සසර පුරා ජීවිතයක් ජීවිතයක් පාසා අපි සොයපු… පතපු… අපේක්ෂා කරපු දෙයක් තියෙනවා. හැබැයි… කිසි ජීවිතයක අපට ඒක ලැබුණේ නෑ. අපිට වඩා ධනවත්, බලවත් අයට ලැබුණෙත් නෑ. කිසිම තරාතිරමක කිසිම කෙනෙකුට ඒක ලැබුණෙ නෑ. කවදාවත් ලැබෙන්නේත් නෑ. කොටින්ම, බුදු – පසේබුදු, මහරහත් උතුමන් වහන්සේලාටවත් ඒක ලැබෙන්නෙ නෑ. ඒ මුනිවරු එය කවදාවත් පතන්නෙත් නෑ. ඇත්තටම… ඒ කිසිවෙක් කිසිදා නොලබන දේ මොකක්ද?
ඒ තමා…, සාධාරණය! බොහෝ අය… අතීතයේත් සටන් කළා… සාධාරණය වෙනුවෙන්. අද වගේ ම… අනාගතයේත්… සටන් කරාවි. හැබැයි සිද්ධ වෙන්නේ සටන් කරන අය ම පීඩාවට පත් වීම මිසක්… සටනින් ජය ලැබීම නෙමෙයි. ඒකට හේතුව මොකක්ද?
සසර කියන්නේ ම අසාධාරණ දෙයක්. කලින් ජීවිතවල කරපු වැරදි දන්නෙත් නැති, දැන් කිසි වරදක් කරන්නෙත් නැති… ගුණවන්ත චරිත පවා කර්ම විපාකයෙන් විඳවනවනේ. සසරෙ උරුම ස්වභාවය කණපිට හරවන්න කාටවත් බෑ. එහෙනම් මේ කෙළවරක් නැති අසාධාරණකම් ඉස්සරහ අපි මොකද කරන්නේ? මේ කතාව බලන්න…
මේ ලංකාවෙම රුහුණෙ ඉස්සර හිටියා ගැල්කරුවෙක්. එදා… හාල් පුරවපු අධික බරින් යුතු කරත්තය ඇදගෙන ගියේ ‘මහාදත්ත’ කියල වයසක ගවයෙක්. අවුරුදු විසි-තිස් ගාණක් බැලමෙහෙ කරන මේ ගවයා ජීවිතේ වැඩිපුරම කළේ බර අදින එක. ඉතින් මේ හාල් කරත්තය මඩ වළක් ළඟින් යද්දි කරත්තය මඩේ එරුණා. මහාදත්ත දැන් වයසයි. ඌ උත්සාහ කළාට, කරත්තය ගොඩගන්න දැන් ඌට හයිය නෑ. ගැලේ අයිතිකරු බැහැල ළඟට ආවා… “පුතේ, උඹ මේ කරත්තෙ ගොඩ දැම්මොත්… අද ම උඹව දාසකමෙන් නිදහස් කරනවා.” කියල පිට අත ගෑවා. ජීවිතේ ම බර ඇද ඇද දාසකම් කළ මහාදත්තට පුදුමාකාර ප්‍රීතියක් උපන්නා.
අපි අපිට වෙන අසාධාරණකම් ගැන කොයිතරම් මැසිවිලි නඟනව ද? ඒත් බලන්න සසරෙ හැටි… තිරිසන් ලෝකෙ උපන් මේ සතා තමාට වෙන අසාධාරණය, පීඩාව ගැන කාටද කියන්නේ? මහන්සියට විවේකයක් නෑ. උණක්, බඩේ අමාරුවක්, දත් කැක්කුමක් හැදුණම කියන්නේ කොහොමද? බර ඇදල කොන්දෙ අමාරු… කකුල් අමාරු… කියන්නෙ කොහොමද? කවුද මේකට වැරදි?
