සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් පරිපූර්ණ ලෙස දියුණු වී ඇත්තේ රහතන් වහන්සේ තුළයි. අනාගාමී ශ්‍රාවකයා සීලයත්, සමාධියත් සම්පූර්ණ කරයි. එමෙන්ම ප්‍රඥාවෙන් දැන ඇතැම් ආශ්‍රව ප්‍රහාණය කරයි. නමුත් මත්තෙහිත් ප්‍රඥාවෙන් දැන ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඉතිරිව පවතී (රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ආදී උද්ධම්භාගීය සංයෝජනයන්). අනාගාමී ඵලයට පත් ශ්‍රාවකයන් සියලු දෙනා ම පිළිවෙළින් ශුද්ධාවාස බ්‍රහ්මලෝක පහේම ඉපදිය යුතුයි කියා නියමයක් නැත.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ අනාගාමී ශ්‍රාවකයන් තුළ පවතින ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය අනුව ඇතැම් ශ්‍රාවකයින් ශුද්ධාවාස බඹලොවෙහි උපන් සැණින් පිරිනිවන් පානා ‘අන්තරාපරිනිබ්බායි’ වේ. ඇතැමෙක් බඹලොවෙහි ඉපිද අඩක් පමණ ආයුෂ ගෙවා පිරිනිවී යන ‘උපහච්ච පරිනිබ්බායී’ වේ. ඇතැමෙක් බඹලොවෙහි ඉපිද එම බඹලොවෙහි සම්පූර්ණ ආයුෂ ගෙවා දමා පිරිනිවී යන ‘අසංඛාර පරිනිබ්බායී’ වේ. ඇතැමෙක් බඹලොවෙහි ඉපිද එහි ආයුෂ විඳ පිළිවෙළින් තවත් බඹලෝ කිහිපයකට ගොස් පිරිනිවී යන ‘සසංඛාර පරිනිබ්බායී’ වේ. පිළිවෙළින් අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක යන බ්‍රහ්ම ලෝක පහේ ම ඉපිද පිරිනිවී යන ‘උද්ධංසෝත අකනිට්ඨගාමී’ වේ.