ව්‍යවහාරික වර්ෂයක අවසානයේ, නව ව්‍යවහාරික වර්ෂයේ ආරම්භය අභිමුව අපි සිටින්නෙමු. ආර්ථික සමාජයීය හා දේශපාලනික ව අප රට විශාල වශයෙන් වෙනස්වීම්වලට භාජනය වූ වසරක නිමාවක් ලෙස 2024 පිළිබඳ ලේඛනගත වනු ඇත. එසේ රටක් වශයෙන් වෙනස් වූවා සේ ම තනි තනි වශයෙන් අප එකිනෙකා ද ගෙවී ගිය වර්ෂය පුරා නොයෙක් වෙනස්කම්වලට භාජනය වූවා නොවේ ද… පෙනෙන්නා ම වූ භෞතික වෙනස්කම් සේ ම එතරම් ප්‍රකට නොවන්නා වූ ආධ්‍යාත්මික වෙනස්කම් ද මේ කාලය තුළ අප කා තුළත් සිදු වන්නට ඇති බව නිසැක ය.

මේ කාලසීමාවේ භෞතික වශයෙන් පිරිහීමක් නොවී අභිවෘද්ධියක් ලබන්නට හැකි වූයේ නම් එය කවුරුන් තුළ වුව ද සතුට දනවනු ලබන කාරණයකි. ඒ අයුරින් භෞතික වශයෙන් දියුණුව පිරිහීම මැන බලනවා සේ ම වසරක කාලයක් ගෙවී යන මේ සමය ආධ්‍යාත්මික වශයෙන් අප දියුණු වූයේ ද පිරිහුනේ ද යන්න ගැන ද විමසා බැලීම පිණිස සුදුසු කාලයකි. සැබැවින් ම, ධර්ම මාර්ගයේ දියුණුව කැමැත්තෝ කලින් කලට කුසල ධර්මයන්හි වැඩී යාම පිළිබඳ විමසා බැලීම කළ යුතු ය.

එසේ කුසල ධර්මයන්හි වැඩී යාම පිළිබඳ ව විමසා බැලිය යුත්තේ තමා තුළින් ම ය. අන් වර්ෂයන් හා සසඳා බලද්දී පින්දහම් කිරීමෙහිලා සිත්හි නැඹුරුව කෙබඳු වී ද ක්‍රියාත්මක වීමෙහිලා කොපමණ යුහුසුළු වී ද සිත කය වචනය රැක ගනිමින් පින්දහම් කටයුතු සිදු කරන්නට සමත් වී ද යනාදී වශයෙන් ආවර්ජනය කොට බැලීමෙන් අන් වසරවලට සාපේක්ෂව 2024 ගැන සැබැවින් ම සතුටු විය හැකි ද යන්න තීරණය කළ යුතු ය.

ගෙවී ගිය වසර කුසල පාක්ෂික ව සලකා බලන කල්හි සතුටු විය හැකි වසරක් නම් එය කා හට වුව ද මහා ලාභයක් ම ය. අවංක ව විමසා බලද්දී එය කුසල පාක්ෂික ව යම් පිරිහීමක් වූ වසරක් බව පෙනී යන්නේ නම් අප කළ යුත්තේ එසේ පිරිහී යාම කෙරෙහි ලැජ්ජා භය උපදවා ගැනීම ය. එසේ කුසල ධර්මයන්ගේ පරිහානියට පත් වීම කෙරෙහි ලැජ්ජා භය උපදවා ගන්නා ශ්‍රාවකයන් පුර පස සඳ සේ කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුතු බව ධර්මයේ සඳහන් ය.

“පින්වත් කස්සප, යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් ඇත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් ඇත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් ඇත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද යම් දහවලක් එළඹෙයි ද කුසල ධර්මයන්ගේ අභිවෘද්ධියක් මිසක් පිරිහීමක් නම් කැමති වෙන්න බෑ.

පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුර පසට යන සඳක් තියෙනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් හෝ එළඹෙනවා නම් ඒ හඳ පැහැයෙනුත් දියුණු වෙලා යනවා. රවුමෙනුත් දියුණු වෙලා යනවා. දීප්තියෙනුත් දියුණු වෙලා යනවා. ප්‍රමාණයෙනුත් දියුණු වෙලා යනවා.”

(දුතිය ඕවාද සූත්‍රය – සං. නි. 4)

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ව මේ බුද්ධ වචනය සිරසේ දරා ගනිමින්, ශ්‍රාවක ගුණයේ මනා කොට පිහිටමින් අප මේ එළඹි අවස්ථාව කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය සලසා ගැනීම පිණිස ම සුභාවිත කළ යුතු ය.

2019 වසරේ අප්‍රේල් මාසයේ දී ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකින් පසු ව සැකබිය රහිත සුවපත් සිතින් පින්දහම් සිදු කරන්නට අපට තිබූ අවකාශයට සීමා පැනවුනු අතර 2019 වර්ෂයේ අවසානයෙන් පටන් ගෙන ඉනික්බිති වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරා ලෝකය වෙලා ගත් කොවිඩ් වසංගත රෝග බිය විසින් පුදබිම් වෙත එළඹ පින්දහම් රැස් කිරීමට අපට ඇති අවස්ථා බොහෝසෙයින් ම අහුරා දමන ලද්දේ ය. ඒ කාලසීමාව ද ඉක්මවාලද්දී මුහුණපාන්නට සිදු වූ ව්‍යාකූල සමාජ ආර්ථික දේශපාලන වටපිටාව තුළ ද පින්දහම් රැස් කරන්නට සිදු වූයේ දුෂ්කර ව, දුක සේ ය. පස් වසරකට පමණ පසු යළිත් සෑය බෝධිය වන්දනා කරන්නට ද ප්‍රණීත ව දන්පැන් දෙන්නට ද මහා සෑයවල්, බෝධි මණ්ඩප ඉදි කරන්නට ද අනුබල ලැබෙන පරිසරයක් නිර්මාණය වූයේ 2024 වර්ෂයේ දී ය. මේ සියලු නිර්ණායකයන්ගේ පිහිටා 2024 ආවර්ජනය කොට, කුසල ධර්මයන්ගේ කවර හෝ පිරිහීමක් දක්නට වේ නම් ඒ කෙරෙහි මහත් ලැජ්ජා භය උපදවාගෙන, පුරපස සඳක් සේ වැඩී යමින් කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය දකින්නට අපටත් හැකි වේවා!