දාසකමින් නිදහස් වීමේ සතුට බලන්න… මහාදත්තට පුදුම වීරියක් උපන්නා. මුළු ජවය ම දාලා කරත්තය ඇද්දා. හය පාරක් ආයෙ ආයෙ උත්සාහ කළා. ඒත්, අවාසනාව… හත්වෙනි පාර වේගයෙන් කරත්තය අදිද්දි, ඒ වේගය උහුලා ගන්න බැරුව මහාදත්තගෙ පපුව පැළිලා ලේ වමාරාගෙන එතන ම වැටුණා. මඩේ ම වැටුණා. ඔබ මොකක්ද හිතන්නේ? ගැල්කරුවා ඔහුව ගොඩගන්න ඇති ද? මැරෙනකල් බලාගන්න ඇති ද? නෑ…
ඔහු වෙන ගොනෙක් යොදවලා කරත්තෙ ගොඩ අරන් ආපහු නොබලා යන්න ගියා!
‘ජීවිතය පුරා බැලමෙහෙ ගත් ස්වාමියා ආදරෙන් කතා කළේ වැඩ ගන්න විතර ද…’ කියල හිතෙන්න ඇති. හිතින් සාප කරන්න ඇති. අද කාලෙත් මේ හා සමාන දේවල් කොච්චර වෙනවා ද?
මහාදත්තගෙ දුක එතනින් ඉවර වුණේ නෑ. කලන්තෙ ගතියෙන් මාරාන්තික දුක් විඳිද්දී ම, වළං හදන මනුස්සයෙක් ඇවිත් පණ පිටින් ම… මැටි අනන්න කියලා හම කෑල්ලක් කපාගෙන ගියා. මොනතරම් තරහක්, ක්‍රෝධයක් ඒ හිතේ උපදින්න ඇත්ද? කායිකව මොනතරම් වේදනාවක් දැනෙන්න ඇත්ද? තව ටිකකින් වීණා හදන මනුස්සයෙක් වීණා තත් හදන්න නහරවැල් කපාගෙන ගියා. කොහොමද මෙහෙම කරන්නේ කියල හිතෙනවා නේද? ටිකකින් වැද්දෙක් ඇවිත් දඩයම් බල්ලන්ට මස් කපල දුන්නා! සමහර බල්ලෝ පණ පිටින් අර මහාදත්ත ගවයාගෙ මස් කඩාගෙන කෑවා. අඩුම තරමෙ කෑගහල කියන්න ද? අඬන්න ද? පැනල දුවන්න ද? ඒ අස්සෙ කඩි, කූඹිත් කන්න පටන් ගත්තා… එක පිට එක උපදින දරුණු කටුක දුක්… එක පිට එක වෙන අසාධාරණකම්… මේවාට සාධාරණයක් කොහෙන්ද?
අසාධාරණයි තමයි. ඒ අසාධාරණය ඉදිරියේ අසාධාරණයට ලක් වෙන කෙනාගෙ හිතේ උපදින ද්වේෂය එයාව නිරයට අරන් යන එක… ඒක සාධාරණයි ද? එතකොට, අසාධාරණයට විරුද්ධව ඇතිවෙන චිත්තාවේගයන් අපිට සාධාරණ විසඳුමක් දෙනවා ද?
ලෝකෙ ක්‍රියාත්මක වෙන්නේ සාධාරණය අසාධාරණය නෙමේ… හේතු ඵල. කර්මය. තම තමන් චේතනාව හසුරුවන විදිහටයි තමන්ගේ ඉරණම තීරණය වෙන්නේ.
