නාගසේන කුමරු අනුක්‍රමයෙන් වැඩී හත් හැවිරිදි වියට පත් විය. එවිට පියාණන් කුමරු අමතා, “දරුව නාගසේනයෙනි, මේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි උගතමනා ශිල්පයන් ඉගෙන ගන්න.”‍ යැයි පැවසී ය. “පියාණන් වහන්ස, මේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි උගත යුතු ශික්ෂාවන් මොනවා දැ?” යි‍ විමසූ විට, “‍දරුව නාගසේනයෙනි, වේදයෝ වනාහී තුනකි. ඒ වේදත්‍රය ‘සික්ෂා’ නම් වේ. අවශේෂ වූ ශිල්පයන් ‘ශිල්ප’ නම් වෙයි.”‍ කියා පිළිතුරු ලැබිණි. “එසේ වී නම් පියාණෙනි, ඒවා ඉගෙන ගන්නෙමි.”‍ කියා නාගසේන කුමරු පිළිවදන් දිනි.

ගුරු සිත නොරිදවා අකුරු උගනී කුමරු සොඳවා…

ඉන්පසු සෝණුත්තර බ්‍රාහ්මණයා අකුරු කරවන්නා වූ ආචාර්ය බ්‍රාහ්මණතුමාට ගුරුපඬුරු පිණිස දහසක් කහවණු දී ඇතුළු ප්‍රාසාදයේ වූ එක් සැටියක ඇඳක් පනවා මෙසේ කීය. “බ්‍රාහ්මණය, ඔබ මාගේ පුත්‍රයා හට මන්ත්‍ර හදාරව.”‍ කියා ය. “එසේනම් ශිෂ්‍ය පුත්‍රය, මන්ත්‍රණයක් ඉගෙන ගනුව.”‍ යි කියා ගුරු බ්‍රාහ්මණ තෙමේ මන්ත්‍ර හදාරවන්නේ ය. නාගසේන කුමරු එක්වරක් කියවා ගත් පමණින් ම ත්‍රිවේදංගයෝ මතකයෙහි දරා ගත්තේ ය. මනාකොට ම අවබෝධ කර ගත්තේ ය. එක්වරක් ඇසූ සැණින් ම ත්‍රිවේදයෙහි ද නිඝණ්ඩු ශාස්ත්‍ර සහිත වූ කාව්‍යාලංකාරයෙහි ද ඉතිහාසය පස්වැනි කොට ඇති භාෂා ශාස්ත්‍ර පිළිබඳ ශික්ෂා නිරුත්ති සහිත අක්ෂර ප්‍රභේද සහිත දැනුමෙහි ද අතිශයින් ම දක්ෂ වූයේ ය. එම නිසා ‘පද’ නම් ග්‍රන්ථ විශේෂය වූ ශබ්ද ශාස්ත්‍රය දන්නේ ය. ව්‍යාකරණ ශාස්ත්‍රය ද දන්නේ‍ ය. දොළොස් දහසක් ග්‍රන්ථ ඇති ලෝකායන මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද නිපුණ විය.

ඉක්බිති නාගසේන කුමරු තම පියාගෙන් මෙසේ විමසීය. “‍පියාණෙනි, මේ අපගේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි මීට වඩා උගත යුතු ශිල්පයෝ ඇද්ද? නැත්නම් මෙපමණක් ද ?”‍ කියා ය. එවිට පියා, “දරුව නාගසේනයෙනි, අපගේ මේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි මීට වඩා උගතමනා ශිල්ප ශාස්ත්‍රයක් නැත. ශික්ෂණය කටයුතු ශිල්පයෝ මෙපමණක් ම ය.”‍ කියා පැවසීය. එය ඇසූ නාගසේන කුමරු තම ආචාර්ය බ්‍රාහ්මණයාට පාඩම් දී සමුගෙන ප්‍රාසාදයේ උඩුමහලට නැඟී පූර්වවාසනා බලයෙන් මෙහෙයවන ලද සිත් ඇතිව හුදෙකලා ව විවේකයෙන් නුවණින් විමසීය. තමන් උගත් ශිල්පශාස්ත්‍රවල මුල – මැද – අග නුවණින් සලකද්දී කිසි ලෙසින්වත් හරයක් නොදැක, “තුච්ඡා වත භො ඉමේ වේදා, පලාපං වත භො ඉමේ වේදා”‍ යැයි,‍ “මං උගත් වේද ශාස්ත්‍ර අසාර ය, නිස්සාර ය.”‍ යැයි කලකිරී විපිළිසරව නොසතුටු විය. එසමයෙහි රෝහණ මහතෙරුන් වහන්සේ වන්තනිය සේනාසනයෙහි වැඩ සිටිමින් නාගසේන කුමරුගේ චිත්ත විතර්කය පරසිත් දන්නා නුවණින් දැක වදාළ සේක.

