පින්වත් යොවුන් දූ දරුවනේ,

ලස්සන ජීවිතයක් හදාගන්න කැමැත්තක් අපි හැමෝගෙම හිත්වල තියෙනවා. වෙන කාටවත් වචනෙකින් නොකිව්වත් ‘මගේ ජීවිතේ ලස්සනට හදාගන්න ඇත්නම්’ කියල අදහසක් ඔයාලගේ හිත්වලත් අනිවාර්යෙන්ම තියෙනවා නේද? ඇතැම් වෙලාවට ඔයාලා පතලා ඇති, දෙවියන්ගෙන් ඉල්ලලා ඇති ‘මගේ ජීවිතේ ලස්සන වේවා! සුවපහසු වේවා! සතුටින් ජීවත් වෙන්න ලැබේවා!’ කියලා.

ඉතිං දරුවනේ, මේ ලිපිගතේ අකුරු එකිනෙක අමුණන්නේ ඔයාලගේ ජීවිතේ ලස්සන කරගන්න හැටි කියා දෙන්නමයි. ඒ නිසා පොඩි වෙලාවක් ගත කරලා මේ ලිපිගත දිගේ ඉදිරියටම යන්න. ඔයාලටත් තේරේවි ‘ජීවිතේම ලස්සන කරගන්නේ කොහොමද?’ කියලා.

කවුරුත් කරලා දෙන්නේ නම් නෑ…

හොඳට මතක තියා ගන්න දරුවනේ, ඔයාලගේ ජීවිතේ ලස්සන කරලා දෙන එක වෙන කෙනෙකුට කරලා දෙන්න නම් බෑ. බාහිර කෙනෙකුට කළ හැක්කේ ‘ජීවිතේ ලස්සන කරගන්නේ මේ විදිහටයි’ කියලා උපදෙස් දීම පමණයි. ඒ උපදෙස් අනුගමනය කරලා ලස්සන ජීවිතයක් හදාගත යුත්තේ ඔබ විසින්මයි.

දවසකින් පටන් ගමු

“ඔයාට දැන් වයස කීයද?” කියලා කෙනෙක් ඇහුවොත් අපි වයස කියන්නේ අවුරුදුවලින් නේද? මට දාසයයි, දහඅටයි, විස්සයි ආදී වශයෙන් අපි වයස කියන්නේ අවුරුදුවලින්. ඒ අවුරුදු නිර්මාණය වෙන්නේ මාසවලින්. මාස හැදෙන්නේ සතිවලින්. සතියක් හැදෙන්නේ දවස්වලින්.

අපි හිතමු කෙනෙක් හැම දවසක්ම ලස්සනට හදාගන්නවා. ඒ වගේ ලස්සන දවස් හතකින් එයාගෙ ජීවිතේට ලස්සන සතියක් හැදෙනවා. එබඳු ලස්සන සති හතරක් ගෙවෙද්දී එයාගේ ජීවිතේ ලස්සනට මාසයක් ගත වෙනවා. ඒ වගේ ලස්සන මාස දොළහකින් ලස්සනට ජීවත් වුණ අවුරුද්දක් හැදෙනවා. ඒ වගේ අවුරුදුවලින් නම් මුළු ජීවිතේම ගත වෙන්නේ ඇත්තෙන්ම ඒ ජීවිතේ ලස්සනයි නේද?

එහෙමනම් මුළු ජීවිතේම ලස්සන කරගන්න කලින් අපි දවසක් ලස්සන කරගන්න මහන්සි ගත්තොත් ඒක සාර්ථකයි නේද?

ලස්සනට ඉවර කරලා – ලස්සනට පටන් ගන්න

ලස්සන දවසක් හදාගැනීම අපි මේ විදිහට ආරම්භ කරමු. මුලින්ම තමන් ගත කරපු දවස ‘ලස්සනට ඉවර කරන්න ඕනි’. ඊටපස්සේ ඊළඟ දවස ‘ලස්සනට පටන් ගන්න ඕනි’. මේ ක්‍රමේට පුළුවන් ලස්සන දවසක් හදාගන්න.

ලස්සනට ඉවර කරන්නේ කොහොමද?

ඔයාලා බොහෝ දෙනෙක් දවස අවසන් කරන්න හුරු වෙලා ඇත්තේ නිදි යහනට ගිහින් තද නිදිමතක් එනකල්ම ස්මාර්ට් ෆෝන් එකේ නොයෙක් දේ බලමින් ඉන්න එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ දෙයක් නැතිව ඔහේ නිදා ගන්නවා වෙන්නත් පුළුවන්.

