පින්වත් යොවුන් දූ දරුවනේ,
‘තීරණ ගැනීම’ ජීවත් වෙද්දී අනිවාර්යෙන්ම කරන්න වෙන දෙයක්. ගන්න තීරණේ යහපත් වුණොත් නම්, ජීවිතේට සෑහෙන පහසුවක් ඇති වෙනවා. නමුත්, ගන්න තීරණේ අයහපත් වුණොත්, ඒ තුළින්මයි ජීවිතේ නොතිබූ අපහසුතා ගොන්නක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි ගන්න තීරණ අපේ ජීවිතේට ගොඩාක් තීරණාත්මකයි! තීරණ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරනවා. ඔබේ ජීවිතේ හැරෙන පැති බොහොමයක් ඔබ ගන්නා ඔබේම තීරණ මතයි තීරණය වෙන්නේ. ඒ නිසාම මේ ලිපිය සම්බන්ධයෙන් බොහොම සෙනෙහසින් ඔබට යෝජනාවක් කරනවා.
මේ මොහොතේ පටන් හොඳ නිදහස් සිතකින් අවසානය තෙක් මේ ලිපිය කියවීමට තීරණය කරන්න. ලිපිය අවසන් වෙද්දී ඔබ ගත්තු තීරණේ ගොඩාක් වටින එකක් බව ඔබටම තේරේවි.
සැණෙකින් තීරණ ගන්න වෙනවා
ඔව්! ජීවිතේ ගන්න ඕනම තීරණයක් අපිට සැණෙකින් ගන්න වෙනවා. තීරණයක් ගත යුතු අවස්ථාව පැමිණි ගමන්මයි අපි තීරණ ගත යුත්තේ. ඒක කල් දාන්න බෑ.
ඒත් ඔබට හිතෙන්න ඇති අපි සමහර තීරණ ගත්තේ යම් කාලයක් අරගෙන නේද කියලා. නමුත් හොඳින් තේරුම් ගන්න…, ‘මට මේ ගැන තීරණයක් ගන්න තව කාලේ ඕන’ කියන තීරණේ පවා ඔබ සැණෙකින් ගත් තීරණයක් නේද?
ඉතිං අපි සැණෙකින් තීරණ ගත්තා වගේමයි ජීවිතේ ඉදිරියටත් සැණෙකින් තීරණ ගන්න වෙන අවස්ථා ඕන තරම් උදා වේවි.
තියෙන මඩමයි කැළඹෙන්නේ…
තීරණයක් ගත යුතු අවස්ථාවක් ආපු ගමන් අපි ගන්න තීරණේට ගොඩාක්ම බලපාන්නේ අපේම හිත ඇතුළේ කාලයක් පැලපදියම් වෙලා තිබුණ දේවල්. අපේ අදහස්, ආකල්ප, මත, දෘෂ්ටි ආදී දේ අපි ගන්නා තීරණේ සම්බන්ධයෙන් සැණෙකින් ඉදිරිපත් වෙනවා.
හරියට පොකුණක හෝ දිය වළක අඩියේ තැන්පත් වෙලා තියෙන මඩක් වගේ. යම් මොහොතක ඒ පොකුණ කැළඹුණොත් අඩියේ තැන්පත් වෙලා තියෙන මඩවලින් තමයි මුළු පොකුණම බොර වෙලා යන්නේ.
ඒ වගේමයි තීරණයක් ගත යුතු අවස්ථාව ආපු ගමන් අපේ සිතෙන් ඉබේම කැළඹිලා එන්නේ සිතේ තැන්පත් වෙලා තිබුණු දේවලට අනුරූප තීරණයක්මයි. යහපත් අදහස් හිතේ තැන්පත් වෙලා තිබුණොත්, ඒ හිතෙන් එන්නේ යහපත් තීරණ. නමුත් අයහපත් අදහස් තැන්පත් වෙලා තිබෙන හිතකින් තීරණ ගත් විට ඒ තීරණ බොහෝ දුරට අයහපත්. මතක තියා ගන්න, තියෙන මඩමයි කැළඹෙන්නේ.
පටන් ගන්න තැන…
යම් හිතක තදින් තැන්පත් වෙන අදහස්, ආකල්ප, දෘෂ්ටි, මතවාද ආදියට ගොඩාක්ම බලපාන දේ තමයි ඇසුර. ඇසුර අයහපත් වුණොත් හිතක වැඩි වැඩියෙන් තැන්පත් වෙන්නේ අයහපත් අදහස්, දෘෂ්ටි, ආකල්ප, මතිමතාන්තර ආදියයි.
නමුත් යහපත් ඇසුරක් ලැබුණොත් ඒ තුළින් නම් හිතක තැන්පත් වෙන්නේ යහපත් වූ අදහස්, ආකල්ප, මතවාද, දෘෂ්ටි ආදියයි. ඉතිං මේ තමයි ජීවිතේක තීරණ ගැනීම පිළිබඳව බලපාන ප්‍රධාන ම සාධකය.
න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ
පාප මිත්‍රයන්ව ඇසුරු කරන්ට එපා! පහත් අදහස් ඇති පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා! කල්‍යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම් පුද්ගලයන්ව ඇසුරු කරන්න.
(ධම්මපදය – පණ්ඩිත වර්ගය)
සහෝදරයෝ දෙන්නෙක්…
බොහොම ඈත අතීතේ දඹදිව කුරුරටේ උත්තරපංචාල කියලා නගරයක් තිබුණා. මේ නගරයට සමීප වෙන්ට තිබුණා වනාන්තරයකින් යුතු පර්වතයක්. එහි එක හිඹුල් ගහක බෙනයක ගිරා ජෝඩුවක් හිටියා. මේ ගිරා ජෝඩුවට තාම අත්තටු නොමේරු එකම දවසේ උපන් ගිරා පැටව් දෙන්නෙක් හිටියා.
දවසක් අනපේක්ෂිත විදිහේ භයානක සුළි කුණාටුවක් ආවා. අර දිඹුල් රුක්ෂය වේගෙන් කුණාටු හුළගෙන් කරකැවෙන්න පටන් ගත්තා. හොඳටම බියට පත් වෙච්චි මහගිරා ජෝඩුව තම තමන්ගේ පණ බේරා ගැනීම පිණිස අර අත්තටු හයිය නැති පැටව් දෙන්නාව ගස් බෙනේම තනි කරලා ඉඟිලී පලා ගියා.
පැටව් දෙන්නා සුළි කුණාටුවට අහු වෙලා මේ පර්වතේ ස්ථාන දෙකකටයි වැටුණේ. එක ගිරා පැටවෙක් භයානක හොරු පන්සියයක් වාසය කරපු තිප්පොළක ආයුධ ගොඩ මත වැටුණා. ඒ හොරු ගිරා පැටියාව දකිද්දී ඌ ආයුධ ගොඩේ හිටි නිසා, ඌට ‘සත්තිගුම්බ’ කියලා නම දැම්මා. එදා පටන් සත්තිගුම්බ ගිරවා හැදුනා හොරු ඇසුරේ.
අනෙක් ගිරා පැටියා කුණාටුවෙන් කැරකී ගිහින් තාපසවරු පන්සියයක් වාසය කරපු තාපසාරාමයක මල්ගොඩක වැටුණා. මල් ගොඩ මත වැටුණු නිසා, ඒ තාපසවරු මේ ගිරවාට කිව්වේ ‘පුෂ්පක’ කියලයි. එදා පටන් පුෂ්පක ගිරවා හැදුණේ තාපසින් වහන්සේලාගේ ඇසුරේ. කලක් ගත වෙද්දී මේ ගිරවු දෙන්නාම හොඳ තරුණ වයසට ආවා. මේ දෙදෙනාම හොඳින් මිනිස් බසින් කථා කරන්නත් දක්ෂයි.