එකෙණෙහි ම සිවුරු පොරවා පාත්‍රයත් ගෙන වන්තනිය සේනාසනයෙන් අතුරුදහන්ව කජංගල නම් බ්‍රාහ්මණ ගමේ පහළ වූ සේක.

රැස් කරනා පින එයි පසුපස්සේ සැප සලසන්නට හැමතිස්සේ

නාගසේන කුමරු වඩින්නා වූ රෝහණ තෙරුන්ව දුරදීම දැක සතුටුව ඔදවැඩියා වූ සිත් ඇතිව ප්‍රමුදිතව ප්‍රීති සොම්නස් උපදවා “මේ ශ්‍රමණයන් වහන්සේවත් කිසියම් සාරවත් දෙයක් දන්නේ නම් ඉතා යහපත්.”‍ යැයි සිතුවේ ය. එසේ සිතා රෝහණ මහ තෙරුන් වහන්සේ ළඟට ගොස්, “ශ්‍රේෂ්ඨයාණෙනි, මෙබඳු වූ හිස මුඩු කළ කසාවත් හඳිනා ඔබ වහන්සේ කවුරුදැ?” යි ඇසුවේ ය.

“දරුව මම පැවිද්දෙක්මි.”‍ තෙරණුවෝ පිළිතුරු දුන්හ. “ශ්‍රේෂ්ඨයාණෙනි, නුඹ වහන්සේ කුමක් පිණිස පැවිදි වූ සේක් ද?”‍ කියා විචාළ විට, “දරුව, පවිටු වූ කෙලෙස් මල දුරු කරන්නට පැවිදි වීමි.”‍ යි තෙරණුවෝ පැවසූහ.

“‍නිදුකාණන් වහන්ස, මැනවි. නුඹ වහන්සේගේ හිසකේ සෙස්සවුන්ගේ මෙන් දික් නොවී ලු‍හුඬු වන්නට කාරණා කවරේ ද?”‍ කුමරු යළි ඇසුවේ ය. “දරුව, දික් වූ හිසකෙස් දැරීමෙන් සොළොසක් වූ පළිබෝධ ඇතිවන නිසා හිසකේ රැවුල් කපා පැවිදි වීමි.”‍ “‍නිදුකාණන් වහන්ස, ඒ පළිබෝධ දහසය නම් කුමක්ද?”‍ කියා කුමරු විමසී ය. “දික් හිසකේ ඇති කල අලංකාර කරවන පළිබෝධය, ඉසංකෝධන පළිබෝධය, මල් පලඳින පළිබෝධය, සුවඳ ගල්වන පළිබෝධය, දුම ආදියෙන් සුවඳ කවන පළිබෝධය, අරළුසුණු ගල්වන පළිබෝධය, හිසකෙස් බඳින පළිබෝධය, පනාවෙන් පීරන පළිබෝධය, අන්දම් තිබීම් පළිබෝධය, අවුල් හරින පළිබෝධය, උකුණන් හරින පළිබෝධය යන මේ පසළොස් පළිබෝධ හා හිසකේ වැනසී ගිය කල සෝක කෙරෙති, ක්ලාන්ත වෙති, හඬති, පපුවෙහි අත් ගසමින් හඬති, සිහි මුළාවට පැමිණෙති යන මේ මහා පළිබෝධය ද යන සොළොස් පළිබෝධයන් වැළඳ සිටියා වූ මිනිසුන් අති සියුම් සියලු‍ම ශිල්ප ශාස්ත්‍රයන් නසා ගන්නේ ය.” යි තෙරුන් වහන්සේ වදාළ සේක. එවිට නාගසේන කුමරු, “එසේය නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගේ හඳනා පොරෝනා වස්ත්‍රයත් අන් අයගේ මෙන් නොවේ. එයට හේතු කාරණා කවරේ ද?”‍ කියා ඇසුවේ ය. “දරුව, ගිහියන් විසින් හැඳිය පැලඳිය යුතු වූ, සියල්ලන් විසින් කැමති වන්නා වූ, යහපත් වූ වස්ත්‍රයේ පඤ්චකාම නිශ්‍රිත ය. එහෙයින් දරුව, යම්කිසි භයක් උපදී නම් ඒ වස්ත්‍ර නිසා උපදින්නේ ය. ඒ භය කසාවත් හඳිනා අයට නැත. ඒ නිසා මාගේ වස්ත්‍ර සෙස්සන්ගේ මෙන් නොවේ.”‍ කියා රෝහණ තෙරණුවෝ වදාළහ.

