියේ ඒ නිසා ය.
සතුන් හා කථා කරන ඉංජිනේරු මහතෙක්
ඇමෙරිකාවේ නව එංගලන්ත පළාතේ ගොවිපළක කුඩා කල සිටම සතුන් හා හැදුණු වැඩුණු ෆ්‍රෙඩ් කිම්බල් (Fred Kimball – Clairvoyant with regard to animals) තරුණ වියට එළඹුණු පසු දුම් නැවක ඉන්ජිනේරුවරයා ලෙස ලොව වටා ගියේ ය.
ඉතා නිහඬ මිනිසෙකු වූ කිම්බල් සතු අපූරු හැකියාවන් ගැන ඔහුගේ රළු මුහුදු සගයන් පිරිස දැන සිටියේ නැත. මිනිසෙකුගේ හෝ සතෙකුගේ ශරීර ඕරාව (රශ්මි මාලාව) දෙස බලා ඔහු පිළිබඳ අතීත අනාගත තොරතුරු ද ශාරීරික හා මානසික තත්ත්වය ද විස්තර කිරීමට ඔහුට හැකියාව ඇත.
සතුන් හා කථා කිරීමට ද ඔහුට විශේෂ දක්ෂතාවයක් තිබුණි. ඇමෙරිකාවේ මනෝවෛද්‍ය මහාචාර්යවරියක වන ජිනා සර්මිනාරා, වරක් බල්ලන් 15ක් පමණ ඔවුන්ගේ හාම්පුතුන් වූ ජෝඩු ද සමඟ නිවසකට කැඳවාගෙන කිම්බල්ට මේ සතුන් හා කථා කිරීමට ඉඩ සලසා දුන්නා ය.
ෆ්‍රෙඩ් කිම්බල් සමඟ මේ බල්ලන් පැවසූ සියලු දේ සත්‍ය බව ඔවුන්ගේ හාම්පුත්තු පිළිගත්හ.
කිම්බල් එක් බල්ලෙකුගෙන් මෙසේ ඇසීය.
“ඔබට මේ ගෙදර කෑම හොඳ ද? කරදරයක් නැද්ද?”
“මට මේ ගෙදර හොඳයි. කෑමත් හොඳයි. ඒ වුණාට මට ඉවසගන්න බැරි දෙයක් තමා. මේ ගෙදර බබා බාත් රූම් එකට වැදී අඬන ඇඬිල්ල.”
කිම්බල් බල්ලා කියන කථාව ඇත්තදැයි, උගේ අයිතිකරුවන්ගෙන් ඇසීය. ඔවුහු පුදුම වී එය සැබෑ බව මෙසේ පළ කර සිටියෝ ය.
“අනේ ඒක නම් ඇත්ත තමයි. අපේ චූටි පුතා තරහ වුණාම කරන්නේ බාත් රූම් එකට වැදිලා අඬන එක තමයි. මේ බල්ලා බැඳලා සිටින්නේ බාත් රූම් එක ඉදිරිපිට පුටුවකයි. චූටි බබාට ආදරය කරන බල්ලාට මේක හරි වේදනාවක් වෙන්න ඇති.”
කිම්බල් තවත් බල්ලෙක් ළඟට කිට්ටු වී උගෙන් කිසිවක් විමසන්න විය. තම උත්සාහය හරියන්නේ නැති බව දුටු කිම්බල් “අනේ මට මෙයාගෙන් නම් කිසිවක් අහගන්න බැහැ. ඌ හරියට කලබල වෙලා. ඌ කියනවා තව හය මසකින් පමණ තමන් මිය යන බව.”
බල්ලා අයිතිකාර ජෝඩුව මේ කථාව විශ්වාස කළ බවක් නොපෙන්වූහ.
එහෙත් 6 මසක් ගිය තැන ජිනා සර්මිනා මහාචාර්යවරියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ කථා කළේ අර බල්ලා අයිති ජෝඩුවයි. තමන්ගේ බල්ලා හදිසියේ ලෙඩ වී රෝහලට ඇතුල් කළ බවත් ෆ්‍රෙඩ් කිම්බල්ට එදා තම සුරතලා දන්වා සිටි පරිදිම බෙහෙත්වලින් ඵලක් නොවී ඌ මියගිය බවත් මනෝ වෛද්‍යතුමියට ඔවුහු දන්වා සිටියෝ ය.
සතුන්ට ඉතා හොඳින් අප හා කතා කළ හැකි බවත්, අනාගතයේ තමන්ට සිදුවන දේ පිළිබඳවද ඔවුන් සතුව යම් වැටහීමක් තිබෙන බවත් මින් පැහැදිලි වේ.
සතුන් හා කථා කළ ඉතාලි දරුවා
සෑම සතෙකුට ම කථා කිරීමේ හැකියාව ඇත. නොයෙක් ශබ්ද හා හඬවල් මගින් සත්තු ඔවුනොවුන් හා කථා කරති.
ඉතාලියේ රෝම නගරයේ උපන් ක්‍රිස්ටිනෝ ලොයිසෝ නම් දරුවාට සතුන්ගේ බස තේරුම් ගැනීමේ අපූරු හැකියාව කුඩා කල සිට ම ලැබී තිබිණි. පවුලේ අය සමඟ සර්කස් කණ්ඩායමක් බලන්න ගිය විට ඔහු කොටියකු හා කථා කළේ ය.
“උඹ එහෙම කරන්න එපා. එහෙම කළොත් අර මිනිහා ඔයාට වෙඩි තියාවි.”
ක්‍රිස්ටිනෝගේ සොයුරා, “කොටියා ඔබට මොනවාද කීවේ?” කියා ඇසූ විට, “අර මිනිහා මට කෑම දෙන්න දොර අරිනකොට ම මං මෙතනින් පැනලා යනවා.” කියලා කොටියා කී බව ක්‍රිස්ටිනෝ පැවසුවේ ය.
විවේක කාලයේ ඔවුහු පිටතට ආවෝ ය. කොටියා පැනගොස් ඇති බව ඔවුන්ට ආරංචි විය.
එහෙත් පසුව මුරකරුවන් විසින් කොටියා මෙල්ල කර කූඩුව තුළට දමන ලදී.
දිනක් ඔහු ගෙදර සිටි පූසා තමා හා කතා කර, “මා කාරයට යට වී මැරෙයි වගේ; මොනවා කරන්න ද මා දන්නේ නැහැ.” කියමින් දුක්වන බව අම්මා හා පැවසුවේ ය. ඒ කිව්වා වගේම දින 3කින් කාරයට යටවී පූසා මිය ගියේ ය.
1953 වසරේ දී ක්‍රිස්ටිනෝ මව ළඟට දුව විත්, “අම්මේ අපේ බැල්ලී පැටව් දාන්න යනවා කියලා ඌ මට කීවා.” යයි සතුටින් පැවසීය.
“අනේ පුතේ මේ නාකි බැල්ලීට පැටව් ලැබෙන්නේ කොහොමද?” කියා අම්මා සිනාසුනා ය.
“නෑ අම්මේ ඌ එහෙම කිව්වා. ඌ බුරනකොට ඒවා වචන වගේ මට තේරෙනවා.” පුතා කීවේ ය.
සති 6 යන විට පුතා පැවසූ වදන් හරි බව පළ කරමින් බැල්ලී පැටවුන් 6 ක් වැදුවා ය.
උකුස්සෙකු හා කථා කිරීම
ක්‍රිස්ටිනෝගේ අපූරු දක්ෂතාවය ලොව පුරා ප්‍රකට වී ගියේ සුළිසුළඟක් ගැන ඔහු පැවසූ අනාවැකියකිනි.
1954 මාර්තු මාසයේ නිවාඩුවට පවුල ම එකතු වී රෝමයට උතුරින් පිහිටි සිඩ්ඩවෙඩ්ඩිගෝ නගරයට යාමට ඔවුහු සූදානම් වී සිටියෝ ය.
මුහුද අසල පිහිටි මේ නගරයේ ඔහුගේ නෑයෝ විසූහ.
ටීනෝ දිනක් පාසැල නිමාවී ගෙදර ආවේ ශෝකයෙනි.
“අම්මේ ටික වේලාවකට කලින් උකුස්සෙක් මට කථා කළා. ළඟදීම භයානක සුළි සුළඟක් එනවා කීවා.”
“වෙන මොනවද ඌ කීවේ ?” ඔහුගේ පියා විමසීය.
“සුළි සුළං දින 2ක් පුරා පවතිනවාලු. මුහුද ආශ්‍රිත පළාත්වලට විශාල හානියක් වෙයිලු.” මාපියෝ ගමන කල් දැමූහ.
එදින රැයේ පටන් දින 2ක් පුරා පැවති මහා සුළි සුළඟකින් සිඩ්ඩවෙඩ්ඩියෝ නුවර ඇතුළු විශාල පළාතක් විනාශ වී ගියේ ය.
ක්‍රිස්ටිනෝගේ නම මේ සිද්ධියෙන් මුළු ඉතාලිය පුරා ම ප්‍රචලිත වී ගියේ ය.
ඔහුගේ 8 වන උපන් දිනයට පසු මේ දක්ෂතාවය ඔහු කෙරෙන් නැති වී ගියේ ය. “සතුන් සමඟ කථා කරන්න බැරි තරම් මං දැන් වයසට ගිහින්.” ක්‍රිස්ටිනෝ මව හා කීවේ ය.
(සුනාමියට හසුව අප ශ්‍රී ලංකාවේ යාල අභය භූමියේ මිනිසුන් දහස් ගණනක් මිය යද්දී එකද සතෙකුවත් මිය නොගියේ සතුන්ගේ මේ අපූරු දැනීමේ හැකියාව නිසා විය යුතු ය.)
කේ. කමලා කුලතුංග
Recent Comments