පින් කරන්නට තියෙන නැඹුරුව’ අපේ සමාජයේ දකින්නට දුර්ලභ දෙයක් නෙමෙයි. තවමත් අපේ ජන සමාජය දානමාන දෙනවා, පුදපූජා පවත්වනවා, වෙහෙරවිහාර ගොඩනගන්න ශ්‍රමදාන කටයුතු සිදු කරනවා. බොහෝවිට, බොහොම වෙහෙස මහන්සි වෙලා උපයන ධනය ගොඩාක් අරපරිස්සමෙන් වියපැහැදම් කරමින් දුෂ්කරව ඉතිරි කරගනිමින් තමයි ඒ වගේ පින්දහම් වෙනුවෙන් මගවියදම් ආදිය සූදානම් කරගන්නේ. ඇත්තටම, දුක සේ නමුත් පින්දහම් රැස් කරගන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඔවුන්ගේ ඒ උත්සාහය ප්‍රශංසනීයයි…!

පුංචි පිනක් කළත්, පින රැස් කරන්න කලින්, පින රැස් කරද්දි, පින රැස් කළාට පස්සෙ කියන අවස්ථා තුනේ දී උපදින සිත් තුන (තුන්සිත) ක්ලේශයකින් කිලිටි නොවී රැකගැනීම පරම දුෂ්කරයි. නමුත් ඒ විදිහට සිත රැක නොගත්තොත්, ඒ බැඳීම්, ගැටීම්, මාන්නය, තරඟය, එකට එක කිරීම්, ප්‍රධානත්වය සෙවීම්, අන් අය කරන දෙය අනුමෝදන් නොවීම, තමා කරන දෙයින් සතුටු නොවීම, ඉරිසියාව, සිත් පුරා කළ පිනේ වටිනාකම සිහි නොකිරීම, සුළු සුළු අඩුපාඩු ඉදිරියේ දුකට අමනාපයට පත් වීම, ආදී නොයෙක් කෙලෙස් අපේ පින බාල කරනවා. ලැබෙන්න තියෙන පුණ්‍ය විපාකය අඩු කරනවා. ඒ නිසා, සිත රැකගැනීමේ වටිනාකම දැන සියල්ලෝම සීරුවෙන් පින් කරත්වා! යන මෙත් සිතිනුයි මේ සටහන තබන්නට සිතුවේ…

සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වීම පරම දුර්ලභ ව සිදු වන්නක්… කල්ප සියයක අති දීර්ඝ කාලයක් තුළත් සත් වරක් පමණයි සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූයේ. එනිසා අප තේරුම් ගත යුතුයි; ලොවේ පූජාර්හ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා, ශාරීරික පාරිභෝගික උද්දේසික ධාතූන් වහන්සේලා විෂයෙහි වැඳුම් පිදුම් කොට අග්‍ර වූ පින් ඵල නෙළා ගන්නට දෙව්මිනිස් ලෝකයාට විවෘත වෙන්නේ අපරිමාණ ඉඩකඩක් නම් නොවන බව… අපට ‘දීර්ඝ’ යැයි කියා සිතුණාට, සාංසාරික ජීවිතය එක්ක සසඳලා බලනවා නම් සම්බුද්ධ ශාසනයක පින්දහම් රැස් කරගන්න අපට ඉඩ ලැබිලා තියෙන්නේ පුංචි කාලයක් විතරයි.

සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වෙලා, තථාගත ශාසනය මැනවින් පිහිටුවා වදාරා පිරිනිවන් පෑවට පස්සේ යම්තාක් කල් ශාසනය ලෝකයේ පවතිනවා ද ඒතාක් කල් ම ශාසනික ප්‍රතිපදාවන් විවෘත ව බැබළි බැබළී පවතිනවා ම යි කියලා ධර්මතාවයක් නැහැ. ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව මේ ශාසනයේ බැබළෙන කාලයන් දකින්නට ලැබෙන්නේත් අතරින්පතර. ඒ කාලවල පිරිසිදු ධර්මය අසන්න ලැබෙනවා. සත්පුරුෂ ධර්මයට බොහොම අනුග්‍රහ ලැබෙනවා. ධාතූන් වහන්සේලා විෂයෙහි පුදසත්කාර කෙරෙනවා. වෙහෙරවිහාර හැදෙනවා. නුවණැති මිනිස්සු අනලස් ව පින්දහම් රැස්කර ගන්නවා…

අද අප ජීවත් වන වටපිටාවේ වුණත් ශාසනික බැබළීමක සේයාවන් ශේෂ වී තිබෙනු දකින්නට ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ පිරිසිදු බුද්ධ වචනය අපට අදටත් අසන්න ලැබෙනවා. සිල්ගුණ දම් පුරනා පිළිවෙත් සරු සඟරුවන ගෞරවයෙන් යුතුව ඇසුරු කරන්නටත් අපට අවස්ථාව තිබෙනවා. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා වගේ ම අරහන්තක ධාතූන් වහන්සේලා උදෙසාත් තැන්හි තැන්හි ස්ථූප ඉදි කෙරෙනවා. මනරම් බෝධි මණ්ඩප, විහාරාරාම සංකීර්ණ ඉදි වෙනවා. පැහැදුනු සිතින් පින් කරන්නට නුවණැති මිනිසුන්ට තවමත් නොසිඳුනු අවස්ථාවක් තිබෙනවා. ගුණයෙන් බලවත් ව, නුවණින් යුක්ත ව කටයුතු කරනවා නම් මේ තිබෙන්නේත් සසර කෙළවරට අප ව ළං කරවන මහානීය පුණ්‍ය තීර්ථයක්!

පින්කමක් අවසානයේ අප පින් අනුමෝදන් වෙන්නේ ‘සසර දුකින් අත්මිදීම පිණිස’ චේතනා පිහිටුවමින්. පින්කමකට අප කාලය, මුදල් වෙන් කරගන්නේ තව නොයෙකුත් කටයුතු කාරණා අතරේ ම යි. ඒ නිසා, ජීවමාන සම්බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙවී යන කාලරාමුවක ජීවත් වෙමින් – නිවන ඉලක්ක කරගෙන පින් රැස් කරගනිද්දි ඒ පින අග්‍ර ආකාරයෙන් ම පිරිපුන් කරගන්නට අප කැමති විය යුතු යි. අපගේ පුදපූජා සත්කාර සම්මාන පිළිගනු ලබන ප්‍රතිග්‍රාහක පාර්ශවය ලොව පූජාවන් පිළිගැනීමෙහිලා අග්‍ර වූ තෙරුවන වීම නිසාවෙන් අපට සැබැවින් ම සැලකිලිමත් වන්නට තිබෙන්නේ අප ගැන යි…

පුණ්‍ය කටයුතුවල යෙදෙද්දී අප අපේ පින අත්නොහැර රැස් කරගැනීම වගේම, අන් අයට පින් කරගන්නට උපකාරක වීමත් බොහොම යහපත්. මහමෙව්නාව භාවනා අසපු කිහිපයක් ම ආශ්‍රිත ව මේ කාලයේ සෑ රජාණන් වහන්සේලා ඉදි කෙරෙනවා. ඒ සියලු කටයුතු පින්වත් සඟරුවනේ අධීක්ෂණය යටතේ බොහොම විධිමත් ව යි සිදු කෙරෙන්නේ. උන්වහන්සේලා සෑමවිට ම බොහොම අනුකම්පාවෙන්, පැමිණෙන සෑම සියලු දෙනාට ම ඒ කටයුත්තට සහභාගී වීමෙන් පින් රැස්කර ගන්නට අවස්ථාවන් සලසා දෙන්නට කටයුතු කරනවා.

එවැනි තැන්වල දී ම තමයි පිනට කැමැත්තෙන් එන බොහෝ උදවියටත් පින රැකගන්න අපහසු වෙන ආකාරයට ඇතැමුන් හැසිරෙන්නේ. ඇතැම් උදවිය සංඝයා වහන්සේලා අවවාද අනුශාසනා සිදු කරද්දී ඒ වචනයට කන් නොදී තමන්ගේ කථාබහක, තමන්ගේ කටයුත්තක යෙදෙනවා. ඊටපස්සේ සංඝයා වහන්සේ කටයුත්ත පැවරූ ආකාරයට යම් යම් ආකාරවලින් වෙනස් වුණු හෝ හාත්පසින් ම වෙනස් වුණු විදිහට තමයි කටයුත්ත කරන්නේ. එයින් කටයුත්ත විධිමත් ව ඉටු කරන්නට උත්සාහවත් වන සංඝයා වහන්සේලාත් අපහසුවට පත්වෙනවා. පින් කරනවා කියා සිතාගෙන අපත් පින කිලිටි කරගත්තා වෙනවා. පින් රැස්කරගන්නා අදහසින් පැමිණි අන් අයත් අපහසුතාවයට පත්වෙනවා.