සහෝදරයන්ගේ තීරණ…
ඔය කාලේ උත්තරපංචාල රටේ රජ කළේ පංචාල කියලා රජෙක්. මේ රජු මුව දඩයමට අර පර්වත වනාන්තරේට ගියා. අනපේක්ෂිත විදිහට මේ වනයේ රජ්ජුරුවෝ අතරමං වුණා. යා යුතු පාරක් හොයාගෙන රජු ඇවිදලා හොඳටම මහන්සි වුණා. මොහොතක් විවේක ගන්න හිතාගෙන විශාල ගහක් යට වාඩි වුණා. ඒ ගහ උඩ හිටියා සත්තිගුම්බ ගිරවා. පංචාල රජුන්ව දුටු ගමන් මේ ගිරවාට ආවේ රජු මරා ආභරණ ධනය හොරකම් කරන්න ඕනි කියලා තීරණයක්. ඉතිං මේ ගිරවා මහ හඬින් කෑ ගහමින් හොරුන්ට මෙහෙම කිව්වා.
“මේ බලාපල්ලා, අද පංචාලයා තනි වෙලා. ගනිල්ලා හොරුනේ, ඔය ආයුධ. මේ පංචාලයාව මරලා, අපි ධනයයි වස්තුවයි පැහැර ගමු. කෝ ඉක්මන් කරපල්ලා.”
රජුට මේ හඬ ඇහුණ ගමන් හොඳටම භය වුණා. ‘මේ ස්ථානේ නම් අනතුරුදායකයි’ කියලා හිතලා, ඉක්මනින් එතැනින් දුරස් වුණා. ටික දුරක් ඇවිද යද්දී තාපසාරාමයට ඇතුල්වෙන මාවතට ආවා. පංචාල රජු ඒ මාවත මතින් ඉදිරියට එද්දී, පුෂ්පක ගිරවාට රජුව දකින්න ලැබුණා.
පංචාල රජුන්ව දුටු ගමන් පුෂ්පක ගිරවාට ආවේ රජුට ආගන්තුක සත්කාර කරන්න ඕනි කියලා තීරණයක්. ඉතිං පුෂ්පක ගිරවා බොහොම ගෞරවාන්විත වචනවලින් රජුට මෙහෙම කිව්වා. “පින්වත් නිරිඳුනි, මේ මොහොතේ අපේ පින්වත් තාපසවරු ඵලවැල නෙළීම පිණිස වනයට ගිහින්. නමුත්, ඔබට කෑමට ගැනීම පිණිස ඵලවැල තාපසාරාමයේ මේ මේ ස්ථානවල තිබෙනවා. රජුනි ඔබ ඒවා ගන්න. වෙහෙස නිවාගන්න.”
කොහොමද මෙහෙම වෙනසක් වුණේ…
පංචාල රජු මඳ විවේකයකින් පස්සේ පුෂ්පක ගිරවාත් එක්ක කථාවක් පටන් ගත්තා. එතකොට කලින් හමු වෙච්ච ගිරවා ගැනත් කිව්වා. එතකොට පුෂ්පක ගිරවා මේ කාරණේ පංචාල රජුට මේ විදිහට පහදා දුන්නා.
මහරජුනි, මා හොඳින් දන්නවා ඒ ගිරවා
අපි දෙන්නාම එක් මව් කුසේ
උපන් සහෝදරයෝ
එකම රුක් බෙනයේ, දෙන්නා
එකට ම යි හැදුණේ
දවසක් මහා සුළඟක් කැරකී හැමුවා
සුළඟට ගසාගෙන දෙන්නා
දෙපසට වීසි වුණා.
සොරුන් ළඟ වැටුණු මාගේ සහෝදරයාට
සත්තිගුම්බ කියලා එයාල නම තිබ්බා
තවුසන්ගේ මල් බිමට වැටුණු මා හට
පුෂ්පක කියලයි තවුසන් නම තිබ්බේ
එයා ඇතිදැඩි වුණේ අසත්පුරුෂයන් අතරේ
සත්පුරුෂයන් ළඟ නොවැ,
මං මෙතැන වැඩුණේ
එනිසාය අපි දෙන්නාගෙ,
මේ වෙනස පෙනෙන්නේ
ඇසුරක බලපෑම…
ඔය පුෂ්පක කියන ගිරවා අතීතේ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ. ඒ නිසාම අර පංචාල නිරිඳුන්ට ඇසුරේ තියෙන බලපෑම ගැන පෙන්වා දෙමින් බෝධිසත්ව පුෂ්පක ගිරවා තව දුරටත් මේ විදිහට කරුණු පැහැදිලි කළා.