ඒ හැම පුරුද්දක්ම අතහැරලා ඔයාල ලස්සනට දවස අවසන් කරන්න පුරුදු වෙන්න. තමන් නින්දට යන්න පෙර විනාඩි පහළොවක් විස්සක් වගේ තමන් උදෑසන පටන් දවස ගත කරපු විදිහ නිදහසේ කල්පනා කරන්න. ‘අද උදේ අවදි වුණ වෙලාවේ ඉඳන් මේ දක්වා මං මොනවා කරමින් ද අද දවස ගත කළේ. මං කතා කළේ මොන වගේ දේවල් ද. මම ඇසුරු කළේ කාව ද. දවසේ සිදුවුණ විශේෂ දේවල් මොනව ද’ ආදී වශයෙන් අවංකව තමන් දවස ගෙවූ ආකාරය දෙස හැරිලා බලන්න.

ඇතැම් විට ඔබ ගැන ලැජ්ජා වෙන්න දේවල් ඔබ කරලා තියෙන්න පුළුවන්. ඔබ ගැනම දුක හිතෙන දේවල් කරලා තියේවි!

තමන් ගැනම ‘චිකේ’ කියලා හිතෙන දේවල් කරලා තියේවි! ඔය වගේ ඔබ දවසක් ඇතුළේ කරපු නරක දේ, ඔබේ අඩුපාඩු ඔබට ම පෙනේවි.

ඒ වගේමයි ඔබ ගැනම සතුටු වෙන්න දේවල්, හිතද්දිත් ඇස්වලට සතුටු කඳුළු එන දේවල් ඔබ කරලා තියේවි! ඔබේ ලස්සන ගතිගුණත් ඔබටම පෙනේවි.

ඒ මොහොතෙම යෝජනා කරන්න

ඔව්! ක්‍රියාවකින් හෝ කතාවකින් හෝ සිතුවිල්ලකින් හෝ තමන් දවසේ කරපු අයහපත් දෙයක්, අඩුපාඩු සහිත දෙයක් ඔබ දකිනකොට ඒ මොහොතෙම ඔබ ඔබටම යෝජනා කරන්න ‘මම මේ අඩුව ඊළඟ දවසට නම් අරගෙන යන්නේ නෑ. මම මීළඟ දිනය වෙනුවෙන් මේ වැරැද්ද, අඩුපාඩුව හදාගන්නවා’ කියලා.

ඔබ ඔබේ ලස්සන ක්‍රියාවන් හෝ කතාබස් හෝ සිතුවිලි හෝ ඒ දවස ඇතුළේ කළා කියලා දකිද්දී ඒ මොහොතෙත් ඔබ ඔබටම යෝජනා කරන්න ‘මම මේ ලස්සන ගුණය ජීවිතේ දිගටම පවත්වනවා, මං මේ හොඳ ගතිගුණය තව වැඩි වැඩියෙන් දියුණු කරගන්නවා’ කියලා.

ඔන්න ඔය අවස්ථා දෙකම කෙනෙක්ට ලැබෙන්නේ හැම රාත්‍රියකම නින්දට යන්න පෙර විනාඩි කිහිපයක් තමන් දවස ගත කරපු හැටි සිහි කරන්න පටන් ගත්තොත් විතරයි. මේ කටයුත්ත නිදි යහනේ වාඩි වෙලා හෝ නිදහස් තැනක සක්මන් කරමින් හෝ පුටුවක වාඩි වෙලා හෝ කොයි ආකාරයකින් වුණත් කරන්න පුළුවන්. නමුත් නිදාගන්න ඉරියව්වෙන් කරන්න එපා! මොකද ඒ ඉරියව්වෙදි ඉක්මනින්ම කම්මැලිකම හිතට ඇවිත් මේ කටයුත්ත අසාර්ථක වෙන්න පුළුවන්.

බාධාවක් තියෙනවා

මේ කටයුත්ත කරන්න බැරි වෙන්න බාධාවක් තියෙනවා. ඇත්තෙන්ම ඒක බාධකයක්. ඒ තමයි ස්මාර්ට් ෆෝන් එක. ඔව්! ඔයාලට පුළුවන් ඒ බාධකය දිනන්න. තමන් දවස ගත කරපු ආකාරය සිහි කරන ඒ විනාඩි කිහිපයේ ස්මාර්ට් ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා පටන් ගන්න. ඒක තමයි බාධකේ දිනන පිළිවෙළ.

තමන් දවස ගෙවූ හැටි සිහි කරලා, ඒ මොහොතේම යෝජනාත් කරලා, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට තමන්ගේ ජීවිතේ තෙරුවනට පූජා කරන්නත් පුරුදු වෙන්න.

“මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා වේවා! මගේ ජීවිතය උතුම් ශ්‍රී සද්ධර්මයට පූජා වේවා! මගේ ජීවිතය ආර්ය මහා සංඝරත්නයට පූජා වේවා! නමෝ බුද්ධාය!”

