ඇත්තටම අනතුර හඳුනාගන්නකල් ම ඒ අනතුරින් අත්මිදෙන්නට උනන්දුවක් කාටවත් ඇතිවෙන්නේ කොහොමද? දැන් අපි හිතමු අපි වාහනයකින් ගමනක් යනවා කියලා, හැබැයි අපි යන පාර ඉදිරියෙන් අනතුරුදායකයි. පාරට පස් කඳු කඩාගෙන වැටිලා. පාර සම්පූර්ණයෙන් ම මඩ වෙලා ලිස්සනසුලුයි. පසෙක තියෙන කඳුවලින් වරින් වර ගස් සහ ගල් කුට්ටි පාරට වැටෙනවා. ඒ වගේ ම අනෙක් පසින් තියෙන්නේ මහා ප්‍රපාතයක් සහිත හෙළක්. නමුත් අපි දන්නේ නැත්නම් ඉදිරියේ තියෙන අනතුරුදායක තත්ත්වය, අපි කලින් ආපු වේගෙන් ම, කිසිම අවදානමක් නොගෙන ම, කිසිම විමසිල්ලකින් තොරව ම ඉදිරියට යාවි. අනතුරේ වැටෙනකල් ම නොදනීවි. හැබැයි අපි කල් තියා දැනගත්තොත් මේ මාර්ගය අනතුරු සහිතයි කියලා, අපිට පුළුවන් වෙන පාරක් තෝරා ගන්න. එහෙම නැත්නම් අපි වේගය බාල කරාවි, හොඳ අවධානයෙන්, විමසිල්ලෙන්, පරෙස්සමට වාහනය පදවාවි. ඒ අපි අනතුර ගැන කල් තියා දැනගත්තු නිසයි.
ඔය විදිහමයි අපි මේ යන සසර ගමන වැටිලා තියෙන මාර්ගයත් අතිශය අනතුරුදායකයි. අතිශය අවදානම් සහගතයි. ඒ අනතුරුදායක බව ගැන දන්නා කවුරු නම් මේ අනතුරුදායක සසර ගමනින් අත්මිදෙන්නට නොසිතයි ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ උවදුරු රහිත මාවතට ජීවිතය නැමැති රථය හරවා නොගනියි ද? හැබැයි බැලූ බැල්මට එක එල්ලේ එහෙම අනතුරක් අපි කාටවත් පේන්නේ නෑ. මොකද සසර නමැති අනතුරුදායක ගමන් මගේ උපත සහ මරණය නමැති වංගු තියෙනවා. ඒ නිසා අපිට දුර පේන්නේ නෑ. කොටින්ම වංගුවෙන් එහා කිසිම දෙයක් අපිට පේන්නේ නෑ.
ඒ නිසා ම අපි හිතනවා මේ ගමන සම්පූර්ණයෙන් ම ආරක්ෂිතයි කියලා. නමුත් උපත හා මරණය කියන වංගු දෙකෙන් එහා පැත්තේ තියෙන අනතුරුදායක තත්ත්වය ‘සදහම් ඇස් ඇති’ බුදුරජාණන් වහන්සේ නම් දැක්කා. ‘සියල්ල දන්නා, සියල්ල දක්නා සදහම් ඇස්’ ඇති නිසා භාග්‍යවතුන් වහන්සේට ‘චක්ඛුමා’ හෙවත් ‘ඇස් ඇති තැනැත්තා’ කියලා කියනවා.
ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂු සංඝයා අමතලා මේ විදිහේ දෙයක් වදාළා. “පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්නට බැරි දෙයක්. චතුරාර්ය සත්‍යය නොදැනීම නම් වූ අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති ලෝකවල සහ දුගති ලෝකවල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.
එම නිසා පින්වත් මහණෙනි, ඔබට දුකට පත්, දිළිඳු වූ, විරූපී වූ අසරණයෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ දුක් අනුභව කරලා තියෙනවා නේද?’ කියලා.
ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. චතුරාර්ය සත්‍යය නොදැනීම නම් වූ අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති ලෝකවල, දුගති ලෝකවල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් අනේක දුක් අනුභව කරලා තියෙනවා. තියුණු දුක් විඳලා තියෙනවා. මහා විපත්වලට භාජනය වෙලා තියෙනවා.
මේ මහ පොළොව නම් වූ සොහොන් පිටිය පුරවලා තියෙනවා. එම නිසා පින්වත් මහණෙනි, මේ හේතුඵල දහමින් හට ගත්තු හැම දෙයක් (සංස්කාරයක්) ගැන ම අවබෝධයෙන් ම යුතුව කලකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.”
අපිත් කොච්චර නම් ඒ වගේ අය දැකලා ඇති ද? ඒත් අපිට ඒ විදිහට හිතුණේ නෑනෙ. ඒ නිසා තමයි අපිට මේ ජීවිතය අවබෝධ කරගැනීමේ දී නිවන් මග ගැන හොඳාකාරව ම දන්නා (මග්ගඤ්ඤූ), නිවන් මගෙහි අතිශයින් ම දක්ෂ (මග්ගකෝවිදෝ) සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ මගපෙන්වීම අත්‍යවශ්‍ය වෙන්නෙ. ඒ විදිහට කල්පනාව හසුරුවන්න දක්ෂ වුණ කෙනෙකුට නම් ජීවිතාවබෝධය කවදාවත් අහිමි වෙන්නේ නෑ. අපිට මගතොටේ දී, නගරයේ දී මේ විදිහේ අය මුණගැහෙනවා. ඒ අයගේ ඇඟේ අපේ වගේ ලස්සන ඇඳුම් නෑ. පරණ වෙලා දුර්වර්ණ වෙලා ගිය කඩමාල්ලකින් තමයි යන්තම් ශරීරය ආවරණය කරගෙන ඉන්නෙ, කාගෙන් හරි ඉල්ලා ගත්ත පුංචි දේකින් තමයි යන්තම් කුසගින්න නිවාගෙන ඉන්නේ. මහපොළොව ම තමයි පාවහන් කරගෙන ඉන්නේ. දුහුවිලි තමයි පුයර විදිහට මුළු ඇඟ පුරා ම තවරාගෙන ඉන්නේ.
වසා දැමූ කඩසාප්පුවක් හරි, පාළු ගෙදරක් හරි, අගුපිළක් හරි තමයි නිවහන කරගෙන ඉන්නේ. දුර්ගන්ධය නමැති විළවුන් තමයි ඇඟ පුරා ඉහගෙන ඉන්නේ. අවුල් වීම නමැති කොණ්ඩ මෝස්තරයෙන් හිස සරසාගෙන ඉන්නේ. අනුන්ට අතපෑම තමයි රස්සාව කරගෙන ඉන්නේ. “අනේ! මහත්තයා, අනේ! නෝනා, පින් සිද්ධ වෙයි!” කියන බැගෑ හඬයි මුවෙන් නැගෙන්නේ. අසරණකම, දුක, කුසගින්න, සීතල, උණුසුම, නැතිබැරිකම, තනිකම, කොන් වීම, දුර්භාග්‍යය තමයි ජීවිතයේ උරුමය කරගෙන ඉන්නේ.
එහෙම අය ඔබට මුණගැහිලා නැද්ද? හැබැයි ඔබ කවදාවත් හිතුව ද ‘මේ ඔබ ඉදිරියේ මේ පුද්ගලයා රඟ දක්වන්නේ, ඔබේ ම අතීත ජීවිතයක ඉරණමක්’ කියලා? එක පාරක් නෙවෙයි, මේ ගෙවාගෙන ආපු අතිශය දීර්ඝ සසර ගමනේ කෙළවරක් නැතුව මේ වගේ ඉරණම්වලට අපි ගොදුරු වෙලා තියෙනවා.
දවසක් එහෙම කෙනෙක් මටත් මුණගැහුණා. එයා ගොඩාක් දුර පළාතක ඉඳලා පුංචි දෙයක් බලාපොරොත්තුවෙන් තමයි ඇවිත් හිටියේ. එක කකුලක වළලුකරෙන් පහළ කොටස කපලා එතනට සෙරෙප්පු කෑල්ලක් ගැටගහලා තිබුණා. කකුල කැපුවට එතනින් ආයෙ මස්දලු ලියලනවා.
අඩිය තියනකොට ඉදිකට්ටකින් අනිනවා වගේ වේදනාවක් ස්නායු දිගේ ඔළුවට යනවා. හැරමිටිය විදිහට කොහු මිටක් තිබුණා අතේ. ඒ විදිහට පියවරක් පියවරක් පාසා වේදනා විඳ විඳ කිලෝමීටර් තුන හමාරක් විතර පයින් ම යි ඇවිත් තියෙන්නේ අසපුවට. අපිට මුණගැහෙනකොට හොඳට ම කලන්තෙයි. ඇස්වල පෙනීමත් ඒත් එක්කම අඩු වෙමිනුයි තිබුණේ.
“අනේ මහත්තයෝ, මට හොඳටම කලන්තෙයි. මගෙ ඇස්වලට දැලක් දාලා වගෙයි පැහැදිලිව පේන්නේ නෑ. මට ඉස්සෙල්ලාම මොනවා හරි කන්න දෙන්න. ඔයාලට බුදු බව අත් වෙයි.” ඒ මුවින් පිට වුණා. අසරණ වෙලා කෙනෙක් යමක් තව කෙනෙකුගෙන් ඉල්ලද්දී, ලැබෙන්නත් එයාට පිනක් තියෙන්න ම ඕනෙ. ඒක මහ පුදුම දෙයක්. එතන හිටිය කාගෙ කාගෙත් හිත් උණු වුණා. එයාට පළතුරු ලැබුණා. කොච්චර බඩගින්නේ හිටිය ද කියන්නේ ලැබුණු යෝගට් දෙක කෑවා නෙවෙයි බිව්වා.
උණු උණුවේ ලැබුණු නෙස්ටමෝල්ට් එක කුසගින්න වැඩිකමට බොන්න හදනවා, කට පිච්චෙනවා. ආයෙ බොන්න හදනවා, ආයෙ කට පිච්චෙනවා. ටික වේලාවකින් ඇඟට ටිකක් පණ ආවට පස්සේ තමයි එයාගේ දුක අපිට කියන්න පටන් ගත්තේ.
“මහත්තයෝ මම ආවේ රත්නපුරේ ඉඳලා. මට බස් එකේ එන්න සල්ලි නෑ. කෝච්චියේ චෙකර් මහත්තුරු අපි දැක්කම අනුකම්පා කරනවා. ඒ නිසා මම කෝච්චියේ යාන්ගල්මෝදරට ඇවිත් එතන ඉඳලා පයින් ආවේ.
අපිව දැක්කම පාරෙ යන කවුරුත් අපිව දාගෙන යන්නේ නෑ. මහත්තයෝ, මගේ මේ කකුල කපලා තියෙන තැනින් මස් ලියලනවා. අඩිය තියනකොට ඉදිකටු අනිනවා වගේ වේදනාවක් ඔළුවට දැනෙනවා. මාස හතරකට වතාවක් ලියලපු මස්දල්ල කපන්න ඕන. ඒක අසරණ සරණ පාද සංගමයෙන් නොමිලේ කරල දෙනවා. එතන නැවතිලා ඉන්න ඕන. ඒ ටික කාලෙට පාවිච්චියට රේසර් එකක්, දත් බුරුසුවක්, ටූත් පේස්ට් එකක්, ටවල් එකක් වගේ දෙයක් ඉල්ලගන්නයි මෙහෙට ආවේ. මගේ මූණෙ තියෙන මේ ගෙඩි පේනව ද? රේසර් එකක් ගන්න සල්ලි නෑ මහත්තයෝ. විසි කරලා තියෙන රේසර්වලින් රැවුල බාලයි මේ ගෙඩි ආවේ. මේ යෝගට් වගේ දේවල් මේ වගේ තැනකින් ලැබුණොත් මිසක් අපිට කවදාවත් කන්න ලැබෙන්නේ නෑ මහත්තයෝ. මට දූලා දෙන්නෙක් ඉන්නවා.
අපි තුන්දෙනා පාන් භාගයක් ගෙනල්ලා ඒක තුනට කඩලා කාලයි ජීවත් වෙන්නෙ. ඒ දෙන්නව, ඔපරේෂන් එක කරන කාලෙ තුළදි ළමා නිවාසයක නතර කරනවා. අදත් එහෙමයි ආවේ. කොච්චර අමාරු වුණත් මම නිකන් ඉන්නේ නෑ. පොළේ එළවළු සුද්ද කරනවා. හැබැයි දරුවන්ට ඒක දැනෙන්න ඉඩ හරින්නේ නෑ. අනේ! මට මේ කරපු උපකාරයට මහත්තයලට බුදු බව අත්වෙන්ඩ ඕනෙ. මට ඉස්පිරිතාලෙ ඉන්න ටිකට පාවිච්චියට අර බඩු ටික දෙන්ඩ පුළුවන් ද? මහත්තයලාට බොහොම පින්.” ඒ අසරණයට බඩු ටික ලැබුණා. දුම්රියපොළට අසපුවේ ත්‍රීරෝද රථයෙන් ගමන් පහසුකම ලැබුණා.
හැබැයි පින නැතිකම කියන්නේ ජීවිතයට පුදුම ශාපයක්. එදා එතන හොඳට බෙදපු බත් පිඟානක් තිබුණා. හැමෝම කෑම කාලත් ඉවරයි. ඒත් අර කෙනා අසපුවෙන් යනකල් එතන හිටපු හය දෙනාට ම ඒක මතක් වුණේ නෑ. එයා ගියා විතරයි, මෙන්න බත් එක හම්බවුණා. බත් පිඟානක් කන්නවත් පින නැති හැටි නම් හරිම පුදුමයි. අපිටත් මේ සසරේ හැමදාම පින් කරන්න ලැබෙන්නේ නෑ. හැමදාම සම්බුදු සසුන් මුණගැහෙන්නේ නෑ. ඒ නිසා පිනේ අහේනිය නිසා ම අපිත් ඕනතරම් මේ වගේ දුක්ඛිත උපත් ලබලා තියෙවා. අනාගතයෙත් ඒ අනතුරින් අත්මිදිලා නෑ. ඒ නිසා අපි ඒ වගේ අය දැකලා “ අනේ! හතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා!” කියලා පැතුවට, හතුරෙකුට නොවුණත් අපට ම ඒ වගේ දේවල් ඕනතරම් වෙලා තියෙනවා මේ සසරේ. ඒ නිසා අපි කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට මේ සියලු හේතුඵල දහමින් හටගත් දේවල් (සංස්කාර) ගැන අවබෝධයෙන් ම කලකිරෙන එකයි. නොඇලෙන එකයි. නිදහස් වෙන එකයි.
ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, ඔබට ඉතා සැප සේ සිටින, අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින කෙනෙක් දකින්නට ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන.‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ සැප අනුභව කරලා තියෙනවා නේද?’ කියලා…” නමුත් ඒ විඳපු සැප සම්පත් කිසිවක් දැන් අපට නෑ. ඒ සියල්ල අනිත්‍ය වෙලා ගිහින්. ඒ නිසා අපි සැප විඳින අය දිහා බලලා, “අනේ මටත් මෙවන් සැප ලැබේවා! මෙවන් ලස්සන නිවසක්, වාහනයක්, බිරිඳක්, සැමියෙක්, දරුවන්, ඇඳුම් පැලඳුම්, කෑමබීම ලැබේවා!” කියලා පැතුවත්, පිනක විපාකයක් විදිහට ඒ දේවල් ලැබුණත්, ඒ හැමදේමත්, දැන් මේ ජීවිතේ කලින් විඳපු සැප වගේ ම අනිත්‍ය වෙලා යාවි. ඒ ටික වෙනකොට මේ බුදු සසුනේ දුකින් මිදෙන්නට තිබෙන අවස්ථාවත් අහිමි වෙලා තියේවි. ආයේ ඒ පැතුම් නිසා ම දුක්ඛිත සසර ගමනට ම ඇද වැටේවි. ඒ නිසා ඒ ගැනත් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ම අවබෝධයෙන් ම කලකිරෙන්නයි වටින්නේ. නොඇලෙන්නයි වටින්නෙ. නිදහස් වෙන්නයි වටින්නේ. අප රැස් කළා වූ සියලු පුණ්‍යානුභාවයෙන් අප සියලු දෙනාටත් ඒ වාසනාව ම උදා වේවා!
ඇසුර÷ දුග්ගත සූත්‍රය, සුඛිත සූත්‍රය – අනමතග්ග සංයුත්තය, සංයුත්ත නිකාය 02
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments