ජාති ආගම් භේදයකින් තොරව අපි සියලු‍ දෙනාම නිතරම ජීවිතයට ආරක්ෂාවක්, රැකවරණයක් සොයමු. නොයෙකුත් දුක් කරදර නිසා අප සියලු‍ දෙනාම අසරණ ය. එමෙන්ම අපට කිසිසේත් ම පාලනය කළ නොහැකි බලපෑම්වලට යටත් වීමටත් සිදු වේ. ඉතින් මෙවැනි කරදර බාධා දුරු කිරීම පි◊ස බොහෝදෙනෙක් නොපෙනෙන ලෝකයෙන් පිහිට සොයයි. භාරහාර වෙයි. පඬුරු ගැට ගසයි. නැකැතට වැඩ අරඹයි. කිරි උතුරයි. හදි හූනියම් ද කරයි. එනමුදු ලැබුණු ආරක්ෂාවක් ද නොමැත.

සකල ලෝකධාතුවම අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ ද නොයෙක් දුක් කරදර බාධා මැඬලීම පිණිස, රැකවරණය පිණිස ධර්මය දේශනා කළ සේක. ඒ අතරින් ප්‍රධාන වන්නේ පිරිත් දේශනාවයි. පිරිත යනු ‘හාත්පසින් ම රකිනවා’ යන අර්ථයයි. පිරිතේ ඇත්තේ සත්‍යානුභාව බලයයි. අපගේ මහබෝසතාණන් වහන්සේ පවා නොයෙක් ජීවිතවල පිරිතේ බලයෙන් ආරක්ෂාව සලසාගෙන තිබේ. එක් ජීවිතයක රණ මොනරෙක් ව ඉපිද වසර 700ක් උගුලකට හසු නොවී සිටියේ මෝර පිරිතේ ආනුභාවයෙනි. තවත් ජීවිතයක වටු කුරුල්ලෙක් ව ඉපිද සත්‍යක්‍රියා කොට ලැව් ගින්නක් ද නිවා ආරක්ෂාව සලසා ගත්තේ ය. මත්ස්‍ය රාජයෙක් ව ඉපිද සත්‍යක්‍රියා කොට මහ වැසි වස්සවා තම ඥාතීන්ට ආරක්ෂාව සැලසුවේ ය. මෙලෙස තිරිසන්ගත ජීවිතවල දී පවා පිරිතේ බලයෙන් පිහිට සලසා ගත් අයුරු පුදුමයක් නොවේ ද?

සම්බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කොට විශාලා මහනුවර තුන්බිය සැණෙකින් දුරු කළ සේක. දරු ගැබ සිරවී සිටි මවකට අංගුලිමාල පිරිත දෙසීමෙන් සෙත සැලසූ සේක. අදටත් මව්වරුන්ටත්, දරුවන්ටත් මෙන් ම අමනුෂ්‍ය ප්‍රශ්න ඇති අයටත් රැකවරණය සලසන්නකි, අංගුලිමාල පිරිත. නොයෙක් අමනුෂ්‍ය කරදර සිදු වූ තම ශ්‍රාවකයන්ට කරණීයමෙත්ත සූත්‍රය දේශනා කොට ඒ සියලු‍ කරදර දුරු කළ සේක.

එමෙන් ම බියෙන්, තැතිගැන්මෙන් වාසය කරන ශ්‍රාවකයන්ට ධජග්ග සූත්‍රය දේශනා කොට තුනුරුවන සිහිකිරීම් මාත්‍රයෙන් පිහිට සලසාලූ සේක. සියලු‍ අමනුෂ්‍ය කරදරවලින් මිදීමට ආටානාටිය පිරිත දෙසූ සේක. සර්පයන්ගෙන් සිදුවන අනතුරු වළකා ගැනීමට ඛන්ධ පිරිත දෙසූ සේක. නොයෙක් මාරාන්තික ලෙඩ රෝගවලින් නැගී සිටීමට බොජ්ඣංග පිරිත්, ගිරිමානන්ද පිරිත ආදිය දේශනා කළ සේක. දින 07කට ආයුෂ තිබූ ආයුවඩ්ඪන කුමාරයාට අවුරුදු 120කට ආයුෂ ලැබුණේ පිරිතේ අනුහසිනි.

එමෙන් ම විජය කුමරු ඇතුළු‍ පිරිසට ආරක්ෂාව ලැබුණේ ද පිරිත් නූල්වල ආනුභාවයෙනි. ඉතින් එදා මෙදාතුර පිරිතේ අනුහසින් ආරක්ෂා වූ ජීවිත ගණන, වැළකී ගිය අනතුරු ගණන කාට නම් කිව හැකි ද?