පින් ඇති මගේ හිමි සඳුගේ මන්ත්‍ර කියා දෙන්නේ…..

නාගසේන කුමරු ඒ අසා සතුටුව, “නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ ශිල්ප ශාස්ත්‍ර නම් දෙයක් දන්නා සේක්දැ?”‍ යි ඇසුවේ ය. “එසේය දරුව, මම ශිල්ප ශාස්ත්‍රත් දනිමි. ලෝකයෙහි උතුම් වූ යම් මන්ත්‍රයක් ඇද්ද, ඒ මන්ත්‍රයත් දනිමි.”‍ යි වදාළ සේක.

“නිදුකාණන් වහන්ස, ඒ උතුම් වූ මන්ත්‍රය මටත් දෙන්නට පුළුවන් ද?”‍ යි විමසූ විට, “එසේය දරුව, පුළුවන්.”‍ යැයි වදාළ සේක. “එසේ වී නම් මට මන්ත්‍රය දුන මැනවැ.”‍ යි කුමරු ආයාචනා කළ විට, “දැන් දරුව ශිල්ප දෙන්නට සුදුසු කාලය නොවේ. ඇතුළු ගමට පිඬු පිණිස වැඩියෙමි.”‍ යි තෙරණුවෝ කීහ. ඉන්පසු නාගසේන කුමරු රෝහණ තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන ගෙට වඩා ගෙනවිත් ප්‍රණීත වූ ආහාරයන් සියතින් ම බෙදා පෙරැත්ත කොට වැඩි වැඩියෙනුත් වැළඳවී ය. වළඳා අවසන් වූ පසු, “නිදුකාණෙනි, මට දැන් ඉතින් උතුම් වූ මන්ත්‍රය දුන මැනවැ.”‍ යි කියා පැවසීය. එවිට තෙරුන් වහන්සේ, “‍පින්වත් දරුව, ඔබ යම් දවසක අප සේම පළිබෝධ රහිත වෙමින්, මව්පියන්ගේ ද අනුදැනුම ඇතුව මා ලෙසින් පැවිදි වන්නේ ද එදිනම ඔබට මන්ත්‍රය දෙමි.” යි පැවසූ සේක.

එවිට නාගසේන කුමරු මෑණියන්, පියාණන් කරා ගොස්,‍ “මෑණියෙනි, පියාණෙනි, මේ ශ්‍රමණයන් වහන්සේ ලෝකයේ උතුම් වූ මන්ත්‍රයක් ඇද්ද එය දනිමියි කියයි. තමන් ළඟ පැවිදි වූ කෙනෙකුට මන්ත්‍රය කියා දෙන සේක. මම උන්වහන්සේ ළඟ පැවිදි වී මන්ත්‍රය උගන්නෙමි.” කීය. එවිට මවුපියෝ ‘‍අපගේ පුතු පැවිදිව මන්ත්‍රය ඉගෙනගෙන, පසුව සිවුරු හැර එන්නේ යැ.’ යි සිතා, “පුත්‍රය, මන්ත්‍රය ඉගෙන ගනුව.” කියා අවසර දුන්හ. රෝහණ තෙරුන් වහන්සේ නාගසේන කුමරු කැඳවාගෙන වත්තනිය සෙනසුනේ විජම්භවත්තුවට වැඩි සේක. විජම්භවස්තුවෙහි වූ සේනාසනයෙහි එක් රැයක් වැස දෙවැනි දවස රක්ඛිතතලයට වැඩි සේක. රක්ඛිතතලයෙහි වාසය කළ දහස් සංඛ්‍යාත මහරහතුන් මැද නාගසේන කුමරයා පැවිදි කළ සේක. පැවිදි බිමට පත් නාගසේනයන් වහන්සේ, “ස්වාමීනී, පැවිදි වේශය මා විසින් ගන්නා ලද්දේ ය. දැන් මට උතුම් මන්ත්‍රය දුන මැනව.” යි ඉල්ලා සිටියේ ය.