නින්දට යන උදවිය නිදි යහනේම මිය යන අවස්ථා කොයිතරම් තියෙනවා ද. අපේ ජීවිතේටත් එහෙම වෙන්න බැරි ද. අන්න ඒ නිසා, නිදා ගැනීමට පෙර තෙරුවනට ජීවිතේ පූජා කරලා නින්දට යෑමට පුරුදු වෙන්න.

ඔය විදිහට දවස ඉවර කරන්න පුළුවන් නම් ඒක කොයි තරම් ලස්සන ද!

ලස්සනට පටන් ගන්නෙ කොහොමද?

ලස්සනට පටන් ගන්න තියෙන්නේ අලු‍ත් දවස. අලු‍ත් දවසක අවදි වුණ ගමන් තෙරුවනට ජීවිතේ පූජා කිරීමෙන් ම පටන් ගන්න.

“නමෝ බුද්ධාය! මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා වේවා! මගේ ජීවිතය උතුම් ශ්‍රී සද්ධර්මයට පූජා වේවා! මගේ ජීවිතය ආර්ය මහා සංඝරත්නයට පූජා වේවා!”

ඊටපස්සේ අලු‍ත් දවස වෙනුවෙන් අලු‍ත් යෝජනා කරන්න. ඒ යෝජනා තමයි කලින් දවසේ රාත්‍රියේ ඇති කරගත්ත යෝජනා. ‘මම අද දවසේ මේ අඩුපාඩුව වැරැද්ද කරන්නේ නෑ. මම මේ විදිහේ ලස්සන ගතිගුණවලින් අද දවස ගත කරනවා’ ඔය ක්‍රමේට පුරුදු වෙන්න පුළුවන් නම් ඔබේ අලු‍ත් දවසත් ලස්සනට ආරම්භ වෙනවා.

එකපාර බැරි වෙයි

ඇත්තෙන්ම එකපාර බැරි වෙයි අඩුපාඩු හදාගන්න. එකපාර බැරි වෙයි ලස්සන ගුණදහම් ඇති කරගන්න. නමුත් මේ පිළිවෙළට ‘ලස්සනට ඉවර කරන්නත්, ලස්සනට පටන් ගන්නත්’ ඔබ අවංකව උත්සාහ කළොත් ටික ටික ඔබේ ජීවිතේ ලස්සන වෙන හැටි ඔබට ම පෙනෙන්ට ගනීවි! ඒ නිසා මේ කියා දීපු ක්‍රමය පුරුද්දක් විදිහට ඔබේ ජීවිතේට ගළපා ගන්න.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ‘අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර දේශනාවේ දී’ අපගේ රාහුල තෙරුන් වහන්සේට කරපු අවවාද ඇසුරු කරගෙනයි මේ වටිනා ලිපිගත අපි ඔයාලා වෙනුවෙන්ම සකස් කළේ.

පටන් ගන්න

ලස්සනට දවසක් අවසන් කරන්නත් පටන් ගන්න. අලු‍ත් දවස ලස්සනට ආරම්භ කිරීමත් පටන් ගන්න. එතකොට ඔයාලගෙ ජීවිතේ දවස් ලස්සන වේවි! එබඳු දවස්වලින් හැදෙන සතියත් ලස්සන වේවි! එබඳු සතිවලින් හැදෙන මාසත්, එබඳු මාසවලින් හැදෙන අවුරුද්දත් ලස්සන වේවි!

මතක තියා ගන්න… ඔයාලගේ පරණ දොස් අඩුපාඩු එහෙම්ම තියෙනවා නම් අලු‍ත් දවසක්, අලුත් අවුරුද්දක් උදා වුණා කියලා ඔයාලගේ ජීවිතේ ඉබේම අලු‍ත් වෙන්නේ නෑ. අලු‍ත් අවුරුදු, සුභ අවුරුදු ලෝකයේ සැමරුවත් නැතත් දවසින් දවස ලස්සන කරගන්න කෙනාට නම් අලු‍ත්ම අලු‍ත් ලස්සන අවුරුදු ජීවිතේ හැමදාම උදා වේවි! ඉතිං එබඳු ලස්සන අවුරුදුවලින් සැරසෙන ඔයාගේ ජීවිතේ ලස්සන වෙන එක ගැන කවර කතා ද?

දැන් ඔබ දන්නවා ‘ජීවිතේම ලස්සන කරගන්නේ කොහොමද’ කියලා. ඉතිං ඒ දන්න ධර්මය ප්‍රමාද නොවී පුරුදු කරන්න පටන් ගන්න.

න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ

මේ වැඩේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඩේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත් වෙන්නේ.

(ධම්මපදය – චිත්ත වර්ගය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.