ඇත්තෙන්ම පිරිත ගැනත්, එහි අනුහස් ගැනත් මා ඉගෙන ගත්තේ අසපුවාසී කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලාගෙනි. අද බොහෝ බෞද්ධයන්ට පිරිත ගැන ඇති විශ්වාසය අල්ප ය. පිරිතෙන් පිහිට ලැබීමට නම් තමාට පිරිත ගැන පූර්ණ විශ්වාසය තිබිය යුතු බවත්, කෙලෙස්වලින් සිත නොවැසී තිබිය යුතු බවත්, කර්ම විපාකයකින් නොවැසී තිබිය යුතු බවත් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළ සේක.

පිරිතේ වටිනාකම දැනගත් විට ඔබ නිතර නිතර පිරිත් කියන්නටත්, එහි අර්ථ විමසන්නටත් පුරුදු වේ. මහමෙව්නාවේ පාලි සිංහල පිරුවනා පොත් වහන්සේ නිසයි මා පිරිත්වල තේරුම් දැනගත්තේ. පිරිතේ ආනුභාවය අත්දුටු සත්‍ය සිදුවීම් බොහොමයක් මගේ ජීවිතයේ තිබේ.

එක්තරා දිනෙක මම සිල් සමාදන් ව, පිරිත් කියා නගරයේ ඇති මාගේ මිතුරෙකුගේ නිවස බලා ගියෙමි. අඳුරු ස්වභාවයෙන් යුතු ඒ නිවසේ විසූ නැන්දා කෙනෙක් මා දැක “‍පුතා ඔයා ළඟින් පුදුම එළියක්නෙ පේන්නේ.”‍ යැයි පැවසුවා ය. මම සිනාසුණෙමි. නමුත් ඇය කතා කළේ යම් අමනුෂ්‍ය ආවේශයකිනි. “‍පුතාගේ වටේ ආරක්ෂක වළල්ලක් තියෙනවා. ඒ වටේ ගොඩක් අය ඉන්නවා ඔයාට කරදර කරන්න බලාගෙන. ඔයා අර පිරිත් කියල ජාතියක් කියනව නේද? අර ආටා…..නාටා….”‍ “‍ආ නැන්දා ඒක ආටානාටිය පිරිත. මම නිතර කියන පිරිතක්.”‍ “ඔව් ඔව්. ඒවා කියන නිසා එයාලට ඔයාට ළං වෙන්න බෑ.”‍

බලන්න පිරිතේ ආනුභාවය, අදටත් ආරක්ෂාව සලසයි.

තව සිදුවීමක් කියමි. තවත් දිනයක රාත්‍රියේ දී වර්ෂාවක් මැද කළු‍වරේ ම මා යාළුවොත් සමග වෙල් යායෙන් එගොඩ ගියේ මල් වගයක් රැගෙන ඒමටයි. ඉතින් එන අතරේ ආලෝකයකුත් නැති නිසා අපි ඛන්ධ පිරිත කියමින් ආවෙමු. එක්වර ම වැටුනු අකුණු එළියෙන් දුටු දෙයින් මම භීතියට පත් වීමි. විෂඝෝර සර්පයෙකි. ඉදිරියෙන් ගිය මිතුරාට ඌව පෑගුණි. නමුත් ඌ දෂ්ට නොකරම දඟර ගසා ඉවතට පැන්නේ ය. අහෝ ඛන්ධ පිරිතේ අනුහස බලන්න. අපට පිරිතෙන් මොන තරම් රැකවරණයක් ලැබෙනවා ද?

තවත් දිනයක මා පිරිසක් සමග අලු‍තෙන් ඉදිවන සෑයක ශ්‍රමදානයකට ගොස් ආපසු එන විට රාත්‍රියේ දී පාළු ප්‍රදේශයක දී වාහනය නතර විණි. ඉන්ධන තිබුණ අතර වාහනයේ දෝෂය සොයා ගත නොහැකි විය. ඉතින් අපි ආලවක පිරිත කියා සියලු‍ පින් ආලවක දෙවියන්ට අනුමෝදන් කළෙමු. මොහොතකින් වාහනය පණගැන්විණි. නිවසට පැමිණි පසු රියදුරා කීවේ, “‍මල්ලි පිරිත්වලින් කරන්න බැරි දෙයක් නෑ නේද?”‍ කියා ය.

විශේෂයෙන් ගමන් බිමන් යද්දී මෝර පිරිත කීමෙන් සැලසෙන ආරක්ෂාව පුදුම සහගත එකකි. දිනක් මම වාහනයකින් ගමනක් යන විට මෝර පිරිත කියමින් ගියෙමි. ඉදිරියෙන් ආ වාහනය එහි රෝදය ගැලවී එය රියදුරුගේ පාලනයෙන් ගිලිහී අපේ වාහනය ඉදිරියට ම ආවේ ය. නමුත් එය අපේ වාහනයේ නොගැටී ගියේ පුදුම සහගත ලෙසයි. එම වාහනය හැපුනා නම් අද මා ද ජීවතුන් අතර නැත. ඇත්තෙන්ම පිරිත යනු හාස්කමක් ම යි. ජීවිත ආරක්ෂාව ලබා දෙන පුදුම මන්තරයකි පිරිත.

පසුගිය දිනෙක අපේ හිතවතෙක් කුඹුරේ සිටිය දී ඔහුට පොළඟෙක් දෂ්ට කර තිබුණි. දෂ්ට කළ තැනට ඉහළින් අතින් තද කොට අල්ලාගෙන ඔහු මෝර පිරිත කියා තිබේ. රෝහලේ දී වෛද්‍යවරයා කියා ඇත්තේ “‍සර්ප විෂ නැගල නැහැ, හරි පුදුමයක්.”‍ යනුවෙනි. මේ පිරිතේ ආනුභාවය යි.

මාගේ යාළුවෙක් ඉපදෙන්න ඉද්දී ඒ අම්මාට දරුවා බිහි නොවී දින 07ක් සිර වී ඉඳ ඇත. ඉන්දියාවේ සිට වඩමවන ලද අංගුලිමාල මහරහත් මුනිඳුන්ගේ පාරිභෝගික ධාතූන් වහන්සේනමක් (උන්වහන්සේ වැඩ සිටි කුටියක උළු කැබැල්ලක්) සහිත කරඬුවක් පන්සලේ හාමුදුරුවන්ගේ අවසරයෙන් අර අම්මාගේ හිසේ තබා වන්දවා තිබේ. එසැණින් ම සියලු‍ වේදනා දුරු වී දරුවා බිහිවන ලකුණු පහළ වී ඇත. රෝහලට ගෙන යන අතරතුර පිරිත් කියමින් සිටිය දී කිසිදු වේදනාවකින් තොරව දරුවා බිහි ව තිබේ. අංගුලිමාල මුනිඳුගේ ආනුභාවයත්, පිරිතේ අනුහසත් පුදුම සහගත නොවේ ද?

දිනක් අසල්වැසි නැන්දා කෙනෙක් මාව සොයා ගෙදරට පැමිණ තිබේ. එදින මා සිටියේ පන්සලේ ය. ඇයත් යම්කිසි අමනුෂ්‍ය ආවේශයකින් අපේ අම්මාට කතා කොට තිබේ. “‍කෝ කොල්ලා, මට ඕකව ගෙනියන්න ඕන.”‍ “පුතා ගෙදර නෑ අක්කේ, ගේ ඇතුළට එන්න.” යැයි අම්මා කියා ඇත. “‍බෑ බෑ මට එන්න බෑ මේ සීමාවෙන් ඇතුළට. මාව පිච්චෙනවා.”‍ කියා ඇය ආපසු ගොස් තිබුණි. ඇත්තෙන්ම මම නිතර නිතර පිරිත් කියා පිරිත් පැන් ගෙදර වටේටම ඉසිමි. පිරිත් කළ අබ දුම් අල්ලමි. ගෙදර හැමෝටම පිරිත් පැන් බොන්නටත් දෙමි. ගෙදර නිතර ම පිරිත් කියමි. ඒ නිසා, නොපෙනෙන ලෝකෙන් ඇති ගොඩක් කරදර අඩු වේ.

අනික අපට තිබෙන බොහෝ අසනීපවලට හේතුවකි, අමනුෂ්‍ය බලපෑම්. ඉතින් ඒවා තියෙද්දී කොතරම් ප්‍රතිකාර කළත් ලෙඩ හොඳ වෙන්නේ නැත. බෙහෙත් අහන්නේ නැත. ඉතින් නිතර පිරිත් කියනවා නම්, පිරිත් පැන් බොනවා නම් එවැනි බලපෑම් දුරු වෙයි. ලෙඩත් සුව වෙයි. බොන බෙහෙත් පවා පිරිත් කර බොන්න ඕනෑ ය. ගසකට වුණත් පිරිත් පැන් යෙදුවොත් හොඳට මල් ඵල දරයි. කෘමි උවදුරු දුරු වෙන්නට ඛන්ධ පිරිතෙන් පිරිත් කර පැන් දාන්න ඕනෑ ය. ඇස්වහ කටවහ දෝෂ දුරු වෙන්න ධජග්ග පිරිත කිව යුතු ය. අංගුලිමාල පිරිත කියන්නෙ හැම උවදුරක් ම දුරු කරන, කල්පයක් බල පිහිටා ඇති ආනුභාව සම්පන්න පිරිතකි.

ඉතින් මේ පිරිතේ බලය, ආරක්ෂාව අපට ලැබෙන්නෙ විශ්වාසයත් එක්ක ය. ඔයාලත් නිතර පිරිත් කියන්නට පුරුදු වෙන්න. පිරිත් පාඩම් කරගන්න. තේරුම ඉගෙන ගන්න. මිසදිටු ක්‍රමවලින් ආරක්ෂාව සොයන්නට එපා. විශ්වාසයෙන් පිරිත් කිවොත් එයින් ලැබෙන පිහිට තමන්ට ම අත්දකින්න හැකි වේවි.

දිව්‍යාංජන සෙනෙවිරත්න.