මෙලොවේ සත්පුරුෂ හෝ
අසත්පුරුෂ වේවා
සිල්වත් දුසිල්වත් වේවා, යමෙකුගේ
ඇසුරක් ලදොත්
ඒ ඇසුරු කරන අයගේ ගතිගුණ
අනෙකාට පිහිටන්නේත් ඒ ලෙසට ම යි
යම් බදු අයෙකු ගෙන,
මිතුරෙකු ලෙස තබයි නම්
ඔහු හා ඇසුර නිබඳ ව,
යම් කෙනෙක් පවත්වයි නම්
ඇසුරු කරනා අයගේ අදහස
තමාටත් ඇති වේ
එකට වාසය කිරීම මෙබඳු දෙයක් ම ය
යම් ගුරුවරයෙකුගේ ඇසුර
සිසුවෙකුට ලැබේ නම්
යම් ගෝලයෙකුගේ ඇසුර
ගුරුවරයටත් ලැබේ නම්
ඔවුනතර අධර්මය තිබුණොත්
විෂ පෙවූ ඊතලයක් හොඳ ඊතලය
ළඟ තැබුවා වගේ
අනිකටත් විෂ පැතිරෙනවා ම යි
තමා අතින් පව් සිදුවේය යන බියෙන්
නැණවතා පවිටු මිතුරන් ඇසුරු නොකරයි
කුණු මාළුවෙක් ගෙන,
දැවටුවොත් ඊතණවලින්
ඒ ඊතණවලිනුත් හමනවා ම යි කුණු ගඳ
පවිටු මිතුරන්ගේ ඇසුර නම්
මෙවැනි දෙයක්මයි
දෑ සමන් මල් ගෙන, දැවටුවොත්
කෙසෙල් කොළයක
ඒ කෙසෙල් කොළයෙනුත්,
හමනවා මිහිරි සුවඳ ම
නුවණැති සත්පුරුෂ ඇසුරත් මෙබඳු ම ය
දැවටූ දෙය අනුව, ගසක කොළයක පවා
ගඳ සුවඳ ඇතිවන බව දැන
සත්පුරුෂ ඇසුරින් සෙත සැලසෙනා බව දැන
සත්පුරුෂයන් පමණයි ඇසුරකට ගත යුත්තේ
අසත්පුරුෂයෝ තමා ඇසුරට,
එන අයත් නිරයට යවත්
සත්පුරුෂයෝ තමා ඇසුරට
එන අය සුගතියට යවත්
(සත්තිගුම්බ ජාතකය)
දැන්ම තීරණය කරන්න…
ඔය විදිහට එදා බෝසත් ගිරවා කියා දුන් කරුණ ඒ රජුට නම් බොහෝ යහපත පිණිස පැවතුණා. මේ ජාතක පුවත අසා සිටි භික්ෂූන් වහන්සේලාත් මෙයින් බොහෝ යහපත සලසා ගත්තා. ඉතිං ඔබත් දක්ෂ නම් මේ ලිපියෙන් ඔබට යහපත හදාගත හැකි වේවි.
අසත්පුරුෂ ඇසුර දුරු කොට සත්පුරුෂයෝ ඇසුරු කරද්දී අදහස් ආකල්ප දෘෂ්ටි මත ආදී සිතක තැන්පත් වන දේ ඉතා යහපත් වෙනවා. එබඳු සිතකින් අවස්ථානුකූලව ගන්නා වූ තීරණය ජීවිතේ යහපත් වීමට තීරණාත්මක දෙයක් වෙනවා.
ඉතින් මෙසේ කරුණු ඇති කල්හී නුවණැති කවරෙක් නම් සත්පුරුෂ ඇසුරට ආසා නොකරාවි ද! ඔබටත් සත්පුරුෂ ඇසුර ම තව තවත් ලැබේවා!
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments