ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්රයාණෝ ය. අප කෙරෙහි දැක්වූ කරුණාව නිසාවෙන් උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ සමානයහ. සිය නිකෙලෙස් හද මඬල නමැති දියමන්ති මංජුසාවෙහි පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නමැති සිංහතෙල රඳවාගෙන ලක්දිවට වැඩම කළ සේක. උන්වහන්සේගේ නිකෙලෙස් හද මඬලින් දරාගෙන වැඩි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ලක්වැසි පුණ්‍යවන්තයෝ මහරහතන් වහන්සේලා බවට පත් වූ සේක. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ලක්වැසියන්ගේ ශාසන මාතෘ උන්වහන්සේ ය.
විමුක්ති සිත් පෝෂණය කළ පීතෘ උන්වහන්සේ ය. ලක්දිව පුරා දම්සුවඳ පැතිරවූ සුවඳ කුසුම උන්වහන්සේ ය.
මෙයින් වසර 2366කට පෙර ශ්‍රී බුද්ධ වර්ෂ 204 දී ධර්මාශෝක අධිරාජයාට දාව වේදිසා දේවියගේ කුසින් උපන් මිහිඳු කුමරු විසි වයස්හි දී, එනම් මෙයින් වසර 2346කට පෙර ශ්‍රී බුද්ධ වර්ෂ 224 දී පැවිදි උපසම්පදාව ලැබ, උපසම්පදා මාලකයේ දී ම අරහත්වයට පත් වූ සේක. ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ප්‍රත්‍යන්ත දේශයන් කරා ධර්මදූතයන් වහන්සේලා පිටත් කර හරිනු ලබද්දී මිහිඳු මහරහතන් වහන්සේ එකල තිස් දෙහැවිරිදි ද උපසම්පදාවෙන් දොළොස් හැවිරිදි ද වූ සේක. මෙයින් වසර 2334කට පෙර ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන්පොහෝ දිනයේ ලක්දිව වැඩම කොට, මෙයින් වසර 2286කට පෙර ශ්‍රී බුද්ධ වර්ෂ 284 දී අසූ හැවිරිදි වයස්හි දී වප් පුර අටවක පොහෝ දින පිරිනිවන් පානා තුරු ම මෙබිම වැඩවෙසෙමින් ඒ අනුබුදු සඳමඬලාණෝ අමා දම් සිසිලසින් ලක් දනන් සුවපත් කළ සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම නොකරන්නට අප තවමත් දීන මිනිසුන් ය. අණක් ගුණක් නොමැති ම්ලේච්ඡ ජාතියක් වන්නට සිටි සිංහලයා, ලොවෙහි උතුම් ම ආර්ය ජාතිය බවට පත් කළෝ උන්වහන්සේ ම ය. දෙවනපෑතිස් මහරජුන්ගේ මුතුන්-මිත්තන්ගේ පරපුර වනාහී යකුන් යකිනියන් සමඟ කෙළිදෙළෙන් ගත කළ පිරිසකි. ඇත්තෙන්ම ලක්දිව යක්ෂද්වීපයක් කළෝ ඔවුහු ය. එනමුදු අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එකී යක් පුරය දම් සුවඳ හමන ධර්මද්වීපයක් කළෝ ය. ගෞතම බුදුරජුන්ගේ දහම් ගබඩාව කළෝ ය. මිථ්‍යාදෘෂ්ටික අන්ධකාරය දුරු කළ රිවි මඬල වනාහී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය. මේ ලක්දිව සසුන් කෙත වැපුරූ උන්වහන්සේ ලක් බුදු සසුන එකලු කළ පහන් රුක වූ සේක. හෙළ වැසියන්ගේ සැබෑ ම විමුක්තිදායකයාණෝ උන්වහන්සේ ය. බෝපත් ලෙලදී හමා යන සුළං රැලි ලක්වැසියන්ගේ සෝතැවුල් සංසිඳවූහ. අවිද්‍යාවෙන් තෙත්ව දුකින් බර වූ දෙනෙත් මහා ස්ථූප නමැති අඳුනින් සිහිල් කළ සේක. ලක්වැසියන්ගේ දුක් ගිනි නිවූ මිහින්තලාවෙන් ගැලූ සිහිලැල් දහම් නදිය උන්වහන්සේ ම ය.
මිහින්තලාවෙන් පෑයූ කෙලෙස් විඩා නිවාලන පොසොන් පුන් සඳ උන්වහන්සේ ය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉතා අපූර්ව වූ සදහම් නගරයක් සිරිලක් බිමෙහි නිර්මාණය කළ සේක. මහාවංශයෙහි මහානාම තෙරුන් වහන්සේ උන්වහන්සේ හඳුන්වන්නේ ‘සත්ථුකප්පෝ’ ‘ශාස්තෘන් වහන්සේ සමාන වන සේක’ වශයෙනි. එහි මෙසේ සඳහන් ය.
ලංකාපසාදනගුණේන වියාකතෝ සෝ
ලංකාහිතාය මුනිනා සයිතේන අන්තේ
ලංකාය සත්ථුසදිසෝ හිතහේතු තස්සා
ලංකාමරූහි මහිතෝ’භිනිසීදි තත්ථාති.
“ලක්දිව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ විසින් පිරිනිවන් පානා මොහොතෙහි සල් රුක් සෙවණෙහි සැතපී සිට ලංකාදීපප්පසාදක ගුණයෙන් හෙබි මිහිඳු මහරහතන් වහන්සේ ගැන අනාවැකියක් වදාළ සේක. ලංකාවට ශාස්තෘන් වහන්සේනමක් බඳු අප මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවෙහි යහපත උදෙසා වැඩම කළ සේක” යනුවෙනි.
මෙම අතීතාවර්ජනය අපගේ පරම පූජනීය වූ කල්‍යාණමිත්‍ර වූ ආදිගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ගුණයට උපහාරයක් ම වේවා! ලක්දිව පැතිරුණ දම්සුවඳින් මම ද ඔබ ද සැනසී සිල් සුවඳ, ගුණ සුවඳ විහිදුවන සැබෑ ශ්‍රාවකයන් වීමේ භාග්‍යය ලබත්වා!
යෝ සත්ථුකප්පෝ කල්‍යාණමිත්තෝ – මහාඤාණී ජිනත්‍රජෝ
සෝ ලංකාදීපමාගම්ම – ජෝතයී බුද්ධසාසනං
තං වීතරාගං ලංකාදීපප්පසාදකං – වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං
උතුම් සම්බුදු පුත් රුවන වූ – අපට අනුබුදු රුවන බඳු වූ
මහා නුවණැති කලණ මිත් වූ – යම් මහරහත් උතුමෙක්
දඹදිවින් මෙහි වැඩම කොට – බුදු සසුන බැබළවූවෙද
මුළු ලක්දිව ම පැහැදුණු – වීතරාගිව පිරිනිවන් වැඩි
අපගේ මිහිඳු මුනිඳුට – වඳිමි මම සාදරයෙන්
සාදු! සාදු!! සාදු!!!
Recent Comments