මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අසිරිය යම් තරමකින් හෝ විඳගන්නට තරම් අපිදු වාසනාවන්ත වීමු. ආශ්චර්යවත් සම්බුදු නුවණින් හෙබි භාග්‍යවතුන් වහන්සේ ලෝ සත පෙර නොඇසූ විරූ විශ්මිත තොරතුරු ශ්‍රාවක ජනයා වෙත හෙළිදරව් කරන ලද්දේ ය. “පච්චේකබුද්ධ” හෙවත් පසේබුදුවරුන් පිළිබඳව ද නේක තොරතුරු වදාළේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම ය. පසේබුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමාන ව පවතින කාලයක නොව ඉන් පෙර දී ය. ඉසිගිලි සූත්‍රය, ඛග්ගවිසාණ සූත්‍රය ආදී සම්බුද්ධ දෙසුම්වල දී කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අසිරිමත් මුනිවරුන්ගේ යුගයන් ගැන මනරම් විස්තර ඉස්මතු කොට තිබේ.

සොඳුරු හුදෙකලාවේ විමුක්ති සුව විඳී…

කඟවේණා යනු හිමාල වන අඩවියේ විසූ නළලින් අඟක් උඩට මතු වී ඇති අශ්වයෙකු වැනි සතෙකි. කඟවේණාගේ අඟ වෙනත් කිසිවක් හා සම්බන්ධ නොවූ තනි අඟකි. අත්‍යන්ත හුදෙකලාවේ වාසය කරන පසේබුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේ උපමා කළේ කඟවේණාගේ තනි අඟටයි. උන්වහන්සේලාට ශ්‍රාවක ජනයා නොමැත්තේ ය. උන්වහන්සේලා ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවේ නොවඩිති. චතුරාර්ය සත්‍යය ලොවට ඉස්මතු නොකරති. හිමාලයේ ගන්ධමාදන පර්වතයෙහි මඤ්ජූසක වෘක්ෂය සෙවණේ විමුක්ති සුව විඳිමින් අරහත් ඵල සමවතෙහි ඇලී සිටින උන්වහන්සේලා මිනිස් පියසට වඩින්නේ පිණ්ඩපාතය සඳහා පමණි. අත්‍යන්ත හුදෙකලාවේ ඇලී ආධ්‍යාත්මික සුවයේ පරතෙරට ගොස් විමුක්ති සුව වින්දනය කරන පසේබුදුවරුන් ගැන සම්බුදු මුව මඬලින් මෙසේ වදාරා ඇත්තේ ය.

යේ සත්තසාරා අනීඝා නිරාසා
පච්චේකමේවජ්ඣගමුං සුබෝධිං
තේසං විසල්ලානං නරුත්තමානං
නාමානි මේ කිත්තයතෝ සුණාථ

දුකින් තොර වූ කෙලෙස් දුරු වූ
සාරවත් මිනිසුන් සිටින්නේ
ඉතා සුවසේ ඒ සියලු‍ දෙන
පසේබුදු බව ලබා ගන්නේ
නිවන් දුටු ඒ උතුම් මුනිවරු
කෙලෙස් හුල් උදුරා දමන්නේ
සවන් දෙනු මැන මා විසින් දැන්
ඔවුන්ගේ නම් කියා දෙන්නේ

ඒතේ ච අඤ්ඤේ ච මහානුභාවා
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා
තේ සබ්බසංගාතිගතේ මහේසි
පරිනිබ්බුතේ වන්දථ අප‍්පමෙය්‍ය’ති.

