“භික්ෂුව, භික්ෂුව, ඔබේ ජීවිතය පිළුණු කරගන්න එපා! භික්ෂුව ඒකන්තයෙන් ම පිළී ගඳ වැගිරෙන්නා වූ ඒ පිළුණු වුණ ජීවිතයට කෙලෙස් නිලමැස්සෝ රොදබැඳ ගන්නේ නෑ; පසුපසින් ලුහුබඳින්නේ නෑ; යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි…”

මේ වනාහී, ශ්‍රී සුගත තථාගත අප ශාස්තෘන් වහන්සේ තම ශ්‍රාවකයෙකු සංවේගයට පත් කරනු වස් වදාළ දහම් අවවාදයක්.

ආහාරපාන පිළුණු වීම ගැන අපි කොතෙකුත් දැක අසා තිබෙනවා. නමුත් ජීවිතයක් පිළුණු වීම ගැන…? ඒ පිළුණු වූ ජීවිතයෙන් වැගිරෙන්නා වූ පිළී ගඳ ගැන…? සංසාරගත ජීවිතය පසුපස හඹා එන නිලමැස්සෝ ගැන අප දන්නේ කුමක් ද? සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ අපගේ ශාස්තෘන් වහන්සේ එය මෙසේ පහදා දුන් සේක.

“භික්ෂුව, ජීවිතය පිළුණු වීම කියන්නේ අනුන්ගේ දේට ආශා කිරීමයි. පිළී ගඳ කියන්නේ ව්‍යාපාදයටයි. මැස්සෝ කියන්නේ පවිටු වූ අකුසල විතර්කයන්ටයි…”

අප උපන්දා සිට අපට මගහැරයා නොහැකි සිදුවීම් දාමයක් තිබෙනවා. එනම්, මේ ඇස් දෙකට රූප පෙනීම. කන් දෙකට ශබ්ද ඇසීම. නාසයට ගඳ සුවඳ දැනීම. දිවට රස දැනීම. කයට පහස දැනීම. මනසට සිතිවිලි සිතීම. මේ ආයතන හයට මුණගැසෙන අරමුණුවලට සංවේදී වීමත්, ප්‍රතික්‍රියා දැක්වීමත් මතයි අපේ ජීවිතයේ පැවැත්ම අපි ඉදිරියට රැගෙන යන්නේ.

එය එසේ වුවත්, මඳක් සිතන්න. අපිට පෙනෙන ඒ දේවල් තුළ ම නොවේ ද අප නෙත් පැහැර ගන්නා දසුන් සැරිසරන්නේ. ඇසෙන ශබ්ද තුළ ම නොවේ ද අපගේ සවන්පත් වසඟ කරවන මියුරු නාදයන් පාවී යන්නේ. කෙනෙකුගේ නාසය ඇකිලී යන ගන්ධය තවත් කෙනෙකුට නැතිවම බැරි සුගන්ධයන් වෙනවා නොවේ ද?

කුසගිනි නිවන, ජීවිතය පවත්වන ආහාරය තුළ ම නොවේ ද එකිනෙකාගේ දිව පිනවන රසයන් ගැබ්වී පවතින්නේ…? සීතලෙන් උණුසුමෙන් මැසි මදුරු කරදරවලින් පීඩා විඳින – ආහාරපාන, බේත්හේත්, ඉලීම් පිරිමැදීම් නිසා පවතින මේ කයට ම නොවේ ද එබඳු ම වූ යම් යම් පහසවල් තුළින් සුව සහනය සොයන්නේ? ජීවිතය පිනවීමේ අසහනකාරී වූ අනේකවිධ සිතිවිලි සමුදායන් අතර ම නේද සැනසුම් සුසුම්පොදක් හෙළන දිනයක් ගැන ඇඟිලි ගැන ගැන සිටින්නේ.

නමුත්, අපි එකිනෙකා මේ අයුරින් බාහිර ලෝකය ගැන ගනුදෙනු පවත්වද්දී අපටත් නොදැනී ම අපගේ ජීවිත පිළුණු වී ඇති බව ඔබ දැන සිටියා ද? අපි අහන, දකින, රසවිඳින, පහස ලබන දේ තුළ මේ සිත වින්දනයට පත් වෙද්දී සිත තුළ නැගෙන ආශා රළ වේගයෙන් සිතේ පවුරු පදනම් සිඳ බිඳ ගියහොත් එපමණකින් ම ඒ ජීවිතය පිළුණු වී යනවා ම යි. වියරු වැටී ගලා යන ඒ ආශා රළ සැඩපහරට හසුවන කුමන නම් දෙයක් නොනැසී පවතීවි ද? ඒ ජීවිතය ව්‍යාපාදයේ පිළීගඳ දසත වහනය කරනවා ම යි. පිළීගඳ සොයා කවර නම් කලෙක මධුරස වෑහෙන මීපිඬු බඳිනා සොඳුරු මීමැසි කැළ පැමිණේ ද? කොපමණ දුරක සිට වුව ද පැමිණෙන්නේ නිලමැස්සන් ම නොවේ ද? ඒ පිළීගඳ නැති කරගන්නා තුරු ඔහු කැමති වුව ද අකමැති වුව ද ඔහු පසුපස වැලනොකැඩී රොදබඳිනා ඉරිසියාව, එකට එක කිරීම, පළිගැනීම, අකීකරුකම, දැඩි බව, අහංකාරකම, උගුල් ඇටවීම ආදී අනේකවිධ නිලමැසි සමූහයා සමඟ වාසය කිරීමට ඔහුට සිදුවනු නියත යි. මක් නිසා ද යත්; මෙය තථාගත ශ්‍රී සම්බුද්ධ භාෂිතයක් වන බැවින්.

මඳක් සිතන්න; එසේ වුවහොත් දුලබ මිනිසත් බව ලැබුවෙකුට එය කොතරම් නම් අවාසනාවක් ද? කොපමණ රාජපූජීත වුවත්, ධන කුවේර වුවත්, අභිරූපී වුවත්, සම්භාවනීය වුවත්, මහා උගතෙක් වුවත්, අනුන්ගේ දෙයට ආශාවෙන් අන්ධයෙක් සේ හඹා යනවා නම්, අනුන් නසා වනසා හෝ තම අභිලාෂය ඉටුකර ගැනීමේ වියරුවෙන් හැසිරෙනවා නම්, ඒ වෙනුවෙන් නම් දිවා රෑ වෙහෙසෙන්නේ… පිළුණු අහරේ නවාතැන කුණු වළ සේ ම ඔහුගේ සසරගත දිවිය ද සතර අපායේ නවාතැන් ගනු ඇත.

එය තවත් මැනවින් තේරුම් ගන්න මේ ටිකත් කියවන්න.

ඔහුගේ නම සේරී. කදාවළලු‍ වෙළෙන්දෙක්. දිනක් ඔහුට දැලිකුණු වැකී ගිය කහවණු ලක්ෂයක් අගනා රන්තැටියක් ලැබුණා. ඔහු ආත්ම ලාභයෙන් යුක්තව වංචාවෙන් එය ගන්න උපක්‍රමයක් යෙදුවා. නමුත් ඒ රන්තැටිය ම බෝසත් වෙළෙන්දාටත් ලැබුණා. ගුණදහමින් පිරී ගිය, කාරුණික වූ, සත්‍යවාදී වූ ඔහු ධාර්මික ව එය තමා සතු කර ගත්තා. අධික ආශාවෙන් ජීවිතය පිළුණු වුණ සේරී වෙළෙන්දා බෝසතුන් ගැන මහා වෛරයක් ඇති කර ගත්තා. කෙලෙස් නිලමැස්සන් රොද බැඳගත් ඔහුගේ ජීවිතය දෙව්දත් කෙනෙක් බිහි කළා. අවසන සම්බුදුවරයෙකු විනාශ කරන්න වෑයම් කොට මහානිරයේ නවාතැන් ගන්න වුණා…

කෝකාලික නුවර කෝකාලික සිටුවරයාගේ එක ම පුත්‍රයා, ඔහුත් නමින් කෝකාලික. වස් තුන්මසක් සැරියුත් මුගලන් මහමුනිවරුන්ගේ ඇසුර ලබමින් හිටියා. තම දායකයන්ගෙන් ඒ මුනිවරුන්ට ලැබුණු පිරිකර ගැන ඔහුගේ සිතේ ඇති වූ අධික ගිජු බවින් ඒ ජීවිතයත් පිළුණු වුණා. වෛරය නමැති පිළීගඳ වෑහෙන්න ගත්තා. සම්බුදුරජුන් ළඟට පවා ගොස් ඒ මුනිවරුන්ට ගැරහුවා. පිළීගඳට රොදබඳින නිලමැස්සන්ගෙන් කෙසේ නම් බේරෙන්න ද? බුදු කෙනෙක් වළක්වද්දීත් කෙලෙස් නිලමැස්සන් පලවා හැර ගන්න ඔහුට බැරි වුණා. අවසන අනන්ත දුක්විඳ පදුම නිරයේ නවාතැන් ගත්තා…

ඇය වෙසඟනක්. කාමාශාවෙන් ජීවිතය පිළුණු කරගත් තැනැත්තියක්. සිටුකුමාරවරු සතර දෙනෙක් සමඟ සල්ලාලකමේ ගියා. ඇයගේ ආභරණවලට ලෝභ කළ සිටුකුමාරවරු ඇයව මරණයට පත් කළා. පිළුණු වූ ඇගේ ජීවිතයත්, ඔවුන්ගේ ජීවිතත් පිළීගඳින් පිරී ඉතිරී ගියා. වෛරයේ ගිනිසිළු මැද ඇය අවසන් සුසුම් හෙළුවා. ඒ කෙලෙස් නිලමැස්සන් සසර පුරාවට ඇය ව පිරිවරා ගත්තා. ඒ සිටුකුමාරවරු ගෞතම බුදු සසුනේ ධර්මය අවබෝධ කළා. නමුත් ඇය යක්ෂණියක් ව ගවදෙනකට ආවේශ වී ඒ සියලු‍ දෙනාම මරණයට පත් කළා. ඇයටත් උරුම වුණේ නිරයේ උපතයි…

මේ සඳහන් කළේ මේ බිහිසුණු සසරේ සිදුවීම් මාත්‍රයක් පමණයි. ඒ නිසා, තමන්ට නොලැබෙන දේ තමන්ට අහිමි වන දේ අන් අයට ලැබෙනකොට එය තමා සතු කරගන්න ආස කරන තරමේ හීන තත්ත්වයට මේ හිත වැටෙන්න දෙන්න එපා! එය ලද අය ඒ සඳහා සසරේ පිරූ පින් ගැන ගෞරව කරන උසස් සිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න. එවිට පවා ඔබේ සිත නමැති සාගරයේ ආශාව නැමැති රළගෙඩි නැගි නැගී ඒවී. නමුත් සිහිය නැමැති වෙරළේ වැදී ඒ රළ ගෙඩි සුණුවිසුණු වී යාවී. ඉම ඉක්මවා නොයන ආශාවන්වලට ඔබගේ ජීවිතය පිළුණු කරන්න පුළුවන්කමක් නැහැ. පිළුණු නැති ජීවිතයක පිළීගඳක් කොහින් ද? එදාට ඔබව වහ එලාගෙන සිටින කෙලෙස් නිලමැස්සෝ ඔක්කොම ඉවතට පියඹා යාවී.

අපි කොපමණ උත්සාහ කළත් මේ ලෝකයේ ඉන්න මිනිසුන් විඳින සැප සියල්ල එක් අයෙකුට එක ජීවිතයක විඳින්න බැහැ. හිතේ උපදින සියලු‍ම ආශාවන් සන්තර්පණය කරගෙන මැරුණු කෙනෙක් මේ ලෝක ධාතුවේවත් නැහැ. ඒ නිසා මේ සත්‍යයට විවෘත වෙන්න. සත්‍යයට හිස නමන්න. සත්‍යය සරණ යන්න. ඒ සත්‍යය යම් හද මඬලක පැනනැංගා ද ඒ සත්‍යවාදී වූ සත්‍යනාම වූ සම්බුදුරජාණන් වහන්සේ ව මුළු හදවතින් ම සරණ යන්න. ඒ සත්‍ය වූ ධර්මය හදවතින් ස්පර්ශ කළ ආර්ය මහා සංඝරත්නය සරණ යන්න. ඒ සොඳුරු සරණ ඔබට දෙව්ලොවට පාර කපාවී. සනාතන සැපය වූ අමා නිවන වෙතට ඔබව කැඳවාගෙන යාවී.

ඔබටත් අපටත් පිළුණු නොවූ ජීවිතයක් ඇතිකරගන්න වාසනාව ලැබේවා!

ඇසුර:- කටුවිය සූත්‍රය – අං. නි. 1,

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.