වේදනාවෙන්, ද්වේෂයෙන් ඇවිළී ගිය සිතින් ඉන්න මහාදත්තගෙ කඳුළින් බොඳ වූ ඇස් ඉදිරිපිටට චීවරයක ඡායාව පෙනුණා. චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ පන්සීයක් සංඝයා වහන්සේලා එක්ක වඩින ගමන්, මහාදත්ත ගවයා ළඟ නැවතිලා. සංසාර දුකෙන් සංවේග වුණ, සානුකම්පිත සිත් ඇති රහතන් වහන්සේලා මේ සතාගෙ හිත වෙනස් කරන දෙයක් කළා. ළඟ තිබ්බ ගඟෙන් පාත්‍රාවලට පැන් ගෙනත් ගෙනත් මහාදත්තගෙ කටට වක්කළා. ඒ අසරණ ගවයා ඒකෙන් කයට පුංචි සැනසීමක් ලැබුවා වගේ ම… සිතට ලොකූ සැනසීමක් ලැබුවා…
‘ලෝකෙ කිසි කෙනෙක් මට අනුකම්පා නොකළ වෙලාවෙ, මාව තනි කරලා, පණ පිටින් වධ දෙද්දී… මේ උත්තමයන් වහන්සේලා මට අනුකම්පා කළානේ’ කියල හිතද්දි… ඒ හැඟීමට සංඝයා නැමැති පින්කෙත අරමුණු වුණා. සංඝයාට ආපසු වඩින්න කියලා චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ ඒ ගවයාට පේන මානෙන් වාඩිවෙලා… පරම ගම්භීර වූ මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනා කළා. මහාදත්තගෙ හිතට හරී සනීපයක් දැනුණා. රහතන් වහන්සේත් ඔහුව තිසරණයේ සමාදන් කළා. පන්සිල් දෙන්න පටන්ගද්දීම මහාදත්තගෙ ඇස් පියවුණා.
ඇස් ඇරලා බලද්දී… අර වේදනා දුක් දුන් තිරිසන් කය නෑ. මහ පොළොවෙන් ගොඩාක් ඈත… තව්තිසාවේ තිස් යොදුනක් විශාල රන්වන් විමානයක දිව්‍ය පුත්‍රයෙක් දැන් ඉන්නේ. ‘මං කොහොමද මෙතනට ආවේ…’ කියල ආපහු බලද්දී ඔහු දැක්කා, ‘සියලු අසාධාරණකම් මැද… ජීවිතය දිනවපු සාධකය… චිත්තප්‍රසාදයයි!’ ඒ චිත්තප්‍රසාදය උපද්දවපු උත්තමයා සොයාගෙන එදාම මධ්‍යම රාත්‍රියේ දහසක් දෙවඟනන් පිරිවරාගෙන… විමානය පිටින් චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේගේ කුටිය ඉදිරියේ පහළ වුණා. ආදරයෙන් සිරි පතුල් වන්දනා කළා.
“මෙතරම් අභිරූපී, දෙවඟනන් පිරිවරාගෙන පළාත ම ආලෝකවත් කරන දෙව් පුතුනි, ඔබ කවුද?”
“ස්වාමීනී, හරි පුදුමයි… ධර්මය නම්… ආශ්චර්යයයි…! ඔබවහන්සේලාගේ අළාමක දර්ශනය ලෝකෙට කරන දේ… අද්භූතයි! ස්වාමීනී, ඊයෙ මම තිරිසන් ලෝකේ ගවයෙක්. මගේ ස්වාමියා, ගැල ඇදගන්ට බැරුව හදවත පැළුණ මාව දාලා ගියා. මිනිස්සු ඇවිත් මගේ සම්, නහර, මස් කපාගෙන ගියා. ඔබවහන්සේලා… මට පැන් පෙව්වා. කාරුණික මුනිඳාණන් තිරිසන් මාව අත් නොහැර… මට බණ කිව්වා. මට තිසරණයත් දුන්නා. මුඹවහන්සේ මට සිල් දෙන්න පටන්ගද්දීමයි මගෙ පණ ගියේ. ස්වාමීනී, මට සිල් ගන්න ලැබුණා නම්, මං ඉහළ දෙව්ලොවක උපදින්න තිබුණා.
ස්වාමීනී, බණ නොතේරෙන තිරිසනෙකුගේ කනට වැටෙන දහම් පදයේ ආනුභාවය බලන සේක්වා! තිරිසන් සතෙක් මොහොතකට තිසරණ සමාදන් වීමේ ආනුභාවය බලන සේක්වා! ඉතින් ස්වාමීනී, යම් මනුෂ්‍යයෙක් මේ බුදු සසුන ඇසුරු කරනවා නම්, එයාලට කොහොම සැප ලැබෙයි ද?
අනේ ස්වාමීනී, මට ආයෙත් ඒ බණ පද ම කියන්න… ආයෙත් තිසරණ සිල් දෙන්න… දහම් නැවට නංවලා මාවත් මේ අසාධාරණකම් පිරි බිහිසුණු සසරින් එතෙර කරන්න…”
බලන්න… ඒ හිතට ධර්මයෙන් කළ දේ… අසාධාරණය අභිබවා යන බලයක් හිතේ උපදවන්නේ චිත්තප්‍රසාදයත්, ධර්මයත් නේද? අසාධාරණයට ගැටුණු සිත අපිව ආයෙත් අසාධාරණයට ම ඇද දානවා. සාධාරණය – අසාධාරණය නොසොයා… පින් පව් කල්පනා කරලා පින වැළඳගත් කෙනා, ධර්මය වැළඳගත් කෙනා, ඒ පුණ්‍ය විපාකයෙන් මහා සැපයක් ලබනවා.
චුල්ලපිණ්ඩපාතික තිස්ස මුනිඳුන් මහාදත්ත දිව්‍ය පුත්‍රයාට ආයෙත් තිසරණ, පන්සිල් දුන්නා. ආයෙත් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. දැන් ඔහුට දිව්‍ය ජීවිතයක් තfියනවා. දිව්‍ය සිතක්… දිව්‍ය ප්‍රඥාවක්… දිව්‍ය ගුණයේ පිහිටි මහාදත්ත දෙව් පුතු බණ අවසන් වෙද්දී, සතර අපායෙන් අත්මිදුණු සෝවාන් ශ්‍රාවකයෙක් බවට පත් වුණා. මොහොතකට සත්පුරුෂ ඇසුරක් ලැබීමේ සැපය බලන්න… සාධාරණය නොසෙවීමේ වාසිය බලන්න. සාධාරණය – අසාධාරණය සොයන මානසිකත්වයෙන් උපදින පීඩාව, අසහනය, ද්වේෂය, අප්‍රසාදය අතහරින තුරු මනසක් පිරිසිදු වෙන්නෙ නෑ. නිරවුල් වෙන්නෙ නෑ. ප්‍රඥාවට විවෘත වෙන්නෙ නෑ.
ඔබත් කවදාවත් සාධාරණය පතන්න එපා! සාධාරණයක් නැති බව තමයි සංසාරෙ හැටි. සියලු අසාධාරණකම් මැද තමන්ගේ හිතේ පිරිසිදුකම රැකගන්න මහන්සි වෙන්න. පින් සිත රැකගන්න මහන්සි වෙන්න. තමන්ගෙ ගුණදහම් ටික රැකගන්න මහන්සි වෙන්න! සාධාරණය සෙවීම අතහැරියොත්… ඔබට කවදාවත් වරදින්නේ නෑ… නෑ… නෑ ම යි.
“සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං,
සාධාරණේ විහඤ්ඤන්ති, යෝගා හි දුරතික්කමා”ති
“අනුන්ගේ යටතේ තියෙන හැමදෙයක්ම දුකක්. සියලු ලොව්තුරු ඉසුරුමත් බව සැපයි. සාධාරණය ඉටු කරගන්න යන හැම දෙනෙක්ම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධනවලින් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නොවෙයි.”
ඛුද්දක නිකාය – විශාඛා සූත්‍රය
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments