විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ පඬිවරයෙකු ලෙස මහාචාර්ය කේ. එන්. ජයතිලක මහතා හැඳින්වීමට පුළුවන. මෙම ලිපිය පළ කරන්නේ එතුමාගේ 56 වන ගුණ සමරුව නිමිත්තෙනි.
එතුමා මෙලොවට ජනිත වන්නේ 1920 නොවැම්බර් මස 01 වන දින දෙහිවල නැදිමාලේ දී ය. එතුමාගේ ආදරණීය පියාණන් වූයේ ගම්පහ යාගොඩ පෙදෙසේ සැදැහැවත් බෞද්ධ පරපුරකින් පැවැත ආ දොන් ලෝරන්ස් ජයතිලක මහතා ය. එතුමාගේ ආදරණීය මෑණියන් වූයේ එවැනි ම පරපුරකින් පැවැත ආ දෙහිවල නැදිමාලේ එල්සි මැටිල්ඩා විජේවර්ධන මැතිණියයි. ව්‍ය. ව. 1954 ජූනි 21 වැනිදා පැට්‍රීෂියා තවමති තම්බිඅප්පා මෙනෙවිය සමඟ අතිනත ගත් එතුමා අභාවයට පත් වන විට දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියතුමෙකු විය. එතුමාගේ වැඩිමහල් දියණිය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ අංජනී කරුණාරත්න මහත්මිය වන අතර බාල දියණිය දැනට කැනඩාවේ වාසය කරන නන්දනී කරුණාමුනි මහත්මියයි.
එතුමාගේ අධ්‍යාපන ගමන් මග පිළිබඳව ප්‍රථම කොට අවධානය යොමු කළ යුතු ය. එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. එකල එතුමා ජීවත් වූ කොළඹ විද්‍යාල පෙදෙසේ නිවසේ සිට අශ්ව කරත්තෙන් රාජකීය විද්‍යාලයට ගියේ ය. එතුමා භූගෝල විද්‍යාව විෂයට ආණ්ඩුකාරවරයාගේ ත්‍යාගයට හිමිකම් කීවේ ය. කේම්බ්‍රිජ් ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර ලැයිස්තු ප්‍රථමයා බවට පත් විය. 1939 – 1943 කාල පරිච්ඡේදයේ විශ්වවිද්‍යාල කොලීජියේ ද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබූ අතර ලන්ඩන් ඉන්ටර්මීඩියම් විභාගයට ඉංග්‍රීසි, ගණිතය, සිංහල හා පාලි යන කලා විෂයන්ගෙන් පෙනී සිටින ලදී. 1943 වර්ෂයේ දී ඉන්දු ආර්ය භාෂා පිළිබඳව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථය දිනා ගත්තේ ය.
1943 වර්ෂයේ දී ම කලා සහ පෙරදිග භාෂා පිළිබඳ රජයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් ලෙස කලා උපාධි දක්ෂතා පෙන්වීය. 1945 – 1942 කාල වකවානුව තුළ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ක්‍රයිස්ට් කොලීජියේ අධ්‍යාපනය ලබමින් සදාචාර විද්‍යාව පිළිබඳව දෙවන පෙළ ගෞරව සාමාර්ථයක් දිනා ගත්තේ ය. අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳව බී. ඒ. උපාධිය දෙවන පෙළ (ඉහළ මට්ටම) ගෞරව පන්ති සාමාර්ථයක් සහිතව දිනා ගත්තේ ය. එක්සත් රාජධානියේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ 1960 – 61 කාල පරිච්ඡේදයේ දී සදාචාර විද්‍යාව පිළිබඳ පර්යේෂණ ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළේ ය. 1961 වසරේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (පී. එච්. ඩී.) දිනා ගත්තේ බෞද්ධ දර්ශනය පිළිබඳව එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ හා ලෝකයේ ලියවුණු හොඳම බෞද්ධ දාර්ශනික නිබන්ධනය වන Early Buddhist Theory of Knowledge (මුල් බුදු සමයේ ඤාණ විභාගය) නම් ග්‍රන්ථයට යි. බොහෝ බටහිර බුද්ධිමතුන්ගේ දාර්ශනිකයන්ගේ නෙත් බුදු දහමට යොමුවීමට මෙම ග්‍රන්ථය ඍජුව ම බල පෑවේ ය. එදා මෙදා තුර සිදු කර ඇති සියලුම බෞද්ධ අධ්‍යනයන් සඳහා මෙම හස්තසාර ග්‍රන්ථය මූලාශ්‍ර කොටගෙන තිබීමෙන් මේ බව මනාව පැහැදිලි වේ.
එතුමාගේ සේවා කාලය තුළ දැරූ අධ්‍යාපනික තනතුරු පිළිබඳව ද අවධානය යොමු කිරීම වටී. දර්ශනය පිළිබඳව ද සහාය කථිකාචාර්යවරයෙකු ලෙස ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ 1951 වර්ෂයේ සේවය කළේ ය. 1958 දී එම විශ්වවිද්‍යාලයේ ම දර්ශනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු බවට පත් විය. 1963 – 70 අතර කාලයේ දී දර්ශන අංශයේ මහාචාර්ය හා අංශාධිපති වශයෙන් කටයුතු කළේ ය.
එතුමා ඇමෙරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ Hay Whitney Fulbright විද්‍යාර්ථියෙක් ලෙස හා දර්ශනය පිළිබඳ බාහිර (Visiting) මහාචාර්යවරයෙකු ලෙස 1966 වර්ෂයේ දී කටයුතු කළේ ය. 1952 – 60 දක්වා ලංකා විශ්වවිද්‍යාල සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ ය. එතුමා 1960 දී රාජකීය ආසියාතික සංගමයේ බි්‍රතාන්‍යයේ හා අයර්ලන්තයේ සාමාජිකයා විය. 1967 ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අපරදිග දර්ශනය පිළිබඳ සංස්කාරක උපදේශක මණ්ඩලයේ පත් කරන ලද සභිකයා විය. ඇමෙරිකාවේ නිව් ජර්සිහි ප්‍රින්ස්ටන්වල දේව ධර්මය පිළිබඳ සෙමනේරියේ උසස් ආගමික අධ්‍යාපනය සම්බන්ධ උපදේශක කමිටුවේ පත් කරන ලද ගරු සාමාජිකයා ලෙස කටයුතු කළේ ය. ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් දේවධර්ම සෙමනේරියට සම්බන්ධ උසස් ආගමික අධ්‍යයන ඇකඩමියේ උපදේශක සාමාජිකයෙකු ලෙස 1963 දී කටයුතු කළේ ය. එමෙන්ම එම වර්ෂයේ දී ම කලාව හා විද්‍යාව පිළිබඳ ලෝක ඇකඩමියේ සාමාජිකයෙකු විය.
වරක් මා කේ. එන්. ජයතිලක මැතිතුමා පිළිබඳව අපවත් වී වදාළ පින්වත් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් සමඟ සාකච්ඡා කිරීමේ දී උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙතුමා ත්‍රිපිටකය පහළොස් වතාවක් පමණ කියවා ඇති බවයි. බුදු දහම සම්බන්ධව එතුමාට විශාල දැනුමක් හා දැක්මක් තිබුණි.
බුදු දහමට දේශීය හා විදේශීය බුද්ධිමතුන් පහදවා ගැනීමට මුළු දිවිය පුරා කටයුතු කළේ ය. එතුමා කිසි දිනෙක බුදු දහම හෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධව අදහස් ප්‍රකාශ කළේ නැත. වර්තමානයේ සිටින සමහර බුදු දහම පිළිබඳව උගතුන් කියා ගන්නා ගිහි පැවිදි දෙපාර්ශවයට ම එය මහා ආදර්ශයකි. වර්තමානයේ යාන්තම් සූත්‍ර කීපයක් කියවාගෙන පට්ටපල් මුසා ඇද බාන හිස් සිවුරු දාගෙන ඉන්න උදවිය මෙවැනි ශ්‍රේෂ්ඨ මහාචාර්යවරුන්ගෙන් ආදර්ශ ගත යුතු ම ය.
“බෞද්ධ දර්ශනයේ අදාළත්වය” (Contemporary Relevance of Buddhist Philosophy) යන ග්‍රන්ථයේ 7 පිටුවේ බුදු දහම පිළිබඳ ඉතා වටිනා නිර්වචනයක් එතුමා ඉදිරිපත් කරයි. එහි සිංහල පරිවර්තනය මෙසේ ඉදිරිපත් කරමි. “බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ඤාණ විභාගයක් ද යථාර්ථවාදී න්‍යායක් ද ආචාර විද්‍යාත්මක ක්‍රමයක් ද සමාජ හා දේශපාලන දර්ශනයක් ද එමෙන්ම නීති දර්ශනය හා අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ඇඟවීම් ද ඇතුළත් වේ. මේවා පිළිබඳ සුපරික්ෂාකාරීව අවධානය යොමු කළ විට පෙනී යන්නේ මේවා එකිනෙකට සම්බන්ධ වී ඇති බවයි.”
එම නිර්වචනය එතුමා ඉදිරිපත් කරන ලද්දේ 1969 දී ඉන්දියාවේ දී සිදු කරන ලද බුද්ධ ජයන්ති දේශනයේ දී ය. තවදුරටත් එතුමා ප්‍රකාශ කළේ “නූතන විද්‍යාවේ හා නූතන ඤාණවීමංසාත්මක අධ්‍යනයන්වල සොයා ගැනීම් සමඟ සන්සන්දනය කිරීමේ දී, මේ දර්ශනය ඉතා විද්‍යාත්මක.” බවයි.
“විශ්වය ඉතා විශාල වන අතර එයට බොහෝ ලෝක ධාතු තිබෙන නමුත් මිනිසාට ඒවා ගවේෂණය කිරීමේ හැකියාව තිබේ. මිනිසාට ස්ථාවර ආත්මයක් නැති වුව ද ඔහු භවයෙන් භවයට හේතුඵල දහම අනුව ගමන් කරයි. නූතන විද්‍යාත්මක සාක්ෂි ද පුනර්භවය සම්බන්ධව සහාය පළ කරයි.
මිනිසා තුළ හා ස්වභාව ධර්මය තුළ ක්‍රියාත්මක වන ස්වභාවික නීති සොයාගෙන මිනිසාගේ හා සමාජයේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම මිනිසාගේ යුතුකමයි. බෞද්ධ සදාචාරය සහ සමාජ දර්ශනය මෙය සපුරාගත හැකි මාර්ගය පෙන්වා දෙයි.”
මීට අමතරව බුදුසමය හා සාමය, ක්‍රිස්තියානිය පිළිබඳ බෞද්ධ එළඹුම, බෞද්ධ සාපේක්ෂතාව සහ කේවල ලෝක සංකල්පය, බෞද්ධ ඉගැන්වීම්වල අන්තර්ගත නීති මූලධර්ම, චතුස්කෝටික තර්ක ක්‍රමය, වෙනත් ආගම් පිළිබඳ බෞද්ධ ආකල්පය, බුදුසමයේ සමාජ හා දේශපාලන දර්ශනය, මහායාන බුදු සමයේ නූතන භූමිකාව, බුදුසමය හා ජාති ප්‍රශ්නය (මහාචාර්ය ගුණපාල මළලසේකර සමඟ), බුදදහම හා අන්තර්ජාතික නීතිය වැනි ශාස්ත්‍රීය ලේඛන නිසා බුදුදහම පිළිබඳව ලෝක විද්වතුන්ගේ අවධානය යොමු විය. එතුමාගේ ශාස්ත්‍රීය අධ්‍යයන, බුදුසමය පිළිබඳව පමණක් නොව මුළු මහත් පෙරදිග දර්ශනය කෙරෙහි ම ව්‍යාප්තව තිබේ. උදාහරණ ලෙස ‘භාරතීය දර්ශනයේ ගැනෙන විශ්ලේෂී සහ යථාභූතවාදී ප්‍රවණතා’ යන මැයෙන් ඉන්දියාවේ දී පවත්වන ලද දේශනය සහ විවිධ දාර්ශනික මතවාද පිළිබඳව එතුමා විසින් රචිත ලිපි ලේඛන ගත හැකි ය.
එතුමා අධිමානසික විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වී ය. පුනර්භවය සම්බන්ධයෙන් එතුමා විශේෂ අවධානයක් යොමු කළේ ය. විද්‍යානුකූලව පුනර්භවය යනු සත්‍යයක් බව ඔප්පු කිරීමට එතුමාට දැඩි ලෙස අවශ්‍ය විය. මේ සම්බන්ධයෙන් ආචාර්ය එච්. එස්. එස්. නිශ්ශංක මහතා සමඟ එතුමා විවිධ පර්යේෂණවල නියැළුණේ ය. ‘නැවත උපන් දැරිය’ නමින් තලවකැලේ ඥාණතිලකා සම්බන්ධව සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණය ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධව සිදුකරන ලද ප්‍රථම පර්යේෂණය යි.
ආචාර්ය එච්. එස්. එස්. නිශ්ශංක මහතාගේ දියණිය වන කමනී නිශ්ශංක මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යනාංශයේ මා සමඟ අධ්‍යාපනය ලැබූ බව ද ගෞරවයෙන් සිහිපත් කරමි.
