කෙලෙස් සහිත මිනිසුන් අතර නොවරදිනසුලු ගති ඇතියවුන් සෙවීම උගහට ය. “‍වැරදීම”‍ අරුමයක් නොවූවත් සිදුවූ වරද දැන වරදට සමාව ගැනීමත්, වරදින් නැඟී සිටීමත් වරදින සසරට නවතින තිත තැබීමක් වනු ඇත. තමාගෙන් වූ වරද යළි යළිත් සිහිකොට සෝසුසුම්ලමින් තැවෙන්නෝ ද තම වරද දැන දැන ම මාන්නාධික ව පෙරට ගෙන සමාව නොගෙන සිටින්නෝ ද සසර දුකෙහි ම ගිලි ගිලී යනු ඇත.

යම් නැණැතියෙකු වරදට පිළියම් කරයි නම් සැබැවින් ම ඔහුගේ දිවිය ශ්‍රේෂ්ඨත්වයට පත් වනු ඇත. එසේ නොවුවහොත් යළි යළි වරදින සසර ම විනා අන්කවරක් නම් උරුම වන්න ද?

එදා රජගහනුවර ගිජුකුළු පව් මතින් සන්සුන් පියොවින් පහළට වැඩම කරමින් සිටියේ, නැසූ කෙලෙස් ඇති, ඔප දැමූ රනක් සෙයින් දිලෙන මනස්කාන්ත රූප සොබා ඇති මහා කච්චායන මහරහත් මුනිඳුන්‍ ය. දුටු දුටුවන් නෙත් සිත් සනසවන අසහාය උත්තම ගුණ දරන සොඳුරු දේහ විලාසයෙන් හෙබි මුනිඳු දුටු පමණින් ම මාන්නාධික බවින් වෙලී ගිය වස්සකාර මගධ මහාමාත්‍යාගේ සිත සැණෙකින් නොපහන් වී… මුවින් ගිලිහුණ වදන බිහිසුණු ය. “කවුද මේ වඳුරු මුහුණක් ඇති තැනැත්තා…” යි පැවසූ ඔහුට එහි බරපතළකම නොවැටහුණි. මහා කාරුණික මුනිරජුන් වදහළේ, වස්සකාර මහාමාත්‍යා මහා කච්චායන මුනිඳුන් ව කමා නොකරගතහොත්… මරණින් මතු ඔහුට වඳුරු යෝනියේ උපත ලැබීමට සිදු වන බවයි. ‘තම වරද නොදැනීම’ යන කරුණ කෙතරම් බිහිසුණු ද? වරදට සමාව නොගැනීම විසින් සත්වයා ව කෙතරම් නම් නීච තත්ත්වයකට ඇද දමයි ද? මෙකරුණ සැල වූ වස්සකාර පවසා සිටියේ තමා සමාව ගැනීමට සූදානම් නැති බවයි. ඒ වෙනුවට ඔහු රජගහනුවර පුරා අඹ ගස් රෝපණය කරවූයේ තමා වඳුරෙක් ව උපත ලද පසු ආහාරයට ගැනීම පිණිසයි. සැබැවින්ම හෙතෙම බුදුරජුන් ප්‍රමුඛ මහ සඟරුවනට නිතර දන් පිදූවෙකි. භාග්‍යවතුන් වහන්සේ සමඟ දහම් කථාවේ යෙදුණු අයෙකි. නමුත් වරදට සමාව නොගැනීම විසින් ඔහු ව වන තුරු මත සරන වානරයෙකු බවට පත් කරවී ය.

එය එසේ තිබිය දී මෙපුවත ද අසනු මැන. ඔහු නමින් වඩ්ඪ ය. විසල්පුර ලිච්ඡවී රජ පවුලක උපන් හෙතෙම සැදැහැවත් ය. දීමෙහි ඇළුන දායකයෙක් ව නිති සංඝයාට උවැටන් කරන්නෙකි. එනමුදු තම දිවියට කිලිටක් එක්කරගන්නා ඔහු මෙත්තිය – භුම්මජක පවිටු භික්ෂූන්ගේ ඇසුර රුචි කරන්නට පටන් ගත්තේ ය. එම භික්ෂූන් දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි අස්ථානයේ වෛර බැඳගෙන සිටියහ.

එම භික්ෂූන්ගේ පෙළඹවීම මත ලිච්ඡවී තෙමේ, කිසිවක අග මුල නොදැන මෝඩකම ම මහත් බැවින් තමාව ම වනසා ගත්තෙකු සෙයින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ මෙවැනි අභූත බසක් පැවසී ය.

“භාග්‍යවතුන් වහන්ස, යම් දිශාවක බිය නැතැයි සිතාගෙන සිටියා නම්, දැන් ඒ දිශාවේ බිය ඇති විය. යම් දිශාවක පීඩා නැතැයි සිතාගෙන සිටියා නම්, දැන් ඒ දිශාවේ පීඩා ඇති විය. යම් දිශාවකත් උවදුරු නැතැයි සිතාගෙන සිටියා නම්, දැන් ඒ දිශාවේ උවදුරු ඇති විය. යම් දිශාවක මද සුළඟවත් හමන්නේ නැතිව තිබුණා ද දැන් එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. ස්වාමීනී, දබ්බමල්ලපුත්ත තෙරුන් වහන්සේ අතින් මාගේ බිරිඳ දූෂිත විය. ස්වාමීනී මෙය හොඳ නැත. මෙය බොහෝම නරක ය. අන්තිම පහත් යැ.” යි‍ කී ය.

අනාවරණ ප්‍රඥා ඇති බුදුරජාණෝ, දබ්බමල්ලපුත්ත රහතන් වහන්සේ වෙතින් මෙහි ඇත්ත නැත්ත විමසූ සේක. සත් හැවිරිදි වියෙහි දී ම රාග, ද්වේෂ, මෝහාදී ක්ලේෂ ගිනි නිවූ, පාරිශුද්ධ චිත්ත සන්තාන දරන ඒ නිකෙලෙස් මුනිවරයාණෝ, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, යම් දිනෙක මම ආර්ය ජාතියෙහි උපත ලැබුවා ද එතැන් පටන් මේ දක්වා සිහිනෙන්වත් මෙවුන්දම් සේවනය කළ බවක් නොදනිමි. නින්දෙන් පිබිද සිටින කල්හි කවර කථාවක් ද?” යි සිහනද පතුරුවාලූ සේක. දසබලධාරි ලෝකනාථයාණෝ, “මහණෙනි, එසේ නම් වඩ්ඪ ලිච්ඡවී හට ‘පත්තනික්කුජ්ජනීය’ කර්මය කරවු.”‍ යි වදාළහ. අප අනඳ මහ තෙරණුවෝ වඩ්ඪ ලිච්ඡවීගේ නිවෙස වෙත එළඹ, භික්ෂු සංඝයා විසින් ඔහුට පත්තනික්කුජ්ජනීය කර්මය සිදු කළ බවත්, අද පටන් භික්ෂු සංඝයා ඔහුගේ නිවසින් දානාදිය කිසිවක් පිළිගන්නේ නැති බවත්, ඔහු හා කිසිම සබඳතාවයක් පවත්වන්නේ නැති බවත් දැනුම් දුන්හ. එය වඩ්ඪ ලිච්ඡවීගේ හිස මත පාත් වූ හෙණයක් බඳු විය.

තමා කළ වරදේ බරපතළ බව ඔහුට සිහි වූයේ එවිටයි. දුකටපත් හෙතෙම එහි ම සිහිසුන්ව ඇද වැටුණි. එනමුදු ඔහු නැණැතියෙකි. සිදු වූ වරදට පිළියම් කරන හෙතෙම තම අඹුදරුවන් ද නෑදෑ හිත මිතුරන් ද පිරිවරාගෙන, තෙත් වස්ත්‍ර ඇතිව, තෙත් හිසකෙස් ඇතිව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනී, මහාකාරුණිකයාණන් වහන්ස, මෝඩකම මහත් බැවින් ද සිහි මඳ ගතිය මහත් බැවින් ද මම ආර්ය වූ දබ්බමල්ලපුත්ත මහතෙරුන් වහන්සේට අභූතයෙන් චෝදනා කළෙමි. චෝදනා කොට දිරවා ගැනීමට නොහැකි බර පවක් කර ගත්තෙමි. ස්වාමීනී, මම වරද වරද වශයෙන් වටහා ගත්තෙමි. ආයෙත් මෙබඳු වරදක් සිදු නොවෙයි. ස්වාමීනී, කළ වරදට මට සමාව දුන මැනව.” යි පැවසී ය.

දසබලධාරි අප භාග්‍යවතුන් වහන්සේ, වඩ්ඪ ලිච්ඡවී හට නොයෙක් ලෙසින් අවවාද කර “යමෙක් තමා කළ වරද වරද වශයෙන් දැක ධර්මයෙහි පිහිටා නැවතත් ඒ වරද නොකරයි ද මතු සංවරයට පැමිණෙයි ද මෙය ආර්ය විනයේ අභිවෘද්ධියකි.”‍ යි වදාළ සේක. නිහතමානි සිතින් වරදට පිළියම් යොදා තුනුරුවන් කමා කරගත් වඩ්ඪ එතැනින් නොනැවතුනි. උපන් සංවේගයෙන් යුතු හෙතෙම මෙවැනි බිහිසුණු වරදින් යුතූ සසර පිළිකෙව් කොට බුදු සසුනෙහි පැවිදිව වෙර වඩා නොබෝ කලකින් ම යළි කිසිදා නොවරදිනසුලු ව නිකෙලෙස් මුනිවරයෙක් බවට පත් විය.

වඩ්ඪ ලිච්ඡවී වෙතින් සිදු වූ වරද හා සසඳන කල වස්සකාර අමාත්‍යා අතින් වූ වරද එතරම් බරපතළ නැතැයි කිව හැක. එනමුදු දකිනු මැන… සමාව ගැනීමත්, සමාව නොගැනීමත් විසින් ඒ දෙදෙනාගේ ඉරණම දෙඅයුරකින් විසඳාලු‍ බව…

තවත් නිදසුන් කුමට ද? කල්ප පහක් පුරාවට අප මහ බෝසතාණන් වහනසේට වෛර බැඳ පැමිණි දෙව්දත්, මහබෝසතුනට නොකළ සතුරුකමක් නැත. අවසන ගෞතම බුදු සසුනේ පැවිදි වූ හෙතෙම තථාගතයන් වහන්සේ දිවියෙන් තොර කිරීමට නොගත් උත්සාහයක් නැත. තථාගත ශ්‍රී ශරීරයේ පවිටු සිතින් ලේ සොලවා, සංඝභේද කරවා පිළියම් නොකළ හැකි පව් බරක් කරට ගත් දෙව්දත්ට සිහි උපන්නේ මරණ මඤ්චකයේ දී ය. තමා එතරම් සතුරුකම් කරද්දී පවා තථාගතයන් වහන්සේ නොවෙනස් කරුණාවෙන් වැඩ සිටි අයුරු ඔහුට මැවි මැවී පෙනෙන්නට විය. තමා අතින් සිදු වූ පව්කම්වල බරපතළ බව සිහි වෙද්දී ගත සිත දැවි දැවී යන්නට විය. තම අවසන් සුසුම් පොද හෙළීමට පෙර බුදු සිරිපා කමල වන්දනා කොට සමාව ඉල්ලා ගැනීමේ බලවත් අවශ්‍යතාවයක් ඔහුට ඇති විය. අනේ! ඒ මොහොත වන විට ඔහුට කරුණා පිරි බුදු මුව මඬල දැක ගැනීමේ වාසනාවක් ඉතිරිව නොතිබුණි. දෙව්‍රම් වෙහෙර පොකුණු තෙර අබියස මහපොළොව විවරව ගිලී යද්දී, “දේවාතිදේව වූ, නරදම්ම සාරථී වූ, සමන්තචක්ඛු වූ, සතපුඤ්ඤ ලක්ෂණයෙන් යුක්ත වූ, අග්‍ර පුග්ගල වූ බුදුරජාණන් වහන්ස.., මම දිවි ඇති තෙක් බුදුරජුන් සරණ යමි.”යි සරණ ගියේ ය. එපමණකින් ම ඔහුට අති මහත් සෙතක් සැලසුනි. පිළියම් නොකළ හැකි පාපයට කල්පයක් නිරා දුක් විඳින දේවදත්ත ඉන් අත මිදී මතු කලෙක සට්ඨීස්සර නමින් පසේබුද්ධත්වයට පත් වන්නේ ය.

සැබැවින්ම මෙය නැණැතියන්ගේ දෑස් විවර කරවන්නකි. දෙව්දත් වැනියවුන් පවා වරද වටහාගෙන සමාව ගැනීම තුළින් සසර දුක් ගිනි සීමා කරගනී නම්… අප වැනියවුන් කිසිසේත් ම තමා අතින් දැන නොදැන වූ වරදට තම විමුක්තිය පාවා නොදිය යුත්තේ ම ය. නිහතමානි සිතින් වරදට නිසි පිළියම් යොදා ඉන් නැඟී සිටිය යුත්තේ මය.

වරදින් නැඟී සිටීමේ අගය පවසන සිරිමන්ද නම් රහත් මුනිඳුන් වදාළේ “‍වරද හංගගත්තම තමයි කෙලෙස් වැගිරෙන්නෙ. විවෘත වුණොත් එහෙම වෙන්නෙ නෑ. ඒ නිසා සඟවාගෙන ඉන්නෙ නැතිව විවෘත වෙන්න ඕන. එතකොට කෙලෙස් වැගිරෙන්නෙ නෑ.”‍ එමතුද නොව අප දම් රජුන් වදහළේ, කළ වරද සඟවා නොසිටීම දහම දුටු සව්වන් තුළ පිහිටන සනාතන දහමක් බවයි.

කෙසේ නමුදු… සසර සරන අපි වරදිනසුලු සිත, කය, වචන ඇතියවුන් වෙමු. නමුත් දහමේ පිළිසරණ ලබමින් හැකිතාක් සිත කය වචනය රැකීමට අප කැපවිය යුතු ම ය. යම් හෙයකින් තමා අතින් දැන හෝ නොදැන තුනුරුවනට, දෙගුරුනට, සත් දනන් හට, මහ සෑ, මහ බෝ උත්තම වස්තූන්ට…

කොටින් ම යම් ම සත්වයෙකුට හෝ සිදු වූ වරදක් ඇත්නම් නොපමාවම වරද වරද වශයෙන් ම දැන නිවැරැදි කරගත යුතු ම ය. වරදින් නැඟී සිටිය යුතු ම ය. නිහතමානී සිතින් සමාව ලැබ ගත යුතු ම ය.

ඒකාන්තයෙන් ම ඒ දුලබ වූ සොඳුරු වූ ගුණය විසින් අපව ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යනු ඇත. සුගතියට මං විවර කරවනු ඇත. සත්පුරුෂ ඇසුරට සමීප කරවනු ඇත. යළි කිසිදා නොවරදින… අමා මහ නිවන දක්වා ම අප ව කැඳවාගෙන යනු ඇත.

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.