මේ බුදුවරු හා අනිකුත්
මහානුභාව බුදුවරුන් ද
භව බන්ධන සිඳ බිඳලූ
උතුම් පසේබුදුවරුන් ද
මහ ඉසිවර මේ බුදුවරු
සියලු‍ කෙලෙස් නැති මුනිවරු
පිරිනිවනට වැඩි මුනිවරු
අපමණ ගුණ ඇති බුදුවරු
පින්වත් මහණෙනී
ඔබත් වන්දනා කරව් නිරතුරු

(ඉසිගිලි සූත්‍රය මජ්ඣිම නිකාය)

මේ අයුරින් හුදෙකලාවේ ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත් පසේබුදුවරු පන්සියනමක් දඹදිව ඉසිගිලි පර්වතයෙහි වැඩ සිටි බව අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ සේක. උන්වහන්සේලාගේ නම්ගොත් පවා පෙන්වා වදාළ සේක. මේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ‘ගන්ධමාදන’ නම් පර්වතය ඇසුරු කරගෙනයි. එම පර්වතයෙහි ‘මඤ්ජූසක’ නම් විශාල වෘක්ෂයක් ඇත. මෙම වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙන අතර එසේ වන්නේ පසේබුදුවරයෙක් පහළ වූ දිනයි. ‘රන් මල්’ නමින් හඳුන්වන මෙය කෙඳි රාශියකින් සමන්විත අතර මුලට උඩින් යටි කඳින් මතු වන එක්තරා මුල් විශේෂයකි. මෙවැනි රන් මලක් මතු වූ විට අනෙක් පසේබුදුවරු තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව දැන ගන්නාහ. එසේ රන් මල් හට ගන්නා සුවිශාල මඤ්ජූසක රුක් සෙවණට උන්වහන්සේලා රැස් වන අතර එහි සමවත් ඵල සුවයෙන් වැඩ සිටින සේක. පොහොය දවසට පිළිසඳර කථාවේ යෙදී තම තමන්ගේ ගුණධර්ම සතුටින් අනුමෝදන් වන්නාහ. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නාහ. නමුත් අවබෝධය පිණිස ප්‍රවේශ වන ආකාරයේ වෙනස්කම් තිබෙන නිසා කලින් පහළ වී සිටි පසේබුදුවරුන් අලු‍ත් පසේබුදුවරුන්ගෙන් අවබෝධය ලද ආකාරය ගැන විමසන්නාහ. ඒ මොහොතේ දී උන්වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් පාදක කර ගත් ගාථාවන් වදාරන්නාහ.

රැස් කරනා පින එයි පසුපස්සේ සැප සලසන්නට හැම තිස්සේ…

ධාතූන් වහන්සේලා තැන්පත් කොට ස්ථූප තනවා වන්දන මාන කළ යුතු දෙවෙනි පුද්ගල රත්නය ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ පසේබුදුරජාණන් වහන්සේලා
පිළිබඳ ව ය. තවද නිකෙලෙස් රහතන් වහන්සේලා සිය නමකට දානය පූජා කරනවාට වඩා මහත්ඵල මහානිශංස පිනක් එක් පසේබුදුරජාණන් වහන්සේනමකට දානය පූජා කිරීමෙන් රැස් වන බව ද පෞද්ගලික දාන දාහතර අතර දෙවන දානය වන්නේ පසේබුදුරජාණන් වහන්සේනමකට පූජා කරන දානය බව ද පෙන්වා දුන් සේක. බෝසත් අවධියේ දී සුසීම නම් පසේබුදු කෙනෙකුගේ ස්ථූපයට සිදු කළ උපස්ථානයක් නිසා ලද අසිරිමත් පුණ්‍ය විපාකයක් ගැන ධම්මපද අටුවාවේ මෙසේ සඳහන් වේ.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම පිණිස ලිච්ඡවී රජ දරුවන්ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සිට වැඩම කරන්නට යෙදුණි. එහිදී බිම්බිසාර රජු රජගහ නුවර සිට ගංගා නම් ගඟ තෙක් ඇති යොදුන් පහක් දුරැති මාර්ගයෙහි වළගොඩැලි පුරවා සම කෙරෙව්වේ ය. යොදුනක් පාසා; එනම් සැතපුම් හතක් පාසා විහාරවල් කෙරෙව්වේ ය. ඉන්පසු ශාස්තෘන් වහන්සේට දැන් වඩින්නට කාලය යි කියා දැනුම් දුණි. මහා කාරුණිකයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන විසල්පුරට වඩින්නට නික්මුණ සේක. බිම්බිසාර රජු යොදුනක් පාසා දණක් පමණ පංච වර්ණ මල් ඉසිරෙව්වේ ය. ධජපතාක ආදිය එසෙව්වේ ය. භාග්‍යවතුන් වහන්සේට ඡත්‍රයක් මත ඡත්‍රයක් නංවා අලංකාර ඡත්‍ර එසෙව්වේ ය. එක් භික්ෂුවට එක් ඡත්‍රය බැගින් එසෙව්වේ ය. ඒ සෑම යොදුනක් පාසා විහාරවල විවේකය පිණිස වඩා හිඳෙව්වේ ය. මහා දන් පූජා කළේ ය. දවස් පහක් ගත වූ පසු ක්‍රමයෙන් ගංගා නදිය ළඟට පැමිණි විට අලංකාර නැව් පිළියෙල කර විසල්පුරවාසීන්ට පණිවිඩ යැව්වේ ය.

විසල්පුරවාසීහුත් “අපිත් දෙගුණයක් පූජා කරන්නෙමු.” යි විශාලා මහනුවරත්, ගංගා නදියත් අතර යොදුන් තුනක් දුර මාර්ගයෙහි මංමාවත් සම කොට ඡත්‍ර පිට ඡත්‍ර නංවා අලංකාර පූජා පවත්වමින් එතෙර සිට ගත්හ. බිම්බිසාර රජු නැව් දෙකක් බැඳ මණ්ඩපයක් කරවා, අලංකාර මාලාදාමයන්ගෙන් සරසවා සප්ත රත්නයන්ගෙන් යුතුව බුද්ධාසනයක් පැනෙව්වේ ය. භාග්‍යවතුන් වහන්සේ නැවට ගොඩ වී භික්ෂූන් වහන්සේලා පිරිවරා අසුනේ වැඩසිටි සේක. විශාලා මහනුවරට වැඩි භාග්‍යවතුන් වහන්සේ උතුම් රතන සූත්‍රය වදාරා ත්‍රිවිධ බය සංසිඳවූ සේක. යළිත් රජගහ නුවරට වඩිනු පිණිස විසල් පුරයෙන් නික්මෙද්දී ලිච්ඡවී රජදරුවන් දෙගුණයක් කොට පුදපූජා පවත්වමින් තුන් දිනකින් නදී තීරයට වඩම්මවාගෙන ආහ. ගංගා නදියෙහි උපන් නා රජවරු “මිනිස්සු තථාගත සම්බුදුරජුන් හට මහත් සත්කාර කරනවා නොවැ. අපි භාග්‍යවතුන් වහන්සේට සත්කාර නොකර සිටින්නේ මක්නිසා ද?” කියා සිතා රන්, රිදී, මැණික් නැව් මැවූහ.

ගංගා නදිය පුරා පංච වර්ණයෙන් දිලෙන නෙළුම් වර්ග පිපෙන්නට සැලැස්සූහ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප කෙරෙහිත් අනුකම්පා කොට, අනුග්‍රහ කරන සේක්වා..!” යි තම තමන්ගේ නැවට නඟින ලෙස බුදුරජුන්ට ආයාචනා කළහ. එවිට භූමාටු දෙවිවරු ද “තථාගත සම්බුදුරජුන්ට මිනිස්සුත්, නාගයෝත් පූජා පවත්වනවා. ඇයි අපි නොකරන්නේ?” යි සිතා පූජා පවත්වන්නට පටන් ගත්හ.

පිළිවෙළින් අකනිටා බඹලොව දක්වා සියලු‍ දෙවිවරුත් පූජා පවත්වන්නට පටන් ගත්තාහ. ගංගාවෙහි නාගයෝත් ඡත්‍ර පිට ඡත්‍ර එසවූහ. ඔය අයුරින් නාග ලොවේත්, පොළොවවාසී දෙවියෝත්, ආකාශයේ සියලු‍ දෙවිවරුත්, බ්‍රහ්ම ලෝකය දක්වා සියලු‍ දෙවිවරුත් ඡත්‍ර පිට ඡත්‍ර ඔසවා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කළහ. අහස පුරා අනේකවර්ණ ඇති කොඩිත්, අනේකවර්ණ ඇති ධජත්, නොයෙක් මාලාදාමයනුත් එල්ලූහ. දිව්‍ය පුත්‍රවරු දිව්‍යාභරණයෙන් සැරසී බුදුරජුන්ට ස්තූති ප්‍රශංසා කරමින් අහසෙහි හැසිරුණාහ.