එමෙන්ම පුනර්භවය (නැවත ඉපදීම) පිළිබඳව මිථ්‍යාවන් ලෙස විරුද්ධ මත දැරූ හේතුවාදියෙකු වන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් සමඟ ද එතුමා වාද විවාද කර ඇත. 1960 දශකයේ දී ගුවන් විදුලියෙන් සහ ඩේලි නිවුස් පුවත්පත මගින් ඒ වාද විවාද සිදුකරන ලදී. විශේෂයෙන් නැවත ඉපදීම පිළිනොගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමඟ ද විශාල වාදයක් ජයතිලකයන් සිදු කරන ලදී. ඒ ‘අඟහරුවාදා රාත්‍රී සාකච්ඡාව’ නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ දී පවත්වනු ලැබූ සාකච්ඡාවක දී ය. එමෙන්ම මාස් හෝල් එකේ දී ද පුනර්භවය ගැන විශාල වාදයක් මේ දෙපළ අතර පැවැත්වී ඇත. එහිදී මහාචාර්ය ජයතිලකයන් ඇමෙරිකානු පුනර්භව පර්යේෂක ස්ටීවන්සන් ආදී සමකාලීන පර්යේෂකයන්ගේ ග්‍රන්ථ රාශියක් රැගෙන වාදයට පැමිණ තිබේ. අවසානයේ දී සරච්චන්ද්‍රයන් පවසා තිබෙන්නේ ‘පුනර්භවය කෙසේ වෙතත් ජයතිලකයන් ගෙනා මේ පොත් කන්දරාව කියවීමට මා හට කල්පයක් පමණ යයි’ යනුවෙනි. එයින්ම වාදය අවසන් වී ඇත.
එතුමා විසින් රචනා කරන ලද ග්‍රන්ථ හා ලිපි ප්‍රමාණය අති මහත් ය. බහුතරයක් ලියවී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. Some Problems of Translation and Interpretation, Factual Meaning and Verification, The Practical Policy of Buddhism Towards Racism and Caste, Buddhism and the Race Question. (With G.P. Malalasekara), The Principles of International Law in Buddhist Doctrine, ඉන් සමහරකි. මීට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ලිපි හා ග්‍රන්ථ එතුමා අපට දායාද කර ඇත.
එතුමා දක්ෂ සිවිල් සේවා නිලධාරියෙකු ලෙස ද සේවය කළේ ය. 1948 දී පළාත් පාලන සහකාර කොමසාරිස් තනතුර ලැබ පරිපාලන අත්දැකීම් ලබා ඒ ක්ෂේත්‍රයට ද විශාල සේවයක් සිදු කළේ ය. එතුමා 1943 දී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පතිවරයා ලෙස ද විශාල සේවයක් කළේ ය.
විදේශීය විශ්වවිද්‍යාල රාශියක එතුමා බෞද්ධ දර්ශනය සම්බන්ධ දේශනා පැවැත්වී ය. ඔක්ස්ෆර්ඩ්, හාවඩ්, ටෙල් අවිව්, හවායි, හේග් හා යොකෝහමා ඉන් කීපයකි. එතුමා දේශපාලන ක්‍රියාකාරිකයෙක් වශයෙන් ද කටයුතු කළේ ය. එතුමා ලංකා සමසමාජ පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව කටයුතු කර ඇත. නිදහස් ශ්‍රී ලංකාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සැකසීම පිළිබඳව එතුමා මහත් උනන්දුවෙන් කටයුතු කර ඇති අතර එල්. එච්. මෙත්තානන්ද වැනි විද්වතුන් සමඟ එක් වී කටයුතු කර ඇත. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය වෙනුවෙන් එතුමා මහත් කැපවීමක් කර ඇත. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාල වකවානුවේ ද වර්තමානයේ ද මෙම බෞද්ධ සංගමය හොඳින් ක්‍රියාත්මක වීම තුළින් එතුමා මේ සංගමයට ලබා දුන් ජවය අවබෝධ කර ගත හැකි ය. එකල මා හට මේ සංගමයේ මහ ලේකම් හැටියට බොහෝ සේවයක් කිරීමට හැකි වීම මා ලද භාග්‍යයකි.
එතුමා ඉතාමත් සැදැහැවත් බෞද්ධයෙකු විය. මහා සඟරුවනට විශාල ගෞරවයක් තිබී ඇත. තමා බුදු දහම පිළිබඳව කොතරම් උගතෙකු වුවත් මහා සඟරුවන ඉදිරියේ ඉතා නිහතමානී ව කටයුතු කර ඇත. ශික්ෂාවට ගෞරව කිරීම හා සංඝයාට ශික්ෂා පද රැක ගැනීමට උපකාර කිරීම එතුමා තුළ තිබූ විශේෂ ගුණාංගයකි. විශ්වවිද්‍යාලයේ දේශන උදෑසන 11 සිට 12 දක්වා පැවැත්වීමට එතුමා විරුද්ධ වී ඇත. එයට හේතුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ දානය වැළඳීමට එය බාධාවක් වන නිසා ය. ඒ අනුව උපකුලපතිතුමා සමඟ තර්ක විතර්ක පවා සිදු කොට ස්වාමීන් වහන්සේලාට ගැළපෙන පරිදි කාලසටහන් සකස් කර දී ඇත.
එවකට උපකුලපති වූයේ මහාචාර්ය ලුඩොවයික් මහතා ය. එතුමා විසින් විවිධ තනතුරු දරා ඇත. අනධ්‍යයන තනතුරු කීපයක් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී දරා තිබේ. 1950 දී රාමනාදන් ශාලාවේ සහකාර ශාලාධිපති ලෙස ද 1958 – 59 මාර්ස් ශාලාවේ ශාලාධිපති ලෙස ද 1961 – 64 ජේම්ස් පීරිස් ශාලාවේ ශාලාධිපති ලෙස ද 1964 – 70 ජයතිලක ශාලාවේ ශාලාධිපති ලෙස ද 1961 – 65 කාල පරිච්ඡේදයේ දී ලංකා විශ්වවිද්‍යාල කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද එමෙන්ම විශ්වවිද්‍යාල කවුන්සිලයේ ශාලාධිපතිවරුන්ගේ නියෝජිතයා ලෙස ද නේවාසික හා විනය පිළිබඳ සාමාජිකයෙකු ලෙස ද එතුමා කටයුතු කර තිබේ.
කොළඹ සහ පසුව ඌවේ ද නුවරඑළිය ප්‍රදේශයේ ද පළාත් සහකාර කොමසාරිස් ලෙස 1949 සහ 50 වර්ෂවල කටයුතු කළ එතුමා 1950 – 51 වර්ෂවල ලංකා පුවත්පත් සමාගමේ සහාය කතෘවරයෙක් ලෙස ද සේවය කළේ ය.
එතුමා විසින් රචිත ‘මුල් බුදු සමයේ ඥාන විභංගය’ නම් ග්‍රන්ථයට එය පළ කළ ඉන්දියාවේ ඇලන් සහ අන්වින් සමාගම මගින් මෝටර් රථයක් එතුමාට ත්‍යාග වශයෙන් පිරිනමන ලද බව වාර්තා වේ. මෙවැනි උදාර සේවයක් සිදු කළ මහාචාර්ය කේ. එන්. ජයතිලකයන් 1970 ජූලි 23 වන දින දැයෙන් සමුගන්නා විට යන්තම් වයස 49 සම්පූර්ණ කළා පමණි. එතුමා වැනි ශ්‍රේෂ්ඨ පඬිරුවනකගේ අභාවය ශ්‍රී ලංකාද්වීපයට මෙන් ම මුළු මහත් ලෝකයට ම පිරිමැසිය නොහැකි පාඩුවකි. එතුමාගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය. සත්‍යවාදී බව, එඩිතර බව, අසාධාරණයට එරෙහිව කටයුතු කරන බව, තුනුරුවන් උදෙසා කැපවීම, විශේෂයෙන් ම බුදු දහම උදෙසා තම දිවිය ම කැප කිරීම දැක්විය හැකි ය. එතුමා ගත කරන ලද දැහැමි දිවියට අනුව අනිවාර්යයෙන් ම එතුමාට සුගති සංඛ්‍යාත උත්පත්තියක් ලැබෙනු නොඅනුමාන ය. මනුෂ්‍ය ලෝකයට පැමිණ ඇති නම් එතුමා අදටත් තමන් නතර කළ තැන සිට හා ඊටත් එහාට බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරනවාට කිසිම සැකයක් නැත.
එතුමාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! එකල අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ වැඩ සිටියා නම් අනිවාර්යයෙන් ම එතුමා උන්වහන්සේට සමීපව කටයුතු කරනු ඇත.
ශ්‍රාස්ත්‍රපති පූජනීය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ
Recent Comments