පෑලදිග රන්වනින් බැබළී ගිය වලායෙන් සැරසී ගත් අහස් කුස පැහැසර අරුණලු පතුරුවාලමින් හිමිදිරියේ ම ළහිරු කිරණින් ලොව පුබුදුවා ඇවිත් දවසක් ඇරඹෙයි. නේක කටයුතු බලාපොරොත්තු සංකල්පනා මැද හෝරාවෙන් හෝරාව දවස ගෙවී යද්දී අදටත් වඩා යහපත් වූ හෙටක් ගැන සුභ සිහින දකිද්දී ම… අවරදිග සුරත් වලා සළු පොරවාගත් සූරිය මඬල ගොළු මුහුදේ ගිලී ලොවට නිදි සුව කැඳවමින් තවත් දවසක නිමාව සනිටුහන් කරයි.
යළි යළිත්… යළි යළිත්… පෙරසේම මෙය මතුවට ද මෙසේම සිදුවනු ඇත. සැබැවින්ම මෙහි ඇත්තේ මෙපමණ ද?
රුදුරු ගිනි අඟුරු වළක් වන් නිරයේ අප ඉපිද සිටි යුගවල දී ද වියළි කතරක පත් සිඳී ගිය රුකක් යට සිටීම බඳු ප්‍රේත ලොව ඉපිද සිටිය දී ද අසූචි වළක් වන් තිරිසන් ලොවෙහි අප සිටිය දී ද… දිනෙන් දින ගෙවී ගොස්… කල්ප ගණන් යුග ගෙවී ගියේ මේ අයුරින් මැයි. එහි ද අරුමයක් නැත.
එනමුදු අපි සිහිනුවණ උපදවා ගත යුතු ම වෙමු. මොහොතින් මොහොත අද මේ ගෙවී යන්නේ කල්ප කාලාන්තරයකට පසු අපි ලද අති දුර්ලභ ක්ෂණ සම්පත්තියයි. ක්ෂණ සම්පත්තිය ලද මේ ජීවිතයේ ගත වන සෑම තප්පරයක් ම තීරණාත්මක වනු ඇත. එක මොහොතක් හෝ නිකරුණේ ගෙවී යාමට ඉඩ හැරීම නම් මහත් අලාභයකි. මේ මොහොත වරද්දා ගැනීම මහත් අනුවණකමකි.
නගරං යථා පච්චන්තං – ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං – ඛණෝ වෝ මා උපච්චගා
ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා”
‘ඇතුළතත්, පිටතත්, හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගෙ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්න ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්ට එපා. මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්නට වෙනවා.’
(ධම්මපදය – නිරය වග්ගය)
තම තමා විසින් ම සිත කය වචනය වරදවා ගත් දොසින් උරුම වූ දුගතියෙන් ගැලවී, සුළු මොහොතකට උරුම වූ සුගති රැකවරණය රැක ගත යුත්තේ ද තම තමා විසින් ම ය.
මනුලොව උපත නම් වූ අති දුර්ලභ වාසනාව උරුම කරගත් කෝටි ගණනක් මිනිසුන් අතරේ අපට උදා වූයේ “ක්ෂණ සම්පත්තිය” යි. කල්ප ගණනකට පසු මිනිසුන් අතර උපත ලැබූවන්ගෙන් කෝටි සංඛ්‍යාත ජනයා ‘බුද්ධ’ යන වචනය පවා නොඅසාම මෙලොව හැර යන අයුරු දකිනු මැන. ජීවිතයේ අරුත පවසන මිහිරි දහම් පද නෑසෙන මානයේ දිවි ගෙවා හිස් අතින් ම මනුලොව හැර යන්නවුන් කොපමණ ද? කසාවතින් ගත පොරවා ගත් ශ්‍රමණ රුව නොදුටු නෙතින් ම දිවි ගෙවා අවසන් කරන්නවුන් කොතෙක් නම් සිටී ද? පින පව, මෙලොව පරලොව, සසර දුක හෝ නිවන ගැන… සිහිනෙන්වත් නෑසුණ මිනිසුන් කොපමණ නම් මේ මනුලොවේ සිටිත් ද?
එවන් ලොවක… අපේ ම වාසනාවට අපට දුර්ලභ මිනිස් උපතක් සමඟින් ම අති දුර්ලභ බුදු සසුනක් මුණගැසීම සැබැවින් ම විස්මිත ය. එනමුදු… එපමණකින් ම ඒ ගැන සෑහීමට පත් වීම නම් කිසිසේත්ම බුද්ධි ගෝචර නොවේ. අප තථාගතයාණෝ මේ උතුම් ම මොහොතේ අගය බුදු නෙතින් දුටු සේක් මේ අයුරිනි.