බිම්බිසාර රජුත් දෙගුණයක් සත්කාර වැඩි කොට භාග්‍යවතුන් වහන්සේ වඩින දෙස බලා සිටියේ ය. මහා කාරුණිකයන් වහන්සේ ගංගාව දෙපසින් රජවරුන්ගේ මහා පූජාවන් දෙස දැකබලා නා රජවරුන්ගේ ආදීන්ගේ අදහසත් දැන, එක එක නැවෙහි පන්සියයක් භික්ෂූන් වහන්සේලායි, එක් බුදුරජ කෙනකු බැගිනුයි ඍද්ධියෙන් මවා වදාළ සේක. ඒ නැව්වල සුදු සේසත්, කප්රුක්, මල්දම් ආදිය දිස් විණි. නා පිරිවර පිරිවරා ගති. භූමාටු දේවතා ආදී දෙවිවරුත් අවකාශයෙහි පිරිවර සහිත වූ නිර්මිත බුදුවරුන් මැවූහ. මුළු සක්වළ ගැබ එක ම අලංකාරයකින් දිස් විණි.

(ධම්මපදය – පකිණ්ණක වර්ගය, පළමුවෙනි කථා වස්තුව)

මෙම අසිරිමත් පුද පෙළහර ලබන්නට හේතු වූයේ බෝසත් අවධියේ සුසීම පසේබුදුරජුන්ගේ ධාතු චෛත්‍යයේ තණකොළ උදුරා, සුදු වැලි අතුරා, සුවඳ මල් පූජා කොට, තම උතුරු සළු‍ව ධජයක් සේ ඔසවා සෑ මළු‍වට සුවඳ පැන් ඉසීමේ පුණ්‍යානුභාවය බව භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට වදාළ සේක.

මේ යුගයේ පසේබුදුරජාණන් වහන්සේලා පුද දෙන්නට අලංකාර ශ්‍රී පසේබුදු විහාර මන්දිරයක් නව නුවර පාර, මාළඹේ පිහිටි මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක විහාරයේ ගොඩනැංවෙමින් පවතී. ශ්‍රී ඝටීකාර මහා සෑ ධාතු ගර්භයේ සුපින්බර ධාතු නිධානය සහ සුවිශාල අතුපතර විහිදී ගිය මඤ්ජූසක වෘක්ෂය සමඟින් පසේබුදු ප්‍රතිමා වහන්සේලා මනරම් ව නිමවා ශ්‍රී පසේබුදු මන්දිරය සැදැහැවතුනට වන්දනා මාන කරන්නට ගෞතම බුදු සසුනට පූජා කිරීම එළඹෙන බක් පුර පසළොස්වක පුන් පොහෝදින සිදු කෙරේ. පසේබුදුවරුන් පුදන්නට මේ යුගයේ ලොව ඉදිවන ප්‍රථම විහාර මන්දිරය එයයි. බුදු පසේබුදු අරහත් යන තුන්තරා බෝධිය ම පුදන්නට ලොව ඉදිවූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය සුපූජිත වන මේ මොහොතේ පහන් සිතින් යුතුව එම පින්කමට සහභාගී වී ශ්‍රම උපස්ථානයන් සිදුකරමින් සැදැහැයෙන් වන්දන මානන කොට අපමණ පින් ඵල
රැස්කර ගනිත්වා!

මේ ගෞතම බුදු සසුනේ දී ම ඒ අමා නිවන් සුවයෙන් සැනසෙන්නට අපට ද මේ මහානීය පින හේතු උපකාර වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.