දරුණු රෝගාබාධයන්ගෙන් පීඩා විඳින, මාරාන්තික දුක් වේදනාවන්ගෙන් බැට කන, අසාධ්‍ය තත්ත්වයේ හිඳිනා රෝගීන් දකිනා කල්හි ද ජීවිතයේ අවසානයට ම එළඹ ජරා දුකින් පීඩිත වියපත් මහල්ලන් දකින කල්හි ද ඔවුන්ගේ ජීවිතයේ අවසානය දැන් දැන් එළඹේ යැයි සිතුණු අවස්ථා අප කාටත් ඇත. එසේ අබල දුබලතා ඇතිව පීඩාකාරී ජීවිත ගෙවූවන් මරණයට පත් වූ බව අසනා කල්හි ද එහිලා විස්මයක් අප තුළ උපදින්නේ නැති තරම් ය. එයට හේතුව, ඒ මරණය ඕනෑම මොහොතක සිදු විය හැකි බවට යම් අවබෝධයක් අප තුළ තිබීම යි.
එහෙත්, මිය යන්නේ එසේ මරණය පෙනි පෙනී සිටින්නේ යැයි අපට ඕලාරික ව ප්‍රකට උදවිය පමණක් නොවේ. ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු වෙත මරණය ළඟා විය හැකි ය. පසුගිය දෙසැම්බර් 25 වනදා කසකස්තානයට ඇද වැටුණු අසර්බයිජාන ගුවන් යානයේ ගමන් ගත් හැට හත් දෙනෙකු අතරින් තිස් අට දෙනෙකු ද දෙසැම්බර් 29 වනදා දකුණු කොරියාවේ ගුවන් තොටුපළට ගොඩබෑමේ දී අනතුරට පත් වූ දකුණු කොරියානු ගුවන් යානයේ ගමන් ගත් එකසිය අසූ එක් දෙනා අතරින් එකසිය හැත්තෑනම දෙනෙකු ද මරණයට පත් වූයේ මරණය පෙනි පෙනී ජීවිතය අග්ගිස්සේ සිටින්නේ යැයි ඉඟියක්වත් ලබා සිටිය දී නොවේ. ඒ සියල්ලෝ සැලසුම් කර ගත් බොහෝ දෑ ඉතිරිව තිබිය දී ම මෙලොවින් සමුගත්හ, ඇසුදුටුවන් කා තුළත් සංවේගය ඉපදවූ මරණයක උරුමකරුවෝ වූහ. එසේ වූයේ එකී මරණ අතිශයින් අනපේක්ෂිත ඒවා වීම නිසා ය. එහෙත්, මරණය යනු පෙනි පෙනී ම තිබෙන්නක් නොවේ ද?
මරණය සෑමවිට ම සිටින්නේ අප පසුපසිනි. උපන්නා වූ සෑම සත්වයෙකුට ම ඒකාන්තයෙන් ම මුහුණ දෙන්නට සිදුවන පොදු ඉරණම එයයි. අප ඒ බව මෙනෙහි කරන්නට මාරාන්තික රෝගාබාධයක් වැළඳෙන තුරු බලා සිටිය යුතු නැත. එබඳු මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නවුන් සෑම විට ම ඒ රෝගය නිසාවෙන් ම පමණක් මියයන්නේ නැත. ඒ ඇතැමුන් මියපරලොව යන්නේ මගතොටේ වන අනතුරක් නිසා විය හැකි ය. එපමණක් ද නොවේ; අප කවර තරාතිරමක සිටින්නේ වුව ද මරණය සිදු විය හැකි තැන හෝ ආකාරය හෝ කෙරෙහි එහි බලපෑමක් නැත. ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවකයාණන් වහන්සේ ද අග්‍ර ඍද්ධිමතුන් වහන්සේ ද වූ මුගලන් මහරහතන් වහන්සේ සොරුන්ගේ පහරකෑමට ලක්ව පිරිනිවීමට පත් වූහ. එසේ ම, ඉතා ඉක්මනින් ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍ර වූ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ යටත් පිරිසෙයින් සිවුරු පිරිකරකුදු නොලබා ගවදෙනකගේ ඇණුම් ලැබ පිරිනිවුනහ. ලක්දිව්වැසි වූ කැලණිතිස්ස රහතන් වහන්සේ තෙල් කටාරමක පැසෙමින් පිරිනිවන් පෑහ. අම නිවන් වැඩි ඒ මුනිවරුන් පවා කළ කම් පරිද්දෙන් එබඳු මරණයන්ට පත් වූවෝ නම් සසර සැරිසරන අප වැන්නවුන්ගේ මරණයන් සිදු විය හැකි ආකාරයන් ගැන කවර නම් කතා ද…!
‘මේ වසරේ මෙපරිද්දෙන් කටයුතු කරමු’ යැයි අදිටන් කරගෙන නව ව්‍යවහාරික වර්ෂයට එළඹියේ නමුදු මේ වර්ෂය පුරා අප ජීවත් වේ යැයි කාට නම් කිව හැකි ද? වර්ෂය නොවේ; අඩවසක්… මාසයක්… සතියක්… දවසක්… මේ දහවල හෝ මේ රැය… අප ජීවත් වේ යැයි සහතිකයක් නැත. කොටින් ම ඉහළට ගත් හුස්මපොද පහළ හෙළන්නට පෙරාතුව මේ ජීවිතය අවසන් විය හැකි ය. එසේ වන්නේ උපන්නා වූ සෑම දෙනාට ම ය. මන්ද, ඔවුහු සියල්ලෝ ම මරණය පෙනි පෙනී ජීවත් වන්නවුන් වන බැවිනි.
එහෙව් ජීවිතයක් පරිහරණය කරමින් සිටින නිසා පමා වීමට කාලයක් අපට නැත. මරණයට පත් වන නියත ස්වභාවය ඇති අපි එබඳු ස්වභාවය ම සහිත අය සහ දෙය ම එක්රැස් කරමින්, ඒවා කෙරෙහි ම සිත් අලවමින් වාසය කිරීමෙන් පමණක් සතුටු වන්නෙමු නම් එය ම පමාවකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වී දෙව්මිනිස් ලෝකයට හෙළිදරව් කරනු ලැබුවේ මරණය ද මරණයට පත් වන සියල්ල ද ඉක්මවා යමින් ශ්‍රේෂ්ඨත්වයට පත් වන මාවත යි. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, මැනැවින් පිහිටි සිහියෙන් යුතුව එහි ගමන් ගත්තෝ මරණය පෙනි පෙනී ගෙවූ ජීවිත තුළ දී ම මරණය ඉක්මවා ගියෝ ය, ඉපදීම ක්ෂය කළෝ ය. අප ද එය කළ යුත්තේ මරණින් මතු නොව මරණය පෙනි පෙනී ගෙවන ජීවිත තුළ ම ය!
Recent Comments