කලණ සුමිතුරන් ඇසුරේ බණ පිරිවහ ගන්නේ…

එවිට රෝහණ මහරහතන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘මම වනාහී නාගසේන සාමණේරයන් ව පළමු කොට සුතාන්ත ධර්මයෙහි හෝ අභිධර්මයෙහි හෝ කවර ධර්මයෙක්හි හික්මවම්දෝ?’‍ කියා ය. “මේ නාගසේනයෝ ප්‍රඥාවන්ත ය. සුවසේම අභිධර්ම පිටකය ඉගෙන ගන්නට සමත් වන්නේ යැ.” යි‍ දැන මුලින්ම අභිධර්මයෙහි හික්මවූහ. නාගසේන සාමණේරයන් වහන්සේ ද අභිධර්මය ඉගෙන ගැනීමට පටන්ගෙන “‍කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතං ධම්මං.”‍ යනාදී වශයෙන් ප්‍රතිමණ්ඩිත වූ ධම්මසංගණීප්‍රකරණය ද ඛන්ධවිභංගාදී අටළොස් ප්‍රකරණයෙන් ප්‍රතිමණ්ඩිත වූ විභංගප්‍රකරණය ද “‍සංගහාසංගහ”‍ යනාදීන් තුදුස් ආකාරයකින් විභාග කළා වූ ධාතුකථාප්‍රකරණය ද ඛන්ධක ප්‍රඤ්ඤප්තිය – ආයතන ප්‍රඤ්ඤප්තිය යනාදීන් හය ආකාරයකින් විභාග කළා වූ පුද්ගලප්‍රඤ්ඤප්තිය ද සකවාදයෙහි පන්සියයක් සූත්‍ර ද පරවාදයෙහි පන්සියයක් සූත්‍ර ද යන දහසක් සූත්‍ර එක්කොට විභාග කළා වූ කථාවස්තු ප්‍රකරණය ද මූලයමක ඛන්ධයමක යනාදීන් දශප්‍රකාරයකින් විභාග කළා වූ යමකප්‍රකරණය ද හේතුප්‍රත්‍යය – ආරම්මණ ප්‍රත්‍යය යනාදීන් සූවිසි ආකාරයකින් විභාග කළා වූ පට්ඨාන ප්‍රකරණය යන සියලු‍ම අභිධර්ම පිටකය එකවරක් වදාළා වූ පමණකින් ම එක අකුරකුදු නොපිරිහෙළා වනපොත් කොට අර්ථයත් ඉගෙන ගත්තේ ය.

ඉන්පසු ගුරුදේවයන් වහන්සේට නාගසේනයන් වහන්සේ මෙසේ පැවසූහ. “‍ස්වාමීනී, වැඩසිටිය මැනව. නැවත නොකියවන්න. මෙපමණකින් ම මම නුඹ වහන්සේට වනපොත් (කටපාඩම්) දෙමි.”‍

“නාගසේනයෙනි, රහතුන් මධ්‍යයෙහි බිය නැතිව පිරිවහන්නට හැක්කේ ද?”‍ යි කියා රෝහණ තෙරුන් ඇසූ විට, “ස්වාමීනී, එසේ කළ හැකි ය.” යි පිළිතුරු දුනි. ඉන්පසු නාගසේනයන් වහන්සේ දහස් සංඛ්‍යාත රහතුන් මැදට වැඩම කොට, “ස්වාමීනී, මම් වනාහී එක්වරක් ඇසූ පමණින් මතකයේ දරාගත් සම්පූර්ණ අභිධර්ම පිටකය ම විස්තර වශයෙන් ම පිරිවහා අර්ථ සහිතව වනපොත් දෙමි.”‍ යි කී සේක. ඒ ඇසූ මහරහතුන්, “සාදු! සාදු! නාගසේනයෙනි, පාඩම් දෙව.” යි‍ කියා අවසර දී සෙත් පැතූහ. ඉක්බිති නාගසේනයන් වහන්සේ අවසර ගෙන සත්මසකින් සප්තප්‍රකරණය විස්තර වශයෙන් ම කටපාඩම් දුන් සේක. ඒ ක්ෂණයෙහි ම මහපොළොව සතසහස්‍රරාවයෙන් ගුගුරා කම්පා විය. සදෙව්ලොව දෙවියෝ සාදුකාර දුන්හ. පසළොස් බඹලොව බ්‍රහ්මයෝ අත්පොළසන් දුන්හ. දිව්‍යමය සඳුන්සුණු වසින්නට පටන් ගත්තේ ය. දිව්‍යමදාරා මල් වර්ෂා පතිත විය. ඒ අසිරිය දුටු මහරහතන් වහන්සේලා නොයෙක් අයුරින් නාගසේනයන් වහන්සේට ස්තූති ප්‍රශංසා කොට ගුණ වැයූහ. ඉන්පසු සුදුසු කාලයේ දී ඒ සියලු‍ රහතන් වහන්සේලා එක්ව විසිවයස් සම්පූර්ණ වූ නාගසේන සාමණේරයන් ව අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදා සීලයේ පිහිටවූ සේක.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.