“මහපොළොව එකම ජලාශයක් වී ඒ ජලාශයේ ඒ මේ අත පාවෙමින් තිබෙන එක් සිදුරක් ඇති විය දණ්ඩකි. ඒ ජලාශයේ ම වසන සිය වසරකට වරක් උඩට එන කණ කැස්බෑවෙකි. යම් මොහොතක ඒ කණ කැස්බෑවා සිය වසරකට වරක් උඩ මතු වී එම විය සිදුරෙන් හිස පිවිසීම ඉතා දුර්ලභව සිදුවිය හැක්කකි.
මහණෙනි, ‘මිනිසත් බව ලබයි’ යන යමක් ඇද්ද මෙය එසෙයින්ම ඉතාමත්ම දිගුකලක් ඇවෑමෙන් ලැබෙන දෙයකි.”
අපගේ සම්මා සම්බුදු තථාගත තෙමේ ලෝකයෙහි උපදියි යන යමක් ඇද්ද… තථාගතයන් විසින් දේශනා කරන ලද ධර්ම විනය ලොවෙහි බබළයි යන යමක් ඇද්ද… මෙය ද එසෙයින්ම ඉතාමත් දිගු කලකින් පසු ලැබෙන දෙයකි. මේ දුර්ලභ කාරණා ලද මොහොතේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස වීර්යය කළ යුතු යැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක.
හුදෙක්ම හොඳ අධ්‍යාපනයක් ලැබීම, උසස් යැයි සම්මත රැකියාවක නියැළීම, ගෙවල් දොරවල් යාන වාහන, දූ දරුවන්, ලැබීම යන මේවා මිනිස් ජීවිතයක ලෞකික සුවපහසුව පිණිස උපකාර වන දෑ මිස… කිසිසේත් ම ජීවිතයේ අරුත නම් නොවේ. සසරේ සුපුරුදු දේ මිස දුර්ලභ සම්පත් නොවේ. ඒ නිසා මේ මත ම වටිනා මිනිස් දිවිය දිය කර හැරීම ප්‍රඥාගෝචර නොවේ.
වෙසෙසින් ම තථාගතයන් වහන්සේ ව ම පිළිසරණ කර ගනිමින් මුළු දිවිය ම සසුන් බඹසරට ම කැප කළ තම ශ්‍රාවක දරුවන්ගේ ‘අප්‍රමාදය’ අගය කොට වදාළ ශාස්තෘන් වහන්සේ මෙවන් ඔවදන් වදහළ සේක.
“කථං භූතස්ස මේ රත්තින්දිවා වීතිපතන්තී”ති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.”
‘කෙබඳු අයුරින් ගත කරන මට රාත්‍රිය ත්, දහවල ත් ඉක්ම යන්නේ දැ’ යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.’
මෙසේ සිහිකරන සැදැහැති ශ්‍රාවක පුතුන් දවසක් නිමාවන මොහොතේ ගෙවූ දිනය දෙස ආපසු හැරී බලද්දී… හිස් විදියට ගෙවී ගිය එකදු මොහොතක් හෝ තිබෙනු දැකීමට බිය වෙයි. මන්ද… ඒ උතුමන් මෙබඳු බුදු වදන් නිති සිහි කරන නිසාවෙනි.
“යම් එක ම ධර්මයක් භාවිත කරන ලද්දේ බහුලව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථයත්, පරලොව අර්ථයත් යන උභයාර්ථය සලසයි නම් එබඳු එක ම ධර්මය නම් අප්‍රමාදී බවයි.”
(අප්‍රමාද සූත්‍රය, අං. නි. 4)
අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
අභබ්බෝ පරිහාණාය – නිබ්බාණස්සේව සන්තිකේ”
‘යම් භික්ෂුවක් අප්‍රමාදයේ ඇලී ඉන්නවා නම්, ප්‍රමාද වීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්ට සුදුසු කෙනෙක් නොවෙයි. ඔහු ඉන්නේ ඒ අමා නිවන ළඟ ම යි.’
(ධම්මපදය – අප්පමාද වග්ගය)
අපට මේ අවස්ථාව ලැබුණේ කල්ප ගණනාවකට පසුව බව සැබැවි. එනමුදු මේ මොහොත “ක්ෂණයක්” මිස බොහෝ කල් පවතින එකක් නොවේ. සෑම මොහොතක ම මේ උතුම් ක්ෂණය අහිමි කරවමින් ජීවිතය ගෙවී යන වේගය අදහාගත නොහැකි තරම් ය.
“අප්පකං බ්‍රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය බොද්ධබ්බං කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.”
‘මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය.’
මේ, මිනිස් ආයුෂ අවු. 60000ක් වූ යුගයක අරක නම් ශාස්තෘවරයා තම ශ්‍රාවකයන්ට කළ අවවාදයයි.
එමතුද නොව තණ අග ඇති පිණි බිඳ හිරු උදාවන කල්හී සැණෙකින් සිඳී යන සෙයින් ද මහත් දිය බිඳු ඇතිව වැස්ස වසින කල්හී හට ගන්නා දිය බුබුල් සැණෙකින් බිඳී යන සෙයින් ද දියෙහි ඇඳි ඉර සැණෙකින් නොපෙනී යන සෙයින් ද මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා සුළු කලක් ම පවතින්නේ ය.
කඳු මුදුනේ හටගත් – ඉතා දුර යන්නා වූ වේගවත් සැඩ පහර ඇති නදියක්, නැවතී සිටින ක්ෂණයක් හෝ ලයක් හෝ මොහොතක් හෝ නැත්තා සේ ම මේ දිවිය ද ඉතා වේගයෙන් මොහොතකදු නොනැවතී ගෙවී යන්නේ ම ය. මරණයට නියම වූ ගව දෙනක ඔසවන තබන පියවරක් පාසා මරණයට ම ළං වන සෙයින්… උපන් සත්වයා ද ඉහළ පහළ හෙළන සෑම හුස්මක් පාසා ම මරණයට ළං වෙත් ම ය.
මිනිස් ආයුෂ වසර 60000ක් ව පැවති යුගයේ කළ එම අවවාදය ගැන අප සුගත තථාගතයාණෝ වදහළේ වසර 100ක පමණ ආයුෂයක් ඇති මෙකලට ඒ අවවාදය වඩාත් උචිත බවයි. කරුණා පිරි භාග්‍යවතුන් වහන්සේ මිනිස් දිවියේ අල්ප බව ගණනය කොට දක්වන සේක.
“සිය වසක් ජීවත් වන්නෙකුට, ජීවත් වීමට තිබෙන්නේ, ඍතු වාර 300කි. මාස 1200කි. රාත්‍රී 36000කි. බත් අනුභව කිරීමට ඇත්තේ වාර 72000කි. එය ද බත් වැරදුනු කාලය ද එක්කොට ය.
මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා ඇත්තා වූ, ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුත්තේ ද, මා විසින් එය ඔබට කරන ලද්දේ ය. මහණෙනි, ඔය තිබෙන්නේ රුක් සෙවණ ය. ඔය තිබෙන්නේ ශූන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාදයට පත්වෙන්නට එපා. ප්‍රමාදයට පත් ව පසු කලක පසුතැවෙන්නට එපා. මෙය ඔබට අපගේ අනුශාසනය යි.”
(අරක සූත්‍රය, අං. නි. 4)
මිනිස් ආයුෂ වසර 70 – 80ක් ව පවතින මේ යුගයේ… ලද මේ ක්ෂණය නිකරුණේ ගෙවී යා නම්, එය මහත් ම විපතකි. වරදිනසුලු සසරේ ගොදුරක් බවට පත් වුවහොත් නැවත කවදා නම් මෙවන් මොහොතක් ලැබේදැයි කාට නම් කිව හැකි ද?
ජරා මරණ විසින් හතර වටින් වටකොට පහර දෙන මේ දිවියේ තවත් නම් පමා වීමට කාලයක් නැත් ම ය. මොහොතකට නැවතී තමා දෙස ම හැරී බලනු මැන. අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලද දිවියේ මේ වන විටත් කොපමණ ආයුෂ ගෙවී ගොස් ද? ගත වූ කාලය ගෙවී ගිය ආකාරය ගැන ඔබට අවංකව ම සෑහීමකට පත් විය හැකි ද?
දැන් පසුතැවීමට කාලය නොවේ. මේ අප්‍රමාදී වීමට කාලයයි. තව කොපමණ කලකට දැයි නොදන්නා නමුත්… තවමත් ඔබ ජීවතුන් අතර සිටීම ගැන සැනසුම් සුසුම් හෙළමින්… මියෙන මොහොත දක්වා ම එකම එක ඇසිල්ලක්වත් හිස් විදියට ගත නොකිරීමට දැඩිව අදිටන් කර ගනිත්වා! ලද ක්ෂණයේ උපරිම ඵල ලබත්වා! ධර්මාවබෝධය ම පතා පින් කුසල් වැඩුමෙහි අප්‍රමාදී වෙත්වා!
“මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත් ජීවිතය කරා එන්නෙ මහා ගිනි කඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්ට බලයක් නෑ. පලායන්ට ජවයකුත් නෑ. ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්ට හොඳ නෑ. ගෙවී යන සෑම රාත්‍රියකින් ම ජීවිතේ කෙටි වෙලා යනවා.
එනිසා ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා පමා නොවීමට මේ කාලයයි!”
(සිරිමන්ද රහත් මුනිඳුන්ගේ ගාථා)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.
Recent Comments