ඒ වගේ ම නිතර දකින්න ලැබෙන තවත් කාරණයක් තමයි වෙහෙරවිහාර කර්මාන්තවලට ශ්‍රම පූජා කරමින් සිටිද්දී ආගිය වගතුග, ඕපදූප, හිස් වචන රස කර කර කථාබහ කෙරෙන බව. (අනෙකුත් පින්කම්වලදීත් මෙවැනි කථාබස් අඩු නැහැ.) සෑය හදන්න ගඩොල් අදින අතරේ රටේතොටේ ආගිය විස්තර කථා බහ කරද්දි, ගඩොල් ඇද දීමේ යම් පිනක් රැස් නොවී තියෙන්නේ නෑ. හැබැයි, තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරමින්, ධර්මයේ – අරහත් සංඝයාගේ ගුණ සිහි කරමින්, පිරිත් ධර්මයන් සජ්ඣායනා කරමින් සෑයකට ගඩොල් ඇද උපස්ථාන කිරීමෙන් රැස් කරගන්නට තිබුණු විපුල වූ පින අප විසින් ම ලඝු කරගත්තා වෙනවා…

බොහෝ කොට දකින්න ලැබෙන තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි, ඔය වගේ පින්කම්වලට එකතු වන අබල දුබල වයස්ගත වූ පිරිස් වෙත ලැබෙන ප්‍රතිචාර. තරුණ ජවයෙන් යුක්ත ව, වේගවත් ව කටයුත්තේ යෙදෙන්න ඔවුනට නුපුළුවන් වීම නිසා ම සමහර අවස්ථාවල ඔවුන් ව ඒ ශ්‍රමදාන කටයුත්තෙන් බැහැර කරන්නත් පිරිස් උත්සුක වෙනවා. ‘අමාරුවෙන් හෝ මේ කටයුත්ත වෙනුවෙන් එකතු වුණානේ’ කියන ගුණය දැකලා, ‘ජරා දුකින් බැට කන්නට වෙද්දී කය මෙහෙයවා ජවසම්පන්නව පින්දහම් රැස් කරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා’ කියන ධර්මතාවය සිහි කරලා සිහිය උපදවාගෙන ඒ උදවියගේ පින රැක දෙන්න දයාමෙත් පෙරටුව කටයුතු කරලා තමන්ගේ පින විපුල කරගන්න ඇත්තටම සිහිනුවණ වුවමනයි…!

බොහෝ උදවිය පින්කම්වලට සහසම්බන්ධ වෙන්න කාලය වෙන් කරගන්නේ නිවාඩු දිනවල, විවේකපාඩුව සැලසෙන ආකාරය අනුව. ඒ නිසා ම සති අන්ත හා නිවාඩු දිනවල දී පින්කම්වලට වැඩි වැඩියෙන් පිරිස් ඒකරාශී වෙනවා. සමහරවිට ඇඟේ ගෑවි ගෑවී පෝලිම්වල සිටිමින් තමයි සෑයට වෙහෙරට ගල් ගඩොල් වැලි අදින්න වෙන්නේ. අතේ දුරින් සිටීම කටයුත්තට යම් පහසුවක් වුණත් ඒ විදිහට කරන්න ගියොත් බොහෝ දෙනෙකුට ඒ කටයුත්තට දායක වෙන්න අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේ අවස්ථාවල දී පවා තමන්ගේත්, අන් අයගේත් පින ආරක්ෂා කරගන්න අප කාරුණික වනවා නම්, දක්ෂ වනවා නම් එපමණකින් ම අපේ පින වැඩී යනවා.

පින් කිරීමෙනුත්, පින් අනුමෝදන් වීමෙනුත් එකසේ ම පින් රැස් කරගන්න පුළුවනි. ඒ නිසා…, සංඝයාගේ වචනයේ පිහිටා ඒ පිනත් රැස් කරගන්න, තමනුත් පැහැදුනු සිතින් පින් කරන්න, අනිත් අය පින් කරනවා දැක සතුටට පත් වෙන්න සහ ඔවුන්ට පින් රැස් කරගන්නටත් උපකාර වෙන්න ලැබෙන මහානීය අවස්ථාවක් විදිහට සලකාගෙන ම සෑයට වෙහෙරට ශ්‍රම පූජාවන් සිදු කරන්න.

ධාතු නිධන් නොකළ සෑය පවා පින්තොටක්. මේ හැම දෙයට ම මුල් වෙන්නේ සිත. ඒ නිසා ම සිත රැකගෙන පින් කරන්න. භාග්‍යවතුන් වහන්සේට, නිකෙලෙස් මුනිවරුනට පූජා පිණිස කටයුතු සම්පාදනය වන භූමියේ අග්‍ර වූ ආකාරයෙන් ම පින් රැස් කරගන්නයි අපට මේ මහා ලාභයක් හිමි වුණේ. ඒ කටයුත්ත පුරා ම සිතින්, කයින්, වචනයෙන් යහපතේ හැසිරෙන්න පුළුවන් නම්; අප ඒ වඩාත් සමීප වන්නේ නිවනට!

සටහන – උදුලා පද්මාවතී.